Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙලි නාට්‍ය කලාවේ ඇරඹුම සනිටුහන් කළ ‘රැජිනගේ පණිවිඩකරු’

වර්තමානයේ දී ගත කරන කාර්යබහුල ජීවන රටා හේතුවෙන් බොහෝ දෙනෙක්ට රූපවාහිනිය නැරඹීමට ඇත්තේ අතිශය සීමිත අවස්ථාවන් කිහිපයක්. එසේ වුවත් සති අන්තයේ දී හෝ නිවාඩුවක් ලද විගස YouTube හෝ Netflix වැනි විනෝදාස්වාදය සපයන වෙබ් අඩවිවල නැරඹිය හැකි දෙස් විදෙස් ටෙලි නාට්‍ය මාලාවන් දහස් ගණනක් පවතින බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. ඒ අනුව තමන්ගේ රුචියට ගැළපෙන පරිදි කැමති ටෙලි නාට්‍ය මාලාවක් තෝරා ගැනීමට වත්මන් ප්‍රේක්ෂකයාට අවස්ථාවක් තිබෙනවා.

නමුත් 1928 වර්ෂයේ දී පැවතුණේ එයට හාත්පසින් වෙනස් තත්ත්වයක්. නාට්‍යයක් රූපවාහිනී වැඩසටහනක් ලෙස මුල්ම වරට විකාශය වෙමින් අද පවතින දහස් ගණනක් ටෙලිනාට්‍යවලට මූලාරම්භය සැපයූ ආකාරයයි අද ලිපියෙන් විස්තර කෙරෙන්නේ.

© Albany Group Archive

රූපවාහිනිය’ ලෙස සැලකිය හැකි යන්ත්‍රයක් ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලද්දේ ස්කොට් ජාතික නව නිපැයුම්කරුවෙකු වූ ජෝන් ලෝගී බෙයාඩ් සහ ඇමෙරිකානු ජාතික චාල්ස් ෆ්‍රාන්සිස් ජෙන්කින්ස් විසින්. ඔවුන් විසින් වෙන් වෙන් ව එම යන්ත්‍ර නිපදවන ලද්දේ 1920 දශකයේ මුල් භාගයේ දී යි. 1927 වර්ෂයේ දී 21 හැවිරිදි වියේ පසු වූ ෆයිලෝ ටේලර් ෆාන්ස්වර්ත් විසින් ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික් රූපවාහිනිය නිමවා තිබෙනවා. මෙසේ දිගු ගමනක් පැමිණි රූපවාහිනියේ ප්‍රථම වරට විකාශනය කරන ලද වැඩසටහන ලෙස සැලකෙන්නේ ‘රැජිනගේ පණිවිඩකරු’ යන ටෙලි වෘත්තාන්තය යි.

ගුවන් විදුලියෙන් රූපවාහිනියට

© Early Television Foundation

ගුවන් විදුලි නාට්‍යයක් ලෙස ජනප්‍රියත්වයක් අත් කරගෙන සිටි ‘රැජිනගේ පණිවිඩකරු’ රචනා කරන ලද්දේ ජේ. හාට්ලි මැනර්ස් නම් බ්‍රිතාන්‍ය නාට්‍ය රචකයා යි. ඔහු විසින් තනි කතාංගයක් ලෙස රචිත එය රූපවාහිනී නාට්‍යයක් ලෙස ද උචිත බව තීරණය කළ ‘WGY Television’ සමාගම, ලොව ප්‍රථම ටෙලි වෘත්තාන්තය අධ්‍යක්ෂණය කිරීමේ වගකීම මෝටිමර් ස්ටුවර්ට් වෙත පවරා තිබෙනවා. ඒ අනුව විද්‍යුත් යාන්ත්‍ර (electro-mechanical) කැමරා ත්‍රිත්වයක සහ අර්න්ස්ට් ඇලෙක්සැන්ඩර්සන් නම් ස්වීඩන් ජාතික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයාගේ සහය ඇති ව චලනය වන රූප සහ ශබ්දය සහිත ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීමට මෝටිමර් ස්ටුවර්ට් සමත් වුණා. විද්‍යුත් යාන්ත්‍ර කැමරා මගින් රූප පටිගත කරන ලද අතර ශබ්ද පටිගත කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ශබ්දවාහිනී යන්ත්‍ර යි.

