අනස්ටාසියා කුමරිය මරණයෙන් ගැලවී පලා ගියා ද?

1918 වසරේ සිදුවුණු අවසන් සාර් පවුලේ ඝාතනයෙන් (මෙතනින් කියවන්න) දශක කීපයක් ගෙවෙමින් තිබූ තැන ජනතාවගේ කුතුහලය නැවතත් ඒ ගැන සාකච්ඡා කෙරෙන තත්ත්වයක් පැමිනෙව්වා. එකල රුසියානු පාලනය විසින් දෙවන නිකොලායි සාර්ට මරණ දඬුවම දුන් බවට සඳහන් කළත්, ඔහුගේ පවුලට සිදු වූ දෙය පිළිබඳව සඳහනක් කළේ නෑ. එනිසා, 1918 ජුලි 17වන දා සිදු වූ ඒ ඝාතනයන්ගෙන් රොමානොෆ් පවුලේ කිසිවෙකු හෝ දිවි ගලවාගන්නට ඇත්දැයි ජනතාව සැක කිරීමට පටන්ගත්තා.

ඒ සැකය උග්‍රවෙද්දී, රුසියාවේ කිරුළට උරුමකම් කියමින් දුසිම් ගණනින් අනස්ටාසියා කුමරියන්, අලෙක්සේයි කුමරුන් පමණක් නොවේ, ඔල්ගා, තත්යානා, සහ මරී කුමරියන් ද නන්දෙසින් ඉදිරිපත් වීමට පටන්ගත්තා. අවසන් සාර්ගේ උරුමකරුවෙක් ජීවත් වනවාදැයි යන ගැටළුව වඩාත් තීව්‍ර ලෙස මතුවුණේ, රොමානොෆ්වරුන්ගේ මළසිරුරු 1989දී සොයාගැනීමෙන් අනතුරුවයි. සොයාගත් සිරුරු අතරේ අනස්ටාසියා කුමරියගේ හෝ අලෙක්සේයි කුමරාගේ සිරුරු තිබුණේ නැහැ.

සිරුරු සොයාගැණුනේ මෙතැනිනි. (Pinterest)

සිරුරු වලට සිදු වූ දේ

1980ගණන්වල සෝවියට් සංගමය විසින් ගත් නව ප්‍රතිපත්තියක් යටතේ රහස් වාර්තාවන් බොහොමයක් මහජනයා වෙත නිදහස් කෙරුණා. සාර්වරුන් රඳවා තැබූ විශේෂ නිවසේ අණදෙන්නා ද, මරණ දඬුවම ක්‍රියාත්මක කළ තැනැත්තා ද වූ යුරොව්ස්කිගේ ඇසින් දු‍ටු සාක්ෂි ඇතුලත් වාර්තාව ද ඒ අතර වුණා. රොමානොෆ් සිරුරු විනාශ කළ අයුරු ඔහු එම වාර්තාවේ විස්තර කර තිබුණා.

1918 ජූලි 17 වන දා අළුයම වන විට සාර්වරුන් සහ මෙහෙකරුවන් ඇතුළු එකොළොස්දෙනාගේ සිරුරු යෙකටිරින්බුර්ග් සිට කි.මී. 19ක දුරින් ඇති පතලක් වෙත ගෙනගොස්, ඇඳුම්-පැළඳුම් ඉවත්කර, අඩි 8ක් පමණ ගැඹුරු පතල වෙත වීසිකෙරුනා. ඉන්පසු ඒ මත අත් බෝම්බ කීපයක් පිපිරවීමෙන් පතල් සිදුර වසාදැමුනා.

සොයාගත් හිස්කබල් තුනක්. මේවායේ මුහුණුවල අස්ථි දරුණු ලෙස හානි වී ඇත. (Alexander and Sons German Helmet Restoration)

නමුත් පසුදින වෙද්දී සොයාගැනුනේ නගරය වෙතට ළඟා වෙමින් සිටි විරුද්ධ පාර්ශවයේ හමුදාවන් සිරුරු ඇති ස්ථානය පිළිබඳව දැනුවත් බවයි. ඔවුන් අතට ඒවා පත්වීමට නොදීමේ අරමුණෙන් එදින රාත්‍රියේ එම සිරුරු ගොහොරු බිමක් වූ පතලෙන් පිටතට ගෙන, ට්‍රක් රථයකට පටවනු ලබනවා. නමුත් හිරු උදා වූ නිසා භටයින්ගේ ආරක්ෂාව යටතේ රථයේම තබන සිරුරු, 19 වන දා රාත්‍රියේ එතැනින් පිටත් කර හරිනවා.

