අසේල රජතුමා පරාජයට පත් කරමින් එළාර නම් සොළී රජු අනුරාධපුරය ආක්‍රමණය කළේ ක්‍රි. පූ. 205 දී යි. එදා සිට වසර 44ක් අනුරාධපුරය පාලනය කළ එළාර රජුව පළවා හැරීමට කිසිදු සිංහල රජ කෙනෙකුට හැකි වුණේ නැහැ. නමුත්, දකුණේ මාගම රාජධානියෙන් බිහි වුණු දුටුගැමුණු නම් කුමාරයා ක්‍රි. පූ. 161 දී පමණ එළාර රජු පරාජයට පත් කරමින් අනුරාධපුර රාජධානිය නිදහස් කරගනු ලැබුවා. එදා එළාර රජුට එරෙහිව කළ ද්වන්ධ සටනේ දී දුටුගැමුණු රජුට දස මහා යෝධයන්ගේ සහාය ලැබුණා. එලෙස එළාර රජු පරාජය කිරීමට සහාය දුන් දස මහා යෝධයන් විවිධ දක්ෂතාවලින් යුතු පුද්ගලයන් වුණා. එසේ නම්, මෙම ලිපිය මඟින් ඉදිරිපත් කරන්නේ එදා දුටුගැමුණු රජතුමාට සවියක් වුණු දස මහා යෝධයන්ගේ දස්කම් පිළිබඳව යි.

නන්දිමිත්‍ර යෝධයා 

එළාර රජුගේ සේනාවේ සිටි මිත්ත නම් සෙනවියාගේ නැගණියගේ පුත්‍රයා, නන්දිමිත්‍ර නම් වුණා. නන්දිමිත්‍ර කුඩා අවදියේ දී මව්පියන්ගේ වැඩවලට බාධා කළා. එම නිසා මෙම කුඩා දරුවාව ගෙදර මිරිස් ගලේ බැඳ ඔහුගේ මවුපියන් රාජකාරි වැඩවලට ගියා. එලෙස සිය රාජකාරි සඳහා පිටත් වුණු ඔවුන්, එම වැඩවල නිරත වෙමින් සිටිය දී දුටු දර්ශනයකින් පුදුමයට පත් වුණා. එහි දී ඔවුන් දුටුවේ මිරිස් ගලත් ඇඳගෙන කුඹුරට පැමිණ සිටින නන්දිමිත්‍ර ළදරුවා යි. එලෙස කුඩා කලම සිය කාය ශක්තිය පෙන්වූ නන්දිමිත්‍ර, ගැටවර අවදියේත් ගමේ මිනිසුන්ව මවිතයට පත් කළේ ගැලවීමට අපහසු උණ පඳුරක් තනියම ගලවා ඉවත් කිරීමෙන්. පසු කලෙක නන්දිමිත්‍ර අනුරාධපුරයට ගොස් මිත්ත සෙනෙවියාට සේවය කරන්නට වුණා. එම අවදියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට දෙමළ ජනතාව කළ පරිභව දුටු නන්දිමිත්‍ර, රාත්‍රී කාලයේ දී ගොස් දෙමළුන් මරණයට පත් කළා. දිනෙන් දින සිය පිරිස අඩු වන ආකාරය දුටු එළාර රජු, ඒ පිළිබඳව සොයා බලන ලෙස නියම කළා. එලෙස එළාර රජු ලබාදුන් අණ පිළිබඳව ආරංචි වුණු නන්දිමිත්‍ර, අනුරාධපුරයේ සිටීම අවදානම් නිසා මාගම රාජධානිය වෙත පලා ගියා. ඉන්පසුව කාවන්තිස්ස රජු හමුවුණු නන්දිමිත්‍ර, අනුරාධපුරයේ වන විනාශය පිළිබඳව පවසා සිටියා. එය ඇසූ රජතුමා නන්දිමිත්‍රට කඩුවක් මුවහත් කිරීමට දුන්නේ ඔහුගේ හැකියාව මැන බලන අරමුණෙන්. එම අවස්ථාවේ දී පර්වතයක් කපා යන සේ එය මුවහත් කළ නන්දිමිත්‍ර රජුගේ ප්‍රසාදයට ලක් වුණා. ඒ අනුව කාවන්තිස්ස රජුගේ සේනාවට නන්දිමිත්‍රව බඳවා ගනු ලැබුවා. දුටුගැමුණු රජතුමා එළාර සමග කළ විජිතපුර සටනේ දී විශාල මෙහෙයක් කළ නන්දිමිත්‍ර යෝධයාට යුධ ජයග්‍රහණයෙන් අනතුරුව දැදුරු ඔය අසල ගම්වරයක් ද ලැබෙනවා. ඔහු සිය අවසාන කාලය එම ප්‍රදේශයේ ගත කළ බව වංශ කතාවල සඳහන් වනවා.

