Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වියට්නාම් යුද්ධයේ දී ඇමරිකානු පරාජයේ ආරම්භය

වියට්නාමයේ ගැටුම් දිනෙන් දින උග්‍ර අතට හැරෙන බැවින් ඇමරිකානු ජනාධිපතිවරයා 1965 වසරේ ජූලි මාසයේ සිට සෑම මාසයකට වරක් 35000 ක භට පිරිසක් වියට්නාමය බලා පිටත් කරවන ලෙස අණ කරනවා. 1965 වසරේ අගෝස්තු මාසයේදී ස්ටාර්ලයිට් මෙහෙයුමේදී (Operation Starlite) ඇමරිකානු භටයන් 5500 ක් පමණ වියට් කොං ගරිල්ලා භටයන් 1500ක් පමණ ගැටෙන අතර මෙම මෙහෙයුමේ දී දෙපාර්ශවයම තමන් ජයග්‍රණය කළ බව ට සදහන් කරනවා. ඒ පිළිබඳව විස්තර පසුගිය ලිපියෙන් අපි ගෙන ආවා ඔබට මතක ඇති.

ඇමරිකානු හමුදාව වියට්නාමය යුද්ධයට විශාල වශයෙන් මැදිහත් වීම සිදු වන්නේ 1965 වසරේ සිටයි. 1965 වන තුරු වියට්නාම් යුද්ධයේ සියළු තොරතුරු roar  පිටුව තුළින් අපි ගෙන ආවා. ඉතින් “වියට්නාම් යුද්ධයේ හයවන දිග හැරුම” වන අද ලිපියෙන් අපි බලාපොරොත්තු වන්නේ 1965 වසරේ සිට ඇමරිකානු වියට්නාම් යුද්ධයේ සිදු වූ විශාල යුධ මෙහෙයුම් හා ඇමරිකානු පරාජයේ ආරම්භය පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන ඒමටයි

ඇමරිකානු හමුදා හා උතුරු වියට්නාම් හමුදා අතර දරුණු ලෙස ගැටුම් ඇවිළුණු  අයිව ඩ්‍රැන්ග් සටන

ඇමරිකානු සෙබළුන්, අයිව ඩ්‍රැන්ග් සටනේ (The ’60s at 50)

ඇමරිකානු හමුදාව සමඟ උතුරු වියට්නාම හමුදාව, භූමිය තුළ ගැටුණු  ප්‍රථම විශාලම ගැටුම වන්නේ අයිව ඩ්‍රැන්ග් සටනයි (Battle of Ia Drang). 1965 වසරේ නොවැම්බර් 14 වනදා සිට නොවැම්බර් 18 වන දා දක්වා පැවති අතර දකුණු වියට්නාමයේ ඇමරිකානු සැපයුම් කලාපයට පහර දීමට උතුරු වියට්නාම් හමුදාව කටයුතු කරන්නේ ගරිල්ලා උපක්‍රම ද සහිතවයි.

මෙම සටනේ දී ඇමරිකානු හමුදා විසින් ප්‍රබල ලෙස ගුවන් බලය යොදා වියට්නාම හමුදා ප්‍රහාර අඩපණ කළ අතර දෙපිරිසටම දැඩි අලාභ හානි සිදු වෙනවා. ඇමරිකානුවන් බලාපොරොත්තු නොවූ ආකාරයට මෙම සටනේදී  ඔවුන්ගේ භටයන් 300කට අධික පිරිසක් මරණයට පත්වෙන අතර තවත් 1000 කට අධික ප්‍රමාණයක් තුවාල ලබනවා. නමුත් සටන අවසානයේදී දෙපිරිසම තමන් ජයග්‍රණය කළ බව සඳහන් කර සිටිනවා.

හැනෝයි හා හයිෆොන්ග් නගරයන්ට ඇමරිකානු ගුවන් ප්‍රහාර

හැනෝයි හා හයිෆොන්ග් නගරයන් ට ඇමරිකානු ගුවන් ප්‍රහාර (Wikipedia)

උතුරු වියට්නාමයේ ප්‍රධාන නගරය වූ හැනොයි (Hanoi) නගරයට මෙන්ම උතුරු වියට්නාමයේ විශාලම වරාය වන හයිෆොන්ග් (Haiphong) වරායට ප්‍රථම වතාවට ඇමරිකානු ගුවන් හමුදා විසින් බෝම්බ එල්ල කරන්නේ 1966 වසරේ ජුනි මාසයේදීයි. එම නගර දෙකේ පිහිටි තෙල් ගබඩා සංකීරණ ඉලක්ක කරමින් බෝම්බ හෙලන ලද​ අතර ඒ තුළින් උතුරු වියට්නාම් හමුදාවේ සැපයුම් අඩාල වේ යැයි ඇමරිකානුවන් විසින් උපකල්පනය කරනවා. 1967 වසරේ පෙබරවාරි මාසයේදීත් නැවතත් හයිෆොන්ග් වරායට ගුවන් ප්‍රහාර එල්ල කළ නමුත් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට ඇමරිකානුවන්ට හැකි වන්නේ නෑ.