මරණයෙන් දින තුනක් වූ සිරුරු මේ වන විට ඉදිමී, මැස්සන් සහ පණුවන්ගෙන් වැසී, නරක් වෙමින් තිබුණා. එම සිරුරු ‍රැගත් ට්‍රක් රථය වැසි සහිත 20වන දා පාන්දර මඩ වගුරක එරෙන නිසා ඒවා එතනදීම විනාශ කර දැමීමට තීරණය වන්නේ පැය කීපයකින් හිරු නැගෙනු ඇති නිසායි. එනිසා පළමුව අලෙක්සේයි කුමරුගේත්, සේවිකා දෙමිදොවාගේත් යැයි සැලකුණු සිරුරු දෙකක් පුළුස්සා දැමෙනවා. නමුත් මිනිස් සිරුරක් පිළිස්සී අවසන් වීමට එතරම් දිගු කලක් ගත වේ යැයි යුරොව්ස්කි හා පිරිස නොදැන සිටි අතර, ඔවුන් ගෙනැවිත් තිබූ පෙට්‍රල් ද අවසන් වෙනවා. හිරු උදාවෙමින් තිබූ නිසා අඩි හයක් ගැඹුරු වලක් කණින ඔවුන් ඉතිරි සිරුරු එහි වීසිකර, දුර්ගන්ධය සැඟවීමටත්, ඒවා හඳුනාගැනීමෙන් වැලැක්වීමටත් ඒ මතට සල්‍ෆියුරික් අම්ලය ඉස, වල වසා දමනවා.

සිරුරු සොයාගනී (Alexander and Sons German Helmet Restoration)

දශක 6කට පසු සිරුරු සොයාගැනේ

1989 දී ගීලි රිබෝෆ් නම් සෝවියට් රචකයෙකු විසින් සතිපතා මොස්කව් නම් පුවත්පතට අනාවරණය කළේ ආචාර්ය අලෙක්සාන්දර් අව්දෝනින් නම් විද්‍යාඥයෙකු විසින් යෙකටිරින්බුර්ග් ආසන්නයෙන් සාර් පවුලේ යැයි සැලකෙන සිරුරු 9ක් 1979 දී සොයාගත් බවයි.

1992 වන විට සෝවියට් සංගමය බිඳ වැටී තිබුණු අතර, රුසියානු රජය විසින් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් බේකර්ගෙන් ඉල්ලා සිටියේ මෙසේ සොයාගත් සිරුරු හඳුනාගැනීමට සහය දක්වන ලෙසයි. ඊට ප්‍රතිචාර ලෙස මානවවිද්‍යාඥ මේපල්ස් ඇතුළු විශේෂඥයින් පිරිසක් රුසියාව වෙත ගොස් රුසියානු විද්‍යාඥයින් ද සමඟ, සොයාගත් සිරුරු 9 පිළිබඳ පරීක්ෂණ ඇරඹුවා.

අනස්ටාසියාගේ සිරුර කෝ?

ඒ වනවිටත් රුසියානුවන් විසින් සිරුරු වල වයස, ස්ත්‍රී-පුරුෂ භාවය ආදිය අනාවරණය කරගෙන තිබුණා. ඇමරිකානුවන් ද එම සොයාගැනීම් ස්ථිර කළ පසු කුමන සිරුර කාගේදැයි නම්කිරීම ඇරඹුනා.

සිරුරු 5ක් ස්ත්‍රී වූ අතර, 4ක් පුරුෂයින්ට අයත් වුණා. සියළුම හිස්කබල්වල මුහුණු දරුණු ලෙස බිඳී, ඉරිතලා ගොස් තිබූ අතර සියළුම කාන්තාවන්ගේ හිස්කබල්වල වටිනා ලෝහයන්ගෙන් කළ දන්ත ශල්‍යක්‍රම වල සාධක ඉතිරි වී තිබුණා. මිනීවලෙන් උණ්ඩ 14ක් සොයාගෙන තිබූ අතර, ඒවායින් ඇති වූ සිදුරු හිස්කබල්වල දක්නට ලැබුණා.

