Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංගීතය මියැදුන දා

1959 පෙබරවාරි මස 3 වැනි දා රොක් ඇන්ඩ් රෝල් සංගීතයට පමණක් නොව මුළු මහත් කලා ලෝකයටම මහත් දොම්නස් සහගත දවසක් වුණා. ඒ එදින ගුවන් අනතුරක් හේතුවෙන් සංගීත ලෝකය අනාගතයේ එකලු කරන්නට මානබලමින් සිටි දීප්තිමත්ම තාරකාවන් ත්‍රිත්වයක් වන බඩී හොලී, රිචී වැලන්ස් හා ජේ.පී. ‘බිග් බොපර්’ රිචඩ්සන් අකාලයේ මියයාම නිසා යි. මේ නිසා ඇමෙරිකානු රොක් ඇන්ඩ් රෝල් සංගීත ලෝකයේ මහා හිඩැසක් ඇති වුණා.

Pocho.com

ශීත ඍතු නර්තන සාදය

ඇමෙරිකා එක්සත් ජනපදයේ නැඟී එන සංගීතඥයෙකු හා ගායකයෙකු වූ බඩී හොලී 1958 නොවැම්බර් මාසයේ තමන් එවකට සම්බන්ධව සිටි ‘ක්‍රිකට්ස්‘ නම් සංගීත කණ්ඩායමෙන් ඉවත් වන්නේ, තමන්ගේ ව්‍යාපාර කටයුතු වැඩිදියුණු කරගැනීම සඳහා යි. එහි ප්‍රථම අදියර ලෙස 1958/59 ශීත ඍතුවේ ඇමෙරිකාව පුරා ගායන ප්‍රසංගයක් පැවැත්වීමට ඔහු සැලසුම් කරනවා. ඔහු එය ‘ශීත ඍතු නර්තන සාදය’ ලෙස නම් කරන අතර ඒ සඳහාම නව සංගීත කණ්ඩායමක් ද පිහිටුවනවා. මෙයට පසුකාලීනව ඉතා ජනප්‍රිය වූ වේලන් ජෙනින්ග්ස් හා ටොමී ඇල්සෙප්  ද ඇතුළත් වුණා.

ශීත ඍතු නර්තන සාදයේ පෝස්ටරයක්- roadtrippers.com

තමන්ගේ ප්‍රසංග මාලාවට තවත් නැඟී එන තරුණ ගායකයින් කිහිපදෙනෙකු එක් කරගැනීමට අදිටන් කරගත් හොලී, ඒ සඳහා ‘ලා බම්බා‘ ගීතය ගායනා කරමින් ජනප්‍රිය වූ 17 වියැති ගැටවරයෙකු වන රිචී වැලන්ස් ද, ‘චැන්ටෙලි ලේස්‘ ගීතයෙන් ජනප්‍රිය වූ බිග් බොපර් ද, ඇතුළු තරුණයින් කිහිපදෙනෙකුට සිය ප්‍රසංගය හා සම්බන්ධ වීමට ඇරයුම් කරන අතර ඔවුන් එය පිළිගන්නවා.

අසීරුතා පිරි ආරම්භය

ශීත ඍතු නර්තන සාදය ආරම්භයේ දී ම දුෂ්කරතා රාශියකට මුහුණදෙන්නට එයට සම්බන්ධ වූ කණ්ඩායමට සිදුවුණා. විශේෂයෙන්ම මේ සඳහා බඩී හොලී සම්බන්ධ කරගත් සංවිධායකයින් සිය කටයුතු හරිහැටි ඉටු නොකිරීම නිසා අපහසුතා රාශියක් ඇතිවුණා. දින සැලැස්ම කෙතරම් ඇසුරුණු එකක් වී ද යත්, එක් තැනකින් ඊළඟ තැනට යන්නටවත් වේලාව මදිවන සෙයක් දිස් වුණා. සංචාරය සඳහා ඇණවුම් කරන ලද බස් රථයත් බලවත් ශීත ඍතුවක් සහිත අැමෙරිකා එක්සත් ජනපදයේ උතුරු කොටසෙහි ශීත ඍතු සවාරියක් යන්නට කිසිසේත්ම සුදුසු එකක් වූයේ නැහැ. කෙසේ නමුත් ඉක්මණින්ම පාසල් බස් රථයක් ඇණවුම් කර එම ගැටලුව යම් පමණකට නිරාකරණය කරගන්නට හොලී සමත් වෙනවා.

