දළදාව සැඟවූ උඩරට විහාර

මහනුවර රාජධානියට දළදා වහන්සේ වැඩමවාගෙන ආවේ පළමුවන විමලධර්මසූරිය රජු (1592-1603) විසින්. ඒ රජු එවකට දෙල්ගමුවේ සඟවා තිබූ දළදාව පෙරහරින් මහනුවරට වැඩම කරවාගෙන, දළදා මැදුරක් ද ඉදිකර පුදපූජා පැවැත්වුවා. ඊට පසු බලයට පත් සෑම රජ කෙනෙකුම දළදා පුදපූජා පැවැත්වූවා. දළදාව තමන් සතුවීම රජකම පවත්වාගෙන යාමට ඇති උරුමයක් ලෙස සැලකුණා. නමුත් මහනුවර දළදා මාලිගයේ එකදිගට වැඩ වැඩසිටීමට දළදා වහන්සේට හැකියාවක් නොලැබුණේ පරසතුරු ආක්‍රමණ නිසයි. පෘතුගීසි, ඕලන්ද, සහ ඉංග්‍රීසි ආකුමණ උඩරටට එල්ලවන විට රජවරු සහ නායක හිමිවරු දළදාව උඩරට ප්‍රදේශයේම රහසිගත ස්ථානවල සඟවා තැබීමට කටයුතු කළා. අදටත් එලෙස දළදා සඟවා තැබූ ගල්ලෙන්, විහාරස්ථාන අපට දැකබලා ගන්න පුළුවන්. ඒවායේ දළදා ඉතිහාසයට සම්බන්ධ රසවත් හා අනුවේදනීය තොරතුරු බැඳී තිබෙනවා. එවැනි ස්ථාන ගැන ඔබ දැනුවත් කිරීමට ගත් උත්සාහයක් තමයි මේ.

මැදමහනුවර

මැදමහනුවර විහාරය- කුසුම්සිරි විජයවර්ධන

සෙංකඩගල දළදා මන්දිරයෙන් මුලින්ම දළදා වහන්සේ වඩමවාගෙන ගොස් රහසිගතව තබන්නේ මැදමහනුවර යි. සෙනරත් (1604-1634) රජ කාලයේ දී පෘතුගීසින් උඩරට ආක්‍රමණයකට සැරසෙන බව ආරංචි වූ විට ඒ පියවර ගන්නවා. ආරක්ෂාව සඳහා රැකවලුන් ද යොදවා තිබෙනවා. පසුව කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ ලන්දේසීන් උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේත් දළදා වහන්සේ ටික දිනක් මැදමහනුවර තැන්පත් කළ බව තුඩපත්වලින් පැහැදිලි වෙනවා.

දළදාව සඟවා තැබූ බව කියන කරඬුවක් – කුසුම්සිරි විජයවර්ධන

මහනුවර සිට මහියංගනය දක්වා දිවෙන කඳුකර මාර්ගයේ කි. මී. 32ක් දුරින් මැදමහනුවර පිහිටා තිබෙනවා. ඉතා රමණීය කඳුකර ප්‍රදේශයක්. එහි විශේෂ දළදා මාලිගාවක් ද ඉදිකරවා දළදා පූජා පවත්වා තිබෙනවා. ජනප්‍රවාද පවසන්නේ අද දක්නට ලැබෙන මැදමහනුවර විහාරය දළදා මාලිගය පිහිටි ස්ථානයේ ගොඩනංවා ඇති බව යි. නවීන ඉදිකිරීම් නිසා පැරැණි දළදා මාලිගයේ නටබුන් මෙහි දක්නට නැතත්, පැරණි දළදා කරඩුවක් විහාරයේ තිබෙනවා. පුරාණ විහාර මන්දිරයට භාවිත කළ දැව කැටයම් කුලුනු කිහිපයක්ද දැකගත හැකියි.

