Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දු – පාකිස්ථාන යුද්ධවල ඉතිහාසය​

බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ඉන්දියාවට 1947 දී නිදහස ප්‍රදානය කරන ලද්දේ එය රටවල් දෙකකට කැඩීමෙනි. මේ අනුව 1947 අගෝස්තු 14 වනදා පාකිස්ථානය ද අගෝස්තු 15 වනදා ඉන්දියාව ද නිදහස් රාජ්‍යයන් දෙකක් බවට පත් වුණේ විශාල ප්‍රශ්න ද ඉතිරි කරමින්.

නිදහස ලබා වසර 70 ක් ගතවී ඇතත් මෙම රටවල් අතර තවමත් එදිරිවාදිකම් අවසන් වන ලකුණක් හෝ දකින්නට අපහසුයි.

මෙම රටවල් දෙක ප්‍රධාන යුද්ධ තුනකදී එකිනෙකා හා ගැටුණ අතර, අප්‍රකාශිත කාර්ගිල් යුද්ධයේදීත් දෙපිරිස සටන් වැදුණා. මීට අමතරව, නිරන්තරයෙන් දෙපාර්ශවය අතර දේශසීමාවන්හි දී වෙඩි තබාගැනීම් සිදු වනවා.

අප මෙම ලිපියෙන් සොයා බලන්නේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර මෙතෙක් කල් ඇතිවූ යුධ ගැටුම් පිළිබඳවයි.

කාශ්මීර් අර්බුදය සහ 1947 – 48 යුද්ධය​

බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ඉන්දියාවේ කුමාරවර රාජ්‍යයන් (Princely States) 562 ක් වුණා. මේවා පාරම්පරික පාලකයන් යටතේ පැවති ප්‍රදේශ වූ අතර බ්‍රිතාන්‍යයන් විසින් ඔවුනට අභ්‍යන්තර කටයුතු පිළිබඳ නිදහස ලබා දී තිබුණා. මෙම ප්‍රදේශ අතර වර්ග කිලෝමීටර කිහිපයකින් යුත් ප්‍රදේශ මෙන්ම හයිදරාබාද්, මයිසෝර්, කාශ්මීර් වැනි විශාල ප්‍රදේශත් පැවතුණා.

ඉන්දියාවට නිදහස ලබාදීම පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් 1947 දී සම්මත කරන ලද ඉන්දියානු නිදහස පිළිබඳ පනත අනුව මෙම කුමාරවර රාජ්‍යයන් සම්බන්ධයෙන් තම පාලනය අතැර දැමීමට බ්‍රිතාන්‍යය කටයුතු කළා. එම කුමාරවරුන්ට මේ අනුව විකල්ප තුනක් දෙනු ලැබුණා. එනම් ඉන්දියාව සමඟ එක්වීම​, පාකිස්ථානය සමඟ එක් වීම හෝ ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමයි.

ඉන්දියාවේ කුමාරවර රාජ්‍යයන් (කහ පැහැයෙන්) සහ සම්පූර්ණ බ්‍රිතාන්‍ය පාලනය යටතේ වූ ප්‍රදේශ (රෝස පැහැයෙන්) – Edinburgh Geographical Institute (Public Domain)

මහාරාජාවරුන්, නවාබ්වරුන් ආදී නම්වලින් හැඳින්වූ මේ බොහෝ පාලකයන් භූගෝලීයව තම පාලන ප්‍රදේශ පැවති ආකාරය සළකා ඉන්දියාවට හෝ පාකිස්ථානයට එක් වුණා. එනම් ඉන්දියාව තුළ භූගෝලීයව පිහිටි පාලකයන් ඉන්දියාව සමඟත් පාකිස්ථානය තුළ භූගෝලීයව පිහිටි ප්‍රදේශවල පාලකයන් පාකිස්ථානය සමඟත් ඒකාබද්ධ වුණා. මෙසේ සිදු නොවූ අවස්ථා තුනක් දකින්නට ලැබුණා.

