පළමු ලෝක යුද්ධය හේතුවෙන් සිදු වූ යුගෝස්ලාවියාවේ උපත

යුගෝස්ලාවියාවේ කඩා වැටීම සිදුවූයේ 1990 දශකයේ මුල් භාගයේ සිදු වූ යුද්ධ කිහිපයකට පසුව බව ඔබ අසා ඇති. යුගෝස්ලාවියාව බිහි වූයේ ද යුද්ධයක් හේතුවෙනි. එහි උපත ද යුගොස්ලාවියාවේ විවිධ ජාතීන්ගේ දේශපාලන නායකත්වය අතර සිදු වූ අන්තර් ක්‍රියාවන් හි ප්‍රතිඵලයක් වනවා.

යුගෝස්ලාවියාව යන යෙදුමෙහි අර්ථය “දකුණුදිග ස්ලාව් ජාතිකයන්ගේ භූමිය​” යන්න යි. බෝල්කන් ප්‍රදේශයෙහි දකුණුදිග ස්ලාව් ජාතිකයන් සඳහා ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අදහස 19 සියවසේ දී වත්මන් ක්‍රොයේෂියාව​ කේන්ද්‍ර කරගෙන හටගත් ඉලීරියානු ව්‍යාපාරය විසින් මුලින්ම ඉස්මතු කරන ලදැ යි සැලකෙනවා.

පැරණි ඉලීරියාවට එම අනන්‍යතාව ගොඩනගා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වූයේ ප්‍රංශ පාලන සමය හේතුවෙන් බවට මතයක් තිබෙනවා. නැපෝලියන් විසින් වර්තමාන ක්‍රොයේෂියාව සහ ස්ලොවීනියාව ආශ්‍රිත ප්‍රදේශයක් ප්‍රංශයට ඈඳාගත් අතර, 1809 සිට 1813 වන තෙක් එම ප්‍රදේශය නිල වශයෙන් ප්‍රංශයට අයත් වුණා. මේ සමයෙහි එම ප්‍රදේශයෙහි ලිබරල්වාදී සහ ඔස්ට්‍රියානු විරෝධී අදහස් ඉස්මතු වුණ බව සඳහන්.

නැපෝලියන්ගේ වැටීමෙන් පසු මෙම ප්‍රදේශය යළි ඔස්ට්‍රියාවට යටත් වුණා. ඉලීරියානු ව්‍යාපාරය බිහි වූයේ එම ප්‍රදේශයේ යි.

මේ අතරවාරයේ, ඊට දකුණින් වූ සර්බියාවේ සහ මොන්ටිනේග්‍රෝවේ ඔටෝමන් තුර්කි පාලනය දිය වෙමින් පැවතුණා. 1867 වන විට ඔටෝමන් සේනා සර්බියාවෙන් ඉවත් කරගනු ලැබුණ අතර, 1878 දී එරට ස්වාධීන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීම ලැබුවා. නමුත් තව දුරටත් සර්බ් ජනයා වාසය කරන ප්‍රදේශ වෙනත් පාලකයන් යටතේ, විශේෂයෙන් ම ඔස්ට්‍රියාව යටතේ, වූ බැවින් එම ප්‍රදේශ ද මුදවා ගැනීම සර්බියාවේ අභිලාෂයක් වුණා.

මිහායිලෝ ඔබ්‍රිනොවිච් (Johann Boess)

1882 වන තෙක් සර්බියාවේ පාලකයා හැඳින්වූයේ කුමාරයා යන නමින්. 1839-1842 සහ 1860-1868 සමයන් හි එහි කුමාරයා වූ මිහායිලෝ ඔබ්‍රිනොවිච් විසින් සර්බියාව මූලික කරගත් බෝල්කන් ෆෙඩරේෂනයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කළා. නමුත් මෙය සාක්ෂාත් කරගත හැකි තත්ත්වයක් එකල පැවතියේ නැහැ.

