ගෝකණ්ණ හෙවත් ත්‍රිකුණාමලය වරායේ අතීතය

අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ දේශපාලනය හා සමාජ ආර්ථිකය සඳහා විශාල බලපෑමක් කළ වරායක් ලෙස ත්‍රිකුණාමලය වරාය හඳුන්වන්නට පුළුවන්. ලොව ඇති ප්‍රධානතම ස්වභාවික වරායන්ගෙන් ප්‍රමුඛ ස්ථානයක් ලබාගෙන සිටින ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරායේ අතීතය පිළිබඳවත් අතීත වරායේ කාර්යභාරය පිළිබඳව හා ඓතිහාසිකත්වය පිළිබඳවත් කෙටි විස්තරයක් ඔබ වෙත ගෙන එන්නටයි මෙම ලිපිය ලිවීමට අදහස් කළේ.

පුරාණයේ සිට ක්‍රි.ව 20 වන සියවස දක්වා කාලය තුළ ත්‍රිකුණාමලය වරාය හා සම්බන්ධිත ක්‍රියාකාරකම් හා ඓතිහාසික සිදුවීම් පිළිබඳව කෙටි විවරණයක් මේ ලිපිය මඟින් ඉදිරිපත් කරනවා.

ත්‍රිකුණාමලය වරායේ පිහිටීම

වරායේ පිහිටීම (Tamilnation)

නැගෙනහිර පළාතේ අගනගරය වන ත්‍රිකුණාමලයේ උතුරු අක්ෂාංශ 8 33 – 55”  ත් නැගෙනහිර දේශාංශ 81 13-2”ත් අතර ඊසාන වෙරළෙහි පිහිටි මෙම වරාය අයත් වන්නේ ලංකාවේ උණුසුම් කලාපයටයි. උපරිම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 92ක් පමණ වෙනවා. ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් වැඩි වර්ෂාපතනයක් ලැබෙන අතර වර්ෂාපතනය මිලිමීටර් 1260- 2000 ත් අතර අගයක් ගන්නවා.

ඊසානදිග හා නිරිතදිග මෝසම් සුළං වලින් ආරක්ෂා වෙන අයුරින් ගිනිකොන දිශාවට යොමු වූ පුළුල් ස්වභාවික මුවදොරකින් ත්‍රිකුණාමලය වරාය සමන්විතයි. වරායේ මුවේ පළල සැතපුම් පහක් පමණ වන අතර ගිනිකොන දෙසින් ෆවුල් තුඩුවටත් වයඹ දෙසින් ෆෙඩ්‍රික් කොටුවටත් මායිම් වෙනවා. තවද නැව් කිහිපයක් එකවර නැවැත්විය හැකි ස්වභාවික තටාකයකින් සමන්විත ත්‍රිකුණාමලය වරාය ප්‍රමුඛ පෙලේ ස්වභාවික වරායන්ගෙන් එකක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධයි.

අතීතයේ ගෝකණ්ණ ලෙස හැඳින්වීම

වරාය ඉංග්‍රීසි යුගයේදී (Images of Ceylon)

දේශීය හා විදේශීය අතීත මුලාශ්‍ර වලට අනුව ත්‍රිකුණාමලය වරාය ගෝකණ්ණ තිත්ථ, ගෝණගාමක පට්ටන ලෙස අතීතයේ හදුන්වා තිබෙනවා. ත්‍රිකුණාමලය සඳහා ගෝකණ්ණ යන නාමය භාවිතා වීමට බලපෑ හේතුව පිළිබඳව සොයා බලන විට ඒ පිළිබඳව මෙසේ සටහන් වී තිබෙනවා.

“ගෝ” ලෙස සංස්කෘත හා පාලි භාෂා වල භාවිතා කර තිබෙන්නේ ගවයා, ගෝණා වැනි ශාක භක්ෂකයන් හැදින්වීමටයි.  “කණ්ණ” ලෙස එම භාෂා වලින් හදුන්වා ඇත්තේ කණටයි. එබැවින් ගවයකුගේ කණේ හැඩය ඇති ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ප්‍රදේශය ගෝකණ්ණ ලෙස හදුන්වා තිබෙනවා. මේ ප්‍රදේශයේ වැඩිපුරම සැරිසරන්නේ ගෝනුන්ය. උන්ගේ කන් වල හැඩයට මුහුදු බොක්ක හා වරාය සම කිරීමෙන් එම නම ලැබුණු බවත් තවත් අවස්ථාවක සදහන් වෙනවා.