වියට්නාම යුද්ධයට එරෙහිව ඇමරිකානු ජන අප්‍රසාදය

යුධ විරෝධීන් විසින් වියට්නාම් යුද්ධයට විරෝධය පෑම – 1967 දී වොෂින්ටනයේ දී (Bunk History)

වියට්නාමය තුළ ඇමරිකානු හමුදා විසින් කරන ලබන ජන සංහාරයට විරුද්ධව ඇමරිකාවේ “ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් උදෙසා ශිෂ්‍යන්” (Students for a Democratic Society)යන වාමාංශික සංවිධානය විසින් තරුණ ශිෂ්‍යයන් පෙළ ගස්ස්වන අතර 1965 වසරේ සිට දිගින් දිගටම ශිෂ්‍යන්ගේ, කලාකරුවන්ගේ හා බුද්ධිමතුන්ගේ   විරෝධතාවයට ලක්වෙන නමුත් “උතුරු වියට්නාමයේ කොමියුනිස්ට්වාදීන්ගේ ප්‍රහාර වලින් දකුණු වියට්නාම් ජනතාව ගලවා ගැනීමේ මානුෂික මෙහෙයුමක්” බව පවසමින් ඇමරිකානු රජය විසින් මෙම යුද්ධය සාධාරණීකරණය කරනවා.

1967 වසරේ නොවැම්බර් වන විට වියට්නාමය තුළ ඇමරිකානු භට පිරිස ලක්ෂ 5ක් දක්වා ඉහළ ගිය අතර ප්‍රහාර හමුවේ මරණයට පත් වූ භටයන් ගණන 15 000 ඉක්මවා යනවා. තවද තුවාල ලැබූ ඇමරිකානු භට පිරිස ලක්ෂය ඉක්මවා යනවා. වියට්නාම් යුද්ධයට පමණක් ඇමරිකාවේ වාර්ෂිකව වියදම ඩොලර් බිලියන 25 ඉක්මවා ගිය අතර දිනෙන් දිනම ඇමරිකාවට සිදු වන හානි වැඩි වනවා සේම ඇමරිකාවෙන් වියට්නාමය වෙත යැවෙන භට පිරිස් ප්‍රමාණය ද සීඝ්‍ර​ වර්ධනයක් පෙන්නුම් කරනවා. එසේම මසයකයට යුධ හමුදාව ට බදවා ගන්නා තරුණයන් ප්‍රමාණය 40 000 දක්වා ඉහළ යනවා.

මෙම හේතුන් යුධ විරෝධවාදීන් උත්තේජනය කරන තවත් කරුණු වූ අතර 1967 වසරේ ඔක්තෝම්බර් 21 වනදා 30 000 ක පමණ සිවිල් වැසියන් පිරිසක් පෙන්ටගනය ඉදිරි පිට විරෝධතාවයක නිරත වෙනවා. මෙවැනි විරෝධතා බොහෝ ප්‍රමාණයක් නිව්යෝර්ක්, වොෂින්ටන් හා සැන් ප්‍රැන්සිස්කෝ වැනි නගර වල දී පැවැත්වෙනවා.

ඩොක් ටු සටන හා කේ සන්හ් සටන

සතුරු ප්‍රහාර හමුවේ ඇමරිකානු සෙබළුන් – කේ සන්හ් සටනේ දී (Flickr)

සයිගොන් නගරයට සැතපුම් 280ක් උතුරු දෙසින් කාම්බෝජ දේශ සීමාව අසළ දී වියට් කොං හා උතුරු වියට්නාම් හමුදාව එකතුව ඇමරිකානු හමුදාවට පහර දෙන අතර මෙය ඩොක් ටු සටන (Battle of Dak To) ලෙස හදුන්වනවා. 1967 වසරේ නොවැම්බර් මාසයේදී පැවති මෙම සටන දෙපාර්ශවයටම  දැඩි හානි ගෙන දුන් සටනක් ලෙස හැදින්විය හැකියි.

කේ සන්හ් (Khe Sanh) සටන දෙපාර්ශවය අතර 1968 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා පැවති අතර මෙය ඇමරිකානු හමුදා වියට්නාම් භූමියේදී ලැබූ විශාලතම පරාජයන්ගෙන් එකකි. දකුණු වියට්නාමයේ කේ සන්හ් හි පිහිටි  ඇමරිකානු මැරීන් බළකා කඳවුරක් වටකර පහර දෙන ගරිල්ලෝ ගුවන් යානා නාශක මිසයිල යොදා ගනිමින් කඳවුර වෙත අතිරේක භට කණ්ඩායම් මෙන්ම ආයුධ හා අහාර රැගෙන එන ගුවන් යානා බොහොමයක් විනාශ කරනවා. ප්‍රබල ගරිල්ලනට එරෙහිව සටන් කිරීමට නොහැකි වූ ඇමරිකානු හමුදාව මෙම කඳවුර අතහැර පළා යාමට තීරණය කරනවා.

