ගණනය කිරීමේ වරදකින් කරදරයේ වැටුණු, ‘ගිම්ලි ග්ලයිඩරය’

ගුවන්යානයක් ගුවන් ගත කිරීමට පෙර උඩු ගුවනේ දී යම්කිසි වරදක් සිදුනොවීම සඳහා එය ඉතා සීරුවෙන් පරීක්ෂා කරනවා. ඒ යම් සුළු වරදකින් වුව ද එහි ගමන් කරන මඟීන් සියලු දෙනාගේ ජීවිත විනාශ වන අන්දමේ මහා අනතුරක් සිදුවීමේ හැකියාවක් ඇති නිසා යි. 1983 වසරේ කැනේඩියානු ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් අඩි 26,000ක් ඉහළ අහසේ දී මහත් වූ අකරතැබ්බකට මුහුණ පෑවා. කිසිවෙකුගේ ජීවිතයකට හානි නොවී අවසානයේ යානය භූමිය වෙට ගෙන එන්නට එහි කාර්ය මණ්ඩලය සමත් වූ මුත්, පරීක්ෂා කර බැලීමේ දී එයට හේතු වී තිබුණේ පාසල් දරුවෙකු අතින් සිදුවන තරමේ ගණිතමය වරදක්.

සිද්ධියට පෙර

1983 වසරේ ජූලි මස 23 වන දා සමස්ථයක් වශයෙන් ගත් කල කැනඩාවට දීප්තිමත් හා සන්සුන් කාලගුණයක් සහිත දිනයක් වුණා. එදින මොන්ට්‍රියල් නුවර ගුවන් තොටුපළෙන් පිටත් වීමට සැලසුම් කර තිබූ කැනඩා ගුවන් සමාගමට අයත් අංක 143 දරන ගුවන් යානය මධ්‍යම කැනඩාවේ එඩ්මන්ටන් වෙත පියාසර කිරීමට නියමිත ව තිබුණා.

බෝයිං 767 යානයක් – Chris Pitchacaren/Planespotters.net

මඟීන් 61ක් හා කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකුගෙන් සමන්විත වූ බෝයිං 767 වර්ගයේ කුඩා ප්‍රමාණයේ ගුවන්යානයක් වූ මෙය එකල තිබූ නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධ ව තිබුණා. මෙහි ප්‍රධාන ගුවන් නියමුවා වශයෙන් අත්දැකීම් බහුල අයෙකු වූ බොබ් පියර්සන් කටයුතු කළා. මෙහි දෙවන නිලධාරියා වූයේ තවත් අත්දැකීම් බහුල නියමුවෙකු වූ මොරිස් ක්වින්ටල් යන අය යි.

ගැටළුවේ ඇරඹුම

මොන්ට්‍රියල් ගුවන් තොටුපොළෙන් නියමිත වේලාවට ගුවන්ගත වූ අංක 143 ගුවන් යානය චාරිකාවේ පළමු කොටස ඉතා සෞම්‍ය ලෙස ගෙවා දැමුවා. කොටින්ම එය අවම තරමේ සැලකිය යුතු මට්ටමේ දැඩි සුළං ප්‍රවාහයකටවත් මුහුණ දුන්නේ නැහැ. කෙසේ නමුත් ගමනේ අඩක් පමණ නිම වීමෙන් අනතුරුව එක් වරම නියමු කුටියෙහි අනතුරු හැඟවීමේ සංඥාවක් නිකුත් වෙනවා. කපිතාන් පියර්සන් එය විමසා බලන අත එහි දැක්වෙන්නේ යානයේ එක් ඉන්ධන ටැංකියකින් එංජින් කරා සැපයෙන ඉන්ධන ප්‍රමාණය අඩු වන බව යි. එයට අවධානය යොමන විට ම අනෙක් ඉන්ධන ටැංකිය සම්බන්ධ ව ද අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් වෙනවා.

බෝයිං 767 වර්ගයේ යානාවල ප්‍රධාන වශයෙන් ඉන්ධන ටැංකි 3ක් ඇති අතර, ඉන් දෙකක් තටුවල හා අනික බඳේ පිහිටනවා. කෙසේ නමුත්, එය නිමකර තිබෙන්නේ බඳෙහි ඇති අතිරේක ටැංකියෙන් අවශ්‍යතාව පරිදි ස්වයංක්‍රීය ව ම අනෙක් ටැංකි දෙකට ඉන්ධන ගමන් කරන ලෙස යි. මෙම ගුවන් යානයේ පවතින්නේ එංජින් දෙකක් පමණයි.