මෙම වරාය ආශ්‍රිත ප්‍රදේශයේ  ක්‍රි.ව 12වන සියවසෙන් පසුව බලය තහවුරු කරගන්නේ යාපනයේ ආර්ය චක්‍රවර්තී රජ පරපුරයි. එවිට ගෝකණ්ණ යන නාමය ද්‍රවිඩකරණයට ලක් වී තිබෙනවා.

ගෝණ යන පදය ද්‍රවිඩයට හැරවීමේදී “කෝණ” වූ බවත් එම කාලයේ මෙම ප්‍රදේශයේ උස් ස්ථාන වල ද්‍රවිඩ සිද්ධස්ථාන පිහිටා තිබූ බැවින් “තිරු” යන නමින් පූජණිය සිද්ධස්ථාන හැදින්වූ අතර “මලෙයි” යන නමින් ද්‍රවිඩ භාෂාවෙන් හැදින්වූයේ කන්දයි. එම පද තුනම එකට එකතු වීමෙන් තිරුකෝණමලෙයි නම් දමිළ නම නිර්මාණය වූ බව සි. ඩබ්. නිකලස් ශූරීන් පවසනවා. එහි අර්ථය වන්නේ කෝණ ප්‍රදේශයේ පූජනීය කඳු ගැටය යන්නයි. මෙම පදය අනුසාරයෙන් ඉංග්‍රීසියෙන් ට්‍රින්කොමලි (Trincomalee) යන නම නිර්මාණය වන්නට ඇතිබව සදහන් වෙනවා.

ආර්ථික වැදගත්කම

පුරාණයේ ශ්‍රී ලංකාව පෙර අපර දෙදිග වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියාත්මක වී තිබෙනවා. ගෝකණ්ණ වරාය මෙහිදී වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබෙනවා.

එකවර නෞකා රාශියකට නැංගුරම් ලා හැකි වීම, පිරිසිදු පානීය ජලය ලබාගත හැකි වීම, නෞකා අලුත්වැඩියාව සඳහා අමුද්‍රව්‍ය පහසුවෙන් සොයාගත හැකිවීම හා අභ්‍යන්තර වෙළඳාමට සුදුසු ගංගා මුවදොරවල් වලින් යුක්ත වීම හේතුවෙන් ගෝකණ්ණ විදේශීය වෙළඳුන්ගේ ආකර්ෂණයට ලක් වෙනවා.

විශේෂයෙන් ග්‍රීසිය, රෝමය, ඉන්දියාව, පර්සියාව, ඉතියෝපියාව, චීනය හා අරාබිය  වැනි රටවල වෙළඳුන් මෙහිදී අශ්වයින්, සුවඳ විලවුන්, සේද රෙදි හා බුමුතුරුණු විකුණා මුතු මැණික්, ඇත් දළ, දළ ඇතුන් හා කැස්බෑ ලෙලි මිලට ගත් බව සඳහන් වෙනවා.

ඉන්ද්‍රකීර්ති සිරවීර පෙන්වා දෙන පරිදි ගෝකණ්ණ වරාය ක්‍රි.පූ 6 වන ශත වර්ෂයේ සිටම නාවික ගමනාගමනයේ වැදගත් වරායක් ලෙස සැලකූවද එය වාණිජ වරායක් ලෙස සංවර්ධනය වන්නේ පෙර අපර දෙදිග මුහුදු වෙළඳාමට සම්බන්ධ වීමේන් පසුවයි. එනම්  ක්‍රි.පූ 7 වන ශත වර්ෂයෙන් පසුවයි. එකල බෙංගාල බොක්ක ආශ්‍රිතව සිදු වූ වැදගත් වෙළඳාම් හේතුවෙන් ගෝකණ්ණට අන්තර්ජාතික වශයෙන් වැදගත් ස්ථානයක් හිමි වූ බව සඳහන් වෙනවා. මහවැලි ගඟේ මුවදොරේ පිහිටා තිබුණු මෙම වරායේ විදේශීය වෙළඳුන් පදිංචිව සිටි බවත් ඔවුන් ඉන්දියානු නැව් තොටවල් සමඟ නිරතුරුව ගනුදෙනු කළ බවත් සඳහන්.

