Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියා හමුදා අන්ත පරාජයක් ලැබූ ‘මහා ඉමියු සංග්‍රාමය’

ලොව පුරා එදා මෙදා තුර ඇතිවූ මහා යුද සංග්‍රාමයන් පිළිබඳව නිරන්තරයෙන් අප අසා ඇත. ඒ අතර ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් ලෙස ‘මහා ඉමියු සංග්‍රාමය’ හමුවේ. විශේෂත්වය නම් මෙය මිනිසුන්-මිනිසුන් අතර ඇතිවූ යුද්ධයක් නොවීම යි. මේ ඕස්ට්‍රේලියාවේ හමුදාවන් සහ ඉමියු පක්ෂීන් අතර ඇතිවූ ගැටුමක කතාව යි.

aminoapps.com

කවුද මේ ඉමියු?

Emu නොහොත් Dromaius novaehollandiae යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පක්ෂියා පැස්බරාගෙන් පසුව ලොව විශාලතම පක්ෂියා වේ. ඕස්ට්‍රේලියාවට අවේණික පක්ෂියෙකු වන මෙම සත්ත්වයා ඊට අමතරව ඒ ආසන්නයේම පිහිටි නිව්ගිනියා, ඉන්දුනීසියා, පිලිපීන, සොලමන් දුපත් යන ප්‍රදේශවල දී ද හමුවේ. ඕස්ට්‍රේලියාවට කැන්ගරුවා වැදගත් වන ලෙසම ඉමියු පක්ෂියා ද වැදගත්කමක් උසුල යි.  

sandiegozoo

දිගු ශක්තිමත් පාද ඇති මෙම පක්ෂියාට පැයට කිලෝමීටර් 48ක පමණ වේගයෙන් දිවයාමේ හැකියාව ඇති අතර, පාදවල ශක්තිමත් බව නිසාම මීටර් 2.1ක පමණ උසක් පැනීමට ද හැකියාව පවතියි. තියුණු පෙනීමක් සමග ඉතා කඩිසරව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ද පවතින නිසා, අනතුරු ඉක්මනින් හඳුනාගැනීමට ද ආරක්ෂා වීමට ද හැකියාව ලැබී ඇත. ශක්තිමත් පාද තියුණු සහ නිය හිමි නිසා ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඉමියු පක්ෂීන්ට උපතින්ම හිමිව ඇත. වැඩුණු පක්ෂියෙකුගේ බර කිලෝග්‍රෑම් 30 – 55 දක්වා සිමාවේ පවතින අතර උස මීටර් 1.5 සිට 1.9 දක්වා පැවතිය හැකිය.

sandiegozoo

කිලෝමීටර් 2ක් පමණ දුරකට ඇසෙන සේ ශබ්ද නගා හඬ නැගීමේ හැකියාව ඇති මෙම පක්ෂීන් සර්වභක්ෂකයින් වේ. ඉමියු පක්ෂීන් ශක්තිමත්, විශාල වශයෙන් සාමූහිකව ජිවත්වන සත්ත්ව කොටසක් වේ.

wikimedia

1919 දී පළමුවන ලෝක යුද්ධය අවසන් වූ පසු ඕස්ට්‍රේලියානු රජය විසින් නැවත පැමිණි හමුදා සෙබළුන් පන්දහසක් පමණ බටහිර ඕස්ට්‍රේලියාවේ පදිංචි කර ඉඩම් ලබා දුන්නේ ගොවිතැන් කටයුතු ඇරඹීම සඳහා යි. ඒ  1920 දශකයේ අග භාගය යි. කෘෂි කාර්මික කටයුතු අරඹනු ලැබුව ද එය බොහොමත් දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යාමට සිදුවිය. ආර්ථික වශයෙන් තිබූ දුර්වලතාව මෙන්ම බටහිර ඔස්ට්‍රේලියාව වර්ෂාව අවම ශුෂ්ක කලාපයක් වීම නිසා ද ඔවුන් දැඩි අපහසුතාවයට පත්විය. මෙසේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ ගොවිතැන් කටයුතු පවත්වාගෙන යන අතරතුර 1932 වසරේ දී නොසිතු විරූ ලෙස ඉමියු පක්ෂීන් 20000ක් පමණ වගාවන් වෙත කඩාවැදී හානි කිරීම අරඹන්නට විය. දැනටමත් විවිධ දුෂ්කරතාවලින් පිඩාවට පත්ව සිටි පිරිසට ඉමියු ආගමනය කබලෙන් ලිපට වැටීමක් විය. මෙහි ගොවීන් හිටපු හමුදා සෙබළුන් නිසා මැෂින් තුවක්කු කිහිපයක් ලබා ගැනීමට හැකි වේ නම් මෙම ව්‍යසනයට විසඳුමක් ලබා ගැනීමට හැකි වේ යැයි සිතා, එවක ආරක්ෂක ඇමති ජෝර්ජ් පීස්ගෙන් ඉල්ලා සිටියේ මෙම පක්ෂීන් පලවා හැරීම සඳහා මැෂින් තුවක්කු ලබා දෙන ලෙසයි.