නන්දිමිත්‍ර යෝධයාගේ පිළිරුවක් (life.nethtv.com)

වේළුසුමන යෝධයා 

ගිරි ජනපදයේ කුටුම්බියංගන නම් ගමේ නායකයා වුණේ, වසභ නම් පුද්ගලයෙක්. ඔහුගේ පුත්‍රයා වුණේ වේළුසුමන යි. වසභගේ මිතුරෙකු වුණු සුමන ජනපද පාලකයා ළග කිසිවෙකුට මෙල්ල කරන්නට බැරි අශ්වයෙකු සිටියා. දිනක් වේළුසුමන එම අශ්වයාව මෙල්ල කරමින් අසු පිට නැගී ගමන් කළා. සිය පුතුගේ හැකියාව දුටු වසභ සහ ඔහුගේ මිතුරු සුමන මවිතයට පත් වුණා. ඉන්පසුව ඔවුන් දෙදෙනා වේළුසුමනව කාවන්තිස්ස රජු ළගට රැගෙන ගියා. එදා සිට කාවන්තිස්ස රජුගේ සේනාවට එකතු වුණු වේළුසුමන යෝධයා දුටුගැමුණු රජුට සිටි හොඳම අසරුවා ලෙසින් සැලකෙනවා. එලෙස දුටුගැමුණු රජුගේ යුධ ජයග්‍රහණය සඳහා සවියක් වුණු වේළුසුමන යෝධයාට වෙරුප්පන්කුලම ගම්මානය ගම්වරයක් ලෙස ලැබුණු බව වංශ කතාවල සඳහන් වනවා.

සුරනිමල යෝධයා 

කඩවිට නම් ගමේ සංඝ නමින් ධනවත් පුද්ගලයකු වාසය කළා. ඔහුට සිටි දරුවන් හත් දෙනාගෙන් බඩපිස්සා නිමල යන නමින් හඳුන්වනු ලැබුවා. එම අවදියේ එළාරගෙන් මාගම රාජධානියට නිතර කරදර සිදුවුණා. එම නිසාම මාගම රාජධානියේ මහවැලි ගඟ අසබඩ සීමාවේ සිංහල හමුදාව රඳවා තිබුණා. එලෙස රඳවා සිටි හමුදාව භාරව සිටියේ දීඝාභය නම් කුමාරයා යි. දිනක් නිමල නම් දරුවා පවුලේ අය සමග උරණ වී දීඝාභය කුමරු හමුවීමට ගියා. එවිට නිමලගෙන් තොරතුරු විමසූ දීඝාභය, එක් කරුණක් නිසා මවිතයට පත් වුණා. ඒ, දොළොස් ගව්වක් ගෙවා නිමල දීඝාභය කුමරු හමුවීමට වරුවකින් පැමිණි ගමන යි. ඉන් අනතුරුව දීඝාභය, නිමල පැවසූ කතාවෙහි ඇත්ත නැත්ත බැලීමට උපායක් යෙදුවා. එහි දී ඔහු මිහින්තලේ සිටි සිය මිතුරෙකුට නිමල අතේ ලියුමක් යවනු ලැබුවා. එලෙස දීඝාභය ලබාදුන් ලියුම ඉතාමත් ඉක්මනින් කුණ්ඩල නම් මිතුරා වෙත ලබාදුන් නිමල තිසා වැවෙන් දිය නා, ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන නැවත දීඝාභය වෙත පැමිණීමට ගත කළේ දින භාගයක් පමණ යි. එදා නිමල කළ හපන්කම ගැන පුදුමයට පත් දීඝාභය, ඔහුව කාවන්තිස්ස රජු වෙතට යොමු කළා. දිනක් දුටුගැමුණු රජතුමා රා දහසය නැළියක් පිර වූ බඳුනක් පානය කිරීම සඳහා අභියෝගයක් ලබාදුන්නා. එදා එම අභියෝගය භාරගත් නිමල, එය සාර්ථකව නිම කළ නිසා ඔහු සුරනිමල ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. දුටුගැමුණු රජතුමාට විජිතපුර සටනේ දී විශාල සවියක් ලබාදුන් සුරනිමල යෝධයා සිය ජීවිතයේ අවසන් කාලය ධාර්මිකව ගත කළ බව සඳහන් වනවා.