බල අරගල

ඔටෝමන්වරුන්ගෙන් නිදහස ලබාගත් මුල් අවධියේ දී සර්බියානු පාලකයන් ඔස්ට්‍රියා-හන්ගේරියාවට සමීප ව සිටියා (අප විසින් පහසුව තකා මෙම ලිපියෙහි මින් ඉදිරියට මෙම රාජ්‍යය ඔස්ට්‍රියාව වශයෙන් හඳුන්වනවා). මේ අතර සර්බියාවේ ප්‍රධාන පවුල් දෙකක් නිරන්තරයෙන් සිහසුනට සටන් කළා. ඔබ්‍රිනොවිච් සහ කාරාජෝර්ජ්වික් එම පවුල් දෙක වුණා.

1903 දී එවකට සර්බියාවේ රජු වූ ඇලෙක්සැන්ඩර් ඔබ්‍රිනෝවිච් සහ ඔහුගේ රැජින කුමන්ත්‍රණයකින් ඝාතනය කෙරුණා. මින්පසු බලයට පත් වූයේ පීටර් කාරාජෝර්ජ්වික් රජු යි. එම කුමන්ත්‍රණයට ඔස්ට්‍රියාවේ සහාය ලැබී තිබුණ අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස පීටර් රජු ඔස්ට්‍රියාව හා සමීප ව කටයුතු කරතැ යි බලාපොරොත්තු වුණා. නමුත් පීටර්ගේ අභිප්‍රාය වූයේ විශාල සර්බියාවක් නිර්මාණය කිරීම යි. මෙහි දී පීටර් සහ ඔස්ට්‍රියානුවන් අතර ගැටුම් ඇති වීම බලාපොරොත්තු විය යුතු වුණා. ඊට හේතුව නම් බොස්නියා-හර්සගොවිනා ප්‍රදේශය පිළිබඳ ගැටළුව යි. මෙහි විශාල සර්බ් ජනගහනයක් වාසය කළා. ඔස්ට්‍රියාව විසින් මෙය පාලනය කළත් එම අධිරාජ්‍යය වෙත නිල වශයෙන් ඈඳාගෙන තිබුණේ නැහැ. සර්බියාවට මෙම ප්‍රදේශය තම බලයට යටත් කරගැනීමට අවශ්‍ය වුණා.

සර්බියාව 1914 දී (nzhistory.gov.nz)

ඔස්ට්‍රියාව සමග විරසකය වර්ධනය වෙද්දී සර්බියාව රුසියාවට වඩා සමීප වුණා. මෙය තවදුරටත් ඔස්ට්‍රියාවේ නොසතුටට හේතු වුණා. 1908 දී ඔස්ට්‍රියාව විසින් බොස්නියා-හර්සගොවිනාව නිල වශයෙන් ඈඳා ගත්තා. මෙය සර්බියාවේ කෝපයට හේතු වුණා. නමුත් ජපානය සමග යුධ පරාජයෙන් සහ 1905 විප්ලවයෙන් හෙම්බත්ව සිටි රුසියාව මෙම අවස්ථාවේ දී සර්බියාවට උපකාර කළ හැකි තත්ත්වයක වූයේ නැහැ. එහෙයින් සර්බියාවට ද කළ හැක්කක් වූයේ නැහැ. මේ අතර සර්බියාව, බොස්නියා-හර්සගොවිනාවේ ඔස්ට්‍රියානු විරෝධී රහසිගත සංවිධාන වෙත උපකාර  කිරීමට වුණා.

යුගොස්ලාවියා කමිටුව

පළමු ලෝක යුද්ධය ඇරඹුණේ 1914 ජූලි 28 වන දා ඔස්ට්‍රියා-හන්ගේරියාව විසින් සර්බියාවට​ එරෙහිව යුධ ප්‍රකාශ කිරීමත් සමග යි. මෙම යුද්ධයේ ආරම්භක අවස්ථාවල දී සර්බියානු හමුදා සාර්ථක ලෙස ඔස්ට්‍රියා-හන්ගේරියානු ආක්‍රමණයක් පරාජය කළා.