කුඩා ඉමියු පක්ෂියෙක්(sandiegozoo)

ගැටළුව අවබෝධ කරගත් ආරක්ෂක අමාත්‍යවරයා හමුදා සෙබළුන් කිහිපදෙනෙකු, මැෂින් තුවක්කු ද, සිද්ධිය වාර්තා කිරීමට මාධ්‍යය පිරිසක් ද සමග පිටත් කර යවන ලදී. මාධ්‍යය පිරිසක් පිටත්කර හරින්නේ තමන් මැදිහත්ව සෙබළුන්ගේ ගැටලුවට විසඳුම් ලබා දුන් බව ප්‍රචාරය කිරීමේ අරමුණිනි. නමුත් ඒ වනවිට මෙම ප්‍රදේශයට වර්ෂාව ලැබෙමින් පැවති නිසා මෙහෙයුම මාසයක් අත්හිටුවීමට සිදුවිය. මසකට පසුව, 1932 නොවැම්බර් මස 2 වන දා නැවතත් ඉමියු දඩයම සඳහා කටයුතු ආරම්භ විය. කුඩා හමුදා ඛණ්ඩයක් ඉමියු දඩයම ආරම්භ කරන ලදී. පළමුව ඔවුන්ට 50ක පමණ ඉමියු රංචුවක් හමුවූ අතර ඉතා පහසු ඉලක්කයක් ලෙස සෙබළු වෙඩි තැබීම ඇරඹුහ. නමුත් තමන් අසාර්ථක බව ඔවුන්ට වටහාගත්තේ ඉමියු කිහිප දෙනෙක් ඝාතනය වී ඉතිරි සියල්ල පලා ගොස් ඇති බව දැකීමෙනි. මීළඟ දිනයේ දී දහසක පමණ ඉමියු රංචුවක් ඉලක්ක කෙරිණි. පහසු ඉලක්කයක් ගත හැකිවූ දුරක දී වෙඩි තබන ලද වුවත්, වහාම පැන යාමට ඉමියු රංචුව සමත් විය. පෙර අවස්ථාවේ මෙන්ම කිහිප දෙනෙක් පමණක් මියගොස් තිබුණි. එපමණක් ද නොව හමුදාව රැගෙන ආ මැෂින් තුවක්කුවක් ද මෙහෙයුම අතරතුර හානි විය. සිතු තරම් පහසු මෙහෙයුමක් නොවන බව ඔවුන්ට අවබෝධ වන්නට විය.

යොදා ගත් ලෙවිස් මැෂින් තුවක්කු වර්ගය(alarabiya)
මරා දැමු ඉමියු පක්ෂියෙක්(alarabiya)

ඉමියු පක්ෂීන් මෙසේ පැන ගියෙ කෙසේ ද? ඉහත පවසන  ලද ඔවුන්ගේ ශරීර ලක්ෂණයන් අනුව වේගයෙන් දිව යා හැකි වීම මෙන්ම, ඉතා උස් හඬින් ශබ්ද නගා අනතුරු පිළිබඳ සියලු දෙනා දැනුවත් කළ හැකිවීම ද මෙයට හේතු විය. ඉමියු රංචු ගැසී සිටින විට දී කුඩා කුඩා කණ්ඩායම් ලෙස බෙදී ආහාර සොයන අතර, එක් එක් කණ්ඩායමේ නායකයා අනතුරක සේයාවක් දකින විටම පිරිස දැනුවත් කරයි. අනතුරු හඳුනාගැනීමත් මඟහැරිමත් සඳහා උචිත ක්‍රමයකට ඔවුන් හැඩගැසී ඇත.  

