Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ආහාර රටාව

ප්‍රාග් ඓතිහාසික යුගයේ වාසය කළ මිනිසුන්ට තිබූ ලොකුම අභියෝගයක් වූයේ ආහාර සොයාගැනීම යි. ඔවුන්ට ආහාර සොයාගැනීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කිරීමට සිදු වුණා. එහිදී ඔවුන් අනුගමනය කළ ප්‍රධානතම ක්‍රමය වුණේ දඩයම යි. 

ප්‍රාග් ඓතිහාසික මිනිසා දඩයමෙහි නිරත වුණත් මස් මාංශ පමණක් ආහාරයට ගත්තේ නැහැ. ශරීරයේ පැවැත්ම සඳහා අවශ්‍ය අනිකුත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වුණු ආහාරත් පරිභෝජනය කර බවට සාධක හමුව තිබෙනවා. ඒ, ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත්වුණු ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ කැණීම්වල දී යි.

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වන කාල සීමාව  

ලංකාවේ ඉතිහාසය ගැන අධ්‍යයනය කරන බොහෝ දෙනෙකු වඩාත් උනන්දු වන්නේ විජය කුමරු ලංකාවට පැමිණීමෙන් පසුව සිදුවුණු දේ පිළිබඳව සොයා බැලීමට යි. නමුත් ඊට වසර දහස් ගානකට පෙර පටන් ලංකාවේ ජනාවාස තිබුණු බව සොයාගෙන තිබෙනවා. එදා සිට අද දක්වා එක් එක් කාලවල පැවති පෙරටුගාමී සමාජ- තාක්ෂණික ලක්ෂණ මෙරට ඉතිහාසය පැහැදිලි යුගයන් කිහිපයකට බෙදා තිබෙනවා. ආචාර්ය ශිරාන් දැරණියගල විසින් දිගු කලක් තිස්සේ ඒවා අධ්‍යයනය කිරීමෙන් පසුව මෙරට ඉතිහාසය නිශ්චිත යුගවලට බෙදා වෙන්කරනු ලැබුවා. එහි දී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වුණේ ක්‍රි.පූ 125,000 හෝ ඊට පෙර යුගයේ සිට ක්‍රි.පූ 1000 දක්වා ගෙවුණු කාල සීමාව යි. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය තුළ දී පූර්ව ශිලා, මධ්‍ය ශිලා, සහ නව ශිලා ලෙසින් යුගයන් 3ක් හමුවනවා. 

පූර්ව ශිලා යුගය 

සාමාන්‍යයෙන් පූර්ව ශිලා යුගය ලෙසින් සලකනු ලබන්නේ ආසන්න වශයෙන් ක්‍රි.පූ 125,000 හෝ ඊට පෙර යුගයේ සිට ක්‍රි.පූ 70000 දක්වා ගෙවුණු අවධිය යි. මෙම අවධිය තුළ ලංකාවේ වාසය කළ මානවයන් වෙරලාශ්‍රිත එළිමහන් කඳවුරුවල ජීවත් වුණා. මෙරට පූර්ව ශිලා යුගයට අයත්යැ යි සැලකෙන ස්ථාන වන්නේ මිනිහා ගල් කන්ද, බූන්දල පතිරාජවෙල, බූන්දල වැල්ලේගංගොඩ, සහ ඉරණමඩු යන ප්‍රදේශ යි. 

මිනිහා ගල් කන්ද (Kasun Lakmal Premadasa)

මධ්‍ය ශිලා යුගය 

මධ්‍ය ශිලා යුගයට අයත් කාල සීමාව ලෙසින් සලකනු ලබන්නේ ආසන්න වශයෙන් ක්‍රි.පූ 70000 සිට ක්‍රි.පූ 7000 දක්වා ගෙවුණු කාල සමය යි. මෙම යුගයේ දී ලංකාවේ වාසය කළ ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ මානව ජනාවාස ස්ථානගතව තිබුණේ පහතරට තෙත් කලාපීය ලෙන් සහ පහතරට වියළි කලාපීය ලෙන් ආශ්‍රිතව යි. ඒ අනුව මධ්‍ය ශිලා යුගයේ දී පාහියන් ලෙන, බටදොඹ ලෙන, බෙලි ලෙන, බටතොට ලෙන, සහ අළු ලෙන ආදී ස්ථාන ආශ්‍රිතව මානව ජනාවාස පැවති බවට සාධක හමුව තිබෙනවා.

බටදොඹ ලෙන (Shades of Rathnapura)

නව ශිලා යුගය

නව ශිලා යුගයට අයත් කාල සීමාව ලෙසින් සලකනු ලබන්නේ ආසන්න වශයෙන් ක්‍රි.පූ 7000 සිට ක්‍රි.පූ 1000 දක්වා ගෙවුණු කාල සමය යි. එම කාල සමය තුළ තරමක් දියුණු මට්ටමේ ජනාවාස තිබුණු බවට සාක්ෂ්‍ය හමුව තිබෙනවා. දොරවක ලෙන සහ මාතොට වැනි ප්‍රදේශ නව ශිලා යුගයට අයත් ස්ථාන වනවා. 

