බුදුන්ගේ නානකඩය තැන්පත් කළ එගොඩ කැලණිය විහාරය

කැලණි ගංගාව ගලා යන්නේ ගංදෑලේ පිහිටා තිබෙන කැලණිය රජමහා විහාරයත්, එගොඩ කැලණියත් මැදින්. කවුරුත් වැඳ පුදා ගන්නා කැලණි විහාරය වගේ ම එගොඩ කැලණිය විහාරයත් ඓතිහාසික වටිනාකමක් සහිත පූජනීය ස්ථානයක්. නමුත් මේ විහාරය ගැන වැඩිදෙනෙක් උනන්දුවක් දක්වන්නේ නම් නැහැ. 

කැලණි විහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටියත් එගොඩ කැලණිය පිහිටා ඇත්තේ ගඟෙන් එගොඩ කොළඹ දිස්ත්‍රික්කයෙ යි. කැලණියට රජමහා විහාරයටම අයිතිව පවතින මේ විහාරයේ ඉතිහාසය සොයා යාමට අපි අදහස් කළා.  

 පාලම ඉදිකිරීමට පෙර පැවති තොටුපොළ- yourchoiceway.com

පාලම් පාරුව

කැලණි විහාරයේ සිට එගොඩ කැලණියට මෑතක් වන තෙක් ගමන් කළ යුතු වුණේ පාරුවෙන් එගොඩ වීමෙන්. ගංගාව හරහා පාලමක් මෑතක දී ඉදිවුණා. ඒ පාලම ඉදිකිරීමත් සමඟ ගමන පහසු වී ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක යා වී තිබෙනවා.

 වන්දනාමාන සිදුකරන සිරිපතුල් කැටයම- eatuwawa.blgospot.com

බුදුන්ගේ පහස

බුදුන් වහන්සේ  තුන්වන ලංකාගමනයේ දී කැලණිය විහාරයට පැමිණි අතර සම්බුද්ධ පාදස්පර්ශයෙන් එ’බිම පූජනීයත්වයට පත් වුණූ බව මහාවංශයේ සඳහන් වෙනවා.  කැලණිය රාජමහා විහාර සංකීර්ණයට ම අයත් වන එගොඩ කැලණිය හෙවත් කිත්සිරිමෙවන් කැලණිය රාජමහා විහාරය ද සම්බුදු පහස ලත් බිමක්. මේ විහාරද්වය කල්‍යාණි උභය රාජමහා විහාරය ලෙස හඳුන්වනවා. නම් පොතේ ද කිත්සිරිමෙවන් කැලණීය සහ රජමහ කැලණීය ලෙස වෙන වෙනම සඳහන් කර තිබෙනවා.

මහාවංශයේ මුලින් ම කැලණිය ගැන සඳහන් වන්නේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී චූලෝදර මහෝදර නාගයන්ගේ කලහය සංසිඳුවීමට බුදුහිමියන් වැඩම කිරීම පිළිබඳ විස්තරයේයි (මහාවංශය- ප්‍රථම භාගය 63-75 ගාථා). ප්‍රාදේශීය රාජධානියක් ලෙස කැලණීය ප්‍රකට වුණේ කැලණිතිස්ස රජ සමයේදි යි. ඒ අනුව ලංකාවේ ආර්ය ජනාවාස ඇතිවූ මුල් කාලයේ ම කැලණිය ද ජනාවාසයක් ලෙස පැවති බව පේනවා.  

 විහාරගෙයි බුදු පිළිමය- kelaniyatemple.lk

බුදු හිමි වැඩමවීම

බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින පන්සියයක් මහ රහතන් වහන්සේලා සමඟ බුදුන් වහන්සේ කැලණියට වැඩ ම කළ බව මහාවංශය විස්තර කරනවා. ඒ මණිඅක්ඛික නා රජුගේ ආරාධනය අනුව යි. ධර්ම දේශනාව කිරීමෙන් පසු ව බුදුන් වහන්සේ කැලණි ගඟෙන් ස්නානය කළ බව සඳහන් වෙනවා.  

ස්නානය කරන වෙලාවේ පරිහරණය කළ නානකඩය හෙවත් ‘ජලසාටිකාව‘ නිධන් කොට මණිඅක්ඛික නා රජු  කිත්සිරිමෙවන් කැලණිය රජමහා විහාරයේ දාගබ තැන වී යැයි ජනප්‍රවාදයේ සඳහන් වෙන කරුණක්. එම කරුණ සෙල්ලිපි සාධක මගින් ද තහවුරු වී තිබෙනවා.

