පෘතුගීසීන්ට එලව එලවා පහර දුන් ගන්නෝරුව සටන

16 වැනි සියවස ආරම්භ වන විට පෘතුගාලයේ සිහසුන දැරූ පළමු වැනි මැනුවෙල් රජු, ක්‍රිස්තු වර්ෂ 1505 දී ඉන්දියාවේ පෘතුගීසි ප්‍රතිරාජයා ලෙස ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා පත් කළේ පෙරදිග පෘතුගීසි ආණ්ඩුවක් පිහිටුවමින්. එම වර්ෂයේ දී ම කේරළයේ කන්නූර් නුවර අත්පත් කර ගත් පෘතුගීසීන් ඔවුන්ගේ බලය තව තවත් තහවුරු කර ගනිමින් ශාන්ත ඇන්ජෙලෝ බලකොටුව ගොඩ නැංවීමට සමත් වුණා.

ඉන්දියාවේ පෘතුගීසි ප්‍රතිරාජ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා (en.wikipedia.org)

ඉන් අනතුරු ව ඔවුන්ගේ අවධානය ඔවුන් පෙරදිගට පැමිණි ප්‍රධාන අරමුණු ත්‍රිත්වයෙන් එකක් වූ කුළුබඩු සොයා යෑම කෙරෙහි යොමු වූ අතර පෘතුගීසි ප්‍රතිරාජ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුත්, ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු නාවික බලඇණියක් ක්‍රිස්තු වර්ෂ 1505 දී ගාලු වරායට සේන්දු වුණේ කුරුඳු සොයා පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස යි.

එසේ ලක්දිවට ගොඩ බට පෘතුගීසීන්ට එවකට රාජධානි කිහිපයක් ලෙස බෙදී වෙන් වී පාලනය වූ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම ඔවුන් යටතට ගැනීමට අවැසි වුණා. නමුත් ක්‍රිස්තු වර්ෂ 1619 වන විටත් ඔවුන්ට අත්පත් කර ගැනීමට හැකි වුණේ කෝට්ටේ, සීතාවක සහ යාපනය රාජධානි පමණ යි. තුන් වරක් ම කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීම සඳහා පෘතුගීසීන් දැරූ උත්සාහයන් අසාර්ථක වුණේ සෙංකඩගල නුවර තව දුරටත් ස්වදේශීය රජෙකුගේ පාලනයට යටත් වෙමින්. මෙසේ ලක්දිව ආක්‍රමණය කළ පෘතුගීසීන්ට කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට නොහැකි වුණේ කඩුගන්නාව ගිරි දුර්ගය හරහා පැමිණීමට නොහැකි වීම සහ සෙංකඩගල නුවර මහවැලි නදියෙන් වට වී තිබීම නිසා බවට මතයක් පවතිනවා.

ගන්නෝරුව සටනට නායකත්වය දුන් දෙවැනි රාජසිංහ රජු (en.wikipedia.org)

මේ අතර වාරයේ ක්‍රිස්තු වර්ෂ 1635 දී සෙනරත් රජු මිය ගියේ ඔහුගේ පුත්, මහා අස්ථාන කුමරුට රාජ්‍යත්වය උරුම කර දෙමින්. දෙවැනි රාජසිංහ නමින් කන්ද උඩරට කිරුළ පැළඳූ මහා අස්ථාන කුමරු රාජ්‍ය පාලනයේ පහසුව සඳහා ඔහුගේ ඥාති සොයුරන් වූ විජයපාලට සහ කුමාරසිංහට මාතලේ සහ ඌව වෙල්ලස්සේ බලය පවරා දී තිබෙනවා.