විහාරයට නුදුරින් ඇත්තේ පුරාණ ගොඩනැගිල්ලක නටබුන් සහිත පුරාවිද්‍යා භූමියක්. එය සෙනරත් රජුගේ ආරක්ෂිත මාළිගයක් බව ජනප්‍රවාද පවසනවා.

කෙවුල්ගම ගනේගල ලෙන් විහාරය

සොඳුරු කෙවුල්ගම- කුසුම්සිරි විජයවර්ධන

මැදමහනුවර පසුකරමින් මහියංගන මාර්ගයේ ඉදිරියට යන විට හුන්නස්ගිරිය නගරය හමුවෙනවා. මහනුවර සිට හුන්නස්ගිරියට දුර කි. මී. 52යි. එහි සිට අතුරු මාර්ගයේ කි. මී. 7ක් ගමන් කළ විට කෙවුල්ගමට ළඟාවිය හැකි යි. මෙය මාර්ග පහසුකම් අඩු දුෂ්කර පෙදෙසක්.

පැරණි අම්බලම- කුසුම්සිරි විජයවර්ධන

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කළ පැරණි දැව අම්බලමක් මෙහි තිබෙනවා. කෙවුල්ගම ගනේගල ලෙන් විහාරය දළදා වහන්සේ වැඩ සිටි ස්ථානයක් බව බඹරගල තුඩපත, සහ කෙවුල්ගම තුඩපතින් හෙළිවෙනවා. මුලින්ම මෙම විහාරයට දළදා වඩමවන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දී යි. ලන්දේසි ආක්‍රමණ නිසා මහනුවර දළදා මාළිගයෙන් දළදා වහන්සේ කෙවුල්ගමට රැගෙනවිත් තිබෙනවා. යළිත් 1765 දී ලන්දේසි ආක්‍රමණයක් සිදුවූ අතර මහනුවර මාස 9ක් ඔවුන් යටතේ පවතිනවා. ඒ කාලය තුළ කෙවුල්ගම විහාරය, කිනිකඳුර ගල්ලෙන, නාවනගල කන්ද, මීමුරේ රට ආදී ප්‍රදේශවල දළදා වහන්සේ සඟවා තබා තිබෙනවා.

දළදාව සඟවා තැබූ බව පැවසෙන දැව කරඬුව- කුසුම්සිරි විජයවර්ධන

කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දළදා වහන්සේ වැඩි ආරක්ෂාව සඳහා තුන් අවුරුද්දක් කෙවුල්ගම වැඩ හිඳුවා පුද සත්කාර පවත්වා තිබෙනවා. මහනුවර දළදා මාලිගයේ පවත්වන සියලුම වතාවත් මෙහි පැවැත්වූ බවත්, පූජා භාණ්ඩ රජ වාසලින් සපයා තිබෙන බවත් තුඩපත්වල සඳහන් වෙනවා. රාජාධිරාජසිංහ රජු කෙවුල්ගම තඹපතින් මෙම විහාරයට ගම්බිම් පූජා කර තිබෙනවා. එවකට මේ විහාරයේ විහාරාධිපතිත්වය දරා ඇත්තේ රඹුක්වැල්ලේ රතනජෝති නායක හිමියන්. එකල මෙම විහාරය ගනේගල ගල්ලෙන් මාලිගය නමින් හඳුන්වා තිබෙනවා.

කෙවුල්ගම සන්නස- කුසුම්සිරි විජයවර්ධන

ඉතා සුන්දර වටපිටාවක පිහිටා ඇති මෙම ලෙන් විහාරයේ අද දක්නට ලැබෙන්නේ නවීකරණය කළ පිළිම ගෙයක්. මේ නිසා පුරාවිද්‍යාත්මක අගයට හානි වෙලා. මෙහි පැරණි දැව කරnවක් දක්නට ලැබෙනවා. දළදා වහන්සේ එහි තැන්පත් කර සඟවා තැබූ බවයි පැවසෙන්නේ.

