කාටත් අමතක කොළඹ පුරාණය ගැන පුදුමාකාර කතා

කොළඹ අතීතය ගැන අද සිහිපත් කරන විට අපට එන්නේ පුදුමයක්. වනවදුලුවලින් පිරුණු, වැලි පාරවල් සහිත පිටිසර වටපිටාවකින් යුත් කොළඹ එදා තිබූ බොහෝ වැදගත් තැන් අද මතකයට පවා එන්නේ නැති තරම්.  විශාල කුරුඳු වතු සහිත පෙදෙසක ඉඳන් පාරු පාලමෙන් එතෙරව ගඟ තරණය කළ කෝපි කාලෙ කොළඹ ගැන සිහිපත් කිරීම රසවත් අත්දැකීමක්.

කුරුඳු තැලූ කුරුඳුවත්ත

කුරුදුවත්තේ සිට බේරේවැව හා කොල්ලුපිටිය – lankapura.com

 

1864 දී කොළඹ මහ රෝහල සහ ඇස් වාට්ටුව ඉදිකළ භූමිය කුරුඳු වත්තක් වූ අතර එයින් දකුණු දෙසට බොරැල්ල, තිඹිරිගස්යාය දක්වාත්, අනෙක් පසින් රීඩ් මාවත, රාජකීය හා තර්ස්ටන් විද්‍යාල ද පිහිටි පෙදෙස දක්වාත් කුරුඳුවත්ත පැතිරී තිබුණා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, එස්. එස්. සී. ක්‍රීඩා පිටිය මෙන්ම විහාරමහා දේවී උද්‍යානය හා නිදහස් චතුරශ්‍රය අයත්වන්නේත් කුරුඳුවත්ත පෙදෙසට යි.

කුරුදුවත්තේ ගැමි සිරියාව- lankapura.com  

එහි මුලින්ම කුරුදු වගාවක් ආරම්භ කර ඇත්තේ 1770 දී ඕලන්ද ආණ්ඩුකාර ෆැල්ක් විසින්. එම කුරුදුවත්තට වර්ග සැතපුම් 12ක බිම්පෙදෙසක් අයත් වුණා.  ඕලන්ද යුගයේ සිට විදේශිකයන් සහ ධනවතුන් වාසය කළේ කොටහේන අවට ප්‍රදේශයේ යි. නමුත් පසුව එම නේවාසික බව කුරුඳුවත්තට මාරුවුණා.

 කුරුදුවත්ත පොලිසිය අවට අතීතයේ- lankapura.com  

 

අද වන විට ධනවත්, බලවතුන්ගේ නිවාස පිහිටා ඇති කොළඹ කුරුඳුවත්ත අදින් සියවස් දෙකක පටන් කුරුඳු වවා තිබූ අතර, කුරුඳු නොමැති තැන්වල විශාල කැලෑ රොදවල් තිබූණා. පැරණි ඡායාරූපවල එහි ගම්බද ස්වරූපය  දැකගත හැකියි. එමර්සන් ටෙනන්ට්, ජෝන් ඩේවී, ආර්. එල්. බ්‍රෝහියර් ආදී ලේඛකයන් ගණනාවක් කුරුඳුවත්තේ කුරුඳු වගා පිළිබඳව සිය පොත්වල සටහන් කොට තිබෙනවා. අද එක් කුරුඳු ගසක් පමණක් කුරුඳුවත්ත තැපැල් කන්තෝරුව ඉදිරිපිට මිදුලේ පිහිටා තිබෙනවා.