ක්‍රිස්තු වර්ෂ 1630 දී තම පියාණන් සහ ඥාති සොයුරන් සමග රෙන්දෙණිවෙල සටනේ දී පෘතුගීසීන් ව පරාජය කර සිටි දෙවැනි රාජසිංහ රජු ඔවුන් ව සම්පූර්ණයෙන් ම සිංහල දේශයෙන් අතු ගා දැමීම සඳහා නාවික බලය සහිත බලවත් ජාතියකගේ ආධාර බලාපොරොත්තුවෙන් සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තු වර්ෂ 1638 දී ලන්දේසී සමග ගිවිසුමකට එළැඹීමට එතුමාට හැකියාව ලැබුණා. මේ බව කොළඹ පෘතුගීසි කපිතාන් ජෙනරාල් තනතුර දැරූ ඩියේගෝ ද මේලෝ ද ක්‍රැස්ත්‍රෝට දැන ගැනීමට ලැබුණු අතර ඔහුගේ අදහස වුණේ කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීම සඳහා දියත් කළ යුතු ප්‍රයත්නයන් ඉක්මන් කළ යුතු බව යි.

පෘතුගීසි පාලනය යටතේ ශ්‍රී ලංකාව (en.wikipedia.org)

ගන්නෝරුව සටනට පසුබිම සැකසූ පෘතුගීසීන්

ලන්දේසීන් සමග සමීප මිත්‍රත්වයක් ගොඩ නගාගෙන සිටි දෙවැනි රාජසිංහ රජු පිළිබඳව පෘතුගීසීන් තුළ එතරම් පැහැදීමක් නොතිබුණු අතර ඒ හේතුවෙන් මුල සිට ම කපිතාන් ජෙනරාල් ඩියේගෝ ද මේලෝ ද ක්‍රැස්ත්‍රෝ කන්ද උඩරට රාජධානිය පිළිබඳ ව අනුගමනය කළේ ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක්. ඒ අනුව කපිතාන් ජෙනරාල්ගේ නියෝගයකට අනුව ස්වදේශිකයන් 600කින් යුතු වෙළඳ ගැල් සමූහයක් පෘතුගීසි භාරයට ගත් අතර සෙනරත් රජු සමග පෘතුගීසීන් අත්සන් කර තිබුණු සාම ගිවිසුම ගැන ද ඔහු ප්‍රශ්න කරන්නට පටන් ගෙන තිබෙනවා.

17 වැනි සියවසේ දී පෘතුගීසි සේනා (en.wikipedia.org)

කන්ද උඩරට රාජධානියට පහර දීම සඳහා ඔහු සේනා සංවිධානය කිරීම ඇරඹුවේ ද මේ කාලයේ දී ම යි. පෘතුගීසි සොල්දාදුවන්ගෙන් හා කුලී හේවායන්ගෙන් සැදි පෘතුගීසි සේනාව, ඔවුන් සතු බලය සිංහල රජුට පෙන්වීමේ අරමුණ ඇති ව කන්ද උඩරට රාජධානිය මායිමේ පිහිටා අට්ටාපිටිය ආශ්‍රිත ව කඳවුරු බැඳීම ආරම්භ කළා. එයට ප්‍රතිචාර දක්වමින් සිංහල රජු ද ඔහුගේ ඥාති සොයුරන්ගේ සහය ඇති ව මාතලේ සහ ඌව වෙල්ලස්සේ දී සේනා රැස් කළේ සටනකට සූදානම් වෙමින්.

පෘතුගීසි ලංකාවේ නිල ලාංඡනය (en.wikipedia.org)

