ජර්මානු ‘පියාඹන නැවේ’ ඛේදවාචකය

1930 දශකය වන විටත් ලොව බොහෝ අන්තර්-මහාද්වීපික ගමන් සිදුවූයේ මුහුදු මාර්ගය ඔස්සේ යි. කෙසේ නමුත් මේ වන විට, ඊට වඩා කාර්යක්ෂම ක්‍රමයක් ලෙස ‘පියාඹන නැව්’ හෙවත් හයිඩ්‍රජන් වායුව පිරවූ විශාල බැලූන සහිත ගගන යාත්‍රා කරළියට පැමිණ තිබුණා. ජර්මනිය මෙහි මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර, ඒවා අත්ලාන්තික් සයුර හරහා මිනිසුන් රැගෙන යන්නට ඉතා සුදුසු බවට එකල විද්‍යාඥයින් කිහිපදෙනෙක්ම නිරිදේශ කර තිබුණා. තත්ත්වය එසේ තිබිය දී, මෙහි සුලු දෝෂයකින් මහත් වූ ව්‍යසනයක් සිදුවිය හැකි බවටත් සමහර විද්‍යාඥයින් අනතුරු අඟවා තිබුණා.

උක්ත වර්ගයේ යානා වර්තමානයේ භාවිතා වන ගුවන්යානාවලට වඩා බොහෝ සෙයින් විශාල වුණා. 1936 වසරේ මාර්තු මාසයේ කරළියට ආ ‘හින්ඩන්බර්ග් යානය’ උක්ත ආකාරයේ යානා කුලකයේ විශාලතම මෙන්ම ජනප්‍රියතම සාමාජිකයෙක් වුණා. මෙම යානයේ ඇති බැලූනයේ ඝණ අඩි ම්ලියන 7ක හයිඩ්‍රිජන් අන්තර්ගත වුණා. මෙහි දිග අඩි 804ක්. මෙය හැසිරවීමත් එතරම් පහසු වුණේ නැහැ. කෙසේ නමුත් අත්හදා බැලීම් හා මූලික ගුවන් සවාරි කරදරයකින් තොරව සාර්ථකව සිදුවීම නිසා එහි ගැබ් වී තිබූ අවදානම බොහෝ දෙනාට අමතක වුණා. සියල්ල සතුටුදායකව තිබූ පසුබිමක, ඇමෙරිකාවේ නිව් ජර්සි බලා යන්නට 1937 වසරේ මැයි මස 3 වනදා මේ යානය ඉරණම් ගමනක් පිටත් වෙනවා. ඉතා සාර්ථක ලෙස අත්ලාන්තික් සාගරය තරණය කරන එය මැයි මස 6 වනදා, නිව්ජර්සි හි ගුවන් තොටට ගොඩබස්වන්නට සූදානම් වෙනවා. මීළඟ විනාඩි කිහිපයේ සිදුවන සිදුවීම ලොව ගුවන්යානා ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරනු ඇති බව හා වායු බැලූන මඟින් ක්‍රියාත්මක වෙන ‘පියාඹන නැව්’වල අවසානය සනිටුහන් කරනු ඇති බැව් කිසිවෙකුත් සිතන්නට නැතුවැති.

(හින්ඩන්බර්ග් යානය- airships.net)

හින්ඩන්බර්ග් නම් සුඛෝපභෝගී පියාඹන නැව

හින්ඩන්බර්ග් සැලකෙන්නේ ලොව එදාමෙදා තුරා නිපදවන ලද විශාලතම ගගන යාත්‍රාව ලෙස යි. වටකුරු, ටෝපිඩෝවක හැඩ ගත් මෙහි දිග අඩි 804ක් හෙවත් මීටර 245ක්. එමෙන්ම මෙහි විෂ්කම්හය මීටර 41.2ක් හෙවත්, අඩි 135ක් වනවා. මේ අගයන්ට අනුව එය වර්තමාන බෝයිං 747කට වඩා තුන් ගුණයක් පමණ විශාල වුණා. වේගයෙන් ගමන් කළ හැකි මෙහි උපරිම වේගය දැක්වුණේ පැයට සතපුම් 153ක් ලෙස යි.