සිරුරු සියල්ල 1 සිට 9 දක්වා අංක කර තිබුණා. සිරුරු වල උස, හිස්කබල් වල හැඩය, ඒවාට කර තිබූ දන්ත ශල්‍යකර්ම, සන්ධි වල ගෙවී යෑම්, සැකිළි වල පළල, දත් සහ අස්ථි වල වර්ධනය යන කරුණු මෙම සිරුරු හඳුනාගැනීමේ දී සැළකිල්ලට ගැනුනා. ඒ අනුව, 1වන සිරුර ‍සේවිකා ආන්නා දෙමිදොවාගේත්, 2වැන්න වෛද්‍ය සෙර්ගේයිගේත්, 3වැන්න ඔල්ගා ආදිපාදවරියගේත්, 4වන සිරුර නිකොලායි සාර්ගේත්, එතනින් ලාබාලම සිරුර වූ 5වැන්න (වයස 19 – 22 අතරේ වූ) මරී ආදිපාදවරියගේත්, 6වැන්න තත්යානා ආදිපාදවරියගේත්, 7 අලෙක්සාන්ද්‍රා ‍රැජිනගේත්, 8 අරක්කැමියාගේත්, 9 සාර්ගේ ආරක්ෂකයාගේත් බව ස්ථිර ලෙසම තීරණය වුණා.

දෙවන නිකොලායි සාර් ගේ හිස්කබල (The New York Times)

කෙසේ නමුත් සිරුරුවලින් එකක්වත් එවකට 14වියැති අලෙක්සේයිගේ හෝ 17වියැති අනස්ටාසියාගේ වූයේ නෑ.

අනස්ටාසියාට කුමක් සිදුවන්නට ඇත්ද?

රොමානෝෆ් සිරුරු වගුරේ වළදැමීමට ප්‍රථම සිරුරු දෙකක් පිළිස්සූ බව යුරොව්ස්කිගේ වාර්තාවේ කියැවුණා. එයින් එකක් අලෙක්සේයි කුමරාගේ වූ අතර අනෙක සේවිකා දෙමිදොවාගේ බව අනුමාන කර තිබුණා. අනස්ටාසියා කුමරිය එදා මරණින් ගැලවී පලාගිය බවට විශ්වාස කරන්නන්ට මෙය මහත් රුකුලක් වුණා. යුරොව්ස්කි කිසිසේත්ම 17වියැති අනස්ටාසියා ආදිපාදවරියගේ සිරුර 40වියැති දෙමිදොවාගේ බවට වරදවා වටහා නොගනු ඇතැයි ඔවුන් තර්ක කළා.

නමුත් පර්යේෂණ කණ්ඩායමේ ආචාර්ය මේපල්ස්ට මෙයට පැහැදිලි කිරීමක් තිබුණා.

සාර් සහ පවුල මරාදැමුණේ උණුසුම් රුසියානු ග්‍රීෂ්මයේදී යි. සිරුරු වලින් ගලාගිය ලෙයින් ඒවායේ කෙස්වැටි පෙඟී, එකට ඇලී, අඳුරු පැහැ අවුලක් සේ තිබෙන්නට ඇති. එසේම සිරුරු සියල්ල දින තුනක් තිස්සේ උණුසුම් කාළගුණයේ නරක්වෙමින් තිබුණා. සිරුරු ඉදිමී තිබෙන්නට ඇති අතර එනිසා ඒවායේ පළමු ප්‍රමාණය හෝ රූප ලක්ෂණ හඳුනාගැනීමට නොහැකිව තිබුණා විය යුතුයි. සිරුරු සියල්ලන්ගේම ඇඳුම් ද ඉවත්කර තිබූ නිසා ඝාතකයන්ට පවා එම සිරුරුවල ස්ත්‍රී-පුරුෂභාවය හැරෙන්නට ඒවා වෙන්කොට හඳුනාගත නොහැකි වන්නට ඇති.