එයින් දෙකක් නම් හයිදරාබාදය සහ ජුනාගාදයයි. මෙම ප්‍රදේශ දෙක ම ඉන්දියාව තුළ පිහිටා තිබෙනවා. ජුනාගාදය වත්මන් ගුජරාට ප්‍රාන්තය තුළ පිහිටි අතර හයිදරාබාදය වත්මන් ආන්ද්‍රා ප්‍රදේශ් – තෙලන්ගනා ආශ්‍රිත කලාපයේ පිහිටියා. මෙම ප්‍රදේශ දෙකම හින්දු බහුතරයක් ජීවත් වූ මුස්ලිම් පාලකයන් සිටි ප්‍රදේශ වූ අතර ජුනාගාද් හි පාලකයා පාකිස්ථානය සමඟ සම්බන්ධ වීමටත් හයිදරාබාද පාලකයා ස්වාධීන වීමටත් තීරණය කළා. නමුත් තම රට අභ්‍යන්තරයේ පසමිතුරු පාලකයන් සිටිනු දැකීමට අකැමැති වූ ඉන්දියාව මෙම ප්‍රදේශ දෙකම හමුදාමය ක්‍රියාන්විතවලින් පසු යටත් කර ගත්තා.

කාශ්මීරයේ මතුවූ තත්ත්වය මීට වඩා වෙනස් වුණා. එහි පාලකයා වූයේ හරී සිං නම් මහරාජාවරයෙක්. කාශ්මීරයේ බහුතරය මුස්ලිම් ජනතාව වූ අතර මේ අනුව මුස්ලිම් බහුතර ජනගහනයක් සහිත හින්දු පාලකයකු විසින් පාලනය කළ එකම කුමාරවර රාජ්‍යය බවට කාශ්මීරය පත්ව තිබුණා. පාකිස්ථානය බලාපොරොත්තු වූයේ කාශ්මීරය එරට හා එක්වනු ඇති බවයි. නමුත් හරී සිං ස්වාධීනව සිටීමට තීරණය කළා.

මේ අවස්ථාවේ පාකිස්ථානය තීරණය කළේ හොඳින් හෝ නරකින් හෝ කාශ්මීරය තමන් සතු කරගැනීමටයි. ඒ අනුව එහි නායකයන් කළේ පතාන් ගෝත්‍රිකයන් සන්නද්ධ කොට කාශ්මීරයට එවීමයි. කාශ්මීර ආරක්ෂක අංශවලට මෙම ප්‍රහාරයට මුහුණ දීමේ හැකියාවක් වූයේ නැහැ.

වෙනත් විකල්පයක් නොවූ තැන කාශ්මීර් පාලකයා ඉන්දියාව සමඟ ඒකාබද්ධ වීමේ ගිවිසුමක් අත්සන් කළා. ඒ 1947 ඔක්තෝබර් 26 වනදා. ඉන්දියාව විසින් සිය හමුදා කාශ්මීරයට එවනු ලැබුණා.

මේ අනුව පතාන් ගෝත්‍රිකයන් සහ ඉන්දියානු භටයන් අතර සටන් ඇති වුණා. එහිදී පතාන් ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණය නවතන්නට ඉන්දියානුවන් සමත් වුණා. මේ අතර 1948 මැද භාගය පමණ වනවිට පාකිස්ථාන හමුදා ද කාශ්මීරයට ඇතුලු වූයෙන් ඔවුන් සහ ඉන්දියානුවන් අතර ද ගැටුම් ඇති වුණා.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් 1949 ජනවාරි 1 වනදා සිට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ වනවිට පාකිස්ථානය විසින් කාශ්මීරයේ කොටසක් අල්ලාගෙන තිබුණා. එය පසුව ඔවුන් විසින් අසාද් කාශ්මීර් (නිදහස් කාශ්මීරය​) නමින් නම් කෙරුණා.

මෙම ඉන්දු – පාකිස්ථාන සීමාව අසළ අදටත් ඇතැම් අවස්ථාවලදී දේශසීමා ගැටුම් ඇති වනවා.

1965 යුද්ධය​

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ගැටුම් කාශ්මීරය පිළිබඳ යුද්ධයෙන් නිරාකරණය වූයේ නැහැ. මේ සමයේ ලෝක දේශපාලන තත්ත්වයන් ද මෙම එදිරිවාදිකම් කෙරෙහි බලපෑවා. විශේෂයෙන්ම නිරවි යුධ සමයේදී පාකිස්ථානය ඇමරිකානු කඳවුරට සහය පළ කළ අතර ඉන්දියාව වඩා නැඹුරු වූයේ සෝවියට් කඳවුරටයි.

