අවසන් සාර් පවුලේ ඝාතනය සහ “අනස්ටාසියා අභිරහස”

“අනස්ටාසියා අභිරහස” කියන්නෙ 20වන ශතවර්ෂයේ ආන්දෝලනයක් ඇති කළ විශාලම අභිරහස් වලින් එකක්. අනස්ටාසියා, රොමනොෆ් රජ පරපුරේ අවසන් සාර් (රුසියානු රජු “සාර්” වශයෙන් හැඳින්වෙයි) වූ, වසර 23ක් තිස්සේ රුසියාව පාලනය කළ දෙවන නිකොලායිගේ ලාබාලතම දියණිය. 1917 සිදු වූ රුසියන් විප්ලවයෙන් අනතුරුව බලයෙන් පහකරනු ලැබූ සාර් ඇතුළු මුළු පවුලටම බොල්ෂෙවික් පාලනය විසින් මරණ දඬුවම ලබාදුන්නා. 1918 දී සාර්ව මරණයට පත්කළ විට එම ප්‍රවෘත්තිය පුවත්පත් වල පළ කරනු ලැබූවත්, ඔහුව වළලා දැමූ ස්ථානය සඳහන් නොකළ නිසා බොහෝ කලකට එය අභිරහසක්ව පැවතුනා. කෙසේ නමුත් විශාලම ප්‍රශ්නය මතුවූයේ ඉන් වසර 71කට පසුව සෝවියට් දේශයේ ස්වෙර්ද්ලොව්ස්ක් ප්‍රදේශය ආසන්නයෙන් සාර්වරුන්ගේ දේහයන් සොයා ගනු ලැබූ පසුවයි.

අනස්ටාසියා  (Pinterest)

සාර් පවුලේ ඔ‍ටුන්න හිමි කුමරු වූ, එකල 13 හැවිරිදිව සිටි අලෙක්සේයි නිකොලායවිච්ගේ සහ සාර්ගේ ලාබාලතම දියණිය වූ 17 හැවිරිදිව සිටි අනස්ටාසියා නිකොලායෙව්නාගේ සිරුරු ඒ අතර තිබුණේ නැහැ!

සාර් පවුලට අත්වූ බිහිසුණු ඉරණමෙන් මිදී ඔවුන් දෙදෙනා පලාගියා ද යන ගැටළුකාරී තත්ත්වය මතු වූයේ ඉන් පසුවයි. තමා එම අනස්ටාසියා බවට ප්‍රකාශ කළ ඇනා ඇන්ඩර්සන් වැනි කාන්තාවන් නිසා ද මෙම ගැටළුව තීව්‍ර වුණා. “අනස්ටාසියා අභිරහස” යනුවෙන් හැඳින්වෙන්නේ එයයි.

එය සාකච්ඡාවට ප්‍රථමව එම සිදුවීම් වලට පාදක වූ පසුබිම ගැන සුළු දැනුමක් තිබීම අවශ්‍යයි.

නිකොලායි සාර් සහ දරුවන් මරණයට මාස 21කට ප්‍රථමව, (වමේ සිට) අනස්ටාසියා, ඔල්ගා, දෙවන නිකොලායි සාර්, අලෙක්සේයි, තත්යානා, සහ මරී  (Wikimedia)

“ක්‍රෑර නිකොලායි”

දෙවන නිකොලායි සාර් රුසියාවේ රජු බවට පත්වුණේ 1894 දී යි. ඔහුට පෙර සාර්වරුන්ගේ මෙන්ම ඔහුගේ පාලනය ද ජනතා හිතවාදී පාලනයක් වුණේ නැහැ. බහුතරයක් වූ සාමාන්‍ය ජනතාව ඉතාම දුක්ඛිත ජීවිත ගත කරද්දී, සාර් සහ ඉඩම්හිමි ධනවතුන් අධි සුඛෝපභෝගී ජීවිත ගත කළා. විටින් විට දරුණු ආහාර හිඟයන්ගෙන් දුප්පතුන් පීඩා විඳි අතර, ඔවුන්ගේ ශ්‍රමය සූරා කනු ලැබුවා. රුසියානු හමුදාවන්ට අවශ්‍ය ආයුධ නිසි ලෙස සපයා නොතිබීම නිසා රුසියානු හමුදාවන් දරුණු යුධ පරාජයන් අත්කර ගත්තා. මෙනිසා දෙවන නිකොලායි කෙරෙහි වූ ජනතා ප්‍රසාදය දිනෙන් දිනම පිරිහීමට ලක් වූ අතර, ඉඩම්හිමි ධනවතුන්ගේ සූරාකෑම් පිළිබඳව ද විරෝධයන් නැගී ඒමට පටන් ගත්තා.

