තායි රජ පවුලේ කුමරකුට දුන් මාතර ගල්ගොඩියාන දූපත

ගල්ගොඩියාන දූපත පිහිටා තිබෙන්නේ මාතර, පොල්හේන මුහුදු තීරයට යාබදව යි. ගොඩබිම් ප්‍රදේශයේ ජීවත් වූ අතීත ගැමියන් සර්පයන් සහ මෘත ශරීර බැහැර කිරීමට මෙම දූපත යොදාගෙන තිබෙන්නේ. පසුකාලීන ව, මෙරටට පැමිණ පැවිදි වූ තායිලන්ත රජ පවුලේ කුමාරයෙක් මෙම දූපත සිය වාසභූමිය බවට පත් කරගන්නවා. මෙම ලිපියෙන් අපි, ඒ අපූරු දූපත හා තායිලන්ත රජ කුමරා ගැන සොයා බලමු.

දූපත ඈතට දිස්වන අයුරු – serandib.btoptions.lk

දූපතේ පිහිටීම සහ ඉතිහාසය

මාතර දිස්ත්‍රික්කයේ, පරමුල්ල ග්‍රාමයේ සිට මුහුද දෙසට වන්නට පිහිටා ඇති මෙම දූපතට ‌බෝට්ටුවකින් තමයි ගමන් කරන්න වෙන්නෙ. 1766 වසරේ දී ‘වෑන් ඩෝසර්’ නැමැත්තකු මෙරට දකුණු දිග මුහුදු තීරය සිතියමට නඟන අවස්ථාවේ දී වෙරළ ආසන්නයේ මුහුද දෙසට නෙරා ගිය භූමියක් ‘ගල්ගොඩියාන’ ලෙස නම් කර ඇති බව යි මෙහි ඉතිහාසය පිරික්සීමේ දී අනාවරණය වන්නේ.

දීර්ඝ කාලයක් තිස්සේ මුහුදු කෑමට ලක්වීම හේතුවෙන් ඊට වසර ගණනාවකට පසුව එම භූමිය දූපතක් බවට පත් වූ බව යි මූලාශ්‍රවල හි සඳහන් වන්නේ. වර්ෂ 1900ට පෙර යුගයේ දී මෙය හුදෙකලා දුපතක් ලෙස යි පැවත තිබෙන්නේ.

 ප්‍රිස්දාන් චුම්සායි කුමරු හා ඔහුගේ මුල් අවධිය

තායිලන්තයේ තුන්වැනි රාම හෙවත්, නංක්‌ලාඕ රජුගේ මුණුබුරකු ලෙස 1851 වසරේ පෙබරවාරි මස 23 දින යි ප්‍රින්ස්ඩන් චුම්සායි කුමරු උපත ලබන්නේ. ඔහුගේ පියා ක්‍රොම් ඛුන් රාජ්සිහවික්‍රොම් කුමරුන් වූ අතර, මව වූයේ මොම් නොයි චුම්සායි නා අයුධ්‍යා කුමරිය යි. පසුකාලීන ව තායිලන්තයේ රජ බවට පත් සතරවන රාම හෙවත් මොංකුට්‌ රජුගේ ඥාති මුණුබුරකු වූ ප්‍රිස්‌දාන් කුමරු, පස්‌වන රාම හෙවත් චූලාලංකාර රජුගේ ද (1868-1910) ඥාති පුත්‍රයකු වනවා.