දකුණු ස්ලාව් ජාතිකයන් එක්සත් කර එක් රටක් තුළ ඒකරාශී කිරීමේ අදහස ඇති ව “යුගොස්ලාව් කමිටුව​” බිහි වූයේ මෙම සමයේ යි. මෙහි නියෝජිතයන් ඔස්ට්‍රියානු පාලනය යටතේ වූ ප්‍රදේශයන්ගෙන් පැමිණ තිබුණ අතර, එහි බහුතරය වූයේ ක්‍රොඇට් ජාතිකයන්. ක්‍රොඇට් ජාතික අන්ටෙ ට්‍රම්බිච් එහි ප්‍රධාන සාමාජිකයා ලෙස ඉස්මතු වුණා. මෙම කමිටුව සිය මූලස්ථානය ලෙස ලන්ඩනය තෝරාගෙන තිබුණා. මෙම සංවිධානයට බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සහාය ලැබුණා.

සර්බියානු යුධ පරාජය

1915 වසරේ ඔක්තෝබරයේ දී මධ්‍ය බලවතුන් (පළමු ලෝක යුද්ධයේ දී ජර්මනිය, ඔස්ට්‍රියා-හන්ගේරියාව, තුර්කිය, සහ බල්ගේරියාව ඇතුළත් වූ පාර්ශවය​) සර්බියාවට එරෙහිව නැවතත් යුධ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. 1914 වසරේ යුද්ධයේ දී වූ හානිත්, ටයිෆස් වසංගතයක් නිසා 1915 මුල් මාසවල දී සිදු වූ විනාශයත් හේතුවෙන් සර්බියාව දුර්වල වී සිටියා. මේ අතර බල්ගේරියාව ද යුද්ධයට අවතීර්ණ වීම සර්බියානුවන් තවත් අසරණ කළා.

1916 මුල වන විට පරාජිත සර්බ් සේනා ඇල්බේනියාව හරහා පසුබැස්සා. ඔවුන් එහි සිට ග්‍රීසියේ කෝර්ෆු දූපත කරා රැගෙන යනු ලැබුණා. එහි සිට සර්බියානු හමුදාව ප්‍රතිසංවිධානය වීමට පටන් ගැනුණා.

එම වසරේ ම මැද භාගය වෙද්දී ප්‍රතිසංවිධානය වූ සර්බ් හමුදා සැලෝනිකා හෙවත් මැසඩෝනියා පෙරමුණ කරා එවනු ලැබුණා. මේ පෙරමුණ ග්‍රීසියේ සැලෝනිකා (තෙසලොනිකි) නගරයට උතුරු දෙසින් ක්‍රියාත්මක වූ සටන් පෙරමුණ යි.

කෝර්ෆු ප්‍රකාශනය

සර්බියානු රජය සහ යුගොස්ලාව් කමිටුව යන දෙකම පළමු ලෝක යුද්ධයෙන් ඔස්ට්‍රියාව පරාජය වනු ඇතැ යි යන පදනම මත සිය සැලසුම් සකස් කළා. සර්බ් රජයට අවශ්‍ය වූයේ ඔස්ට්‍රියාවේ පරාජයෙන් පසුව තම රාජ්‍යය වෙත තවත් ප්‍රදේශ ඈඳාගෙන “විශාල සර්බියාවක්” නිර්මාණය කිරීම යි. නමුත් යුගොස්ලාව් කමිටුව බලාපොරොත්තු වූයේ වඩා පුළුල්ව බලය බෙදී ගිය දකුණු ස්ලාව්වරුන්ගේ රාජ්‍යයක්.

ඇන්ටෙ ට්‍රම්බිච් (වම් කෙළවර​) සහ නිකොලා පසිච් (වමේ සිට දෙවැන්නා) 1918 දී පමණ​ (Public Domain)

1917 පෙබරවාරි විප්ලවයෙන් පසු රුසියාවේ අනාගතය අවිනිශ්චිත වූ අතර, සර්බියානු රජයට සිටි ප්‍රබලම සහායකයා ඊට අහිමි වුණා. ඒ අනුව සර්බ් රජයට යුගොස්ලාව් කමිටුව සමග​ සාකච්ඡා කිරීමට සිදුවුණා. මේ දෙපිරිස 1917 ජූනි මාසයේ සිට කෝර්ෆු දූපතේ දී මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වූවා. සර්බ් රජය වෙනුවෙන් අගමැති නිකොලා පසිච් ද යුගොස්ලාව් කමිටුව වෙනුවෙන් ට්‍රම්බිච් ද මෙම සාකච්ඡා සඳහා සම්බන්ධ වුණා.