ගෝඨයිම්භර යෝධයා 

ගිරි ජනපදයේ නිසෙල්විටිය නම් ගමේ සිටි මහානාග නම් පුද්ගලයාට පුතුන් 7ක් සිටියා. ඉන් බාලම පුත්‍රයා වුණු ගෝඨ, නිකරුණේ කාලය කා දමමින් සිටියා. එම නිසාම ඔහුගේ සහෝදරයින් මවට චෝදනා කළේ ගෝඨ කිසිදු ගොවිතැන් වැඩකට සහාය නොවන බව කියමින්. එලෙස සිය සහෝදරයන් කළ චෝදනාවෙන් ලැජ්ජාවට පත් ගෝඨ, පසුදින උදෑසනින්ම හේනට ගොස් සිය සහෝදරයන් දින ගණනාවක් කළ වැඩ එක දවසින් නිම කළ නිවසට පැමිණියා. එදා ගෝඨ කළ දස්කම අසා කාවන්තිස්ස රජු ඔහුව මාළිගාවට කැඳවනු ලැබුවා. විජිතපුර සටනේ දී පොල් ගසක් උදුරාගෙන සිය සතුරන්ට පහර පිට පහර එල්ල කළ ගෝඨයිම්භර යෝධයාට යුධ ජයග්‍රහණයෙන් පසුව විශාල සම්පත් ප්‍රමාණයක් හිමි වුණු බව වංශ කතාවල සඳහන් වනවා. 

ඵුස්සදේව යෝධයා 

සිතුල්පව්ව විහාරය අසල ගොඩිගමුව නම් ගම, ඵුස්සදේව යෝධයාගේ උපන් ගම යි. දිනක් ගමේ පන්සලේ බෝධිය අසල තිබුණු හක්ගෙඩියක් දුටු ඵුස්සදේව, එය රැගෙන පිම්බ විට විශාල හඬක් නැඟුණා. ඉන් නැඟුණු හඬට මිනිසුන් මෙන්ම වනයේ සිටි සත්ත්වයෝ ද භියට පත් වුණු බව සඳහන් වනවා. එලෙස ඵුස්සදේව දැක්වූ දස්කම් ගැන කාවන්තිස්ස රජතුමාට ආරංචි වුණු නිසා ඔහුව සිය සේනාවට බඳවා ගනු ලැබුවා. එළාර සමග කළ සටනේ දී හක්ගෙඩියෙන් පිඹ ප්‍රතිවාදී සේනා භිය ගැන්වූ ඵුස්සදේව, දුනු ශිල්පයටත් හපන්කම් පෑවා. යුධ ජයග්‍රහණයෙන් පසුව ඵුස්සදේව යෝධයාට පල්ලෙබැද්ද ප්‍රදේශයෙන් ගම්වරයක් හිමි වුණා. ඉන්පසුව ඔහු, එම ප්‍රදේශයේ සංඛපාල නම් විහාරය ගොඩනැඟූ බව ජනප්‍රවාදවල සඳහන් වනවා. එසේම, ඵුස්සදේව යෝධයාගේ සොහොනත් සංඛපාල විහාරය අසල ම පිහිටා තිබෙනවා.

සංඛපාල විහාරය (E-Thaksalawa)

ලභියවසභ යෝධයා 

රුහුණු රටේ පිහිටි විහාරවාපී නම් ගම්මානයේ ලභියවසභ නම් තරුණයෙක් සිටියා. එකල මෙම විහාරවාපී ගමට විශාල ජල හිඟයක් තිබුණා. එම නිසාම ගොවිතැනින් ජීවත් වුණු එම ගම්මානයේ ජනතාව දැඩි පීඩාවට පත් වුණා. එලෙස සිය ගමේ ජනතාව අසරණව සිටි අවස්ථාවේ ඔවුන්ට පිහිට වුණු ලභියවසභ මිතුරන් සමග එක්ව වැවක් කැපීමට පටන් ගත්තා. එම කාර්යය සිදුවන අතරතුර ලභියවසභගේ මිතුරන් වෙහෙසට පත් වුණත් ලභියවසභ වෙහෙසට පත් වුණේ නැහැ. අවසානයේ දී ඔහු තනියම වැව කපා කුඹුරු අස්වද්දනු ලැබුවා. එදා ලභියවසභගේ හපන්කම් ගැන කාවන්තිස්ස රජතුමාටත් ආරංචි වුණා. ඉන්පසුව කාවන්තිස්ස රජතුමා, ඔහුව සිය සේනාවට එකතු කර ගත්තා. එලෙස සේනාවට එක් වුණු ලභියවසභ යෝධයාට කඩු සහ දුනු ශිල්ප පුරුදු කළේ වේළුසුමන යෝධයා විසින්.