රජ පවුලේ සාමාජිකයකු වීම නිසා වෙනත් රටකට ගොස් අධ්‍යාපනය ලබාගැනීමේ වරප්‍රසාදය ප්‍රිස්‌දාන් කුමරුට හිමි වනවා. සිංගප්පූරුවේ දී මූලික අධ්‍යාපන ලබන ඔහු, 1871 වසරේ දී උසස්‌ අධ්‍යාපන කටයුතු සඳහා මහා බ්‍රිතාන්‍යයට එනවා. එහි දී එංගලන්තයේ ප්‍රකට උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ වූ කින්ග්ස් කොලේජ් වෙත බැඳුණු ඔහු, 1876 වසරේ දී  ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක්‌ ලබාගන්නේ, උසස් ප්‍රතිඵල සමඟ විශේෂ ඇගයුම් ද සහිත ව යි. ඒ අනුව, යුරෝපීය විශ්වවිද්‍යාලයකින් උපාධියක්‌ හිමි කරගත් ප්‍රථම සියම් ජාතිකයා වීමේ භාග්‍යය ද ප්‍රිස්දාන් කුමරුට හිමි වනවා.

තායිලන්ත තානාපති ධූරයට

ඔහු, 1881 වසරේ දී එංගලන්තයේ පළමු ස්ථිර සියම් තානාපති කාර්යාලය පිහිටුවනවා. ඊළඟ වසර පහ ඇතුළත ඔහු, යුරෝපීය රටවල් එකොළහක් සහ අමෙරිකා එක්සත් ජනපදය සමඟ තානාපති සබඳකම් අරඹා, එම රටවල තායිලන්ත තානාපති ධූරයට ද පත් වෙනවා.

එහි දී යුරෝපයේ තායිලන්ත තානාපතිවරයා වශයෙන් විදෙස්‌ රටවල සහයෝගය තම රටේ දියුණුව උදෙසා යොදාගැනීම පිළිබඳ ව ප්‍රිස්‌දාන් කුමරුගේ අවධානය යොමු වෙනවා. 1855 වසරේ දී බ්‍රිතාන්‍ය රජය සමඟ ඇති කරගෙන තිබූ එකඟතා සංශෝධනය කොට තායිලන්තය තුළ තැපැල් හා විදුලි පණිවිඩ සේවාව ස්‌ථාපනය කිරීමට ඔහුට හැකියාව ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක්‌ විදිහට යි. එරටට විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා ද ඔහු පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා.

 ප්‍රිස්දාන් කුමරු පැවිදි දිවියට

මේ කාලය වන විට ශ්‍රි ලංකාවේ ‌බෞද්ධ ව්‍යාපාරයට නව පුනර්ජීවයක් ලැබී තිබුණා. බෞද්ධ පුනරුදයේ පුරෝගාමී මෙහෙවරක් කළ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද නාහිමියන් හමුවීමට ප්‍රිස්දාන් කුමරු මෙරටට පැමිණෙන්නේ 1886 වසරේ දී යි. මහා බ්‍රිතාන්‍යය බලා පිටත් ව යන අතරවාරයේ දී මෙරටට පැමිණි කුමරු, එහි දී නාහිමියන් පිළිබඳ ව පැහැදී තමා ද විවේකී අවස්‌ථාවක ලංකාවට පැමිණ උන්වහන්සේ සමීපයේ පැවිදි වන බව පවසනවා.

මේ කාලයේ දී තායිලන්තයේ ස්වාධීන දේශපාලන බලය රැකගැනීමේ අරමුණින් ප්‍රිස්‌දාන් කුමරු, නව ව්‍යවස්‌ථා කෙටුම්පතක් සහ යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. මේ පිළිබඳ අප්‍රසාදයට පත් චූලාලංකාර රජු 1886 වසරේ දී තානාපති සේවයෙන් ඉවත් ව, වහාම තායිලන්තයට පැමිණෙන ලෙස ප්‍රිස්දාන් කුමරුට නියෝග කරනවා. තායිලන්තයට ආපසු පැමිණීමෙන් පසුව තැපැල් හා විදුලි සන්දේශ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජෙනරාල්වරයා වශයෙන් ඔහු පත් කෙරෙනවා.

