ලංකාවේ සිදු කළ මාරාන්තික උපවාස 10ක්

මාරාන්තික උපවාස ශ්‍රී ලංකාවට අමුතු දෙයක් නොවෙ යි. වෙනත් කිසිම ආකාරයකින් කළ ඉල්ලීම් ඉටු නොවුණහොත් පමණක් ගත යුතු අවසන් අහිංසාවාදී පියවර වශයෙන් තමයි මාරාන්තික උපවාස සැලකෙන්නේ. අප රටේ අනවශ්‍ය දේවලට පවා මාරාන්තික උපවාස කරමින් එය හෑල්ලුවට ලක් කිරීමකුත් පසුගිය කාලයේ දකින්න ලැබුණා. ලොව පුරා මාරාන්තික උපවාස සිදුකර මිය ගියවුන් විශාල පිරිසක් ගැන වාර්තා වෙනවා.

ඒ අතරින් 1981 දී අයර්ලන්තවාසීන් සිදුකළ මාරාන්තික උපවාසයක දී පුද්ගලයක් 10 දෙනකු මිය ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ උතුරෙන් ද එවැනි මාරාන්තික උපවාස නිසා සිදු වූ මරණ දෙකක් ගැන පසුගිය කොටි යුද්ධය පැවති කාලයේ අසන්නට ලැබුණා. ජන අරගලය පදනම් කරගනිමින් මේ දිනවල කොළඹ ගෝල්පේස් පිටියේ මාරාන්තික උපවාසයක් පැවැත්වෙනවා. මේ පසුගිය කාලයේ මාරාන්තික උපවාස කිහිපයක් ගැන කළ විමසිල්ලක්.

අතුරලියේ රතන හිමිගේ උපවාසයට සහාය දැක්වීමට පැමිණි ජනතාව – Twitter.com

 

ලංකාවේ මාරාන්තික උපවාස

මාරාන්තික උපවාසය යන වචනය ද සිංහල ජනතාව අතර විහිළුවකට ලක්වන පරිද්දෙන් එය දේශපාලනඥයන් ම අවභාවිත කර තිබෙනවා. ඒ නිසාම එවැනි උපවාසයකට දේශපාලනඥයකු වාඩිවන විට ම පොදු ජනතාව පවසන්නේ “ඕක පිටුපස්සේ ඉන්නේ අහවල් ලොක්කානේ. බයවෙන්න දෙයක් නෑ. තුන්වැනි දවසේ ඇවිත් තැඹිලි වතුර වීදුරුවක් දීලා බේරාගන්නවා.” කියලා ය.

දකුණේ නම් මාරාන්තික උපවාසයකින් මිය ගිය කෙනෙකුත් නැහැ. එයට හේතුව ඉල්ලීම් ඉටුවීමට වඩා අතරමඟ දී විවිධ හේතු නිසා උපවාස නතර කිරීම යි.

තෙරිපැහැ හිමිගේ උපවාසය- emanisa.lk

 තෙරිපැහැ සිරිධම්ම හිමි

ගාලු මුවදොර අරගල පරිශ්‍රයේ දී තෙරිපැහැ සිරිධම්ම හිමියන් පසුගිය අප්‍රේල් 20 වැනි දා මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින්. මේ හිමියන් 2013 දී රතුපස්වල ජල උද්ඝෝෂණයේ දීත් ජල ප්‍රශ්නය විසඳන ලෙස බලකරමින් මාරාන්තික උපවාසයක නිරත වූ හිමිනමක් වශයෙන් සමාජයේ කතාබහට ලක්වුණා.

ඒ හිමියන් රතුපස්වල – ගල්ඔලූව සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපතින් වහන්සේයි. අප්‍රෙල් 22 වැනි දා වාර්තා වුණේ සිරිධම්ම හිමියන් අසනීප වූ නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බව යි.

