කොන්ෆියුෂියස් ඉගැන්වීමක් කනපිට පෙරළූ චීන අධිරාජිනිය

කොන්ෆියුෂියානු ඉගැන්වීම්වලට අනුව කාන්තාවන්ට රාජ්‍ය පාලන තත්ත්වයකට ඒමට නොහැකි විය. කොන්ෆියුෂියස් පවසා සිටියේ “ගැහැණියකගේ රාජ්‍ය පාලනය, කුකුළෙකු උදේ පාන්දර කරන හැඬලීම කිකිළියකු කිරීමට උත්සහ කිරීම තරම් අස්වාභාවික ය” ලෙස යි.

එනමුත් මෙම ඉගැන්වීම බොරුවක් බව ඔප්පු කිරීමට ටෑංග් රාජවංශය තුළින් හැකි විය. මෙම රාජවංශය පැවති කාලයේ පැරණි චීන අවධීන්ට වඩා ස්ත්‍රීන්ට නිදහස හිමිව තිබුණි.

පෙර දී කාන්තාවන්ට ‘කකුල් බැඳීම’ නම් කෲර ක්‍රියාවලියක් තිබුණි. කාන්තාවන්ගේ පාද සුමටව තබාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව පැරණි චීන සමාජය සලකන ලදී. කකුල් බැඳීම ගැන තවදුරටත් කියනවා නම්, මෙහි දී කාන්තාවන්ගේ කකුල්වල ඇටකටු කුඩාකල දී බිඳ වෙළුම් පටිවලින් ඔතා දමයි. මෙය සිදුකරන්නේ වයස අවුරුදු හතරත් නමයත් අතර කාලයේ දී ය. මන්ද, එම කාලයේ දී කකුලේ අස්ථි තරුණ වියට පත් වූ විට දී ට වඩා පහසුවෙන් බිඳිය හැකි නිසාවෙනි. මෙය චීනය තුළ ප්‍රකට වූයේ දහවැනි ශතවර්ෂයේ දී චීන අධිරාජ්‍යයාට නර්තන ඉදිරිපත් කළ යාඕ නියැන්ග් නම් කාන්තාවගෙන් ය. ඇය තම කකුළ වෙළුම් පටිවලින් බැඳ ඇඟිලි තුඩුවලින් චීන අධිරාජ්‍යයා ඉදිරියේ නර්තනයේ නිරතව සිට ඇත. මෙය දුටු අනෙක් කාන්තාවන් ඇයව අනුකරණයට කරන්නට ගත්තෙන් මෙය එකල පටන් චීනයේ ජනප්‍රිය වන්නට ගත්තේ ය.

කකුල් බැඳීම  (pinterest.com)

මෙම චාරිත්‍රය එකල පටන් අලංකරණය සම්බන්ධයෙන් චීන සංකේතයක් විය. අලංකරණයට අමතරව මෙම චීන චාරිත්‍රයේ වෙනත් පැතිකඩක් ද තිබෙන බව කිව යුතු ය. මෙම කකුල් බැඳීම නිසා කාන්තාවට දිගුකාලීන ආබාධ ඇති වන අතර, තනිවම ඇවිද යාමට හා තනිවම වැඩක්පළක් කරගැනීමට අපහසු යි. එම නිසා ඔවුන්ට මෙහෙකාරයන්ගේ අවශ්‍යතාව තිබුණා. මෙහෙකාරයන් සිටින්නේ තරමක් පොහොසත් පවුල් වලට ය. එම නිසා කකුල් බැඳීමේ චාරිත්‍රය තම වත් පොහොසත්කම් ප්‍රදර්ශනය කිරීම සඳහා ද යොදාගෙන තිබේ.

වර්තමානය වන විට ද බුරුමය හා තායිලන්තය වැනි රටවල්වල ගම්බද කාන්තාවන් බෙල්ල දිගු කරගැනීම උදෙසා මෙවන් ක්‍රියාවලියක යෙදෙයි. ඒ සඳහා ඔවුන් යොදාගන්නේ පිත්තල වළලු ය. ටෑංග් රාජවංශයේ දී පෙර කී ‘කකුල් බැඳීමේ චාරිත්‍රය ප්‍රචලිත වී නොතිබුණු අතර කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය ද හිමිව තිබුණි.

ක්‍රි.ව. 624 දී ශාක්ෂි ප්‍රාන්තයේ ධනවත් පවුලකට සේෂාන් නමින් ගැහැනු දරුවෙකු උපත ලැබී ය. එකල අන් ගැහැනු දරුවන් මෙන් අධ්‍යාපනයේ හිමිකම ප්‍රයෝජනයට ගත් ඇය වයස අවුරුදු 13 පමණ වන විට චීන සම්භාව්‍ය ග්‍රන්ථ පරිශීලනයට හැකියාව ඇති තත්ත්වයකට පත්ව සිටියා ය.