ඉමියුවන් ඉලක්ක කරන අයුරු(wikimedia)

දෙවන උත්සහය ද ව්‍යර්ථ වූ පසුව ඉමියු පසුපස පන්නා ගොස් වෙඩි තැබීම අවශ්‍ය යැයි තීරණය කරමින් මැෂින් තුවක්කුව රථයකින් රැගෙන පැමිණුනි. සුපුරුදු පරිදි වෙඩි තැබීම ආරම්භ කරන ලදී. පලා යන ඉමියු රංචුව පසුපස හඹා යමින් වෙඩි තබන්නට වූ නමුදු වේගවත් ඉමියු රංචුව කොටුකර ගැනීමට එම උත්සහයෙන් ද හැකිවුයේ නැත. මෙම ප්‍රයත්නය අවසානයේ නවතා දැමුයේ විශාල ඉමියු පක්ෂියෙක් පැමිණ රථයේ සුක්කානමේ සිරවූ පසුව යි.

මෙසේ උත්සාහය අසාර්ථකව ගැටළුවකට මුහුණපා සිටි සෙබළුන්ට සහ ආරක්ෂක ඇමතිවරයාට මීළඟට තවත් විශාල අර්බුදයක් ඇතිවිය. ඒ සිදුවීම වාර්තා කිරීමට පිටත්කළ මාධ්‍යය විසින් ඉහත සිදු වූ සියල්ල බොහොමත්ම ඍණාත්මක ලෙස ලොවට වාර්තා කිරීම යි. 25000කට අධික පතොරම් වැයවුවත් අවසානයේ මියගිය ඉමියු සංඛ්‍යාව 200ක් පමණ වීම මෙහෙයුම බොහොමත්ම අපකීර්තියට පත්වීමට හේතුවිය. එසේම මෙය ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ අනුමත මෙහෙයුමක් ද වූ නිසා, ඕස්ට්‍රේලියා හමුදාවන්ගේ යුද්ධයක් බවට පත්වීම නොවැළක්විය හැකිවිය.

මෙහෙයුම පිලිබඳ පුවත්පත් වාර්තාවක් (alarabiya)

1932 නොවැම්බර් මස 12 වැනි දා සිදුකළ මෙහෙයුම පෙරට වඩා සාර්ථක විය. ප‌තොරම් 9800ක් පමණ වැය කර 986ක් පමණ ඉමියුවන් මරා දැමීමට එහි දී සමත්විය. පසුව මෙහෙයුම් අවසන් කරන ලද අතර 1934දී අදාළ ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු කරන සියලුදෙනාට වගාවන් ආරක්ෂා කරගැනීමට ගිනි අවි සපයන ලදි. ඒ, ඉමියු]වන් මහා පරිමාණ වශයෙන් ඝාතනය කිරීම දුෂ්කර වූ නිසාම පමණක් නොව එය අනවශ්‍ය කටයුත්තක් බව ද පසුව අවබෝධ කරගත් නිසා ය.

nationalparks.nsw.gov.au

අවසානයේ ඉමියුවන්ට ජය ලබාදෙමින් ‘මහා ඉමියු සංග්‍රාමය’ මෙලෙස ඉතිහාස ගතවිණි. අද මෙම සත්ත්ව කොටස ඕස්ට්‍ර්ලියාවේ 1999 පරිසර සුරක්ෂණ සහ ජෛවවිවිධත්ව සංරක්ෂණ පනත යටතේ සංරක්ෂණය කරනු ලබයි.  

කවරයේ : medium.com

මුලාශ්‍ර: animals.sandiegozoo.org

www.youtube.com

Related Articles