හිට්ලර් විසින් මිලියන හයකට අධික යුදෙව්වන් පිරිසක් සමූල ඝාතනය කිරීම මෑත ඉතිහාසයේ අපි දුටු විශාලතම ජන සංහාරය යි. ඊට නොදෙවෙනි ජන සංහාර කිහිපයක් ඉතිහාසයේ දකින්න ලැබෙනවා. 1994 වසරේ දී ක්‍රියාත්මක වූ රුවන්ඩා සංහාරය ද ප්‍රධාන ජන සංහාරයක් ලෙස හැඳින්විය හැකියි. එහි දී රටේ ජනගහනයෙන් ආසන්න වශයෙන් තුනෙන් දෙකක් පමණ ඝාතයන් වූ බව සඳහන් වෙනවා. එම ඝාතනයන්ට මුල් වන්නේ හුටු හා ටුට්සි යන එරට ගෝත්‍ර දෙක අතර වූ යුද්ධය යි. ඊට අමතරව 1961 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ ඇති වූ වර්ගවාදී ගැටුම් හේතුවෙන් විශාල ප්‍රමාණයක් ඝාතනය වෙනවා. 

රටේ ජන සංඛ්‍යාවෙන් ආසන්න වශයෙන් හතරෙන් එකක් පමණ මරණයට පත් වූ තවත් අවස්ථාවක් ලෙස 1975 වසරේ දී කාම්බෝජයේ බලයට පත් වූ පොල් පොට් ප්‍රමුඛ කෙමර් රූජ් සංවිධානයේ සංහාරය හඳුන්වාදිය හැකි යි. එහි දී සෘජු ඝාතන ක්‍රියාවලි මඟින් මෙන්ම වසංගත තත්ත්ව, කුසගින්න හා විවිධ ලෙඩ රෝග හේතුවෙන් විශාල ප්‍රමාණයක් මිය යනවා.

ඔවුන් කාම්බෝජයේ බලය අල්ලාගෙන සිටියේ ඉතා කෙටි කාලයක් පමණක් වුවත්, එම කාලය තුළ සිදුකළ හානිය අතිවිශාල යි. ඔවුන් මරා දැමූ පුද්ගලයන් අතරට කාම්බෝජ ජාතිකයන්, වියට්නාම් ජාතිකයන්, මුස්ලිම් ජාතිකයන්, හා එරට වාසය කළ සුළු ජාතිකයන් විශාල ප්‍රමාණයක් අයත් වෙනවා. තවත් විශාල පිරිසක් සාගතයෙන් හා වසංගතවලින් මරණයට පත් වෙනවා. මෙලෙස ඝාතනයට ලක් වූ පිරිස මිලියන දෙකකට ආසන්න යි.

මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ 1975 වසරේ දී කාම්බෝජයේ බලයට පත් වූ පොල් පොට් ප්‍රමුඛ කෙමර් රූජ් සංවිධානය විසින් කළ සංහාරයන් ආශ්‍රිතව ඇති ප්‍රසිද්ධ පින්තූර කිහිපයක් පිළිබඳව යි.

ප්නොම් පෙන් නගරය යටත් කරගන්නා කෙමර් රූජ් භටයන්

ප්නොම් පෙන් නගරය යටත් කරගන්නා කෙමර් රූජ් භටයන් (newscvb)

සලොත් සා (Saloth Sar) හෙවත් පොල්පොට් නම් තරුණයෙක්, තම උසස් අධ්‍යාපන කටයුතු සඳහා 1948 වසරේ දී ප්‍රංශයට යනවා. එහි දී මාක්ස්වාදය හදාරන ඔහු, තම චතුර කථිකත්වය හා ආකර්ෂණීයභාවය උපයෝගී කරගනිමින් තමා වටා පිරිසක් එකතු කරගන්නට සමත් වෙනවා. 1953 දී ප්‍රංශයෙන් නැවතත් කාම්බෝජයට පැමිණෙන ඔහු හා ඔහුගේ සගයන් කාම්බෝජ කොමියුනිස්ට් පක්ෂයට එකතු වන අතර, 1963 දී පොල්පොට් එහි මහලේකම් ධූරයට පත් වෙනවා. 

