1952 වසරේ මාර්තු 10 වන දා හමුදා කුමන්ත්‍රණයකින් කියුබාවේ බලය අල්ලා ගැනීමට බටිස්ටා නම් හමුදා නිලධාරියා සමත් වෙන අතර, එවකට කියුබානු ජනාධිපතිවරයා වූ කර්ලොස් ප්‍රියෝ (Carlos Prío Socarrás) ව බලයෙන් නෙරපා දමා එදිනම බැටිස්ටා කියුබානු ජනාධිපතිවරයා ලෙස පත් වෙනවා.

ජනාධිපතිවරයා ලෙස පත් වෙන ඔහු, එම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අවලංගු කරන්නට කටයුතු කරන අතර, බලය පැහැරගෙන ඉතා සුළු දවසකින් එනම් මාර්තු 27 වන දා ඔහුගේ ආණ්ඩුවට ඇමරිකානු රජයේ අනුමැතිය හිමි වෙනවා.

1953 වසර වන විට කියුබානු පවුලක සතියක් තුළ දළ අදායම ඩොලර් හයක් තරම් අඩු අගයක් ගත් අතර රටේ වැඩ කළ හැකි ජනතාවගෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් විරැකියාවෙන් පෙළෙනවා. විශ්වවිද්‍යාල හා ජන මාධ්‍යය තම පාලනයට හසුකර ගන්නා බැටිස්ටා, ඔහු දැඩි කොමියුනිස්ට් විරෝධියෙක් ලෙස ද සඳහන් කළ හැකියි.

මෙම ඒකාධිපති පාලනය එරෙහිව නැගී සිටි නීතිවේදියෙකු වූ ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුළු තරුණ කණ්ඩායමක් බැටිස්ටාගේ දූෂිත හා බලහත්කාරී පාලනය විරුද්ධව කියුබානු අධිකරණයේ නඩු පවරන නමුත්, අධිකරණය විසින් එය නිෂ්ප්‍රභා කර දමනවා. මේ සමගම බැටිස්ටා පාලනය නීතිමය ක්‍රියාමාර්ග මඟින් පරාජය කිරීම කළ නොහැකි බව අවබෝධ කරගන්නා ෆිදෙල්, ඒ සඳහා ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක නිරත විය යුතු බව වටහා ගන්නවා.

ඇමරිකානු ව්‍යාපාරිකයන් හා කියුබානු ඉහළ පන්තියට පමණක් හිමි වූ හවානා නුවර ප්‍රියසාද (mashable.com)
හවානා නුවර බැටිස්ටාගේ මන්දිරය (mashable.com)
ඇමෙරිකානුවන්ගේ විනෝද උයන ලෙස කියුබාවේ හවානා නුවර ප්‍රසිද්ධ වූ අතර, බැටිස්ටා යුගයේ එම  නගරයේ පැවති කැසිනෝ හලක් (classiccarscuba)

මොන්කාඩා හමුදා බැරක්කයට පහර දුන් “ජූලි 26 කැරැල්ල”

1952 වන විට ෆිදෙල් කැස්ත්‍රෝ, කියුබානු ජනතාවාදී පක්ෂයේ (Party of the Cuban People) තරුණ නායකයෙකු වූ අතර ඔහුගේ දේශපාලනික, විප්ලවීය ක්‍රියාකාරම් හේතුවෙන් ෆිදෙල් වටා රැස් වූ තවත් ආයුධ සන්නද්ධ වීප්ලවවාදීන් 160 දෙනෙකු කියුබාවේ සන්තියාගෝ නගරයේ පිහිටි මොන්කාඩා හමුදා බැරක්කයට පහර දීමට සුදානම් වනවා. 1953 වසරේ ජූලි 26 වන දා සිදුවන මෙම ප්‍රහාරය “ජූලි 26 කැරැල්ල” ලෙසත් නම් කරනවා.