ඇමරිකානු යුධ ඉතිහාසයේ නොමැකෙන කැළල  – ටෙට් සටන

ඇමරිකානු තානාපති කාර්යාලයට පහර දීමට පැමිණි වියට් කොන්ග් ගරිල්ලා භටයෙක් අල්ලා ගත් ඇමරිකානු යුධ හමුදා පොලිස් භටයන් (gettyimages.fr)

ඇමරිකානු – වියට්නාම් යුද්ධයේ  හැරවුම් ලක්ෂය ලෙස නම් කරන ටෙට් සටනේදී  උතුරු වියට්නාම් හමුදාව හා වියට් කොං ගරිල්ලන් විසින් දකුණු වියට්නාමයේ නගර 100 කට අධික ප්‍රමාණයකට හා දකුණු වියට්නාම් හා ඇමරිකානු යුධ මර්මස්ථාන රැසකට ප්‍රහාර එල්ල කරනවා. වියට්නාම් නව අවුරුදු සමයේ මෙම ප්‍රහාරය ආරම්භ වූ අතර ඔවුන් අවුරුදු සමය ටෙට් (Tet) ලෙස හැදින් වූ බැවින් මෙම සටන ටෙට් ප්‍රහාරක මෙහෙයුම​ (Tet Offensive) ලෙස නම් කරනවා.

1968 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වූ කේ සන්හ් (Khe Sanh) සටනේ දී කඳවුරේ බලය අල්ලාගෙන සිටීමට එවකට ඇමරිකාවේ සිටි වියට්නාම් හමුදා අණ දෙන්නා වූ  විලියම් වෙස්ට්මොර්ලන්ඩ් (William Westmoreland)  ප්‍රමුඛ ඇමරිකානු හමුදාව විසින් තම උපරිම යුධ ශක්තිය යොදමින් සිටින විට වඩා උපක්‍රමශීලි උතුරු වියට්නාම් හමුදා නායකවා වූ ව නුවෙන් ග්යැප් (Võ Nguyên Giáp), 1968 වසරේ ජනවාරි මස 30 වනදා 70 000 ක භට පිරිසක් ටෙට් සටන සඳහා යොදවනවා.

ජනවාරි 30 වනදා හිමිදිරියේ දකුණු වියට්නාම් නගර 13 කට කඩා වදිමින් ගරිල්ලන් විසින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන අතර ඔවුන් පැය 24ක් ඇතුළත නගර, දකුණු වියට්නාම් රාජ්‍ය ගොඩනැගිලි  හා දකුණු වියට්නාම් හමුදා මර්මස්ථාන ඇතුළු ස්ථාන 120 කට පමණ ප්‍රහාර එල්ල කරනවා. ඒ සමඟම සයිගොන් හි ඇමරිකානු තානාපති කාර්යාලයට ද ඔවුන් විසින් ප්‍රහාර එල්ල කරනවා.

ටෙට් සටන අතරතුර (actualidad.rt.com)

මුලින් එල්ල වූ ගරිල්ලා ප්‍රහාර වැළක්වීමට ඇමරිකානු හා දකුණු වියට්නාම හමුදාවට නොහැකි වූවත් ඔවුන් විසින් හැනොයි හා හුඒ (Huế) නගරයේදී ඇති වූ අවසන් සටන් වලින් පසුව මාර්තු 3 වනදා වන විට ගරිල්ලන් පරාජය කර පළවා හැරීමට සමත් වෙනවා.

සටනේ දී දෙපිරිසටම බරපතළ හානි සිදු වූවත් ටෙට් සටන ඇමරිකානු යුධ ඉතිහාසයට නොමැකෙන කැළැලක් එකතු කළ අතර සතියක් තුළ මරණයට පත් වූ වැඩිම ඇමරිකානු භට පිරිස වාර්තා වන්නේ මෙම සමයේදීයි. පෙබරවාරි 11 සිට 17 දක්වා වූ සටනේදී මිය ගිය ඇමරිකානු සෙබළුන් ගන්න 543 ක් ලෙස සටහන් වෙනවා.

උතුරු වියට්නාම් සෙබළුන් – ටෙට් සටනේදී (JSTOR Daily)

යුද්ධයේ හැරවුම් ලක්ෂය ලෙස ටෙට් සටන හදුන්වා දිය හැකි අතර මෙම සටනින් පසු වියට්නාමය තුළ සිටි ඇමරිකානු භටයන්ට උදා වන්නේ ඉතාමත් අවාසනාවන්ත කාලයක්. එනම් දැඩි ගරිල්ලා ප්‍රහාර හමුවේ ඔවුන්ට 1975 වසරේ දී වියට්නාමයෙන් ඉවත් වීමට සිදු වෙනවා. ඒ පිළිබඳව තොරතුරු රැගෙන තවත් ලිපියකින් හමු වෙමු.

කවරයේ ඡායාරූපය​ – 1968 වසරේ පෙබරවාරි 4 වන දා හුඒ නගරයේ දී ඇති වූ සටනකින් පසුව තුවාල ලැබූ සහෝදර සෙබළෙක් රැගෙන පසු බසින ඇමරිකානු මැරීන් භටයන් (Los Angeles Times)

Related Articles