1965 යුද්ධය (madrasregiment.org)

1965 වනවිට කාශ්මීරය මෙන්ම රාන් ඔෆ් කුච් (Rann of Kuch) නම් වූ වගුරු බිම් ප්‍රදේශය සම්බන්ධව ද දේශසීමා අර්බුද ඇතිව තිබුණා. මේ වනවිට පාකිස්ථානය පාලනය කළේ ජෙනරාල් අයුබ් ඛාන් විසින්. ඔහු ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප සබඳතාවක් ගොඩ නංවාගෙන තිබුණා. එහෙයින් ඇමරිකාවෙන් පාකිස්ථානයට යුධ ආධාර ලැබී තිබුණා. ඒ අතර නවීන F-104 සහ F-86 ගුවන් යානා ද වුණා.

මේ අතර ඉන්දියාව සිටියේ සාපේක්ෂව දුර්වල වූ තත්ත්වයකයි. 1962 චීන – ඉන්දියා යුද්ධයේදී ලද අපකීර්තියත් සමඟ ඉන්දියානු හමුදාවල මානසික ධෛර්යය දුර්වල වූ අතර 1964 දී ජවහර්ලාල් නේරුගේ මරණයෙන් පසු අගමැති පදවියට පත් වූ ලාල් බහදූර් ශාස්ත්‍රි දුර්වල පාලකයකු ලෙස ඇතැමුන් විසින් සළකනු ලැබුණා. අයුබ් ඛාන් ද සැළකුවේ මර්මස්ථාන කිහිපයකට එල්ල කරන ප්‍රහාරයන් මගින් ඉන්දියානු හමුදා චිත්ත ධෛර්යය බිඳිය හැකි බවයි.

මෙම යුද්ධය ද ආරම්භ වූයේ කාශ්මීරයෙන්. 1965 අගෝස්තුවේදී කාශ්මීර් වැසියන් සේ සැරසුණ සන්නද්ධ පිරිස් ඉන්දියානු හමුදා වෙත කාශ්මීරයේදී පහර දීමට පටන් ගත්තා. මෙම පිරිස පාකිස්ථාන හමුදා සාමාජිකයන් ගෙන් සමන්විත වූ බව සැළකෙනවා. මෙම පිරිසට ඉන්දීය හමුදා ද ප්‍රති ප්‍රහාර එල්ල කළ අතර පසුව ඉන්දීය හමුදා ඇතැම් ස්ථානවලින් පාකිස්ථානය විසින් පාලනය කරන කාශ්මීරයට ද ඇතුලු වුණා.

1965 යුද්ධයේදී පාකිස්ථාන් සෙබලු (DAWN)

සැප්තැම්බරය ආරම්භ වෙද්දී දෙපාර්ශවයේ හමුදා අතර අනෙකුත් ප්‍රදේශවලදී ද සටන් ඇතිවුණා. කෙසේ නමුත් මෙහිදී අයුබ් ඛාන් බලාපොරොත්තු වූ අයුරින් පාකිස්ථාන හමුදා සාර්ථක වූයේ නැහැ. ඉන්දීය හමුදා පාකිස්ථාන දේශසීමාව පසුකර ලාහෝර් නගරයට තර්ජනය කරන තත්ත්වයට පැමිණියා. මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් කරා දෙරට එළඹියා.

දෙරට අතර සාම ගිවිසුමක් සඳහා එවකට සෝවියට් දේශයේ ටෂ්කෙන්ට් නගරයේදී සාකච්ඡා පැවැත්වූ අතර 1966 ජනවාරි 10 වනදා ටෂ්කෙන්ට් සම්මුතියට අත්සන් කෙරුණා.

සම්මුතියට අත්සන් කෙරුණු දිනට පසුදා ටෂ්කෙන්ට් නගරයේදී ඉන්දියානු අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රි මිය ගියා. මෙය හෘදයාබාදයක් හේතුවෙන් වූ මරණයක් යයි නිගමනය වුවද ඇතැමුන් එම මරණය පිළිබඳ සැක පළ කළා.