කිනිකඳුර ලෙන

කෙවුල්ගමට ආසන්න පමුණුතැන්න ගමට යාබද වනාන්තරයේ පිහිටා ඇති ලෙනක්. මෙය කිරිකඳුර නමින්ද හඳුන්වනවා. කෙවුල්ගම වැඩසිටි දළදාව ටික දිනක් මෙම ලෙනටද වැඩමවා සඟවා තැබූ බව බඹරගල තුඩපතෙහි දැක්වෙනවා.

අරත්තන

විහාර මන්දිරය- කුසුම්සිරි විජයවර්ධන

වර්ෂ 1765 දී සිදුවූ ලන්දේසි උඩරට ආක්‍රමණය අතරතුරේ දළදා වහන්සේ හඟුරන්කෙතට නුදුරු අරත්තන විහාරයේත් වැඩ හිඳුවා තැබූ බව සඳහන්. දළදා වහන්සේ කොපමණ කාලයක් මෙම විහාරයේ වැඩ සිටියාදැ යි සඳහනක් හමුවන්නේ නම් නැහැ. මැදපිටිය අරත්තන විහාරයේ දළදා වහන්සේට වතාවත් පැවැත්වීමට කීර්ති ශ්‍රී රාජසිංහ රජු කොට්ටව ඇමැතිට නියෝග ලබාදුන් බව මන්දරාම්පුර පුවත සඳහන් කරනවා. නැවතත් අරත්තන දළදා ස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වන්නේ 1802 දී. එවකට ඉංග්‍රීසින් උඩරටට ළඟා වූ බව ආරංචි වූ වහාම දළදාව මේ විහාරයට නැවතත් රැගෙනවිත් සඟවා තිබෙන බව දළදා විත්තිය නම් පුස්කොළ පොතක දැක්වෙනවා. ශ්‍රී වික්‍රම රජු ද දිනපතා හඟුරන්කෙත ගමන් මාලිගයේ සිට දළදා වැඳීමට පැමිණ තිබෙනවා.

8 උඩරට සම්ප්‍රදායේ සිතුවම්- කුසුම්සිරි විජයවර්ධන

අරත්තන විහාරය උඩරට යුගයේ බිතුසිතුවම් සහ කළුගල් කැටයම් පිහිටි වටිනා පුරාවිද්‍යා ස්ථානයක්. මෙහි කදිම පෙතිකඩ සිතුවම් කිහිපයක්ද තිබෙනවා.

කිතුල්පේ

දුෂ්කර ගම කිතුල්පේ- කුසුම්සිරි විජයවර්ධන

ඉංග්‍රීසින්ගෙන් උඩරට රාජධානියට එල්ලවන තර්ජන හමුවේ අරත්තන සිට තවත් දුරින් පිහිටි කිතුල්පේ විහාරයට දළදා වහන්සේ වැඩමවා ගෙන ගොස් තිබෙනවා. හඟුරන්කෙත සිට රිකිල්ලගස්කඩට පැමිණ පොරමඩුල්ල හරහා කි. මී. 15ක් දුරින් පිහිටි රමණීය ගම්මානයක් තමයි කිතුල්පේ. විහාරය පිහිටා ඇත්තේ කඳුපන්ති වටකරගෙනයි. 1802- 1803 කාලවල මෙලස දළදාව මෙහි වැඩ සිට තිබෙනවා.

විහාරයේ ප්‍රතිමා – කුසුම්සිරි විජයවර්ධන         

අද මෙහි දක්නට ලැබෙන්නේ වසර 150ක් පමණ පැරණි විහාර මන්දිරයක්. පුරාණ විහාරය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. පැරණි ගල්කණු, බාල්ක ආදී නටබුන් විහාර බිම පුරා දක්නට ලැබෙනවා.