දෙවන නිකොලායි සාර් සහ සරීනා අලෙක්සාන්ද්‍රා ගේ විවාහ ගිවිසගැනීම සිදු වූ දිනයේ දී (Wikimedia)

මේ කරුණුත්, තවත් විවිධ හේතූන් නිසාවෙන් 1902 – 1904 කාලයේ උද්ඝෝෂණ, වැඩ වර්ජන, සහ හමුදා කුමණ්ත්‍රණයන් සිදු වුණා. 1905 දී සාර්ට පෙත්සමක් බාරදීමට පීත්‍රග්‍රාදයට (අද සාන්ත් පිතර්බුර්ග්) ගිය සාමකාමී කම්කරු විරෝධතාවකට සාර්ගේ අණින් හමුදාවන් විසින් වෙඩි තැබීම නිසා කම්කරුවන් 1000ක් දෙනා පමණ ඝාතනයට ලක්වුණා. මෙය ආසන්නතම හේතුවක් කර ගනිමින් 1905 රුසියානු විප්ලවය සිදු වුව ද, එය දරුණු ලෙස මැඩපවත්වා තවදුරටත් බලයේ ‍රැඳී සිටීමට දෙවන නිකොලායි සමත් වුණා. සාර්ගේ ජනතාව මැඩලීමේ ක්‍රෑර සහ අමානුෂික පිළිවෙත නිසා ඔහු “ක්‍රෑර නිකොලායි” යන විරුදාවලිය ලැබුවා.

රුසියානු විප්ලවය හා සාර් සිහසුන අත්හැරීම

1915 පමණ වන විට රුසියානු අධිරාජ්‍යය වැදගත් යුද්ධයන් කීපයක්ම පරාජය වී තිබුණා. ජනතාව ආහාර හිඟකමින් පීඩා විඳි අතර, පාලනයට විරෝධතාව දැක්වීමක් ලෙස දිගින් දිගටම වැඩ කිරීම වර්ජනය කළා. 1917 වන විට සාර් යටතේ රුසියාව ඉතාම අස්ථාවර සහ ආර්ථිකව දුබල අඩියකට වැටී තිබුණා. පෙබරවාරි විප්ලවය සිදු වූයේ මේ අතරතුරයි.

ආහාර හිඟකමත්, සාර්වරුන් කෙරෙහි දීර්ඝ කාලයක පටන් පැවති දරුණු අතෘප්තියත් ආසන්නතම කරුණු කරගනිමින්, පෙබරවරි 23 වන දා රුසියානු ජනතාව විප්ලවයක් ඇරඹුවා. අගනුවර වූ පීත්‍රග්‍රාදයේ ආරම්භ වූ මෙය දින 8ක් පුරාවට සිදු වුණා. හමුදා භටයින් පවා විප්ලවකාරීන්ට එක් වූ අතර ඔවුන් පොලීසිය හා භට පිරිස් හා ගැ‍ටුණා. පෙබරවාරි 27 වන විට හමුදා කැ‍රැල්ලක් ඇති වූ අතර එතෙක් සාර්වරුන් වෙනුවෙන් සටන් කළ හමුදා පිරිස් විප්ලවකාරීන්ට එකතු වුණා. මේ හේතුවෙන් විප්ලවකාරීන් ජයග්‍රහණය කළ අතර, දින තුනකට පසුව දෙවන නිකොලායි සාර් සිය සිහසුන අත්හැරියා.

