Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහනුවර ටැම්පිට විහාර වන්දනාව

උඩරට රාජධානි යුගයේදී මහනුවර නගරය අවට ගම්මානවල ලොකු බෞද්ධ ප්‍රබෝධයක් පැතිරුණා. අද මහනුවර දැකගත හැකි ටැම්පිට විහාරවලින්ද ඒ බව පේනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජ යුගයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ මූලිකත්වය මෙම සමහර විහාරවලට ලැබී තිබෙනවා. සෑම ටැම්පිට විහාරයක්ම පාහේ මහනුවර නගරයට නුදුරින් පිහිටා තිබීම විශේෂයක්. බොහෝවිට විදේශීය ආක්‍රමණ කොයි මොහොතේ ඒවිදැයි අවිනිශ්චිතභාවයෙන් උඩරට වැසියන් කල්ගත කළ නිසා මහා විහාර තැනීමට අවශ්‍ය කාලය හා විශ්‍රාමය නොලැබෙන්නටත් ඇති. විශේෂයෙන් මැදවල, සූරියගොඩ යන ටැම්පිට විහාරවල අනර්ඝ බිතුසිතුවම් දක්නට ලැබෙනවා. ඔබට මහනුවර අවට සංචාරය කරන විට මෙම විහාර දැකබලා ගැනීමත් සාරවත් අත්දැකීමත් වේවි.

මහනුවර දිස්ත්‍රික්කයේ ටැම්පිට විහාර 14ක් දැකගත හැකියි. ඒවා පහත සඳහන් වෙනවා. කුඹල්ඔළුව, සූරියගොඩ, දන්තුරේ, මාලගම්මන, මැදවල, දොරගමුව, උඩතලවින්න, ගෝනදෙනිය, කලෝටුවාව වැලිවිට සංඝරාජ හිමියන්ගේ ගම වන තුම්පනේ අවට ටැම්පිට විහාර පහක් පිහිටා තිබෙනවා. ඒවා නම් වැලිගොඩපොළ, දුන්කුඹුර, මිනිගමුව, මුරුද්දෙනිය සහ වැලිවිට යි.  අපි ඒවා අතරින් කිහිපයක් නරඹමු.

සූරියගොඩ

විහාරයේ මකර තොරණ යට වැඩහිඳින බුදු පිළිමය – කුසුම්සිරි විජයවර්ධන

මේ පන්සලට යාමට නම් පිළිමතලාවට නුදුරු කිරිබත්කුඹුරෙන් හැරී වතුරකුඹුර පාරේ ගමන් කළ යුතුයි. කිරිබත්කුඹුරේ සිට කි. මී. එකහමාරක් දුරින් පන්සල පිහිටා තිබෙනවා. වැලිවිට සරණංකර හිමි පැවිදි වූයෙත් මෙම විහාරයේදී. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු මේ විහාරය ප්‍රතිසංස්කරණය කළ නිසා විහාරයට නරේන්ද්‍රාරාමය යන  නම යොදා තිබෙනවා. කළුගල් කුලුණු 8ක් මත ඉදිකළ ටැම්පිට විහාරය ඉතා කුඩා වුවත් එහි චිත්‍ර හා මූර්ති අගනා කලා කෘති වශයෙන් සැලකෙනවා.

විශිෂ්ට මකර තොරණ – කුසුම්සිරි විජයවර්ධන

මකර තොරණ යට වැඩහිඳින බුද්ධ ප්‍රතිමාව ඉතා අලංකාරයි. එය මහනුවර යුගයේ හොඳම මකර තොරණවලින් එකක් ලෙස සැලකෙනවා. දෙල්දෙනියේ සිත්තර නයිදේ මෙහි හිත්‍ර හා මූර්ති නිමාකර තිබෙනවා. බුද්ධ චරිතයේ අවස්ථා, සංඝරාජ හිමියන්ගේ සිත්තමක්, රජරුවක්, සිව්රඟ සේනාව, මල්ලව පොර ආදී සිත්තම් මෙහි දැකගත හැකියි.

විහාර දොරටුව දෙපස අලංකරණ– කුසුම්සිරි විජයවර්ධන

විහාරය ඉදිරිපිට ඇති විවෘත මණ්ඩපය දැව කැටයම් සහිත කුලුණු වලින් යුක්තයි. විහාරයේ ඇති කෞතුකාගාරයේ උඩරට රාජධානි කාලයට අයත් පුරාවස්තු රාශියක් තිබෙනවා. ඒ අතර සරණංකර සංඝරාජ හිමියන්ගේ වටාපත, උන්වහන්සේගේ පුස්කොළ පොත්, සිවුරු ආදිය විශේෂයි. දෙල්දෙනියේ සිත්තර නයිදේගේ දැව මූර්තියක් ද එහි දැකගත හැකියි.