විහාරය අසලින් ගලන කැලණි නදිය- eatuwawa.blgospot.com

 සැලලිහිණි සංදේශය

කෝට්ටේ යුගයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි රචනා කළ සැලලිහිණි සංදේශයේ ද කිත්සිරිමෙවන් කැලණි විහාරය ගැන පැවසෙනවා.  සැලලිහිණියාට කිත්සිරිමෙවන් වෙහෙරට ගොස් වඳින ලෙස පවසන්නේ මේ විදිහටයි:

පත් ගන පුල් මල් දොඹ තුරෙක     පියකරු
සිත් පිනවා ඉඳ සැළලිහිණින්         අතුරු
ගත් සරතස හැර විඳ සුවඳ මඳ      මරු
කිත්සිරිමේ වෙහෙරට වදුව         පස්වරු

සැලලිහිණියාට විහාරගෙය වැඳ පුදා ගැනීමෙන් පසුව, බුදුන් වහන්සේ ස්නානය කිරීමෙන් අනතුරු ව තුන් සිවුරු පෙරවා වැඩ සිටි ස්ථානයේ කරවූ සිවුරු දාගබ  වැඳ පුදා ගන්නා ලෙසත් අවවාද කරනවා:

සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සො‍ඬෙක සැටි

සිහිලළ ගඟැ සිලිල් සනහා මුනි නො    ගැටි

පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරෙවැ වැඩ  සිටි

තැන කළ සිවුරු දා ගැබ වඳු නො පෑ      පිටි

 රජමහා වෙහෙර බිම- yourchoiceway.com

කිත්සිරිමෙවන් රජමහ වෙහෙර

අනුරාධපුරයේ රජකම් කළ කිත්සිරිමෙවන් ( 303- 331) රජු නවකම් කරවා පිළිසකර කරවූ හෙයින් කිත්සිරිමෙවන් විහාරය ලෙසින් මේ විහාරයටනම ලැබුණු බවට එක්  මතයක කියවෙනවා. ඒ ගැන ඓතිහාසික සාධක නම් හමු වී නැහැ. තවත් අදහසක් නම් පොළොන්නරුවේ දෙවන ගජබාහු රජ දවස දක්ඛිණ දේශය පාලනය කළ මානාභරණ කුමරුන්ගේ සහෝදර කීර්ති ශ්‍රී මේඝ මාහිමිපාණන් මේ විහාරය පිළිසකර කරවූ බවත් ඒ නිසා එම නම ලැබුණු බවත්.  

එගොඩ කැලණියේ  ක්‍රිස්තු වර්ෂ 1333 කාලයේ විල්ගම්මුල නාහිමියන් කරවූ පුවරු ලිපියක් පිහිටා තිබෙනවා. ගම්පොළ රාජධානි යුගයේදී මේ විහාරයේ ජරාවාස ව පැවති දාගබ, පිළිම ගෙය සහ බෝධි ප්‍රකාරය අලගක්කෝණාර නම් අමාත්‍යවරයා විල්ගම්මුල නම් හිමියන්ගේ අනුශාසනා පරිදි පිළිසකර කරවා තිබෙන බව තමයි සෙල්ලිපියේ කියවෙන්නේ.

 පුවරු ලිපිය- budusarana.lk

 

විහාරයට කිත්සිරිමෙවන් නම පුරාණයේ පටන් තිබුණු බව ද සෙල්ලිපි සාධකවලින් ද හෙළිවෙනවා.  එම පුවරු ලිපිය දාගබ අසල ප්‍රාකාරයකට සවිකර ඇති අන්දම දැකගත හැකියි. මේ පුවරු ලිපියේ අරුතයි:

සංඝරාජ පදවිය හෙබ වූ ශ්‍රීමත් ගඟතලා කරඹවලානේ ශ්‍රීවන්ත විල්ගම්මුල මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත කිත්සිරිමෙවන් රජ දවස සිට ශාසනික හා ඥාති පරම්පරා දහයක් පුරා උරුමය හිමි වී පැවති කිත්සිරිමෙවන් විහාරයේ පිළිමගේ අසල උළුවාසල් තුන, දාගැබ, බෝධි කොටු දෙක, පවුරු පදනම්, පසු දොරටුවේ තණගෙවල් පහ ඇතුළු ජරාවාස වී පැවති ඉදිකිරීම් තත්කාලීන ප්‍රභූ පෙළපතක් වූ නිශ්ශංක අලගක්කෝනාර අමාත්‍යවරයාගේ පරපුරේ දසවැන්නා වූ අලගක්කෝනාර අමාත්‍යවරයා ලවා පිළිසකර කරවීය.

එසේම මහා බෝධීය වටා කොත් දහතුනක් පළඳවන ලද බෝධි ප්‍රාකාරය පිළිසකර කරවා එහි මතු පැවැත්ම පිණිස රජ අණින් පාණබුන්නෙහි පොළොන්නරුවෙන් (කොලොන්නාව විය හැකි බව මතයයි) කුඹුරු සහ ගෙවතු, වන ලැහැබ, තුරු ලතා සහිතව දෙයාල පස් අමුණක් ඉඩකඩම් කිත්සිරිමෙවන් වෙහෙරට පූජා කර තිබෙන අතර සේවකයන් තිස් දෙනකු විහාරස්ථානයේ කටයුතු සඳහා පත් කොට තිබේ.