ඉතා සුඛෝපභෝගී ලෙස හින්ඩන්බර්ග් හි අන්තර්ගතය නිමවා තිබුණා. මෙහි, වායු සමීකරණය කරන ලද කුටි රාශියක් තිබූ අතර, එහි ඇඳන් 72ක් තිබුණා. සුඛෝපභෝගී කෑම කාමයරයක්, විසිත්ත කාමර, මත්පැන් හල්, දුම්පානය කිරීමේ කාමර වැනි දේ ද එහි තිබුණා. එමෙන්ම මෙහි සිට අවට සිරිය නැරඹිය හැකි අන්දමින් ආසන නිමවා තිබුණා. මෙහි ඇඳන්, පුටු වැනි දේ බරින් අඩු ඇලුමිනියම්වලින් නිපදවා තිබූ අතර, දුම්පානය කරන කාමරය ඉතාමත් ආරක්ෂිත ලෙස නිපදවා තිබුණා. මෙය නම් කර තිබුණේ කෘතහස්ථ ජර්මානු ජනපති වරයෙකු වූ පෝල් වොන් හින්ඩන්බර්ග් හට උපහාරයක් වන ලෙස යි.

1936 වසරේ මාර්තු මස සිය ප්‍රථම චාරිකාව ගිය හින්ඩන්බර්ග් යානය, ඉන් අනතුරුව දීර්ඝ චාරිකා 60කට වඩා නිරුපද්‍රිතව සිදුකළා. එහි දී කිහිප විටක්ම එය අත්ලාන්තික් සාගරය තරණය කළා.

අනතුර

1937 වසරේ මැයි මස 3 වනදා ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆ්‍රට් නුවරින් හින්ඩන්බර්ඩ් යානය ඇමෙරිකාව බලා පිටත් වුණා. ගමන පුරාවටම කිසිදු අපහසුවක් සිදුනොවුණු මුත් සුළං හැමීම එතරම් වේගයෙන් සිදුනොවීම නිසා එය ඇමෙරිකාවේ නිව් ජර්සියට ළඟා වන විට, නියමිත වේලාවට වඩා පැය 12ක් ප්‍රමාද වී තිබුණා. කෙසේ නමුත්, එය නිව් ජර්සියට ළඟා වූ මැයි මස 6 වනදා එහි කාලගුණය නම් එතරම් යහපත් මට්ටමක පැවතියේ නැහැ. දිගින් දිගටම වර්ෂාව පැවතීම නිසා එම තත්ත්වය යහපත් වන තුරු යානය ගොඩබැස්වීමට තැත් නොකර ඔබමොබ ගමන් කරමින් සිටින්නට එහි කාර්යමණ්ඩලය තීරණය කරනවා.

වේලාව රාත්‍රී 7 වන විටත් කාලගුණ තත්ත්වය යහපත් නොවූයෙන්, යම් අවදානමක් ගෙන යානය ගොඩබස්වන්නට තීරණය කෙරුණේ, කාලගුණය තවත් අයහපත් වුවහොත් ගුවනේ රැඳී සිටීම ඊටත් වඩා අවදානම් වූ නිසා යි. මේ අනුව යානය බිම් මට්ටමේ සිට අඩි 180ක් දක්වා පහත් කරනු ලබනවා.

යානය පහත් කරද්දිම එහි යම් ගැස්මක් ඇති වන අතර, කෙටි වේලාවකින් එහි හයිස්ඩ්‍රජන් බැලුනයෙන් ගිනිදැල් මතුවන්නට පටන්ගන්නවා. අනතුරුව පාලනයෙන් ගිලිහෙන එය, නාසය උඩට සිටින පරිදි බිමට කඩා වටෙන්නේ ගිනිදැල්වලින් සම්පූර්ණයෙන් වෙළෙමින් තිබිය දී යි.

(හින්ඩන්බර්ග් යානය ගොඩබස්වා ඇති විටෙක- earlofcruise.blogspot.com)

තත්පර 34ක කාලයක් තුළ දී යානය සම්පූර්ණයෙන් ගිනිගෙන දැවෙනවා. ගිනි නිවීමේ අංශ හැකි ඉක්මණින් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ ක්‍රියාත්මක වූවත්, අනතුරේ ක්ෂණික ස්වභාවය නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට නොහැකි වෙනවා. යානයේ ඒ වන විට ගමන් කරමින් සිටි 97කගෙන් දිවි බේරාගැනීමට සමත්ව තිබුණේ 62ක පමණයි. ඒ අතරින් කිහිපදෙනෙක් ද බරපතල ලෙස තුවාල ලබා තිබුණා.

එකල මෙවැනි ගුවන් යානයක් ගොඩබැස්වීම සුවිශේෂී සිද්ධියක් වූ නිසා, මේ අනතුර සිදුවන මොහොතේ දී කැමරාකරුවන් කිහිපදෙනෙකුම එහි පැමිණ සිටියා. මේ නිසා මේ අනතුර කැමරා කාචවල රූගත වී තිබෙනවා.