මේ කාලයේ දී වෙළඳ කටයුතු සඳහා කන්ද උඩරට පැමිණ රජුගේ හොඳ හිත දිනා ගත් ඇන්ටෝනියෝ මකාඩෝ නම් පෘතුගීසි වෙළෙන්දා සඳහා දෙවැනි රාජසිංහ රජු ඇතෙක් තෑගි කළ අතර සටනක් ඇරඹීම සඳහා මාන බලමින් සිටි කපිතාන් ජෙනරාල් ඩියේගෝ ද මේලෝ ද ක්‍රැස්ත්‍රෝ එම ඇතා ව ඔහුගේ භාරයට ගෙන තිබෙනවා. මේ බව සැලවීමෙන් පසු ව දෙවැනි රාජසිංහ රජු තවත් ඇතෙක් ව පෘතුගීසි වෙළෙන්දා සඳහා තෑගි කර ඇති අතර දෙවැනි ඇතා ව ද කපිතාන් ජෙනරාල්ගේ භාරයට පත් වුණා. එයින් කෝපයට පත් වී සිටි දෙවැනි රාජසිංහ රජු ව තව තවත් කෝප ගන්වමින් කන්ද උඩරට රාජධානියේ මඩකලපුවේ දිසාවේ පෘතුගීසීන් අතින් මරණයට පත් වුණා.

දරුණු සටනක් සඳහා සිංහල රජුගේ සූදානම

17 වැනි සියවසේ දී සිංහල සේනා (prasannaweerakkody.com)

කපිතාන් ජෙනරාල් සමග දැඩි කෝපයකින් පසු වූ දෙවැනි රාජසිංහ රජු ඔහුගෙන් පළි ගැනීම සඳහා ඔහු විසින් විකිණීම සඳහා නුවරට එවන ලද අසුන් දෙදෙනෙක් සිංහල රජුගේ භාරයට ගත් අතර ඇතුන් සමග අසුන් හුවමාරු කර ගැනීමට කැමැත්ත පළ කරමින් කපිතාන් ජෙනරාල්ට හසුනක් යවා තිබෙනවා. නමුත් එය නොසලකා හැරි කපිතාන් ජෙනරාල් ක්‍රිස්තු වර්ෂ 1638 මාර්තු 19 වැනි දින ඔහුගේ සේනාවන්ට මැණික් කඩවර නම් ගම්මානයට රැස් වන ලෙස නියෝග කර ඇති අතර මලක්කාවෙන් ගෙන්වා ගත් තවත් සේනාවක් ද සමගින් ඔහු ද එදින මැණික් කඩවරට ළඟා වුණා.

සිංහල සටන්කරුවන් (en.wikipedia.org)

මේ බව ආරංචි වූ දෙවැනි රාජසිංහ රජු සාම ගිවිසුමකට එළැඹීමට ඇති කැමැත්ත ප්‍රකාශ කරමින් පෘතුගීසි පූජකයෙකු අතර කපිතාන් ජෙනරාල්ට පණිවිඩයක් යැවූවත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ “පුංචි කළු ජාතිකයා දැන් බය වෙලා. අපි ඔහු ව කනෙන් ඇදගෙන ආ යුතුයැ”යි පවසමින්. එම ප්‍රකාශයෙන් උදහසට පත් වූ දෙවැනි රාජසිංහ රජු ඔහු සතු සේනා සියල්ල ම නගරයට කැඳවූ අතර සටනට ආරම්භයක් ගනිමින් නගර වැසියන් සහ වටිනා භාණ්ඩ වෙනත් ගම්මානවලට පිටත් කර යවා තිබෙනවා. පෘතුගීසි සේනාව තරම් බලවත් නොවූ සිංහල සේනාව, සෘජු ව පෘතුගීසීන්ට මුහුණ නොදී ගන්නෝරුව කන්දේ කඳවුරු බැඳ ගත්තේ සෙංකඩගල නුවරට පහර දීමට ගොස් හිස් අතින් පැමිණෙන පෘතුගීසි හමුදාවට පහර දීමේ අරමුණ ඇති ව යි.