පාරු පාලමෙන් එගොඩට

පාරු පාලමෙන් ගැල් එගොඩ කරමින්- lankapura.com  

අද කොළඹ සිට කැලණි ගඟෙන් එතෙරවීමට පාලම් දෙකක් සහ දුම්රිය පාලමක් තිබෙනවා. මේ දිනවල අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන තවත් ගුවන් පාලමක් ඉදිවෙමින් තිබෙනවා. අදින් සියවස් එකහමාරකට පෙර කොළඹ සිට කැලණි ගඟෙන් එතෙර වුණේ ග්‍රෑන්ඩ්පාස් තොටළඟ තිබූ ඔරු යොදා තැනූ පාලමකින්. පෘතුග්‍රීසි භාශාවෙන් ග්‍රැන්ඩෙ පාසා යනු great pass හෙවත් ප්‍රධාන එතරවීම ලෙස සැළකිය හැකිය. එසේ නම්කරන්නට හේතුව ග්‍රෑන්ඩ්පාස් හි නාගලගම් වීදිය කෙළවර වන කැළණි ගං ඉවුරේ, ගඟ හරහා පෑලියගොඩ දෙසට එතර වන ප්‍රධාන තොටුපොල පිහිටා තිබීම නිසාය. මෙම තොටුපල පැරණි වික්ටෝරියා පාලමට මදක් ඈතින් තිබූ බවට අනුමාන කරනවා.

එකල පාරුවලින් අශ්ව කරත්තත් එගොඩ කර තිබෙනවා. පසුව වැඩි පහසුව සදහා  ඔරු පාලමක් ඉදිකළා. ඔරු පාලම සඳහා ඔරු 21ක් එකිනෙක සම්බන්ධ කරගෙන යොදා ගෙන තිබුණා. ඊට උඩින් ලෑලි තට්ටුවක් යොදා අශ්ව රථ, බරකරත්ත ආදියට ගමන් කිරීමට පහසුව සලසා තිබුණා. මුල් යුගයේ සුදු ජාතිකයන් ඉඳිකළ ආරුක්කු පාලම් හා ගඩොල් පාලම් කැලණි ගඟ ඔස්සේ තනන්නට ප්‍රායෝගික අපහසූ නිසා ඔරු පාලම නිර්මාණය කළ බව පැවසෙනවා. දිගින් අඩි 500ක් වූ මෙම පාලම සැලසුම් කරන ලද්දේ බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ලුතිනන් ජෝන් ෆ්‍රේසර් විසින්. පාලම විවෘත කරන ලද්දේ 1825 සැප්තැම්බර් මස 14 වන දින අලුයම 4.00ට පාලම මතින් ගමන් කළ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා විසිනුයි.

මෙහි ලෑලි තට්ටුව සහ ඔරුවලින් කොටසක් දිනකට පැයක ඉවත් කිරීම සිරිතක් වුණා. ඒ කැලණි ගඟ දිගේ එන පාරු, පහුරු හා බෝට්ටු ආදියට ගමන් කිරීම සඳහා යි.  අධික වැසි සමයට ගඟ උතුරා ගංවතුර ගලන විට මේ පාලම ගැලවී යාම ද සිදුවුණා. සමහර ඔරු මුහුද දක්වා ගසාගෙන ගිය බව පැවසෙනවා. එවිට අලුතින් ඔරු යොදවන්නට සිදුවන අතර අතරමඟ රැ‍ඳෙන ඔරු ඇදගෙන විත් යළි පාලමට යෙදීම ද සිදුවුණා.

වික්ටෝරියා පාලම 1910 දී – lankapura.com  

මේ නිසා අලුත් පාලමක් ඉදිකිරීමට ඉංග්‍රීසින් සැලසුම් කළ අතර 1895 මැයි 24 දා යකඩවලින් කළ වික්ටෝරියා පාලම ඉදිකර විවෘත කළා. එය වික්ටෝරියා රැජනගේ උපන් දිනය දා විවෘත කළ නිසා ඇගේ නම ඒ පාලමට ලැබුණා. ඒත් සමගම අවුරුදු 70 ක් කොළඹ වැසියන් එගොඩ මෙගොඩ කළ ඔරු පාලම අතීතයට එක්වුණා. අද වික්ටෝරියා පාලමත් අතීතයට එක්වූ ස්මාරකයක්. නව කැලණි පාලම සහ නව ජපන් මිත්‍රත්ව පාලම ඒ තැන්ගෙන තිබෙනවා.