ඉංග්‍රීසි බසින් නිපදවන ලද ‘රැජිනගේ පණිවිඩකරු’ මිනිත්තු 40 ක් තිස්සේ දිවෙන ටෙලි නාට්‍යයක්. නිව්යෝක් නගරයේ දී එය ප්‍රථම වරට විකාශනය කරන ලද්දේ 1928 සැප්තැම්බර් 11 වැනි දින පස්වරු 1.30 ට සහ රාත්‍රී 11.30 ට යි. අඟල් 3 ක තිරයක් ඇති රූපවාහිනී ඔස්සේ විකාශනය කරන ලද එය නිව්යෝක් නගරයට පමණක් නොව ශාන්තිකර වෙරළ තීරයේ ඇතැම් ස්ථානයන්ට ද දර්ශනය වූ බව විශ්වාස කරනවා.

බ්‍රිතාන්‍ය රහස් සොයන රුසියානු ඔත්තුකාරිය

රැජිනගේ පණිවිඩකරු’ ටෙලි වෘත්තාන්තය ගෙතී තිබුණේ ප්‍රධාන චරිත ද්විත්වයක් වටා යි. බ්‍රිතාන්‍ය රාජ දූතයෙකුට අභිරහස් කාන්තාවක් හමු වන අතර ප්‍රථම හමුවෙන් ම ඔහු ඇය හා ප්‍රේමයෙන් බැඳෙනවා. නමුත් සත්‍ය වශයෙන් ම රුසියානු ඔත්තුකාරියක් වන ඇයගේ අරමුණ වන්නේ ඔහු සතු වන රහස් ලේඛන ගොනුව කෙසේ හෝ තමන් සතු කර ගැනීම යි.

එසෙටා ජුවෙල් (© Wikimedia Commons)

මෙහි රූමත් රුසියානු ඔත්තුකාරියගේ චරිතය නිරූපණය කරන්නේ ඇමෙරිකානු වේදිකා නාට්‍ය නිළියක් වූ එසෙටා ජුවෙල් විසින්. ඇය හා පෙමින් බැඳෙන බ්‍රිතාන්‍ය රාජ දූතයාගේ චරිතය පණ පෙවීමේ කාර්යය භාර වී තිබුණේ මොරිස් රැන්ඩෙල් වෙත යි. ඔවුන් දෙදෙනාට අමතර ව ටෙලි නාට්‍ය රඟ දැක්වීම සඳහා ජොයිස් එවන්ස් රෙක්ටර් සහ විලියම් ජේ. ටොනෙස්කි සහය වී තිබෙනවා.

අටපට්ටමක හැඩයෙන් යුතු රූපවාහිනී

තාක්ෂණික බාධක ජය ගනිමින් විකාශනය කරන ලද ‘රැජිනගේ පණිවිඩකරු’ ටෙලි නාට්‍ය දර්ශනය නිව්යෝක් නගර වැසියන්ට දැක බලා ගැනීමට ඉඩ සලසා ඇත්තේ අටපට්ටමක හැඩයෙන් යුතු රූපවාහිනී යි. අඟල් 3 ක් තිරයක් සහිත මුල් කාලීන රූපවාහිනී, අඟල් 14 ක් උස සහ අඟල් 10 ක් ගැඹුරෙන් යුතු දැවමය රාමුවක් තුළ තැන්පත් කර තිබෙනවා. ශබ්ද විකාශනය සඳහා භාවිතා කර ඇත්තේ රූපවාහිනී තිරයට මදක් පහළින් තැන්පත් කරන ලද ගුවන් විදුලි ප්‍රතිග්‍රාහකයක්.

© Wikimedia Commons

කුඩා කළු-සුදු තිරයකට ගැළපෙන ලෙස නිර්මාණය කිරීම සඳහා ‘රැජිනගේ පණිවිඩකරු’ රූ ගත කිරීමේ දී මෝටිමර් ස්ටුවර්ට් විසින් විශේෂ ප්‍රයෝග කිහිපයක් ම භාවිත කරන ලද බව සඳහන්. එසේ ම රූ ගත කිරීම් සඳහා විශාල පිරික්සුම් පහන් ත්‍රිත්වයක්, ශබ්දවාහිනී යන්ත්‍ර ත්‍රිත්වයක් සහ පසුබිම් පින්තූර කිහිපයක් යොදා ගෙන ඇති අතර දර්ශන මාරු කිරීම සඳහා අධ්‍යක්ෂක විසින් ප්‍රමාණයෙන් කුඩා පාලක පෙට්ටියක සහය ලබාගෙන තිබෙනවා. ‘රැජිනගේ පණිවිඩකරු’ රූ ගත කිරීමේ කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ නිව්යෝක් හි ස්කෙනෙක්ටඩි ප්‍රදේශයේ පිහිටි ‘WGY Television’ සමාගමට අයත් රූපවාහිනී මධ්‍යස්ථානයක්. පසු ව ටෙලි නාට්‍ය තිරගත කර ඇත්තේ ද එම මධ්‍යස්ථානයේ සිට යි.

කවරයේ පින්තූරය : © Elite Solutions

Related Articles