රජයේ හමුදාව හා පොලිසිය විසින් කැරැල්ල පැය කිහිපයකින් මර්දනය කරන අතර, කැරලිකරුවන් බොහෝ දෙනෙක් ඝාතනය කර අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. සටන අතරතුර රජයේ හමුදා හා පොලිස් භටයන් 19 දෙනෙක් මරණයට පත්ව 30කට අධික පිරිසක් තුවාල ලබනවා.  

ෆිදෙල් විසින් පවසන්නේ මරණයට පත් වූ කැරලිකරුවන් 61 දෙනාගෙන් සටන අතරතුර මරණයට පත් වූයේ 5 දෙනෙකු පමණක් බවත්, ඉතිරි 56 දෙනාම අත්අඩංගුවට ගත් පසු බැටිස්ටාගේ හමුදාව විසින් ඝාතනය කළ බව යි. (Sara Davidson)
ප්‍රහාරයෙන් පසුව මොන්කාඩා බැරක්කය දිස් වූ අයුරු (radiogritodebaire)
අත්අඩංගුවට ගත් පිදෙල් ඇතුළු පිරිස, දකුණු කෙළවරේ පිදෙල් (pinimg)
නඩු විභාගය අතරතුර තම අදහස් දැක්වීම යටතේ ෆිදෙල්, පැය හතරක් පුරාවට බැටිස්ටා පාලනයට විරුද්ධව ඔහු ගත් ක්‍රියාමාර්ගයේ සාධාරණීත්වය පිළිබඳව කරුණු දක්වන අතර, වසර කිහිපයකින් පසු එම කතාව ඇතුළත් “ඉතිහාසය විසින් මා නිදොස් කරනු ඇත” (History Will Absolve Me) නමින් කෘතියක් පළ වෙනවා. (abebooks)

සිරගත කළ ෆිදෙල් ඇතුළු පිරිස දැඩි මහජන ඉල්ලීම මත 1955 වසරේ දී නිදහස් කිරීමට බැටිස්ටාට සිදුවෙන අතර, ඔහු විසින් එම පිරිස මෙක්සිකෝවට පිටුවහල් කරනවා.

විප්ලවය අත් නොහරින ෆිදෙල් ඇතුළු පිරිස, එහි දී ඔවුන්ට හමු වූ අර්නෙස්ටෝ ගුවේරා (Ernesto Guevara) හෙවත් චේ ගුවේරා සමග නැවත කියුබාවට පැමිණෙන්නේ බැටිස්ටා පාලනය කියුබාවෙන් ඉවත් කිරීම අරමුණු කරගෙන යි.

ෆිදෙල්, රාවුල්, චේ හා කැමිලෝ සියෙන්ෆුවේගොස් ආදී ගරිල්ලා නායකන්ගේ ප්‍රධානත්වයෙන් විප්ලවවාදීන් කණ්ඩායමක් 1956 නොවැම්බර් 25 වන දා මෙක්සිකෝවේ වෙරකෘස් (Veracruz) සිට කියුබාව බලා ග්‍රැන්මා (Granma) නම් සැහැල්ලු බෝට්ටුවේ නැගී පැමිණෙනවා. (Yachtsinternational.)
චේ, පිදෙල් ඇතුළු පිරිස සියේරා මැඑස්ට්‍රා කඳු ප්‍රදේශයේ (Pinterest)
සියේරා මැඑස්ට්‍රා කඳු ප්‍රදේශයේ විප්ලවකරුවන් (upi) 
විප්ලවය ජයග්‍රහණය කරමින් විප්ලවකරුවන් හවානා නගරයට ඇතුල් වේ. (msnbc)
ෆිදෙල් ප්‍රමුඛ ගරිල්ලන් හවානා නුවරට පැමිණීම. (Google Sites)
විප්ලවයෙන් පසුව, වමේ සිට පිදෙල්, ඔස්වල්ඩො, චේ, ඔගස්ටෝ හා අන්තෝනියෝ හවානා නුවර දී (forhumanliberation.blogspot.com)
ජනතාව අමතන පිදෙල් (.wp)

මූලාශ්‍රයයන්- 

britannica.com

msnbc.com

කවරයේ පින්තූරය- මොන්කාඩා ප්‍රහාරය සමරන කියුබානු වැසියන් (alma-de-cuba)