උපවාසයෙන් මියගිය පූපති අම්මා සහ තිලීපන් – lankaenews facebook page

 මහාචාර්ය එෆ්.ආර්. ජයසූරිය

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ මාරාන්තික උපවාසයක් මුල් වරට වාර්තා වන්නේ 1958දී යි. සුප්‍රකට අධ්‍යාපනඥයකු මෙන් ම සිංහල භාෂා ප්‍රේමියකු ලෙස ද සැලකුණු මහාචාර්ය එෆ්.ආර්. ජයසූරිය උපවාස කිරීමකට එක්වුණා. එයට හේතු වූයේ 1956 දී බලයට පැමිණි අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ලබා දුන් මැතිවරණ පොරොන්දුවක් වන සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ යුතු බව පවසමින්.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය භාෂා පනත් කෙටුම්පතේ දෙමළ භාෂාව සාධාරණ ලෙස භාවිත කිරීම පිළිබඳ විධිවිධාන ද ඇතුළත් කර තිබුණා. මහාචාර්ය ජයසූරිය උපවාසය ආරම්භ කළේ සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කළ යුතු බවත්, වෙනත් කිසිදු භාෂාවකට මුල් තැනක් ලබා දිය යුතු නොවන බවත් පවසමින්.
1958 මැයි 24 එම මාරාන්තික උපවාසයට ඔහු වාඩිවුණේ එවකට ගාලුමුවදොර පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ යි.

මෙම උපවාසයට සහාය දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එම්. පී. රාජරත්න ඇතුළු පිරිසක් ද එක් ව සිටියා. උපවාසයේ ප්‍රතිඵලයක් ලෙස පනතේ වැදගත් වගන්තියක් වූ දෙමළ භාෂාව සාධාරණ ලෙස භාවිත කිරීම පිළිබඳ විධිවිධාන ඉවත් කිරීමට අගමැති බණ්ඩාරනායක කටයුතු කළා. අගමැතිවරයා ම පාර්ලිමේන්තුවට පැමිණ උපවාසකරුවන්ට දොඩම් යුෂ පෙවීමෙන් උපවාසය කෙළවර වුණා. මහාචාර්ය ජයසූරිය තම අරමුණු ඉටුකර ගත්තත් එය කල්පවතින දෙමළ – සිංහල අරගලයක් දක්වා දිව ගිය අතර පසුව උපවාසය නිසා හට ගත් රෝගාබාධ නිසා ජයසූරිය අකාලයේ මිය ගිය බව පැවසෙනවා.

තිලීපන් උපවාසයට එක්වීමට පෙර ජනතාව අමතමින්- tamilguardian.com

 රාසයිසා පාර්තිපන් හෙවත් තිලීපන්

යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිල ඉදිරිපිට රාසයිසා පාර්තිපන් හෙවත් තිලීපන් මාරාන්තික උපවාසයක් 1987 සැප්තැම්බර් 15 වැනි දා ආරම්භ කළා. එය ලෝකය පුරා ම අවධානයට ලක්වූවක්. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් වූ තිලීපන් කොටි සංවිධානයේ යාපනයේ දේශපාලන අංශයේ නායකයා ලෙස කටයුතු කළා. ඔහු උපවාසය ආරම්භ කළේ ශ්‍රී ලංකා රජයට ඉල්ලීම් පහක් ඉදිරිපත් කරමින්.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින සියලු ම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, දෙමළ බහුතරයක් සිටින ප්‍රදේශවල සිංහල ජනපදකරණය නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් එහිදී ඔහු පවසා සිටියා. එවකට පැවති ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට මෙම ඉල්ලීම් කිසිවිටක ඉටු කළ හැකි ඒවා වුණේ නැහැ.