රොමානොෆ්වරුන් අත්අඩංගුවේ

විප්ලවයෙන් පසු පත් වූ ප්‍රාදේශීය රජයේ අත්අඩංගුව යටතේ සිහසුන අත්හැරි දෙවන නිකොලායි සිය පවුල ද සමඟ වාසය කළේ පීත්‍රග්‍රාදයට නුදුරු අලෙක්සාන්දර් මාළිගයේ යි. 1917 අගෝස්තුවේ රොමානොෆ් පවුල “ආරක්ෂාව පතා” සයිබීරියාවේ තබොල්ස්ක් වෙත පිටත් කර යැවුණේ නැවතත් විප්ලවයක් ඇරඹෙමින් තිබූ නිසා යි. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව බොල්ෂෙවික්වරුන් බලවත් වූ අතර ඔවුන් විසින් 1918 දී සාර් ඇතුළු රොමානොෆ් පවුල යූරල් ප්‍රදේශයේ යෙකටිරින්බුර්ග් හි පිහිටි “ඉප්ටියෙෆ් මැදුර” නම් ආරක්ෂක නිවාසයක් වෙත ගෙන ගියා.

රොමානොෆ් පවුල මේ වන විටත් සිටියේ රුසියානු රතු හමුදාවේ අත්අඩංගුවේ යි. ඔවුන්ව නඩු විභාගයකට ඉදිරිපත් කිරීම බොල්ශෙවික්වරුන්ගේ අරමුණ වූ නමුත්, සුදු හමුදාවන්, එනම් බොල්ශෙවික් විරෝධීන්, නගරය වැටලීමට සැරසෙමින් සිටි නිසා සාර් පවුල ඔවුන් අතට පත් වේදැයි ගැටළුවක් මතු වුණා. එය සිදුවීම භයානක ලෙස සැලකුණේ, සාර් හෝ ඔහුගේ පවුලේ කිසිදු සාමාජිකයෙකු සුදු හමුදා අතට පත්වුවහොත් බොල්ශෙවික්වරුන් පරාජය වීමට ඉඩක් ඇති වීමත්, සාර්වරුන් නැවතත් රජකමට පත්වීමට ඇති හැකියාවත් නිසායි. ඒ අතරේ සාර්වරුන් හොර රහසේම කැරලිකරුවන් සමඟ ලිපි ගණුදෙනු කරන බව ද හෙළි වුණා. එනිසා යූරල් ප්‍රදේශයේ සෝවියටයේ තීරණය වූයේ රොමානොෆ් පවුල මරණයට පත් කළ යුතු බවයි.

ඝාතනය

ඉප්ටියෙෆ් මැදුර (angelfire.com)

1918 ජූලි 17 වන දා අවසාන සාර්වරුන්ට මහත් අවාසනාවන්ත දිනයක් වුණා. රොමානොෆ් පවුලත්, ඔවුන්ගේ සමීපතම මෙහෙකරුවනුත් එදින මධ්‍යම රාත්‍රියේ දී නින්දෙන් අවදි කරවන්නේ ඉප්ටියෙෆ් මැදුරේ අණ දෙන්නා වූ යකෝෆ් යුරොව්ස්කි විසින්. ඒ, යෙකටිරින්බුර්ග් හි ඇතිව ඇති කලබල නිසා ඔවුන්ව වෙනත් ප්‍රදේශයකට ඉවත් කර යවන බව කියමින්. ඒ අනුව දෙවන නිකොලායි සාර්, සරීනා අලෙක්සාන්ද්‍රා (රුසියානු ‍රැජින “සරීනා” යනුවෙන් හැඳින්වේ), රජුගේ දූවරුන් වූ ඔල්ගා, තත්යානා, මරී, අනස්ටාසියා, ඔ‍ටුන්න හිමි කුමරු වූ අලෙක්සේයි, පවුලේ වෛද්‍ය සෙර්ගේයි බොට්කින්, ඛරිටොනෝෆ් නම් අරක්කැමියා, ට්‍රප් නම් මෙහෙකරු, සහ ආන්නා දෙමිදොවා නම් මෙහෙකාරිය හැඳ පැළඳගැනීමෙන් අනතුරුව යැවුණේ ඒ මැදුරේම බිම් මහලටයි. එහි ඔවුන්ව මරණයට පත් කිරීමට එවා තිබූ භටයන් දොළොස්දෙනෙකු සූදානම්ව සිටියා.