සේෂාන් (pinterest.com)

ඇගේ රූ සොබාවත්, ඥාණයත් නිසාවෙන් එකල සිටි ටයිසොංග් අධිරාජ්‍යයා ඇයව තම උප පතිනිය ලෙස රජ වාසල වෙත රැගෙන ගියේ ය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ නමවැනි පුත්‍රයා වූ ග්වේසොං මෙම සටහනේ කතා නායිකාව වූ සේෂාන්ව විවාහ කර ගත්තේ ය. එමඟින් ඇය ග්වේසොංගේ අගමෙහෙසිය බවට පත්විය. සාමාන්‍යයෙන් නම් රජ කෙනෙකු මියගිය විට ඔහුගේ අග මෙහෙසිය ඇතුළු අනෙක් මෙහෙසියන් ආරාමයකට ගොස් ආගමික දිවියක් ගත කළ යුතු යි. මන්ද, ඉන්පසු රජ වන පුද්ගලයා පෙර රජතුමාගේ බිසවක් සමග එක් නොවිය යුතුයැ යි එකල සැලකූ නිසා. නමුත් සේෂාන් මෙය පිළිපැද්දේ නැත. සේෂාන් ග්වේසොං සමග හාදකම පටන් ගත්තේ පෙර රජතුමා මියයාමට පෙර සිට බව ද පැවසෙනවා.

ග්වේසොං රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් දක්ෂ නොවූ දුර්වල පාලකයෙක් බවට ඉතිහාසඥයින් පෙන්වා දෙයි. මේ හේතුවෙන් රාජ්‍ය පාලනය පිටුපස සිටියේ අගමෙහෙසිය වූ සේෂාන් ය. විවාහයෙන් වසර 5කට පසු ග්වේසොං හෘදයාබාධකින් මිය ගියේ ය. ඒ අනුව රාජ්‍ය පාලනය පැවරුණේ සේෂාන් වෙත යි. මෙහි දී ඇය විසින් රාජ්‍ය පාලනය පවරා ගත්තායැ යි සැලකීම වඩාත් නිවැරදි වේ. 644 දී ග්වේසොංගේ මරණයෙන් පසු 645 දී කුමන්ත්‍රණ කිහිපයකින් ඇය ටෑංග් රාජවංශයේ අධිරාජිනිය බවට පත්විය.

සේෂාන්ගේ පාලන කාලයට අයත් බුදු පිළිමයක් (pinterest.com)

චීන අධිරාජ්‍යයේ පළමුවන හා එකම අධිරාජිනිය බවට පත්වෙමින් ඇය කොන්ෆියුෂියස්ගේ කුකුළා හා කිකිළිගේ කියමන කනපිට හැරවීමට සමත් විය. ගැහැනිය පහත් කොට සැලකූ කොන්ෆියුෂියස් දහම රාජ්‍ය ආගම තත්ත්වයෙන් නෙරපූ අතර ඒ වෙනුවට රාජ්‍ය ආගම් ලෙස බුදු දහම හා ඩව් දහම පත් කළා ය.

මැය ක්‍රමක්‍රමයෙන් උපායශීලීව සිහසුනට උරුමකම් කී අයව ඉවත් කළා ය. අධිරාජ්‍යය මධ්‍යම ආසියාව තෙක් ව්‍යාප්ත කොට මොංගෝලියාව, කොරියාව හා වියට්නාමය ඇතුළු බොහෝ පෙදෙස් රාජ්‍යයට එක්කර ගත්තා ය.

කෙසේ වෙතත් ඇය අනුකම්පා විරහිත පාලිකාවක් වූ අතර චර්යාව ද කීර්තිමත් එකක් නොවී ය. ඇය තම පාලන කාලයේ දී ටෑංග් අධිරාජ්‍යය ජූහ් අධිරාජ්‍යය ලෙස නම් කළා ය. එහෙත් මැය තම අධිරාජ්‍යය ස්ථාවර හා සෞභාග්‍යමත් අධිරාජ්‍යයක් බවට පත් කිරීමට සමත් විය.

ලොංමෙන් ගුහා සංකීර්ණය (pinterest.com)

ඇයගේ රාජ්‍ය කාලය තුළ සිදු කෙරුණු ප්‍රතිසංස්කරණය ඉතා වැදගත් ඒවා විය. චීන කලා ශිල්ප ක්‍රමයේ ඉහළ ස්ථානයක් හිමිකරගත් ලොංමෙන් ගුහා සංකීර්ණය ඇයගේ පාලන කාලය තුළ දී නිර්මාණය විණි. මෙය ගුහා 1400කින් හා එක් එක් ප්‍රමාණයට ශෛලිමය බුද්ධ ප්‍රතිමා ලක්ෂයකින් පමණ සමන්විත වේ.

ක්‍රි.ව. 715 දී අසනීපයක් හේතුවෙන් සේෂාන් මිය ගියා ය. ඇයගෙන් පසු ඇගේ මුණුබුරු ෆොන් සොංග් බලය තම අතට අරගත්තේ ය.

මූලාශ්‍රයයන්:

1)ලෝක ඉතිහාසයේ මං සලකුණු – ජස්ටින් බෙලගමගේ

2)allthatsinteresting.com

3)ancient.eu

කවරයේ පින්තූරය: සේෂාන්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය වූ ටෙලි නාට්‍යයක දර්ශනයක්. (pinterest.com)

Related Articles