රොමානෝෆ් දරුවන් කුඩා කාලයේ දී (Town & Country Phillippines)

ඉතින් මේ ඉදිමුණු, කෙස්වැටි අඳුරු පැහැ වුණු, මුහුණුවල තුවාල වල පණුවන් වැසූ සිරුරු එදා අඩ අඳුරේ දී නොව, හොඳින් ආලෝකය තිබුණු වෙලාවක පවා වෙන්කොට හඳුනාගැනීමට යුරොව්ස්කිට හැකිවන්නේ නැහැ.

එනිසා එදා අලෙක්සේයි කුමරුගේ සිරුරත් සමඟ පුළුස්සා දැමුණු, සේවිකාවගේ සිරුර යැයි සැක කෙරුන දෙය අනස්ටාසියා ආදිපාදවරියගේ විය යුතු යැයි ආචාර්ය මේපල්ස් පැහැදිලි කර තීරණය කළා.

DNA වාර්තා අනන්‍යතාවන් තහවුරු කරයි

අවසන් රොමානොෆ්වරුන්ගේ යැයි හඳුනාගෙන තිබූ සිරුරුවලින් DNA සොයාගැනීමත් සමඟ 1993දී ඔවුන්ගේ අනන්‍යතාවයන් සහතික කෙරුණා.

දෙවන නිකොලායි සාර්ගේ බිසව වූ සරීනා අලෙක්සාන්ද්‍රා 19වන සියවසේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ‍රැජින වූ වික්ටෝරියාගේ මිණිපිරියක වුණා. එම සිරුරු වලින් ලබාගත් DNA සසඳා බැලුවේ අලෙක්සාන්ද්‍රා ‍රැජිණගේ සොයුරිය වූ හෙස් හි වික්ටෝරියා කුමරිය ලැබූ දරුවකු වන, එඩිබරෝහි ආදිපාද ‍ෆිලිප් කුමරු ලබාදුන් රුධිර සාම්පලයක් සමඟයි. ‍ෆිලිප් කුමරුගේ ලෙයෙහිත්, රොමානොෆ් සිරුරු වලත් තිබූ මාතෘ DNAත් සමාන බව පරීක්ෂණ වලින් තහවුරු වුණා. ඒ සිටින්නේ අවසන් රොමානෝෆ්වරුන්මයි.

බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා ‍රැජිණ සිය මිණිබිරියක් වූ සරීනා අලෙක්සාන්ද්‍රා සහ දෙවන නිකොලායි සාර් සමඟ ඉ896 දී (Wikimedia)

සාන්ත පිතර්බුර්ග්හි පීතර සහ පාවුලු බලකො‍ටුවේ, සාන්ත පීතර සහ පාවුළු ආසන දෙව්මැදුරේ සාර්වරුන්ගේ සොහොන්ගෙයහි ඔවුන්ගේ සිරුරු කොටස් තැන්පත් කෙරුණා.

2007 සිදුවීම්

2007 දී එම වගුරේම පළමු මිනීවළට ආසන්නයෙන් සිදුකළ කැනීම් වලින් දැරියකගේත් දරුවකුගේත් අස්ථි කැබලි 40ක් පමණ සොයාගනු ලැබුවා. මේවායෙන් ලබාගත් DNA  අලෙක්සාන්ද්‍රා ‍රැජිනගේ DNA සමඟ සැසැඳීමෙන් ඒවා අලෙක්සේයිගේත් අනස්ටාසියාගේත් බව තහවුරු කරගනු ලැබුවා.

එනිසා අන්තිම සාර්ගේ දියණිය වූ අනස්ටාසියා ආදිපාදවරිය පලාගියා නොව, එදා යෙකටිරින්බුර්ග්හි දී සිය පවුලද සමඟ මරණයට පත්වූ බව අවසන තහවුරු කෙරුණා.

එදා රොමානෝෆ්වරුන්ගේ සිරුරු සොයාගත් ස්ථානය අද රුසියානු ඕතඩොක්ස් කුරුසියකින් ලකුණු කර තිබේ (Royal Russia News)

මූලාශ්‍ර:

Dead Men Do Tell Tales

smithsonianmag.com

The Telegraph

Independent

Saint-petersburg.com

cover image: (RT)

Related Articles