සිංහල රජු නා හිමිගේ කෝවිලට වූ භාරය

දොඩන්වල දේවාලය අද (amazinglanka.com)

තමන්ගේ සේනා සෝදිසි කරමින් සේනාධිපතිවරුන් සමග සංචාරයේ යෙදෙමින් සිටි රජු එක්තරා අවස්ථාවක දී දොඩන්වල දේවාලයට අයත් නා හිමිගේ කෝවිල නමින් හැඳින් වූ ස්ථානයට පැමිණි ඇති අතර එහි රජ කිරුළ රජුගේ හිසෙන් ගිලිහී බිම වැටී තිබෙනවා. එයින් කනගාටුවට පත් රජුට ඔහුගේ සේනාධිපතිවරුන්ගෙන් දැන ගැනීමට ලැබුණේ නා හිමිගේ කෝවිල හාස්කම් සහිත ස්ථානයක් බව යි. ඒ අනුව පෘතුගීසීන් සමග පැවතෙන සටනෙන් සිංහල සේනාවට ජය ලැබුණහොත් ඔහුගේ කිරුළ සහ අසිපත, නා හිමිගේ කෝවිලට පූජා කිරීමට දෙවැනි රාජසිංහ රජු භාර වී තිබෙනවා.

‘සටන් අතර සටන’ හෙවත් ගන්නෝරුව සටන

ක්‍රිස්තු වර්ෂ 1638 මාර්තු 27 වැනි දින පෙරවරුවේ දී අට්ටාපිටියේ සිට බලන හරහා සෙංකඩගල නුවරට ළඟා වූ පෘතුගීසින්ට දැක ගැනීමට ලැබුණේ හිස් වූ නගරයක්. රජ මැදුර සහ විහාරස්ථාන ඇතුළු ව සම්පූර්ණ නගරය ම ගිනිබත් කළ පෘතුගීසින්, හිස් අතින් ම කොළඹ බලා යාමට පිටත් වූ අතර රාත්‍රිය එළැඹෙන විට ගන්නෝරුවට ළඟා වී තිබෙනවා.

prasannaweerakkody.com

ගන්නෝරුවේ දී සිංහල සේනාවන් විශාල ගස් කපා දමා පෘතුගීසී පැමිණෙන මංපෙත අවහිර කර ඇත්තේ ඔවුන්ට මහවැලි නදිය තරණය කිරීමට නොහැකි වන අයුරින්. එසේ ම මාතලේ සිට පැමිණි සේනාවන් යළිත් සෙංකඩගල නුවරට යා නොහැකි වන ලෙස පෘතුගීසීන්ට පැන යා හැකි මාර්ග සියල්ලක් ම අවහිර කර තිබෙනවා. ඒ අනුව පෘතුගීසි හමුදාවේ ඉදිරියෙන් ම සිටි සොල්දාදුන්ට වනයේ සැඟවී සිටි සටන්කරුවන් පහර දුන් අතර අධික වෙහෙස සහ ආහාර හිඟකම නිසා පෘතුගීසීන් පත් වී තිබුණේ අතිශය දුෂ්කර තත්ත්වයකට යි. මෙයින් ප්‍රයෝජන ගත් දෙවැනි රාජසිංහ රජු නොනවත්වා ම ප්‍රහාර එල්ල කර ඇති අතර අල්ලා ගන්නා ලද පෘතුගීසීන්, දරුණු ලෙස වධ දී මරා දැමූ බව ඓතිහාසික මූලාශ්‍රයන් හි සඳහන් වෙනවා.

කන්ද උඩරට රාජධානියේ ධජය (en.wikipedia.org)