කොළඹ හතේ අශ්ව රේස්

රේස් පිටියේ තරග පැවති අවස්ථාවක්- Exploresrilanka. com

වර්ෂ 1848 සැප්තැම්බර් 15 වැනිදා  අශ්වයන්ට ආදරය කළ ඉංග්‍රීසි ජාතිකයන් පිරිසක්  එක්වී  සිලෝන් ටර්ෆ් ක්ලබ් හෙවත් ‘ලංකා තුරඟ සමාජය’ නම් සංවිධානය පිහිටුවා ගත්තා. ඒ මගින් ඉදිකළ හැව්ලොක් රේස් පිටිය කුරුඳුවත්තේ ආරම්භ කොට ඇත්තේ 1893 ජූනි 22 දා යි. හැව්ලොක් යන නම එයට ලබා දී ඇත්තේ ආණ්ඩුකාර  ඒ.ඊ. හැව්ලොක් නිසයි.  

ලංකාවේ අශ්ව රේස් නැවැත්වූ පසු රේස් කෝස් ක්‍රීඩා මණ්ඩප ඇතුළු ගොඩනැගිලි අතහැර දමන ලද අතර පසුව ක්‍රීඩා අමාත්‍යාංශය කලක් එහි පවත්වාගෙන ගියා. අබලන්ව පැවැති රේස්කෝස් ගොඩනැගිල්ල කඩා බිම හෙළීමට සැලසුමක් ද තිබුණා. පසුව නාගරික සංවර්ධන සැලසුම් යටතේ මෙම ගොඩනැගිල්ල නැවත ප්‍රතිසංස්කරණය කර සාප්පු සංකීර්ණයක් ලෙස යොදගෙන තිබෙනවා. එය පිහිටා තිබෙන්නේ කුරුඳුවත්ත පොලිසිය අසල යි.

නවීකරණය කළ රේස් පිටියේ ක්‍රීඩාගාරය- businestoday.lk

එදා රේස් පිටිය පැවති බිම්පෙදෙසේ බ්‍රිතාන්‍යයන් මුලින්ම පවත්වාගෙන ගොස් ඇත්තේ මානසික රෝහලක්. මේ ප්‍රදේශය අතීතයේ ‘කූඹි කැලේ’ ලෙස ප්‍රකටව තිබුණා. එය ගහකොළ පිරුණු වනගත පෙදෙසක් ලෙස යි තිබුණේ.  එදා කූඹි කැලේ ප්‍රදේශයට වත්මන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිලි භූමිය පවා අයත් වුණා. රේස් කෝස් භූමියට අක්කර 100ක් අයත් වූ අතර එම වපසරියට අද රාජ්‍ය ලේඛනාගාරය, රූපවාහිනී සංස්ථාව, කොළඹ විශ්ව විද්‍යාලයයේ භූමියෙන් මෙන්ම, රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයත් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය  පිහිටි ඉඩම් ද  අයත් වුණා.

මෙහි ක්‍රීඩාගාරයේ මුල් සැලසුම 1875 තෙක් ඈතට දිව යනවා. දෙවන ලෝක යුද සමය වන විට කුරුඳුවත්තේ තුරඟ තරග පිටිය තුළ ගුවන් පථයක් ගොඩනගන්නට අධිරාජ්‍යවාදීන් රහසිගතව සැලසුම් කළා. පසුව එහි ගුවන් පථයක් ඉදිකළ අතර එයට ජපන් බෝම්බ ප්‍රහාරයක් ද එල්ලවුණා.