1959 ශීත ඍතු නර්තන සාදයේ සැලැස්ම- Claire Mogren-CC BY-SA 3.0/thevintagenews.com

කණ්ඩායම අතර උණ රෝගයක් පැතිරී යන්නේ මේ අතර යි. කිහිපදෙනෙක්ම මේ හේතුවෙන් ගිලන් වෙනවා. මේවායින් මඳක් පසුබට වූව ද අවසානයේ දී ශීත ඍතු නර්තන සාදය සැලසුම් කළ පරිදිම පවත්වන්නට හොලී තීරණය කරනවා.

සංචාරයේ මුල් කොටස

‘ශීත ඍතු නර්තන සාදයේ’ පළමු දිගහැරුම පැවැත්වෙන්නේ විස්කොන්සින් ප්‍රාන්තයේ මිල්වෝකි නුවර යි. 1959 ජනවාරි මස 23 දා පැවති එයට ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුණා. මින් ඔද වැඩී ගිය කණ්ඩායම සිය ගමන අතරමඟ ඇති විවේකී දිනයන්ගේත් හැකි දිනවල අතිරේක ප්‍රසංග පවත්වන්නට කතා වුණා. මේ ආකාරයෙන් ජනවාරි මස සාර්ථකව ගෙවී ගිය අතර පෙබරවාරි 1 දා ප්‍රසංගය ද හොඳින් පැවැත්වුණා.

පෙබරවාරි මස 2 දා මූලික සැලැස්මේ විවේකී දිනයක් වූ අතර එදින ඔවුන් සිටියේ අයෝවා ප්‍රාන්තයේ ක්ලියර් ලෙක් අසල යි. කණ්ඩායම හොඳ ශාරීරික හා මානසික තත්ත්වයක සිටි හෙයින්, එදින රාත්‍රී අමතර ප්‍රසංගයක් ක්ලියර් ලේක්හි පැවැත්වීමේ හැකියාව හෝලී විමසා බැලුවා. එය මල්ඵල ගන්වමින් එහි පිහිටි ‘සර්ෆ් බෝල්රූම්’  නම් උත්සව ශාලාවේ කළමනාකරු හදිසියේ ප්‍රසංගයක් පැවැත්වීමට කැමැත්ත පළ කරනවා.

ගුවන් ගමන් සැලැස්ම

කරුණු කාරණා හොඳින් සිදුවූවත් ගායක කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙස දිගටම කටයුතු කිරීම නිසා බඩී හොලී දැඩි වෙහෙසට පත්ව සිටියා. දෙවනුවට ගෙනා පාසල් බස් රථයත් ශීතල කාළගුණය සඳහා නිසියාකාරව සන්නද්ධව තිබුණේ නැහැ. ප්‍රසංගයේ ඉතිරි කොටසටත් හොඳින් ජවය තබාගත යුතු නිසා හොලී ප්‍රසංග දෙක අතරතුර කෙටි විවේකයක් ගැනීමට අදහස් කරනවා.

බොනැන්සා වර්ගයේ ගුවන්යානයක්-simflight.com

ක්ලියර් ලේක් ප්‍රසංගයෙන් පසු මීළඟ ප්‍රසංගය මිනසෝටාවේ මුවර්හෙඩ්හි දී පැවැත්වීමට පිඹුරුපත් සකස් වී තිබූ අතර, සිය වාදක කණ්ඩායම බස් රථයෙන් එහි ලඟා වන තුරු සිය කෙටි විවේකය උතුරු ඩැකොටාවේ ගතකිරීමට සිතූ හොලී මිනසෝටාවේ දී නැවත ඔවුන් සමග එක් වන අරමුණින් යුතුව ඉක්මණින් ඩැකොටාවට යන්නට මාර්ගයක් සොයනවා. අවසානයේ ඔහු ගුවන්යානයක් ඇණවුම් කිරීමට තීරණය කර එය සර්ෆ් බෝල්රූම්හි කළමනාකාරීත්වයට දන්වන අතර කළමනාකාර කැරොල් ඇන්ඩර්සන් තදාසන්න ගුවන් සමාගමකින් කුඩා ගුවන්යානයක් ඇණවුම් කරනවා.