ක්‍රිස්තු වර්ෂ 1638 මාර්තු 28 වැනි දින උදා වන විට බොහෝමයක් පෘතුගීසීන් මරණයට පත් වී සිටි අතර කුලී හේවායන් රැසක් පෘතුගීසි සේනා අත් හැර දෙවැනි රාජසිංහ රජු හා එක් වී තිබෙනවා. මේ හේතුවෙන් කපිතාන් ජෙනරාල් ඩියේගෝ ද මේලෝ ද ක්‍රැස්ත්‍රෝ සටන් විරාමයක් සඳහා අවසර ඉල්ලා සිටිය ද එයට ප්‍රතිචාර නොදැක් වූ දෙවැනි රාජසිංහ රජු පෘතුගීසි හමුදාවට දිගින් දිගට ම ප්‍රහාර එල්ල කළේ ඔවුන් ව ගන්නෝරුව කඳු මුදුනට එලවා යවමින්. මේ වන විට පෘතුගීසී සොල්දාදුවන් 4,000 ක් පමණ මිය ගොස් සිටි අතර කපිතාන් ජෙනරාල් ඩියේගෝ ද මේලෝ ද ක්‍රැස්ත්‍රෝ මිය ගිය බව ආරංචි වන විට පෘතුගීසි සේනාවෙන් ඉතුරුව සිටියේ අතලොස්සක් පමණක් බව කියැවෙනවා. කපිතාන් ජෙනරාල්ගේ මරණය සමග සටන නතර කරන ලෙසට නියෝග ලබා දුන් දෙවැනි රාජසිංහ රජු ඉතුරු ව සිටි පෘතුගීසි සොල්දාදුවන් ව සිර භාරයට ගෙන කපිතාන් ජෙනරාල්ගේ මළ සිරුර සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කළ ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකි වී නැහැ. නමුත් පසු ව සිංහල හේවායන්ට කපිතාන් ජෙනරාල්ගේ අසිපත සොයා ගැනීමට හැකි වී ඇති අතර එයට දෙවැනි රාජසිංහ රජුට භාර දී තිබෙනවා.

prasannaweerakkody.com

ඓතිහාසික ගන්නෝරුව සටනින් පසු ව

ගන්නෝරුව සටන ජය ගැනීමෙන් අනතුරු ව දෙවැනි රාජසිංහ රජු භාර වූ පරිදි ම ඔහුගේ ස්වර්ණමය කිරුළ සහ ලෝහයෙන් තැනූ අසිපත දොඩන්වල  දේවාලයට පූජා කර තිබෙනවා. එසේ ම සටන සඳහා සිංහල සේනාව සමග සටන් වැදි හේවායන්ට ගම් බිම් තෑගි කිරීමට ද එතුමා කටයුතු යෙදූ අතර සටනට නායකත්වය දුන් සේනාධිපතීන් උසස් තනතුරු සඳහා පත් කිරීමට ද එතුමා කටයුතු කළා.

දෙවැනි රාජසිංහ රජු ලන්දේසි නායකයන් ව පිළි ගැනීම (prasannaweerakkody.com)

ගන්නෝරුව සටනින් පරාජයට පත් වූ පෘතුගීසීන් යළිත් වරක් කන්ද උඩරට අල්ලා ගැනීම සඳහා උත්සාහ නොකළ අතර සෙංකඩගල රාජධානිය විසින් මෙහෙය වූ අවසන් සටන ලෙස ද එය සැලකෙනවා. එසේ ම පෘතුගීසීන් සහ සිංහලයන් අතර ඇති වූ අවසන් සටන වන්නේ ද එය යි.

පසු කාලීනව දෙවැනි රාජසිංහ රජු ලන්දේසීන් සමග ඇති කර ගත් ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තු වර්ෂ 1658 දී පෘතුගීසීන් සම්පූර්ණයෙන් ම ලක්දිව හැර ගිය අතර එයට තුටු පඬුරක් ලෙස සිංහල රජු, කපිතාන් ජෙනරාල් ඩියේගෝ ද මේලෝ ද ක්‍රැස්ත්‍රෝගේ අසිපත, ලන්දිසේ අද්මිරාල් ඇඩම් වෙස්ටවෝල්ට් වෙත පිරි නමා තිබෙනවා.

කවරයේ පින්තූරය : prasannaweerakkody.com

මූලාශ්‍ර :

  1. en.wikipedia.org
  2. helabima.lk
  3. lakdivanews.com
  4. sundaytimes.lk
  5. amazinglanka.com

Related Articles