තිලීපන් උපවාසය ආරම්භ කර දින හතකට පසු එවක ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිට් යාපනයට ගොස් කොටි නාකක ප්‍රභාකරන් හමු වී උපවාසය නතර කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා. තිලීපන් එය අත්හැරීමට සූදානම් වුණේ නැහැ. ඇතැමුන් පවසන්නේ එය කොටින් මෙහෙය වූ උපවාසයක් බව යි. දිය බිඳක් හෝ නොලබා 1987 සැප්තැම්බර් 26 දා ඔහු මිය ගියා. පසුව තිලීපන්ගේ පිළිරුවක් නල්ලූර් කෝවිල අසල ඉදිකළත් යුද හමුදාව යුද්ධය ජයගැනීමත් සමඟ එය ඉවත් කෙරුණා. යාපනයේ තිලීපන් සමරු අදටත් පැවැත්වෙනවා.

මෑතක දී පූපති අම්මා සැමරූ අවස්ථාවක් – Srilankamirror.com

 නැඟෙනහිර උපවාස කළ පූපති අම්මා

දස දරු මාතාවක් වන කනපතිපිල්ලේ පූපති, 1988 මාර්තු 19 වැනිදා මාරාන්තික උපවාසයක් නැඟෙනහිර ඇරඹුවා. ඒ එදා ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාව තුළ ගෙන ගිය  මානව හිමිකම් උල්ලංඝණ හා සාපරාධී ක්‍රියාවන්ට එරෙහි ව එම හමුදාව මේ බිමෙන් පිටමං කරන ලෙස ඉල්ලා සිටිමින්. දින 32ක් පුරා නිරාහාරව උපවාස කළ ඇගේ ඉල්ලීමට එතරම් අවධානයක් යොමු නොවූ අතර ඇය 1988 අප්‍රේල් 19 වැනි දා මරණයට පත්වූවා.

1932 දී උපත ලබා මඩකළපුවේ කිරාන් හී පදිංචි ව සිටි පූපති අම්මා දරුවන් වදා-හදා ගත්තා පමණක් නොව මව්වරුන් නැති දරුවන් හදා ගැනීමට ගත් මාතාවක් බවත් පැවසෙනවා. ළමයින් දස දෙනකුට මවක් වූ ඇගේ දරුවන් දෙදෙනෙක් ගැටුම්වල දී මිය ගියා. අදත් ඇයගේ සැමරුම් මඩකළපුවේ සිදුවෙනවා.

ඕමල්පේ සෝභිත හිමියන් උපවාස අවස්ථාවේ – sbf.lk

 

 ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

 2005 වසරේ ජුනි 7 වැනි දා රටේ අවධානයට ලක් වූ තවත් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ එවකට ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඕමල්පේ සෝභිත හිමියන්. එවකට රට පාලනය කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය යි. උපවාසය ආරම්භ කළේ ජනාධිපතිනිය කොටි සංවිධානය සමඟ ආරම්භ කිරීමට කටයුතු කළ සුනාමි සහන මණ්ඩලය හෙවත් ඒකාබද්ධ යාන්ත්‍රණයට විරුද්ධව යි.

ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමෙන් පසුව උපවාසය ද කෙළවර වුණා.

 සයිටම් මාරාන්තික උපවාසය- Lankaviews.com

 

 සරසවි සිසු උපවාස

රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාරාන්තික උපවාසයක් 1992 දී ආරම්භ කළා. විශ්වවිද්‍යාල සිසුන් 10 දෙනෙක් පමණ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ දී උපවාසයට වාඩිවුණා. දින කිහිපයකින් පසු උපවාසය නතර කළේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කර රජයට පවරා ගැනීමට තීරණය කිරීමත් සමඟින්.

විශ්වවිද්‍යාල ගැටලුවක් නිසා යළිත් මාරාන්තික උපවාසයකට වාඩිවීමට ශිෂ්‍ය මාපියන්ට 2017 නොවැම්බර් 6 වැනි දා සිදුවුණා. ඒ මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින්. කොළඹ දන්ත වෛද්‍ය විද්‍යායතනය ඉදිරිපිට තැනූ වේදිකාවක උපවාසය ආරම්භ කිරීමට සරසවි සිසු පියවරුන් 5 දෙනෙක් එක්වුණා. නොවැම්බර් 8 වැනි දා එවකට නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පැමිණ රජය සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසු උපවාසය අවසන් කිරීම සිදුවුණා.