ජිනවරවංස හිමි – ගිහි කල සහ පැවිදි දිවියට පත් වූ පසු – දිවයින

එම ධූරයේ කටයුතු මහත් කැපවීමෙන් සිදු කර ගෙන යන අතරතුර 1890 වසරේ දී චූලාලංකාර රජු බලයෙන් පහකර සිහසුන අත්කර ගැනීමට උත්සාහ දැරුවේ යැයි ප්‍රිස්දාන් කුමරුන්ට විරුද්ධ ව රාජද්‍රෝහී චෝදනා එල්ල වන්නේ කිසිවකු නොසිතූ ලෙස යි. එය එකහෙළා ප්‍රතික්‌ෂේප කළ කුමරු, තායිලන්තයෙන් පිටත් ව ඉන්දියාවට සම්ප්‍රාප්ත වෙනවා. කලක්‌ ඉන්දියාවේ ගත කළ ඔහු, පැවිදි වීමේ බලාපොරොත්තුවෙන් 1896 වසරේ දී ලංකාවට පැමිණෙනවා. ඒ වන විටත් මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් අපවත් වී වසර හයක්‌ පමණ ගත වී තිබුණා.

එම නිසා එවකට වැඩ විසූ සුප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් වූ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක, වස්‌කඩුවේ ශ්‍රී සුභූති මහ නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස ප්‍රිස්‌දාන් චුම්සායි කුමරු පැවිදි දිවියට එළඹෙනවා. ඒ, 1896 වසරේ නොවැම්බර් මස 5 වැනිදා වස්කඩුවේ අභිනවාරාමයේ දී යි. ඉන් අනතුරුව, උන්වහන්සේ ජිනවරවංස නාමයෙන් හඳුන්වන ලද අතර මෙරට පොදු මහජනතාව ‘සියම් කුමාර හාමුදුරුවෝ’ යන නාමය ද උන්වහන්සේ වෙනුවෙන් ගෞරව පූර්වක ව භාවිත කළා.

ගල්ගොඩියාන දූපතට පැමිණ ගත කළ ජීවිතය

1900 වසරේ දී ආරණ්‍යවාසී දිවියක්‌ ගත කිරීමේ අපේක්‌ෂාවෙන් ජිනවරවංස හිමි, ගල්ගොඩියාන දූපත බලා වැඩම කර තිබෙනවා. පෙර සඳහන් කළ පරිදි එම යුගය වන විට මෙම දූපත ගම්වාසීන් විසකුරු සර්පයන් මුදාහැරීම සඳහා සහ මෘත ශරීර බැහැර කරලීම සඳහා යොදාගත් නිසා, ජිනවරවංස හිමියන් එම පරිසරය ස්වකීය විදර්ශනා භාවනාව දියුණු කිරීම සඳහා යොදා ගෙන ඇති බව කියැවෙනවා. පසුව, උන්වහන්සේගේ ගිහි කල තොරතුරු මෙන්ම පැවිදි ජීවිතය ගැන පැහැදුණු ගම්වැසියන් මෙම දූපත උන්වහන්සේට පූජා කරනවා.

ඒ වන විට තමන් හා අමනාප ව සිටි තායිලන්තයේ චූලාලංකාර රජුට ගෞරව දැක්වීමට හා ඔහු සිහිපත් වීම පිණිස ජිනවරවංස හිමියන් මෙම දූපත “චූල ලංකා” යනුවෙන් හඳුන්වා තිබෙනවා. උන්වහන්සේ මෙම දූපතේ තායි ශෛලියට අනුව දාගබක් නිර්මාණය කොට, කළුගල් යොදාගෙන කුටියක් ද නිර්මාණය කරනවා. උන්වහන්සේට දූපතේ සිට මෙගොඩට වැඩම කිරීම සඳහා ගල් යොදා සකස් කරගත් මාර්ගයක් ද තිබූ බව යි ගම්වාසීන් පවසන්නේ.