අනතුර

ඇන්ඩර්සන් විසින් ඇණවුම් කළ බොනැන්සා වර්ගයේ ගුවන්යානයේ නියමුවාට හැර තවත් තිදෙනෙකුට ගමන් කළ හැකි වුණා. මේ අවස්ථාවේ දී හොලී සමග ගමන් කරන අනෙක් දෙදෙනා කවුරුන් ද යන්න තෝරාගත යුතු වූ අතර, ඉන් එක් ආසනයකට ඒ වන විට උණ රෝගයෙන් බැට කා සිටි බිග් බොපර්ගේ නාමය යෝජනා වෙනවා. අනෙක් ආසනය කාසියේ වාසිය උරගා බැලීමකින් අනතුරුව රිචී වැලන්ස්ට හිමිවෙනවා. මේ නිමේෂය අවසානයේ උසුළු විසුළු කරගනිමින් දෙපාර්ශවය බස් රථය ශීතලට මිදී යන ලෙසටත් ගුවන්යානය කඩා වැටෙන ලෙසටත් පවසාගත් අතර සිහිනයකින්වත් ඉන් දෙවැන්න ඉටුවේයැ යි බලාපොරොත්තු වූයේ නැහැ.

පෙබරවාරි 2 රාත්‍රී ප්‍රසංගය ඊට පෙර ඒවා මෙන්ම සාර්ථකව පැවති අතර ජයග්‍රාහී ලීලාවෙන් බස් රථයේ ගමන් කරන කණ්ඩායම මුවර්හෙඩ් බලා පිටත් වෙනවා. හොලී, වැලන්ස් හා බිග් බොපර් රැගත් ගුවන්යානය රාත්‍රී 12.55ට අයෝවාහි ක්ලියර්ලේක් ගුවන්තලයට මුසුවෙනවා.

ගුවන්යානයේ සුන්බුන්- thevintagenews.com

ශීත සමයේ දී අයෝවාහි කාලගුණය ඉතා අයහපත් විය හැකි නමුත් ගුවන්යානය ගුවන්ගත වන විට අවට කාළගුණය එතරම් අයහපත් වූයේ නැහැ. කෙසේ නමුත් ඉහළ අහසේ ඉතා අයහපත් කාලගුණයක පෙරනිමිති මෝදු වෙමින් තිබුණා. මොනයම් ක්‍රමයකින් හෝ මේ පිළිබඳව ගුවන් නියමුවා දැනුවත් වන්නේ නැහැ. යානය ගුවන්ගත කර අඩි 800ක් පමණ ඉහළ නැගුණු විටම එය අයහපත් කාලගුණයට බඳුන් වෙනවා. එය නියමුවාට හසුරවාගත නොහැකි වන අතර ඉක්මණින්ම අසළ වූ තිරිඟු යායකට කඩා වැටෙනවා. මින් නියමුවා හා තරුණ ගායකයින් තිදෙනා යන සිවුදෙනාගේම දිවි අහිමි වෙනවා.

ලෝකයක් හඬාවැටෙයි

හොලී ඇතුළු තිදෙනාට දිවි අහිමි කරමින් සිදු වූ ඛේදජනක ගුවන් අනතුර පිළිබඳව විදුලි වේගයෙන් ඇමෙරිකාව පුරා පැතිරෙනවා. දසදහස් ගණනක් වූ ඔවුන් තිදෙනාගේ රසික රසිකාවියන් හඬාවැටෙනවා. කෙසේ නමුත් ඔවුනට උපහාරයක් ලෙස ශීත ඍතු නර්තන සාදය දිගටම පවත්වාගෙන යන්නට සංවිධායකයින් තීරණය කරනවා. හොලී වෙනුවට ප්‍රධාන ගායකයාගේ භූමිකාව වේලන් ජෙනින්ග්ස් භාරගන්නවා. ඇල්සෙප් ඔහුට සහාය වෙනවා. එම ප්‍රසංග කිහිපය අතිසාර්ථක වනවා. පසුකාලීනව මෙම අනතුර සිදුවූ දිනය ‘සංගීතය මියගිය දිනය’ ලෙස හඳුන්වන්නට තරම් ඇමෙරිකානුවන්ගේ සිතට මෙම අවාසනාවන්ත සිද්ධිය කාවැදුණා.

බඩී හොලී සිහිවීමට තැනූ ස්මාරකයක්- adventurepilot.com

1979 සිට අයෝවාහි ක්ලියර් ලේක්වල හොලී, වැලන්ස් හා බිග් බොපර් අනුස්මරණය කරමින් පෙබරවාරි 2 හසුවන පරිදි ‘ශීත ඍතු නර්තන සාදය’ පැවැත්වෙනවා. මීට ඔවුන්ගේ රසික රසිකාවියන් දහස් ගණනින් සහභාගී වෙනවා.

කවරයේ පින්තූරය -ක්ලියර්ලේක්හි ගුවන් අනතුර සිහිවීමට ඉදිකරන ලද ස්මාරකය -Dennis Fernkes

Related Articles