ඓතිහාසික වැදගත්කම

මෙහි ඓතිහාසික වැදගත්කම සලකන විට එය ක්‍රි.පූ 6 වන සියවස දක්වා අතීතයට රැගෙන යනවා. එනම් බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු වී ඇත්තේ ගෝකණ්ණ හරහා බව වන්සත්ථප්පකාසිනියේ සදහන් වෙනවා. විජයගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පණ්ඩුවාසදේව කුමාරයා ඇතුළු පිරිසද ලංකාවට ගොඩබසින්නේ ගෝකණ්ණ වරායෙන්. පණ්ඩුවාසදේව කුමාරගේ බිරිඳ භද්දකච්චායනා කුමරිය ගොඩ බසින්නේද ගෝකණ්ණටයි. එය මහාවංශයේද සඳහන් වෙනවා. රාජාවලියේ සඳහන් වන ආකාරයට අසේල රජු මරා දමා මෙරට බලය ව්‍යාප්ත කරන එළාර රජුද ලංකාවට ගොඩ බසින්නේ මෙම වරායෙන්.

චෝල අධිරාජ්‍ය විසින් ක්‍රි.ව 11 වන සියවසේදී ගෝකණ්ණ වරාය ප්‍රධාන කරගනිමින් ලංකාව ආක්‍රමණය කරනවා. ඔවුන් ගෝකණ්ණ වරායේ සිට පොළොන්නරුව දක්වා තම බලය ව්‍යාප්ත කරනු ලබනවා. ක්‍රි.ව 1070දී චෝළයන් මෙරටින් පන්නා දමන විජයබාහු රජු නැවතත් ත්‍රිකුණාමලය වරාය ශ්‍රී ලංකාවේ වෙළඳාම සඳහා යොදා ගන්නවා. ක්‍රි.ව 1215දී නැවතත් කාලිංග මාඝ විසින් ගෝකණ්ණ ආක්‍රමණය කර එහි බලකොටුවක් පිහිටුවිය. පසුව පරාක්‍රමබාහු රජු විසින් ගෝකණ්ණ මුදා ගත් අතර එය වරින් වර සිංහල රජ පරපුරත් යාපනයේ ආර්ය චක්‍රවර්ති රජ පරපුරත් අතර අයිතිය දෝලනය වෙමින් පවතිනවා.

ඉංග්‍රීසින්ගේ අණසකට

ජපනුන් විසින් 1944දී වරායට බෝම්බ දැමීමෙන් පසුව (Explore Asia Holidays)

ක්‍රි.ව 15 – 20 සියවස් වලදී පෘතුග්‍රීසි හා ලන්දේසීන්ගේ ග්‍රහණයට ලක්වෙන ත්‍රිකුණාමලය වරාය, ඉන්දියාවේ වෙරළ ආරක්ෂා කරගනිමින් සතුරු නැව් වලට පහර දීමට හැකි වීම, නෞකා තද සුළිකුණාටු වලින් ආරක්ෂා කරගැනීමට හැකි වීම හා එකවර නැව් කිහිපයක් නැංගුරම්ලෑමට හැකි වීම යන අභිමතාර්ථ සම්පූර්ණ කරගනිමින් ඉංග්‍රීසින් තමන් සතුව ඇති හොඳම වරාය ලෙස ත්‍රිකුණාමලය තම ග්‍රහණයට ගන්නවා.

තමන්ගේ වටිනාම යටත් විජිතය ශ්‍රී ලංකාව බවත් එයට ප්‍රධානතම හේතුව පෙරදිග මුළු බ්‍රිතාන්‍ය නාවික බලඇණිම නවතා තැබිය හැකි ත්‍රිකුණාමලය වරාය ශ්‍රී ලංකාවට අයත් වීම බවත් එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය විලියම් පිට් ප්‍රකාශ කරනවා. දෙවන ලෝක යුද්ධ සමයේ ඉංග්‍රීසින් විසින් ත්‍රිකුණාමලය වරායෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් අතර මේ හේතුවෙන් එයට බෝම්බ පවා දැමීමට ජපනුන් ක්‍රියා කරනවා.

1948දී ඉංග්‍රීසින්ගෙන් නිදහස් වීමෙන් පසුව වර්තමානය දක්වා ලොව ඇති ප්‍රමුඛතම ස්වභාවික වරායක් ලෙස ත්‍රිකුණාමලය වරාය ආර්ථිකමය හා යුද්ධමය වශයෙන්  ශ්‍රී ලංකාවට සුවිශේෂී මෙහෙවරක් ඉටුකරනවා.

මුලාශ්‍ර –

  1. අතීතයේ නැව් තොටවල් – ඩබ් .ඒ වීරතුංග
  2. ගයිගර් දුටු ලංකාව – සුදන්තක විජේතුංග
  3. Sunday times
  4. දිනමිණ

Related Articles