ජිනවරවංස හිමි වැඩ විසූ කුටියේ නටබුන් – serandib.btoptions.lk

ගල්ගොඩියාන දූපතට පැමිණ ගත කළ ජීවිතය

1900 වසරේ දී ආරණ්‍යවාසී දිවියක්‌ ගත කිරීමේ අපේක්‌ෂාවෙන් ජිනවරවංස හිමි, ගල්ගොඩියාන දූපත බලා වැඩම කර තිබෙනවා. පෙර සඳහන් කළ පරිදි එම යුගය වන විට මෙම දූපත ගම්වාසීන් විසකුරු සර්පයන් මුදාහැරීම සඳහා සහ මෘත ශරීර බැහැර කරලීම සඳහා යොදාගත් නිසා, ජිනවරවංස හිමියන් එම පරිසරය ස්වකීය විදර්ශනා භාවනාව දියුණු කිරීම සඳහා යොදා ගෙන ඇති බව කියැවෙනවා. පසුව, උන්වහන්සේගේ ගිහි කල තොරතුරු මෙන්ම පැවිදි ජීවිතය ගැන පැහැදුණු ගම්වැසියන් මෙම දූපත උන්වහන්සේට පූජා කරනවා.

ඒ වන විට තමන් හා අමනාප ව සිටි තායිලන්තයේ චූලාලංකාර රජුට ගෞරව දැක්වීමට හා ඔහු සිහිපත් වීම පිණිස ජිනවරවංස හිමියන් මෙම දූපත “චූල ලංකා” යනුවෙන් හඳුන්වා තිබෙනවා. උන්වහන්සේ මෙම දූපතේ තායි ශෛලියට අනුව දාගබක් නිර්මාණය කොට, කළුගල් යොදාගෙන කුටියක් ද නිර්මාණය කරනවා. උන්වහන්සේට දූපතේ සිට මෙගොඩට වැඩම කිරීම සඳහා ගල් යොදා සකස් කරගත් මාර්ගයක් ද තිබූ බව යි ගම්වාසීන් පවසන්නේ.

ජර්මානු ජාතික ඤාණාතිලෝක හිමි – Facebook- Bhikku Nayanaruchi

එහි දැක්‌වෙන අන්දමට, පොල් අතු සෙවිලි කළ මඩුවල යි උන්වහන්සේලා වාසය කර තිබෙන්නේ. පසුව, මෙම ස්වාමීන් වහන්සේලා පිළිබඳ ව දැනගත් ඕලන්ද ජාතික ධනවත් වෙළෙන්දකුගේ පුත්‍රයකු වූ ඕලන්ද ජාතික ෆ්‍රාන්ස් බර්ජෙන්ඩාල් සහ ජර්මානු ජාතික ෆ්‍රිට්ස් ස්ටැන්ජ් යන දෙදෙනා දූපතට පැමිණ පැවිදි වීමට අයැද සිටිනවා. ඒ අනුව, ෆ්‍රාන්ස් බර්ජෙන්ඩාල් ‘සුඤ්ඤ’ යන නමින් ද ෆ්‍රිට්ස් ස්ටැන්ජ් ‘සුමන’ යන නමින් ද පැවිදි දිවියට පත් වෙනවා. එම පැවිදි උලෙළ උත්කර්ෂවත් ව පැවැත්වූ බව යි ඤාණාතිලෝක හිමියන්ගේ චරිතාපදානයේ සඳහන් වන්නේ.
ජිනවරවංස හිමියන් මෙම දූපතේ වැඩ වසන බව දැනගත් උන්වහන්සේ පෙර සිට දැන හැඳින ගෙන සිටි ජර්මනියේ ඔටුන්න හිමි කුමරිය වූ ලුවී ෂෙල්ස්විග් – හෝල්ස්ටීන් කුමරිය ද, එවකට ලංකාණ්‌ඩුකාර ශ්‍රීමත් හෙන්රි බ්ලේක්‌ සහ ඊඩිත් බ්ලේක්‌ ආර්යාව ද මෙම දූපතට පැමිණ උන්වහන්සේ බැහැදැක ගිය බවට තවදුරටත් සඳහන් වෙනවා.