පෘතුගීසි ආක්‍රමණ

16 වන සියවසේ දී පෘතුගීසින් කැලණිය රාජ මහා විහාරයේ දාගබ බිඳ විහාරය වැනසූ අතර ඒ ඉරණම කිත්සිරිමෙවන් විහාරයට ද අත් ව තිබෙනවා. පසුව මහනුවර යුගයේ දී  කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර කැලණිය විහාරය නැවත ගොඩනැංවීමට මුල්වී තිබෙනවා. කැලණිය රාජමහා විහාරයට පුනර්ජීවය සැලසූ වකවානුවේ දී ම කිත්සිරිමෙවන් කැලණිය විහාරස්ථානය ද පිළිසකර කරවූ  බව අනුමාන කළ හැකි යි.

 විහාරයේ දාගබ- kelaniyatemple.lk

අද තත්ත්වය

එගොඩ කැලණීයට අද යන අපට පුරාණ ස්මාරක ලෙස දැකගත හැක්කේ දාගබ සහ විහාර මන්දිරය පමණයි. මේ දාගබ බුදුන් වහන්සේගේ ජලසාටිකාව තැන්පත් කර ඉදිකර වූ දාගබ ලෙස විශ්වාස කෙරෙනවා.  එය පසුකාලීනව ප්‍රතිසංස්කරණයට ලක්ව ඇති නිසා පුරාණ ස්වරූපය ගැන නම් සාධක හමුවන්නේ නැහැ.  විහාර මන්දිරය 1900 දී පමණ තැනූ කුඩා ගොඩනැගිල්ලක්. එහි පිහිටි හිඳි බුදු පිළිමය උඩරට සම්ප්‍රදායේ ලක්ෂණ පෙන්නුම් කරනවා.  

බිත්තිවල ඇඳ ඇත්තේ නෙළුම් මල් ගෙන බුදු පුදට යන රහත් හිමිවරුන්ගේ රූපයි. ශෛලමය බුද්ධ රූප කොටස්, ගල්කණු කැබලි සහ ගල්පුවරුවක සටහන් කළ සිරිපතුලක් ද විහාර බිමේ දැකගත හැකි යි.  සිරිපතුල දාගබේ මලසුන් ගෙයක තැන්පත් කර මල් පූජා කිරීම සිදු කරනවා. විශාල බෝධි වෘක්ෂයක් ද මෙහි පිහිටා තිබෙනවා. කුඩා ඉඩකඩක පිහිටි විහාරය  එක් පසෙකින් මායිම් වන්නේ කැලණි නදී ඉවුරට යි. විහාර බිමේ නූතන ඉදිකිරීම් ලෙස ධර්ම ශාලාවක් මෙන්ම බෝධි ප්‍රාකාරයක් ද දැක ගත හැකි යි. 

විභීෂණ දේවාල සෙල්ලිපිය

කැලණියේ විභීෂණ දේවාලයේ තිබී හමු වූ දහවැනි සියවසට අයත් ටැම්ලිපියක බුදුන් වහන්සේගේ කැලණි ගමනත්, සිවුරු දාගබත් ගැන සඳහන් වෙනවා. එම සෙල්ලිපියේ ‘‘උදකස්දා’’ යනුවෙන් තිබූ වැකිය කිය වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන ඉන් අදහස් වන්නේ දිය නෑම සඳහා භාවිත කළ චීවර ධාතුව’’ බවට අර්ථ දක්වා තිබෙනවා. සෙල්ලිපියේ මෙසේද සඳහන් වෙනවා: ‘‘වදාළ හෙයින් කැලණි රජමහා වෙහෙ උදකස්දා නින්දා මඟුල් දා ගැබිහි බද මුල් ගුණ සමමෙ වෙහෙර් සෙනෙවිරද් පදිය වසමට දෙනුකොට ඉසා’’

එහි අරුත නම් රජතුමා නියම කළ බැවින් කැලණි රජමහා විහාරයෙහි ජල සාටිකා ධාතුව (දියනෑමට භාවිත කළ සිවුර) නිදන් කළ මංගල මහා ස්තූපයෙහි පහන් පූජාව පැවැත්වීම පිණිස රුවන්වැලි සෑයට අයත්ව මුල සිට පැවැති ප්‍රදේශය මෙම විහාරයෙහි සෙනෙවිරත් පදවියේ ප්‍රදේශ පාලනයට දෙනු පිණිස’’ යන්න යි.

කවරයේ ඡායාරූපය- සිවුරු දාගබ සහ පිළිමගෙය- yourchoiceway.com

මූලාශ්‍ර:

ඓතිහාසික කැලණි රජමහා විහාරය- පියසිරි පී මීගොඩ

kelaniyatemple.lk

budusarana.lk

Related Articles