දන්තුරේ

දෙමහල් විහාර මන්දිරය– කුසුම්සිරි විජයවර්ධන

සූරියගොඩ පසුකරගෙන දොඩන්වල මාර්ගයේ යන ඔබට දන්තුරේට පැමිණිය හැකියි. විහාරය පිහිටා ඇත්තේ දන්තුරේ නගරය අසලමයි. එය දෙමහල් ටැම්පිට විහාරයක්. පළමු මහල ධර්ම ශාලාවක් ලෙස භාවිත කරනවා. පළමු මහලේත් විහාරයක් දක්නට පුණුලුවන්. කළුගල් ටැම්පිට පිහිටි විහාරයට පිවිසීමට දැවයෙන් කළ තරප්පු දක්නට ලැබෙනවා. මෙහි කළුගල් කුලු වලත් කැටයම් දැකගත හැකියි.

මූර්තියක්- කුසුම්සිරි විජයවර්ධන

ටැම්පිට විහාරයේ මකර තොරණ යට වැඩ හිඳින හිඳි බුද්ධ ප්‍රතිමාවක්ද ඒ පෙදෙසින් තවත් හිඳි බුදු රූ දෙකක්ද නිර්මාණය කර තිබෙනවා. එයට නුදුරින් හිටි බුද්ධ රූ දෙකක්ද පිහිටා තිබෙනවා. මෙම විහාරයේ සිතුවම් එතරම් කලාත්මක් බවක් පළ කරන්නේ නම් නැහැ.  ඒවා පසුකාලීනව අවිධිමත් ලෙස අලුත්වැඩියා කරලා.

වැලිගොඩපොල

මහනුවර විශාලම ටැම්පිට විහාරය-කුසුම්සිරි විජයවර්ධන

හතරලියැද්ද නගරය ආසන්නව පිහිටා තිබෙන විහාරයක් වන මෙය මහනුවර විශාලම ටැම්පිට විහාරය ලෙස සැලකිය හැකියි. මහනුවර සිට මුරුතලාව හරහා හතරලියද්දට පැමිණීමට පුලුවන්. ක්‍රි.ව. 1775 වනවිට වැද්දාවල හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම විහාරය සහ හේවිසි මණ්ඩපය නිමකළ බව සඳහන් වෙනවා. වැලිවිට සංඝරාජ හිමි පැමිණ මෙහි පෝය සීමාව සලකුණු කර දී තිබෙනවා.

බුද්ධ ප්‍රතිමාව- – කුසුම්සිරි විජයවර්ධන

ගල්ටැම් 22ක් මත ඉදිකර තිබෙන විහාර මන්දිරය දිගින් අඩි 18ක්ද පළලින් අඩි 12ක් ද වෙනවා. ඒ වටා යන සේ ප්‍රදක්ෂිණා පථයක් ද පිහිටා තිබෙනවා. සම්පූර්ණ විහාර ගොඩනැගිල්ල දිගින් අඩි 30ක්ද පළලින් අඩි 18ක්ද වෙනවා. මෙහි අලංකාර බිතුසිතුවම් දක්නට ලැබෙනවා. ඒවා නවීකරණය වී නොමැති වීම වාසනාවක්. මකර තොරණ සහිත අලංකාර දොරටුවකින් විහාරයට ඇතුළු විය යුතුයි. එතුළ වෙස්සන්තර ජාතකය, සිරිසඟබෝ කතාව සිත්තම් කර තිබෙනවා. සොළොස්මස්ථානය සහ රහතන් වහන්සේගේ රූපවලින් ද මෙම විහාරය සරසා තිබෙනවා.

වැලිවිට සාංඝිකාරාමය

සාංඝිකාරාම ටැම්පිට විහාරය- කුසුම්සිරි විජයවර්ධන

හතරලියැද්ද නගරයේ සිට කි. මී. 5ක් දුරින් පිහිටා ඇති මෙය කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේදී ඉදිකළ බව පැවසෙනවා. වැලිවිට සංඝරාජ හිමියන් උපන්නේ මේ විහාරයට නුදුරින් පිහිටි තුම්පනේ ගමෙයි. කුඩා ටැම්පිට විහාරය හේවිසි මණ්ඩපයකින් ද සමන්විතයි. මෙහි චිත්‍ර හා මූර්ති මෑත කාලයේදී අශෝභන ලෙස අලුත්වැඩියා කරලා.

කලෝටුවාව ටැම්පිට විහාරය

පර්වතය මත තැනූ විහාරය සහ දාගැබ- කුසුම්සිරි විජයවර්ධන

හතරලියැද්දේ සිට පැමිණ දේදුනුපිටිය තැපැල් කාර්යාලය අසලින් හැරී මේ විහාරයට පැමිණිය හැකියි. මහනුවර සිට දුර කි. මී. 30ක්. කුඩා අප්‍රකට ටැම්පිට විහාරයක් වුවත් පැරණි සිතුවම් ආරක්ෂා වී පවතිනවා. මේ විහාරය කඳු බෑවුමක පිහිටි පර්වතයක් මත ඉදිකර තිබෙනවා. මෙහි පැරණි දාගැබක්ද පිහිටා තිබෙනවා.