දූපතෙහි පසුකාලීන තත්ත්වය

1906 වසරේ දී ඤාණතිලෝක හිමියන් ස්වකීය මව්පියන් බැහැදැකීමේ අරමුණෙන් ජර්මනිය බලා වැඩම කළ අතර, සුමන හිමියන් ද රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට උන්වහන්සේ සමඟ ජර්මනිය බලා වැඩම කරනවා. සුඤ්ඤ හිමියන් ද පසුකාලීන ව එම දූපතෙන් පිටව ගොස් ඇති බව කියැවෙනවා.

ජිනවරවංස හිමියන් වස්‌කඩුවේ ශ්‍රී සුභූති මහනායක හිමියන්ගේ ඉල්ලීම පරිදි කොටහේන දීපදුත්තමාරාමයේ විහාරාධිපති ධූරය භාරගෙන එහි වැඩ වසනවා. 1911 වසරේ දී ඤාණතිලෝක හිමියන්, ලුඩ්විග් ස්ටෝග් නමැත්තකු ‘වප්ප’ නමින් ගාල්ලේ දී පැවිදි කරනවා. පසු කාලයේ දී ගල්ගොඩියාන ආරණ්‍යයේ නිත්‍යවාසී භික්ෂුව ලෙස වැඩ වසන්නේ උන්වහන්සේ යි. පළවෙනි ලෝක යුද සමයේ දී යුද ඔත්තු සැපයීමේ වරදට ගල්ගොඩියාන දූපත වටලා වප්ප හිමියන් අත්අඩංගුවට ගැනුණු අතර එයින් පසුව දූපත ජනශූන්‍ය වූ බව යි සඳහන් වන්නේ.

ඉහළ අහසට දූපත දිස්වන අයුරු – YouTube- Sihina Lahiru

ජිනවරවංස හිමියන් උපැවිදි වීම

 1911 වසරේ දී ජිනවරවංස හිමියන් චූලාලංකාර රජුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා තායිලන්තය බලා යනවා. තායි රජ පවුලේ බලපෑම් මත උන්වහන්සේට උපැවිදි වීමට සිදුවන්නේ එවිට යි.  ඔහුට ලංකාව බලා ඒමට තිබූ අවසරය පවා නව තායිලන්ත රජු අවලංගු කළ බව පැවසෙනවා. තායිලන්තයේ මෙන්ම කලක් ජපානයේ ද වාසය කළ ප්‍රිස්දාන් කුමරු, 1935 මාර්තු 16 දින බැංකොක් නුවර දී අභාවයට පත් වෙනවා.

වර්තමාන තත්ත්වය

2004 දෙසැම්බර් 26 වැනි දින ඇති වූ සුනාමි ව්‍යසන අවස්ථාවේ දී මෙම දූපතෙහි වූ පුරාවිද්‍යාත්මක ස්මාරකවලට සැලකිය යුතු හානියක් සිදුවුණා. මේ වන විට දූපතෙහි ඇති තායි ශෛලියෙන් ඉදිකොට ඇති දාගබ ද පුරාවස්තු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු වී තිබෙනවා. ස්වභාව සෞන්දර්යය අතින් අතිශය වැදගත්කමක් උසුලන මෙම දූපත, තායි – ලංකා සබඳතාවට කදිම නිදසුනක් වන හෙයින් මෙය විනාශ වීමට නොදී රැකගැනීම අප සැමගේ වගකීමක්.

කවරයේ පින්තූරය- පරමුල්ල වෙරළට දිස්වන ගල්ගොඩියාන දූපත සහ චෛත්‍යය/ Facebook- Pasan Ganegama

මූලාශ්‍ර-

සිරිලක පැවිදි වූ සියම් රජ කුමරු - හසිත චාමිකර ගුණසිංහ

මොහොට්ටිවත්තේ  ශ්‍රි ගුණානන්ද ආපදානය - විමල් අභයසුන්දර

සිරිදම්රැකි සඟ පරපුර - තංගල්ලේ දිරිලකුරු හිමි

Related Articles