දොරවක ලෙන (Amazing Lanka) 

ප්‍රාග් ඓතිහාසික මානවයා ආහාරයට ගත් මස් මාංශ වර්ග 

ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වුණු මානවයන් දඩයම් කිරීම මඟින් ආහාර සොයාගැනීමට පුරුදුව සිටියා. ඔවුන් වැඩි වශයෙන් මස් මාංශ ආහාරයට ගත් නිසා දඩයම් කිරීම ඔවුන්ට ආහාර ලැබුණු ප්‍රධාන මාර්ගයක් වුණා. එදා ජීවත් වුණු මානවයන්ගේ ආහාර රටාව පිළිබඳව සාක්ෂ්‍ය වැඩි ප්‍රමාණයක් ලැබුණේ පහතරට තෙත් කලාපීය ගල් ලෙන් ආශ්‍රිතව කළ කැණීම්වල දී යි. පාහියන් ලෙන, බෙලි ලෙන සහ බටදොඹ ලෙන ආශ්‍රිතව සිදුකළ කැණීම්වල දී සත්ත්ව අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් හමු වුණා. ඒවාගෙන් වැඩි ප්‍රමාණයක් දඩයම් කරන ලද සතුන්ට අයත් වුණා. එහිදී සෑම ගල් ලෙනකින්ම වාගේ ඉත්තෑවා, මීමින්නා, හාවා, කබල්ලෑවා, වඳුරා, දඬුලේනා, සහ හම්බාවා යන සතුන් වර්ගවලට අයත් අස්ථි කොටස් විශාල වශයෙන් සොයාගනු ලැබුවා. එම අවධියේ දී වල් ඌරන්, ගෝනුන් වැනි තරමක් විශාල සතුන් වැඩි වශයෙන් දඩයම් කළ බවට සාක්ෂ්‍ය මෙම ගල් ලෙන් ආශ්‍රයෙන් හමුවන්නේ නැහැ. 

නමුත් පහතරට වියළි කලාපීය ගල් ලෙන් ආශ්‍රිතව වැඩි වශයෙන් හමුව තිබෙන්නේ තිත් මුවන්ගේ ඇටකටු යි. ඒ එම ප්‍රදේශයන් ආශ්‍රිතව තිත් මුවන් බහුලවම දක්නට ලැබුණු නිසා යි. තවද ඉහත සඳහන් කළ ගල් ලෙන් ආශ්‍රිතව සිදු කරන ලද කැණීම්වල දී අලින්ගේ සහ කොටින්ගේ අස්ථි කොටස් හමු වුණා. නමුත් එම අස්ථි කොටස් දඩයම් කරන ලද සතුන්ගේ අස්ථි කොටස් නොවෙයි. අතීතයේ දී ස්වභාවික ආකාරයට මියගිය අලි, කොටි වැනි සතුන්ගේ මළසිරුරු වනය තුළ තිබී හමුවන්නට ඇති. ආහාර හිඟ කාලවල දී ආදි මානවයන් විසින් එවැනි මළසිරුරු ගල් ලෙන්වලට රැගෙන විත් අනුභව කළ බව බව පුරාවිද්‍යාඥයන්ගේ අනුමානය යි.

ගල් ලෙන් තුළින් හමු වුණු සත්ව අස්ථි කොටස් (Silumina)

ඉහත සඳහන් කළ සත්ත්ව විශේෂවලට අමතරව ආදි මානවයන් විසින් ආහාරයට ගත් අනිකුත් සත්ත්ව විශේෂ අතරට වළි කුකුළා, පිඹුරා, ගැරඬියා, මිරිදිය මාළු සහ බෙල්ලන් වර්ග වැනි සතුන් අයත් වුණා. එම සත්ත්ව විශේෂ අතුරින් බෙල්ලන් වර්ග බහුලවම ආහාරයට ගත් බව තහවුරු වුණේ ගල් ලෙන් ආශ්‍රිතව සිදු කළ කැණීම්වල දී බෙලි කටු වැඩි වශයෙන් හමුවීම නිසා යි. එදා ජීවත් වුණු මානවයන් ගොළුබෙල්ලන් ආහාරයට ගැනීමට හේතු වුණු ප්‍රධාන කරුණු 2ක් තිබෙනවා. සාමාන්‍යයෙන් ගොළුබෙල්ලන් විශාල ප්‍රමාණයක් එක් තැනක ජීවත් වනවා. එම නිසා ගොළුබෙල්ලන් අල්ලා ගැනීමට අපහසු නැහැ. එසේම ගොළුබෙල්ලන් ආහාරයට ගැනීමෙන් ඔවුන්ට අවශ්‍ය මාංශ ප්‍රෝටීන ප්‍රමාණය පහසුවෙන්ම ලබාගැනීමට හැකි වුණා. එම හේතු නිසා ප්‍රාග් ඓතිහාසික යුගයේ දී ගොළුබෙල්ලන් ජනප්‍රියම ආහාරයක් බවට පත්ව තිබුණා. 