ටෂ්කෙන්ට් හි ඇතිකරගත් සාම ගිවිසුම පිළිබඳ දෙපාර්ශවයම එතරම් සතුටින් පසු වූයේ නැහැ. එමෙන්ම කලාපයේ අස්ථාවරත්වය ද ඒ අයුරින්ම පැවතුණා. මෙම යුද්ධයෙන් වසර 6 ක් ගිය තැන දෙපාර්ශවය අතර නැවතත් යුද්ධයක් ඇති වුණා.

කෙසේ වෙතත් 1971 ඉන්දු – පාකිස්ථාන යුද්ධයට මුල් වූයේ කාශ්මීරය නොවේ.

1971 යුද්ධය සහ බංග්ලාදේශයේ උපත​

1947 දී පාකිස්ථානය නිර්මාණය කරන ලද්දේ ඉන්දියාවෙන් වෙන් වූ කොටස් දෙකක් වශයෙනුයි. බටහිර පාකිස්ථානයට (වර්තමානයේ පාකිස්ථානයට අයත් ප්‍රදේශය​) පන්ජාබයේ කොටසක්, සින්ධ් යනාදී ප්‍රදේශ කිහිපයක් ඇතුලත් වූ අතර නැගෙනහිර පාකිස්ථානයට බෙංගාලයේ නැගෙනහිර ප්‍රදේශය අයත් වුණා. පාකිස්ථානයේ දේශපාලනය බොහෝ කොටම පන්ජාබ් ජාතික මුස්ලිම්වරුන් විසින් පාලනය කෙරුණා. ජනගහනයෙන් වැඩි වුවද බෙංගාලි වැසියන්ට දේශපාලනමය වශයෙන් බලයක් තිබුණේ නැහැ. එමෙන්ම ඔවුනගේ භාෂාව යටපත් කිරීමේ උත්සාහයක් ද දියත් වෙමින් පැවතුණා. 1960 දශකයේ දෙවන භාගයේ පන්ජාබි දේශපාලන නායකත්වයට එරෙහිව නැගෙනහිර පාකිස්ථානයේ විශාල උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා.

1970 දී පාකිස්ථානයේ මහ මැතිවරණයක් පැවති අතර එහිදී ආසන 300 කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 160 ක් නැගෙනහිර පාකිස්ථානයේ ක්‍රියාත්මක වූ අවාමි ලීගය දිනා ගත්තා. එහි නායකයා වූයේ ශෙයික් මුජිබර් රහ්මාන්. කෙසේ නමුත් බටහිර පාකිස්ථානයේ පාලන අධිකාරිය මෙම පාර්ලිමේන්තුව රැස් කරවූයේ නැහැ. ඒ සමඟම 1971 මාර්තු 26 වනදා බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යයක් ලෙස බුජිබර් රහ්මාන් විසින් ප්‍රකාශයට පත් කෙරුණා.

පාකිස්ථාන හමුදා බංග්ලාදේශ නිදහස් ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට දරුණු ක්‍රියාමාර්ගයන් ගත්තා. අත් අඩංගුවට ගැනීම්, ඝාතනයන්, ස්ත්‍රී දූෂණ කිසිදු ආකාරයේ සීමාවකින් තොරව සිදු කෙරුණ බවක් පෙනෙන්නට තිබුණා. දස දහස් ගණනින් සරණාගතයන් ලෙස ඉන්දියාවට පළා ගියා.

1971 දී සරණාගතයන් ඉන්දියාවට පැමිණීම (කොළ පැහැයෙන්) සහ ඉන්දීය හමුදා නැගෙනහිර පාකිස්ථානය ආක්‍රමණය (රතු පැහැයෙන්) – Wikimedia Commons

මුල පටන්ම ඉන්දියාව බෙංගාලි නිදහස් සටනට ආධාර කළ බව ප්‍රකට කරුණක්. ඔවුන් බෙංගාලි විමුක්තිකාමීන්ට ආයුධ සහ ආයුධ පුහුණුව පවා ලබා දුන් බව විශ්වාස කෙරෙනවා. නමුත් සරණාගත ප්‍රශ්නය උග්‍ර වූ විට ඔවුන් කෙළින් ම යුද්ධයට සම්බන්ධ වුණා.