1966 වසරේ තම අනුගාමිකයන් සමග හොර රහසේ කෙමර් රූජ් නම් ආයුධ සන්නද්ධ සංවිධානය ආරම්භ කරන්න පොල්පොට් සමත් වෙනවා. මේ වන විට රට පාලනය කළ නොරදම් සිහනුක් (Norodom Sihanouk) රජුගේ ජනතාවාදී නොවන පාලනයත්, වියට්නාම් යුද්ධය හේතුවෙන් ඇමෙරිකානු ගුවන් ප්‍රහාර කාම්බෝජයට එල්ල වීමෙනුත් ජන ජීවිත වියවුල් වෙනවා. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් 1970 දී ඇමෙරිකානු සහයෝගය මත, අගමැති ජෙනරාල් ලොන් නොල් (Lon Nol) විසින් රජුව බලයෙන් පහකර පාලන බලය අල්ලා ගැනීමට සමත් වෙනවා. නමුත් රටේ දේශපාලනික අස්ථාවරත්වය දිගින් දිගටම පවතිනවා.

1975 අප්‍රේල් මාසයේ දී කෙමර් රූජ්වරුන් ලොන් නොල්ගේ ආණ්ඩුව කුමන්ත්‍රණයකින් පෙරළා දමා එරට බලය අල්ලා ගන්නවා. එහි දී කෙමර් රෑජ් භටයන් ප්නොම් පෙන් නගරය වෙත ඇතුළු වූ අවස්ථාව ඉහත ජායරූපයේ පෙන්නුම් කෙරෙනවා. එහි දී ජනතාව ප්‍රීති ඝෝෂා නගමින් පොල්පොට්ගේ හමුදාව පිළිගන්නා අතර, ඉන් ටික කාලයකට පසුව මෙම හමුදාව අතින්ම තමන්ට අකාලයේ මියයෑමට සිදුවෙතැ යි ඔවුන් කිසිදින අපේක්ෂා නොකරන්න ඇති.

නගරවලින් මිනිසුන් ඉවත් කිරීම 

නගරවලින් මිනිසුන් ඉවත් කිරීම (independent)

මුදල් භාවිතය අහෝසි කරන අතරම කාර්මීකරණය ප්‍රතික්ෂේප කරන කෙමර් රූජ්වරුන්ගේ මූලිකම අරමුණ වන්නේ කෘෂිකර්මාන්තය ඔස්සේ රටේ ආර්ථිකය නඟා සිටුවීම යි. ඒ සඳහා ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව විශාල ගොවිබිම් පිහිටුවීමට කෙමර් රූජ් රජය කටයුතු කරනවා. පොම්පේ ඇතුළු නගරවල විසූ නාගරිකයන් සියල්ලටම තම නිවෙස්වලින් එළි බසින ලෙස තර්ජනය කරන කෙම්ර් රූජ් භටයන්, ඔවුන් සියලු දෙනා ඈත පළාත් හි පිහිටි ගොවිබිම් කරා ප්‍රවාහනය කරනවා. ඒ අවස්ථාවක ලබාගත් පින්තූරයකුයි ඉහත දක්වා තිබෙන්නේ. 

ළමා මනසට දරාගත නොහැකි අපරාධ කළ කෙමර් රූජ් ළමා සොල්දාදුවෝ 

කෙමර් රූජ් ළමා සොල්දාදුවෝ 

විශ්වවිද්‍යාල දේශකයන්, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, හා නොයෙක් උපාධි ලද උගතුන් සියල්ලක්ම ඝාතනය කිරීමට ඔවුන් විසින් ක්‍රියාකරන්නේ කෙමර් රූජ් රජයට එරෙහි වීමට ඔවුන්ට උත්සාහ කරනු ඇතැ යි යන සැකය මත යි. ඝාතන හා සිරකරුවන්ට වධ දීම් යන ක්‍රියාවන් සඳහා බොහෝ විට සහභාගී වන්නේ ළමා සොල්දාදුවන්. ළමා කෙමර් රූජ් භටයන් කළ අපරාධ ඔවුන්ගේ වයසට ඔරොත්තු නොදෙන තරමේ ඒවා බව පැවසෙනවා.

ළමා සොල්දාදුවන් (allthatsinteresting)

ඝාතනයන්

දෙනෙත් හා මුව ආවරණය කර බැඳ දමා සිටි අයෙකුගේ හිස් කබලක් (allthatsinteresting)

කෙමර් රූජ් සංවිධානයේ ගොවිපළවල් ආශ්‍රිතව මරා දැමුණු බොහෝ පිරිසකගේ නෂ්ටාවශේෂ 1985 වසරේ දී පරික්ෂා කර ගොඩගත් අතර, ඒ අතර තිබුණු ඝාතනයට පෙර දෙනෙත් හා මුව ආවරණය කර බැඳ දමා සිටි අයෙකුගේ හිස් කබලකි මේ ඡායාරූපයෙන් ඔබට දිස්වන්නේ. 

කවරයේ පින්තූරය- allthatsinteresting

මූලාශ්‍රයයන්-

Allthatsinteresting.com

History.com