වෑගම

කිතුල්පේ සඟවා තැබූ දළදා වහන්සේ ගැන ඔත්තුකරුවන්ට ආරංචි වූ බව සිංහලයන් දැනගන්නවා. ඒ නිසා වැඩි අරක්ෂාව සඳහා රිකිල්ලගස්කඩ සිට තවත් දුරින් පිහිටි හේවාහැට වෑගම කියන දුෂ්කර ගමක තිබෙන ලෙන් විහාරයට රැගෙන යනවා. මේ විහාරයේ 15 වන සියවසේ දී ලියවුණු සෙල්ලිපියක් තිබෙනවා. ගම්පොළ යුගයේ දී මුලින්ම හෙණකද බිසෝබණ්ඩාර බිසව විසින් විහාරය ඉදිකර තිබෙන බව සඳහන්. අදත් වෑගම දුෂ්කර පැත්තක් විදිහට තමයි සැලකෙන්නේ.

කොත්මලේ පුසුල්පිටිය

මහනුවර යුගයට අයත් ප්‍රතිමාවක් -amazinglanka.com- Niroshan Edirisingha    

  ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කරන බව ඔත්තු සේවා මගින් දැනගත් විට රඹුක්වැල්ලේ රතනජෝති හිමි දළදා වහන්සේ රැගෙන 1814 ජනවාරියේ දිනෙක මහනුවරින් පලා ගොස් තිබෙනවා. මෙම ගමනේ දී බඹරගල, මැහමහනුවර, තලගුණේ, මැදිවක කිතුල්පේ යන විහාරවලත් නවතිමින් අවසානයේ කොත්මලේ පුසුල්පිටිය විහාරයට ඇවිත් තිබෙනවා. මේ බව සඳහන් වන්නේ බඹරගල විහාරයේ ඇති පුස්කොළ ලිපියක යි. පුසුල්පිටියට වැඩමවිමෙන් පසු අවුරුද්දකට ආසන්න කාලයක් රහසිගතව පුදපූජා පවත්වමින් දළදා වහන්සේ එහි තැන්පත් කර තිබුණා. 1815 දී ඉංග්‍රීසින්ට රට යටත්වීමෙන් පසුව ඔවුන් දළදා වහන්සේ ගැන සොයාබැලුවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. එවිටත් දළදාව තිබුණේ කොත්මලෙයි. විහාර බිමේ සපුගසක බෙනයක දළදාව සඟවා තැබූ බව පැවසෙනවා.

දළදා හපුව – amazinglanka.com- Niroshan Edirisingha

කොත්මලේ පුසුල්පිටිය විහාරය අදටත් දුෂ්කර මාර්ගයකින් පැමිණිය යුතු ස්ථානයක්. ගම්පොළ නුවරඑළිය පාරේ තවලන්තැන්නෙන් හැරී ගමන් කළ යුතුයි. තවලන්තැන්නේ සිට විහාරය වෙතට කි. මී. 12ක් දුරයි. මහනුවර යුගයේ බිතුසිතුවම් සහිත අපූරු ජනප්‍රවාද පිරිවරාගත් විහාරයක් මෙහි තිබෙනවා. දෙමහල් ටැම්පිට විහාරයක් සහ තවත් විහාර මන්දිරයක් මෙහි පිහිටා තිබෙනවා.

පසුව ඉංග්‍රීසින්ගේ ඉල්ලීම මත මහනායක හිමිවරු විසින් 1815 අප්‍රේල් 24 දා කොත්මලේ සිට පේරාදෙණිය හිඳගල විහාරයට දළදා වහන්සේ වැඩමවා නැවත මහනුවර දළදා මැදුරට පෙරහරින් රැගෙන ගොස් තැන්පත් කර තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

සිරිලක දළදා මාලිගා- කුසුම්සිරි විජයවර්ධන

දළදා ඉතිහාසය සහ සංස්කෘතිය- කඹුරුගමුවේ වජිර

කෙවුල්ගම තඹ සන්නස ( විහාරයේ තැන්පත් කර ඇති)   

Related Articles