සිදු වන්නේ කුමක්දැයි පුදුමයට පත්ව සිටි පවුලට යුරොව්ස්කි විසින් ඔවුන්ව මරණයට පත් කිරීමට නියෝග කර තිබූ ආඥාව කියවනු ලැබුවා.

“නිකොලායි අලෙක්සාන්ද්‍රවිච්, ඔබ විසින් රුසියානු ජනතාවට සිදුකර ඇති අපරාධ වලට දඬුවම ලෙස යූරල් ප්‍රදේශ සෝවියටය විසින් ඔබටත් ඔබේ පවුලටත් මරණ දඬුවම ලබා දෙයි”

මෙය තේරුම් ගැනීමට අපහසු වූ නිසා සාර් විසින් යුරොව්ස්කිගෙන්, “ඒ කිව්වෙ අපිව මෙහෙන් යවන්නේ නැද්දැ”යි ඇසූ බවට එහි සිටි භටයන් වාර්තා කරන අතර, යුරොව්ස්කිගේ පිළිතුර වී ඇත්තේ සාර්ගේ මුහුණට එල්ල කරන ලද වෙඩි පහරක්. එය සංඥාවක් ලෙස ගත් සෙබලුන් විසින් පවුලත්, මෙහෙකරුවනුත් දෙසට දිගට හරහට වෙඩි තැබීම ආරම්භ කළා.

ඉප්ටියෙෆ් මැදුරේ බිම් මහල. බිත්තිවල ඇති හානි වීම් වෙඩි තැබීම අතරේ ඇති වූ ඒවා ය.  (Wikimedia)

කෙසේ නමුත් වෙඩි පහර වලින් ද අනතුරුව කුමරියන් සහ මෙහෙකාරිය පණපිටින් සිටින බව පෙනුනා. මෙයට හේතුව ලෙස ඔවුන්ගේ මරණයෙන් පසුව අනාවරණය වූයේ ඔවුන් සිය ඇඳුම් වලට යටින් දියමන්ති ආභරණ සඟවාගෙන සිටි නිසා ඒවා “වෙඩි නොවදින ආවරණයක්” ලෙස ක්‍රියාකරන්නට ඇති බවයි. කෙසේ නමුත් වෙඩි පහරින් ඔවුන් මිය නොගිය තැන, බයිනෙත්තු වලින් ඇන, රයිෆල් මිටවලින් ගසා ඔවුන්ව මරණයට පත් කිරීමට පියවර ගැනුනා.

ඊළඟ උදෑසන පවුලේත් මෙහෙකරුවන්ගේත් සිරුරු හමුදා ට්‍රක් රියක පටවාගෙන ගිය බවයි ජනයා අතර ප්‍රචලිත වූ කතාව වූයේ. සාර්-හිතවාදී පිරිස් ඔවුන්ගේ සිරුරු සොයා ගැනීමට කොතරම් උත්සාහ කළත්, ඔවුනට හමු වූයේ ඉප්ටියෙෆ් නිවසින් කි.මී. 19ක පමණ දුරින් තිබූ පතලක තිබූ කාන්තාවකගේ ඇඟිල්ලකුත්, පිළිස්සුණු ඇඳුම්, ආභරණ ආදියත් පමණයි. ඔවුනට සිදු වූයේ කුමක් ද? අනස්ටාසියා ආදිපාදවරියට සිදුවූයේ කුමක් ද? ඈ ඉප්ටියෙෆ් මැදුරෙන් පළා ගියා ද? කිසිවෙක් ඈ මරණයෙන් ගලවා ගත්තා ද?

ඉවසිල්ලෙන් සිටින්න. ඒ ගැටළු සියල්ලටම පිළිතුරු අප මෙහි දෙවනි දිගහැරුම ලෙස ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.

මූලාශ්‍රයන්:

abc News

medicalbag.com

Independent

Dead Men Do Tell Tales

cover image: anastasia-romanov  (myCME)

Related Articles