 විමල් වීරවංශ උපවාසය අතරතුර- onlanka.com

 

 විමල් වීරවංශ

මාරාන්තික උපවාසවලට එක් ව ජනතාවගේ කතාබහට ලක්වූ දේශපාලනඥයකු වශයෙන් විමල් වීරවංශ සැලකෙනවා. ඔහු නිවාස හා ඉදිකිරීම් ඇමැති ව සිටිමින් කොළඹ 7 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය අසල මාරාන්තික උපවාසයක් 2010 ජුලි මාසයේ ආරම්භ කළා. ඒ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් ශ්‍රී ලංකාවට පත්කළ උපදේශක කමිටුවට විරුද්ධව යි. එම උපවාසය දින තුනකින් ඔහු නිමා කළේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ උපවාසය කළ තැනට පැමිණ වීරවංශට තැඹිලි වතුර පෙවීමෙන් පසුව යි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම උපවාසය ගණනකට නොගත්ත ද ජාත්‍යන්තර මාධ්‍ය පවා ඒ ගැන කතා කළා.

බන්ධනාගාරගතව සිටි අවස්ථාවේ දී ද විමල් වීරවංශ යළිත් මාරන්තික උපවාසයක් ආරම්භ කළා. ඒමැගසින් බන්ධනාගාරයේ  2017 මාර්තු මාසයේ දී සිටින අතර යි. රජයේ වාහන 40ක් අවභාවිත කළේයැයි චෝදනා කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මන්ත්‍රීවරයා පැවසුවේ රජය තමන්ට එරෙහි ව දේශපාලන පළි ගැනීමක් සිදුකරන බව යි.

සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා ඔහු මාර්තු 29වැනි දා රෝහල් ගත කළ අතර ඊට පසු ව මහා සංඝරත්නයේ ඉල්ලීම මත කිරි වීදුරුවක් පානය කරමින් මාරාන්තික උපවාසය අවසන් කළා. 

 රතන හිමි උපවාස කරමින් – anidda.lk

 අතුරලියේ රතන හිමි

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්මහනුවර දළදා මාලිගාව අභියස දී මාරාන්තික උපවාසයක්  2019 මැයි 31 වැනි දා ආරම්භ කළා. අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්, බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අසාත් සාලි සහ සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ඉල්ලා අස්විය යුතු බවත් එසේ නැතහොත් මරණය තෙක් නොනැගිටින බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

ඒ වන විට පාස්කු ප්‍රහාරයට සැකකටයුතු පුද්ගලයන් ලෙස මේ දේශපාලනඥයන් ගැන කතාබහක් මතු වී තිබුණා. දින තුනක් ගතවන විට ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඉල්ලා අස් වූ අතර උපවාසය නතර කළා.

 කාශ්‍යප හිමිගේ උපවාසය- newsfirst.lk

 

 උඩුදුම්බර කාශ්‍යප හිමි

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී.  ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ උඩුදුම්බර කාශ්‍යප හිමියන් 2019 නෙවැම්බර් මාසයේ දී මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ කොළඹ නිදහස් චතුරස්‍රයේදි යි. පසුව එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකරන බවට ප්‍රකාශ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහගෙන් සහ එවකට ජනාධිපති මැතිවරණ අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාසගෙන් ලිපි ලැබීමෙන් පසු උඩුදුම්බර කාශ්‍යප හිමි සිය උපවාසය අත්හැර තිබෙනවා.

 

කවරයේ ඡායාරූපය- මඩකළපුවේ පූපති අම්මා උපවාස කරමින් - ceylonnews.lk

මූලාශ්‍ර:
bbc.com
Lankaenews facebook page
 

Related Articles