මෙම දෙපාර්ශවය අතර කෝර්ෆු ප්‍රකාශනයට අත්සන් තබන ලද්දේ 1917 ජූලි 20 වන දා යි. මෙම ප්‍රකාශනය අනුව, යුද්ධයෙන් පසුව​, කාරාජෝර්ජ්වික් රජකු යටතේ වන ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් සහිත ව සර්බ්, ක්‍රොඇට්, සහ ස්ලොවීන්වරුන්ගේ රාජ්‍යයක් ස්ථාපිත කළ යුතු වුණා. එය ඒකීය රාජ්‍යයක් විය යුතු වූ අතර, ප්‍රධාන ජාතීන් තුන මෙන්ම ලතින් සහ සිරිලික් හෝඩි ද නීතිය ඉදිරියේ සමාන ලෙස සැලකිය යුතු වුණා. සර්වජන ඡන්ද බලය සහ ආගමික නිදහස ද සහතික කළ යුතු වුණා.

ට්‍රම්බිච් සහ පසිච් දෙදෙනාගේ අත්සනින් යුත් කෝර්ෆු ප්‍රකාශනයේ අවසන් පිටුව (Public Domain)

යුගෝස්ලාවියාව​

යුද්ධයේ අවසන් දින එළඹෙද්දී ඔස්ට්‍රියාව පරාජය වන බව දිස් වුණා. 1918 ඔක්තෝබර් 28 වන දා එරට සටන් විරාමයක් සඳහා ඉල්ලීමක් කළා. එයින් දිනකට පසු, එනම් ඔක්තෝබර් 29 වන දා ක්‍රොඇට් පාර්ලිමේන්තුව විසින් ක්‍රොයේෂියාව සහ ඩැල්මේෂියාව අනාගත සර්බ්, ක්‍රොඇට්, සහ ස්ලොවීන් රාජ්‍යයක කොටස් බව ප්‍රකාශයට පත් කළා. ඔවුන් විසින් ප්‍රකාශයට පත් කළ සර්බ්, ක්‍රොඇට් සහ ස්ලොවීන්වරුන්ගේ රාජ්‍යයට නිල පිළිගැනීමක් ලැබුණේ නැහැ.

1920 සිට 1922 දක්වා සර්බ්, ක්‍රොඇට් සහ ස්ලොවීන්වරුන්ගේ රාජධානියේ පළාත් (Wikimedia Commons)

මේ අතර සර්බියාව​ සහ මෙම රාජ්‍යය එක්ව 1918 දෙසැම්බර් 1 වන දා සර්බ්, ක්‍රොඇට්, සහ ස්ලොවීන්වරුන්ගේ රාජධානිය ප්‍රකාශයට පත් කළා. මෙහි දී පසිච් පාර්ශවය තාවකාලික ව බලයෙන් ඉවතට තල්ලු වෙද්දී ට්‍රම්බිච් නව රජයේ විදේශ ඇමති ලෙස පත් වුණා.

1929 වනතෙක් මෙම රාජ්‍යය එම නමින් හැඳින්වූ අතර, 1929 ජනවාරි 6 වන දා පළමුවන ඇලෙක්සැන්ඩර් රජු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා තම පෞද්ගලික ඒකාධිපති පාලනයක් පිහිටුවීමත් සමග සර්බ් නොවන ජාතීන්ට තිබුණු ස්ථානය වෙනස් වුණා. ඔහු විසින් තම රාජ්‍යයේ නම ද යුගෝස්ලාවියාව ලෙස නිල වශයෙන් වෙනස් කළා.

කවරයේ පින්තූරය: පළමු ලෝක යුද්ධයේ දී සර්බ් සෙබළුන් පිරිසක් යුධ අගලක (Library of Congress)

මූලාශ්‍රයයන්:

  • The Birth of Yugoslavia (Vol. 1) by Henry Baerlein
  • The First World War by Martin Gilbert

Related Articles