අනතුරට හේතුව

හින්ඩන්බර්ග් අනතුරෙන් පසු වහාම ඒ ගැන පර්යේෂණ ඇරඹුණු අතර, ඒ පිළිබඳව විවිධ මතවාදයන් ඉදිරියට පැමිණියා. රසායන හා භෞතික විද්‍යාව පිළිබඳ දැනුමැති විද්වතුන් සැකයකින් තොරව පැවසුවේ මේ අනතුරට හේතුව යානයේ හයිඩ්‍රජන් ටැංකියේ කාන්දු වීමක් බව යි. හයිඩ්‍රජන් ඉවතට පැමිණ වාතයේ ඔක්සිජන් හා මිශ්‍ර වීමෙන් විශාල පිපුරුමක් සිදු වී තිබෙනවා.

විද්‍යාඥයින් එසේ ප්‍රකාශ කළ ද ඊට වෙනස් මත රාශියක් ද මේ අනතුරු පිළිබඳව කරළියට පැමිණියා. හිතාමතා සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් මේ අනතුර සිදුවූ බව අයෙක් පවසද්දී, හයිඩ්‍රජන් බැලූනය ආවරණය කර තිබූ රෙදි වර්ගය ඉතාමත් ගිනිගන්නා සුළු බැව් තවකෙක් පැවසුවා. තවද, එයට අකුණක් වැදුණු බැව් හා, වර්ෂාව මධ්‍යයේ එය ගොඩබැස්වීමට වේගයෙන් යානය එහෙ මෙහෙ හැරවූ නිසා, බැලූනයේ ඉරීමක් සිදු වූ බවත්, ඉදිරිපත් වූ තවත් ජනප්‍රිය මත දෙකක් වෙනවා.

(අනතුරෙන් ගිනිගත් යානය- clickamericana.com)

හින්ඩන්බර්ග් යානයේ අනතුර සිදුවන විට ජර්මනිය පාලනය කරමින් සිටියේ ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ නට්සි හමුදාව යි. ඔවුන්ට බලවත් සතුරන් සිටියා. මේ අනතුර එවැන්නෙකු විසින් සිතාමතා සිදුකරන ලද්දක් බවටත් ප්‍රකාශ වුණා. එමෙන්ම අනෙක් අතින්, නට්සි හමුදාවේ දෘඪ ප්‍රතිපත්ති නිසිලෙස සැපීරීමට යාමේ දී යානයට හානි සිදු වී තිබෙන්නට ඇති බවත් පසුකාලීනව ප්‍රකාශ කෙරුණා. විශේෂයෙන් නියමිත වේලාවට ගොඩබැස්වීම් සිදුකිරීම සඳහා යානය හා එහි නිලධාරීන් කිහිපවිටක්ම පීඩනයට ලක් කර තිබූ අතර, මෙලෙස සිදුවීම නිසා පෙර ගමන් වාරයන් හි දී අලුත්වැඩියා කටයුතු පරිපූර්ණ පරිදි සිදුවන්නට නැති බවටත් මතයක් ඉදිරිපත් වුණා. තවද, හයිඩ්‍රජන් වැනි ඉතා ක්‍රියාකාරී වායුවක් පුරවාගෙන මෙවැනි යානාවක් තැනූ පසු සුළු අතපසුවීමකින් විශාල පිපිරීමක් විය හැකි බවට විද්වතුන් කිහිපදෙනෙකු පෙන්වා දී තිබුණ මුත්, ඒවා ද ජර්මානු රජය පසෙකලා තිබුණා. උක්ත කාරණා එකක් හෝ කිහිපයක් එක්කාසු වී මේ අනතුරට පාර කැපුණු බැව් තාර්කිකව පෙනී ගියත් මේ කිසිවක් නිසියාකාරවම ඔප්පු වුණේ නැහැ.

පසුවදන

හින්ඩන්බර්ග් අනතුරෙන් පසු හයිඩ්‍රජන් පිරවූ බැලූන යොදාගෙන ගුවන් ගමන් කිරීමේ අවදානම පිළිබඳ ලොවම කතා වුණා. මේ නිසා ඒ වර්ගයේ ගුවන් යානා භාවිතයෙන් ඉවත් කෙරුණා. මෙම අවදානමට අමතරව හිට්ලර් කෙරෙහි තිබූ ලෝක අප්‍රසාදයත්, 1940න් පසු ගුවන්යානා තාක්ෂණය වැඩි දියුණු වීමත් නිසා වායු බැලූන යොදාගෙන පියෑඹූ ‘අහස් නැව්’ කටුගෙට පමණක් සීමා වුණා.

(කවරයේ පින්තූරය- Popperfoto/Getty Images)

Related Articles