1971 දෙසැම්බර් 3 වනදා සිට දෙසැම්බර් 16 තෙක් මෙම යුද්ධය ක්‍රියාත්මක වුණා. නැගෙනහිර මෙන්ම බටහිර පාකිස්ථානය දෙසින් ද දරුණු සටන් සිදු වුණා. බටහිර පාකිස්ථාන දේශසීමාවේ සිදු වූ ප්‍රකටම සටනක් ලෙස ලොන්ගෙවාලා සටන දැක්වීමට පිළිවන්. මෙහිදී වඩා විශාල පාකිස්ථාන හමුදාවක් ඉන්දියානුවන් විසින් පරාජය කෙරුණා. 1997 දී නිකුත් කෙරුණ බෝඩර් බොලිවුඩ් චිත්‍රපටයට පාදක වූයේ මෙම සටනයි.

1971 දෙසැම්බර් 16 වනදා නැගෙනහිර පාකිස්ථානයේ ධකා හි සිටි පාකිස්ථාන හමුදා යටත් වීමත් සමඟ සටන් අවසන් වුණා.

කාර්ගිල් යුද්ධය​

1970 දශකයේ අගභාගයේ සිට මෙම කලාපයේ වඩා වැදගත්කමක් ගත් අවි ගැටුම වුණේ බටහිරින් ආධාර ලැබුණ මුජහිදීන්වරුන් ඇෆ්ඝනිස්ථානයේදී සෝවියට් සහ ඇෆ්ඝන් හමුදාවලට එරෙහිව ගෙනගිය යුද්ධයයි. 1980 දශකයේ අග භාගයේ සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වූ අතර මේ සමයේම කාශ්මීරයේ අභ්‍යන්තරයේ ඉන්දියාවට එරෙහි කැරලි කණ්ඩායම් මතු වුණා. මෙම සංවිධාන සමහරකට පාකිස්ථානයේ ද සහයෝගය ලැබුණා. විශේෂයෙන්ම එම සංවිධාන පාකිස්ථානය තුළ මුදල් එකතු කිරීම සිදු කළා.

මෙසේ කැරලි කණ්ඩායම්වලට පාකිස්ථානය විසින් අනුබල දෙන ලද්දේ යුද්ධයකදී ඉන්දියාව පරාජය කළ නොහැකි බව වටහාගත් නිසා වීමට ඉඩ තිබෙනවා.

කාර්ගිල් යුද්ධයේදී ඉන්දියානු මිලි මීටර 155 කාලතුවක්කු (thebetterindia.com)

නමුත් 1999 දී පාකිස්ථානය වෙනත් ආකාරයේ පියවරක් ගත්තා. ඒ කාර්ගිල් ප්‍රදේශයේ අවි ගැටුමක් ඇති කරමින්. මැයි මාසයේදී පාකිස්ථාන පැරා මිලිටරි කණ්ඩායම් සහ කාශ්මීර කැරලිකරුවන් කාර්ගිල් ප්‍රදේශයෙන් ඉන්දියාවට අයත් කාශ්මීරයට කඩා වැදුණා. පාකිස්ථානය මුලින් සඳහන් කළේ මෙම අවිගත් පිරිස් සම්පූර්ණයෙන් ම කාශ්මීර වැසියන් බවයි. එහෙත් පාකිස්ථාන පැරාමිලිටරි කණ්ඩායම් ද මෙයට සම්බන්ධ බව පසුව හෙළි වුණා.

ජූලි මාසය වනවිට ඉන්දියාව විසින් ප්‍රතිවාදීන් අල්ලාගත් ඇතැම් ප්‍රදේශ යළි අල්ලාගත් අතර ඉතිරි ප්‍රදේශවලින් පාකිස්ථාන පැරාමිලිටරි කණ්ඩායම් ඉවත්ව ගියා.

මෙම යුද්ධයෙන් පසු දෙපාර්ශවය අතර විටින් විට ඇතිවන ගැටුම් හැර විශාල යුද්ධ ඇති වී නැති නමුත් ඉන්දියානු පාලනය යටතේ පවතින කාශ්මීරයේ ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානවලට පාකිස්ථානය ආධාර කරන බවට ඉන්දියාව දිගටම චෝදනා කරනවා.

Cover Image: පාකිස්ථාන යුධ ටැංකි 1965 යුද්ධයේදී (DAWN)

Related Articles