මහාමාරියෙන් ගැලවෙන්න තැනූ හාල් ස්ටෝරුව

පාළුවට ගිය ධාන්‍ය ගබඩා- cplinfo.blogspot.com

චාමර්ස් ධාන්‍යාගාරය ඉදිකරන්න පටන්ගත්තේ 1914 දී. මේ වැඩේට මුල් වුණා කියන්නේ ඒකාලේ පැතිරෙන්න පටන්ගත් මහාමාරිය නම් මීයන්ගෙන් බෝවෙන රෝගය. මීයන්ගෙන් ආරක්ෂා කරගත හැකි විධියට ධාන්‍ය ගබඩාකරන්න තමයි චාමර්ස් ධාන්‍යාගාරය තනලා තියෙන්නේ. සහල් මළු 500,000ක් ගබඩාකල හැකි ලෙස එය ඉදිකර තිබෙනවා. චාමර්ස් ධාන්‍යාගාරය (Charmers Granary) 1916 මැයි 11 වෙනිදා විවෘත කෙරුණා. එය පිහිටි භූමියේ විශාලත්වය අක්කර 9ක්. චාමර්ස් ධාන්‍යාගාරයට චාමර්ස් කියලා නම දාලා තියෙන්නේ මේකාලේ රට පාලනය කරපු රොබට් චාමර්ස් ආණ්ඩුකාරයා සිහිපත් කිරීමට යි.  

ආණ්ඩුකාර චාමස් – Wikipedia.org

මීට දශක කිහිපයකට කලින් ආණ්ඩුවේ හාල් ස්ටෝරුව කියලා තමයි මේ ගබඩාව හඳුන්වල තිබෙන්නේ. එය පිහිටලා තිබුණ් කොටුවේ ලෝක වෙළඳ පොඵ ඉදිරිපිට ඕල්කට් මාවතෙයි. අවුරුදු කිහිපයකට පෙර අන්තිමට ඉතුරුවෙලා තිබ්බ ගොඩනැගිලි කිහිපයත් කඩා දමලා මුඩුබිමක් බවට පත් කරපු මේ භූමිය, ඕල්කට් මාවත උඩින් කොටුව දුම්රියපල පැත්තට පාර මාරුවෙන්න හදාපු යකඩ මඟී පාලම උඩට ගියාම බලාගන්න පුළුවන්. එහි කොටසක රේගු මූලස්ථානය මෑතක දී ඉදිකළා.

කොටුව දුම්රිය ස්ථානයට දිවෙන පාලම මතට පෙනෙන ධාන්‍යාගාර ගොඩනැගිලි- cplinfo.blogspot.com

කොළඹ වරායෙන් ගොඩබාන ආහාර ද්‍රව්‍ය ධාන්‍යාගාරයට දුම්රි ඔස්සේ ප්‍රවාහනය කිරීමට දුම්රිය පාරකුත් හදලා තිබුණා. කොළඹ නැව්තොට දුම්රිය ස්ථානය තිබුනේත් මේ ධාන්‍යාගාරයට වරායේ සිට බඩු ගෙනියන දුම්රිය මාර්ගයේ වරායේ තාප්පයට මායිම්ව ඛාන් ඔරලෝසු කණුව අසල යි. මේ දුම්රිය පාර වරාය ඇතුලේ සිට ඛාන් ඔරලෝසු කණුව අසලින් කෙලින් විදිය හරහා ධාන්‍යාගාරය වෙත ගමන් කළා. 1976 දී  මාර්ගවල තදබදය වළක්වා ගැනීමට මේ රේල් පාර වහලා දැම්මා.

1942 දී ආහාර දෙපාර්තුමෙන්තුව පිහිටුවන ලැබුවා. චාමර්ස් ධාන්‍යාගාරය එයට අයත් වුණා. ඊට පස්සේ අපේ රටේ ප‍්‍රධාන ආහාර ගබඩාව වුණේ මේ චාමර්ස් ධාන්‍යාගාරය යි. රටේ සියළුම රජයේ ආහාර ගබඩාවලට හාල්, පිටි, සීනි බෙදාහරින මූලස්ථානය වුණේ මෙතැන යි.

1980 දි ඔරුගොඩවත්තේ මධ්‍යම ධාන්‍යාගාරයක් විවෘත කළ අතර චාමර්ස් ධාන්‍යාගාරය 1982 වර්ෂයේ දී සම්පූර්ණයෙන් වසා දැම්මා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

ආර්. එල්. බ්‍රෝහියර්ගේ කොළොම්පුර පුරාවෘත්තය (පරිවර්තනය- පද්මා එදිරිසිංහ)

http://exploresrilanka.lk/2015/09/discover-cinnamon-gardens

http://www.lankadeepa.lk

කවරය - පාරු පාලම - pinrest.com

Related Articles