ප්‍රාග් ඓතිහාසික මානවයා ආහාරයට ගත් ශාකමය ආහාර වර්ග

ප්‍රාග් ඓතිහාසික මානවයන් විසින් මස් මාංශ වර්ග අනුභව කළ නිසා ඔවුන්ගේ සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් නොඅඩුව ලැබුණා. සිරුරේ පැවැත්ම සඳහා අවශ්‍ය ඉතිරි පෝෂ්‍ය පදාර්ථයන් ලබාගැනීම සඳහා ඔවුන් වෙනත් ආහාර වර්ග ද පරිභෝජනය කළා. එහි දී ඔවුන් විවිධ අල වර්ග භාවිතා කළ බවට කිතුල්ගල බෙලි ලෙනෙන් සාක්ෂ්‍ය හමුව තිබෙනවා. එලෙස ආහාරයට ගත් අල වර්ග අතරට කටු අල, වැල් අල, ඉන්නල, හිඟුරල ආදී අල වර්ගයන් අයත්ව තිබුණා. ඊට අමතරව ඇටි කෙහෙල්, කිතුල් ඇට, දෝතළු ඇට සහ බැදි දෙල් වැනි වෙනත් ශාකමය ආහාරත් ප්‍රාග් ඓතිහාසික මානවයන් පරිභෝජනය කර තිබෙන බව ඔප්පු වුණේ කිතුල්ගල බෙලි ලෙන තුළ කරන ලද කැණීම්වල දී යි. පහතරට තෙත් කලාපයේ ගල් ලෙන් ආශ්‍රිතව කළ කැණිම්වල දී කැකුණ ඇට විශාල වශයෙන් හමු වුණා. කැකුණ ඇටයේ මදය තෙල් සහිත නිසා සිරුරට අවශ්‍ය මේදය සපයාගැනීම සඳහා කැකුණ ඇට භාවිතා ආහාරයට ගත් බව අනුමාන කළ හැකියි. එසේම වියළි කැකුණ ඇට ගිනි දැල්වීම සඳහා යොදාගත හැකියි. එම හේතු දෙක නිසා ප්‍රාග් ඓතිහාසික මානවයන් කැකුණ ඇට භාවිතා කළ බව පුරාවිද්‍යාඥයන්ගේ මතය යි. ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව සිදුකරන ලද කැණීම්වල දී හෝර්ටන්තැන්න ආශ්‍රිතව බාර්ලි සහ ඕට්ස් වගාකර තිබුණු බවට සාධක හමු වුණා. ඉන් පැහැදිලි වන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයන් ක්‍රමයෙන් ශාකමය ආහාර වගා කිරීම සඳහා නැඹුරු වී සිට ඇති බව යි. 

කිතුල්ගල බෙලි ලෙනෙන් හමුවුණු ලිප් දෙක 

ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ පවුල්වල පිරිමි උදවිය දඩයම් කිරීමට පුරුදුව සිටියා. ගැහැණු උදවිය සහ දරුවන් වනාන්තරය පුරා ඇවිදිමින් අල වර්ග, පළතුරු වර්ග, සහ පැණි එකතු කරනු ලැබුවා. ඔවුන් මී පැණි සහ බඹර පැණි මාංශ වර්ග කල්තබා ගැනීමට භාවිතා කළා. එම අවධියේ දී ඔවුන් සිරුරට අවශ්‍ය කැලරි ප්‍රමාණයෙන් වැඩි කොටසක් ලබාගත්තේ අල වර්ග සහ පැණි ආහාරයට ගැනීම මඟිනුයි. ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව කිතුල්ගල බෙලි ලෙන අශ්‍රිතව කළ කැණීම්වල දී ලිප් දෙකක් තිබුණු බවට පිළිගත හැකි සාක්ෂ්‍ය හමු වුණා. ඉන් නිගමනය කළ හැක්කේ ප්‍රාග් ඓතිහාසික මානවයන් ක්‍රමයෙන් ආහාර පිස ගැනීමට පුරුදු වී ඇති බව යි. 

කිතුල්ගල බෙලි ලෙන (Inspirock)

පසුගිය දශක කිහිපය තුළ ප්‍රාග් ඓතිහාසික ජනාවාස ආශ්‍රිතව කළ කැණීම්වල දී එහි ජීවත් වුණු මානවයන් අනුගමනය කළ ආහාර රටාව පිළිබඳව බොහෝ කරුණු අනාවරණය කරගන්නට හැකියාව ලැබුණා. ඉදිරි අනාගතයේ දී මේ පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වේවි.

කවරයේ ඡායාරූපය- vigayu.com

මූලාශ්‍රයයන්- ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය- රාජ් සෝමදේව 

Related Articles