ඛඤ්ඡදේව යෝධයා 

ගිරි ජනපදයේ මී ඔය ග්‍රාමයේ උපන් ඛඤ්ඡදේවගේ එක කකුලක කොරයක් තිබුණා. නමුත්, දිවීමට සහ පැනීමට දස්කම් දැක්වූ ඛඤ්ඡදේව, වල් මී හරක් කකුල් දෙකෙන් ඔසවා හිස වටා කරකවා ඈතට විසි කිරීමට හපනෙකු වුණා. එසේම කඩු සහ දුණු ශිල්පයටත් දස්කම් දැක්වූ ඛඤ්ඡදේව ගැන කාවන්තිස්ස රජුට ආරංචි වී ඔහුව සිය සේනාවට එකතු කරගත්තා. විජිතපුර සටනේ දී ඛඤ්ඡදේව යෝධයා සිය සතුරන්ව කකුල් දෙකෙන් අල්ලා ඈතට විසි කළ බව ඉතිහාසයේ සඳහන් වනවා. එසේම යුද්ධය අවසන් වීමෙන් පසුව මොහු ධාර්මික දිවි පෙවතක් ගත කළ බව ඉතිහාස කතාවල සඳහන් වනවා.

මහාසෝණ යෝධයා 

කරවිට නම් ගමේ උපන් මහාසෝණ, නන්දිමිත්‍ර මෙන්ම මනා කාය ශක්තියකින් යුතු පුද්ගලයෙකු වුණා. තල්, සහ පොල් ගස් උදුරා දමන්නට සමතෙකු වුණු මොහුගේ දස්කම් කාවන්තිස්ස රජුට ආරංචි වුණා. එම නිසාම දුටුගැමුණු රජතුමාගේ සේනාවට එකතු කර ගත් මහාසෝණ විජිතපුර සටනේ දී බාහුවෙන් ඇණ පවුර බිඳ තල් ගසක් උදුරාගෙන සතුරාට පහරදුන් බව සඳහන් වනවා.

ථේරපුත්තාභය යෝධයා 

රුහුණු රටේ තිබුණු කත්ති ග්‍රාම ගමේ රෝහණ නම් ප්‍රභූවරයෙක් වාසය කළා. ඔහුගේ පුතා වුණු අභයට අවුරුදු 12 වන විට විශාල කාය ශක්තියක් තිබුණා. එම අවදියේ ඔහු යකඩ පොල්ලකින් තල්, පොල් ගස්වලට ගසා බිම දැමූ බව සඳහන් වනවා. නමුත් පසුකලෙක, මහණ වුණු අභයට අහම්බෙන් ගෝඨයිම්භර යෝධයා මුණ ගැසුණේ කප්පරකන්ද පන්සලේ දී යි. එදා ථේරපුත්තාභය හිමිගේ දස්කම් දුටු ගෝඨයිම්භර ඒ පිළිබඳව කාවන්තිස්ස රජතුමාට දැනුම් දුන්නා. ඉන්පසුව රජු, සිය සේනාවට එක් වන ලෙස ථේරපුත්තාභයට ආරාධනා කළත්, ඔහු එම ආරාධනා කිහිපවරක්ම ප්‍රතිකේෂ්ප කළා. නමුත් පසුකලෙක, රට ජාතිය බේරාගැනීම වෙනුවෙන් සටන් බිමට පිවිසි ථේරපුත්තාභය යෝධයා විජිතපුර සටනේ දී විශාල යගදාවකින් සතුරන්ට පහරදුන් බව සඳහන් වනවා. සටනින් පසුව ලැබුණු සියලුම තනතුරු, තෑගි-භෝග ප්‍රතිකේෂ්ප කළ මොහු නැවත මහණ වී රහත් වුණු බව ඉතිහාස කතාවල සඳහන්.

මහා භරණ යෝධයා 

මහා භරණ යෝධයාට ද කුඩා කල සිටම විශාල කාය ශක්තියක් තිබුණා. හාවුන් පසුපස පන්නා ගොස් පයින් ගසා මරා දැමීමටත්, මුවන්ගේ කකුල් දෙකින් අල්ලා පොළවේ ගැසීමටත් ඔහු හපනෙකු වුණා. එසේම ගමේ තිබුණු කුඹුරුවලට එන වල් ඌරන් කරකවමින් පොළවේ ගැසූ මොහුගේ කාය ශක්තිය ගැන කාවන්තිස්ස රජතුමාට අසන්නට ලැබුණා. ඉන්පසුව, මහා භරණගේ කාය ශක්තිය පරීක්ෂා කිරීමට රජතුමා උපායක් යෙදුවා. ඒ, හීලෑ නොවුණු දරුණු අශ්වයෙක් පෙන්වා එම අශ්වයාව බැඳ දමන මෙන් නියෝග කිරීමෙන්. එම අවස්ථාවේ දී වේගයෙන් අසු පිටුපස පන්නා ගිය මහා භරණ, අශ්වයාව මෙල්ල කරගත්තේ සියල්ලන්ම මවිත කරමින්. එලෙස මහා භරණ දැක්වූ දස්කම් නිසාම ඔහුවත් රජුගේ සේනාවට එකතු කරගත්තා. 

කවරයේ ඡායාරූපය- එළාර-දුටුගැමුණු යුද්ධයේ අවස්ථාවක් (Twitter)

මූලාශ්‍රයය- මහාවංශය