දොරටුවේ අලංකරණ- කුසුම්සිරි විජයවර්ධන

පිළිම ගෙයි ඇතුළු මාලය සහ පිට මාලය වශයෙන් කොටස් දෙකක් තිබෙනවා. එයට ඇතුළුවන දොරටුවද අලංකාර රටාවලින් සරසලා. ඇතුළු මාලයේ හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ දෙපස බුදු රූ දෙකක්ද තිබෙනවා. සූවිසි විවරණය, සත් සතිය, මෙහි සිත්තම් කර තිබෙනවා.

විහාරයේ සංඝවාසය ද පැරණී ගොඩනැගිල්ලක්. උස් පාදමක් මත ඉදිකළ එහි ගෙබිමට ගොමමැටි ආලේප කර තිබෙන්නේ. පුරාණ ගොඩනැගිලි ගැන අධ්‍යයනය කරන්නන්ට මෙම සංඝාවාසය අපූරු නිදසුන් සපයන තැනක්.

මැදවල

ටැමිපිට විහාරය සහ දාගැබ- කුසුම්සිරි විජයවර්ධන

මහනුවර සිට කටුගස්තොට දක්වා පැමිණ රණවන හරහා මැදවලට ගමන් කරන මාර්ගයේ කිලෝමිටර 11

ක් පමණ ගිය විට මේ විහාරය හමු වෙනවා.  මැදවල හන්දියට නුදුරින් කඳු ගැටයක් මතයි, විහාරය ඉදිකර

තිබෙන්නේ. මෙම විහාරය මුලින්ම කරවා ඇත්තේ ක්‍රි. පූ. 1 සියවසේ වලගම්බා රජු විසින් බව මැදවල තඹ

සන්නස පවසනවා. පසුව විනාශ වූ පිළිම ගෙය ටැම්පිට විහාරයක් වශයෙන් කරවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ

රජුයි. ඒ සඳහා දුනුවිල අදිකාරම් අනුග්‍රහය දක්වා තිබෙන බව තඹ සන්නසේ සඳහන්. තඹ සන්නසට අනුව

විහාරයේ වැඩ නිම කර ඇත්තේ ක්‍රි. ව. 1755 දීයි. ඒ අනුව ලිඛිත සාධක සහිත පැරණිම ටැම්පිට විහාරය

වන්නේ මැදවලයි. උඩරට සම්ප්‍රදායේ පැරණිම මූර්ති හා බිතුසිතුවම් දක්නට ලැබෙන ස්ථානයක් වශයෙන්ද

මෙය වැදගත්.

දුනුවිල දිසාව යයි පැවසෙන සිත්තම- කුසුම්සිරි විජයවර්ධන

ටැම්පිට විහාරය ඉදිකර ඇත්තේ ශෛලමය ටැම් 34 ක් මතයි. පිළිම ගෙයට පිවිසිය යුත්තේ දොරටුපාල රූප දෙකකින් අලංකාර කළ දොරටුවකින්. දොර උළුවස්සද කැටයමින් සරසා තිබෙනවා. පිළිමගෙය තුළ කුඩා ප්‍රමාණයේ හිටි බුද්ධ ප්‍රතිමාවක් හා අලංකාර මකර තොරණක් යට හිඳි බුද්ධ ප්‍රතිමාවක් ( බුරුම) දක්නට ලැබෙනවා.

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව දෙපස කාලවර්ණ දෙවියකුගේ හෝ මුරකරුවකුගේ ප‍්‍රතිමා දැකගත හැකියි. මකර තොරණ මත සතරවරම් දෙවිවරු නිරූපණය කෙරෙනවා. ප‍්‍රතිමා අතර හිස් අවකාශයන් පිරවීම සඳහා මල් මෝස්තර සිතුවම් භාවිත කොට තිබෙනවා. ප‍්‍රධාන ප‍්‍රතිමාව ඉදිරිපස දෙපසින් හිඳි ඉරියව් සහිත කුඩා ප‍්‍රතිමා දෙකක් දැකගත හැකියි.

අලංකාර මකර තොරණ– කුසුම්සිරි විජයවර්ධන

ප්‍රතිමා ගෘහයේ සිවිලිම, වම් හා දකුණු, පිටුපස ආදි සියලූම බිත්ති මහනුවර ශෛලයේ සිතුවමින් අලංකාර කොට තිබෙනවා.

සිත්තමක්- බුදුන් වහන්සේ මදුරු දැලක් යට- – කුසුම්සිරි විජයවර්ධන

සත්සතිය, වෙස්සන්තර ජාතකය, උරග ජාතකය, වංකගිරිය, රහතන් වහන්සේලා මෙහි ඇඳ තිබෙනවා. උඩරට සිතුවම් කලාවට විශිෂ්ට උදාහරණ සපයන අගනා චිත්‍ර පන්තියක් මෙහි දැකගත හැකියි.  පැරණි විහාරයට අයත් ශෛලමය කොරවක්ගල  විහාරය අසල නූතන පිළිමගෙයි දොරටුවට යොදාගෙන තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍ර-

ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර- කුසුම්සිරි විජයවර්ධන

ටැම්පිට විහාර සම්ප්‍රදාය- සරත් විජේසූරිය

කඳුරට ප්‍රවේණිය- එච්. ඒ. පී . අභයවර්ධන

Related Articles