බොබ් පියර්සන්- thereview.ca

සම්පූර්ණ බලය අහිමි වෙයි

පියර්සන් සිය යානයේ අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වන්නේ ඇයිදැ යි සොයා බලන්නට පටන්ගත් වන ම යානය ඉතා තීරණාත්මක තත්ත්වයකට මුහුණ පානවා. එක්වර ම එහි එන්ජින් ද්විත්වය ම ක්‍රියාවිරහිත වන අතර, යානයේ ඇති බොහෝ උපකරණ ද ක්‍රියාවිරහිත වෙනවා. සරල ව ම පැවසුවහොත්, ඉන්ධන අවශ්‍යතාව අවැසි සියලු අංග ක්‍රියාවිරහිත වෙනවා.

මේ වන විට යානය අඩි 25,000ක් තරම් ඉහළ අහසේ පැවතීමත්, එය වැඩි වේගයකින් ගමන් කරමින් තිබීමත් නිසා එක්වර ම කඩා වැටීමක් සිදුවීමේ අවදානමක් නොවූවත් මඳින් මඳ පාවෙමින් පොළොව කරා ගමන් කිරීමට පටන් ගන්නවා. වහා ම ක්‍රියාත්මක වෙන පියර්සන් යානය හදිසි ගොඩබෑමකට සූදානම් කර අසල ඇති ගුවන් පථ පිළිබඳ ව මොන්ට්‍රියල් හි පාලක මධ්‍යස්ථානයෙන් විමසා බලනවා.

ගුවන් යානය මේ වන විට ස්ථානගත වී තිබුණේ එහි ගමනාන්තය වූ එඩ්මන්ටන් වෙතින් සැතපුම් 700ක් පමණ ඈතට වන්නට යි. එමෙන්ම ආසන්නතම ගුවන් තොටුපළ වූ විනිපෙග් පිහිටා ඇත්තේ ද සැතපුම් 75ක් පමණ ඈතින් බැව් එහි පාලක මධ්‍යස්ථානය ඇමතූ ඔහුට දැනගන්නට ලැබෙනවා. මේ ද්විත්වයට ම කිසිසේත් ම ප්‍රායෝගික ව ළඟා විය නොහැකි බැව් ඔහු පාලක මධ්‍යස්ථානයට දන්වනවා.

ගිම්ලි

ගුවන් යානය තුළ සම්පූර්ණයෙන් ම බලය අහිමි වීමත් සමග එය තුළ හදිසි තත්ත්වයක් උද්ගත වෙනවා. කෙසේ නමුත් නවීන ගුවන් යානා සතු ව මෙවැනි අවස්ථාවක දී භාවිතා කළ හැකි ටර්බයිනයක් වන් අවර පෙත්තක් ඇති බැවින් එය යොදාගෙන රේඩාර් වැනි අත්‍යවශ්‍ය අංග කිහිපයක් ක්‍රියාත්මක කර ගැනීමට පියර්සන් සමත් වෙනවා. කෙසේ නමුත්, එය ගුවන්යානය කෙමෙන් කෙමෙන් භූමිය කරා ළඟාවීම නවත්වන්නට හැකියාවක් තිබුණේ නැහැ. තවත් මිනිත්තු කිහිපයක් ඇතුළත යානය ගුවන් පථයක් කරා මෙහෙයවන්නට තමන්ට නොහැකි වුවහොත් එහි ගමන් කළ සියලු දෙනාගේ ජීවිත අනතුරේ බැව් පියර්සන් වටහා ගන්නවා. මේ නිසා ඔහු වඩාත් ආසන්නයේ පිහිටි ගුවන්පථ පිළිබඳ විනිපෙග් පාලක මධ්‍යස්ථානයෙන් විමසා බලනවා. මෙහි දී ඔවුනට දැනගන්නට ලැබෙන්නේ සැතපුම් 45ක් පමණ ඈතින් ගිම්ලි හි ගුවන්පථයක් ඇති බව යි. එය අත්හැර දමන ලද එකක් වන අතර, එහි වර්තමාන තත්ත්වය පිළිබඳ කිසිදු සහතිකයක් තිබුණේ නැහැ. කෙසේ නමුත් ගැලවීම සඳහා යාන්තමින් හෝ අවස්ථාවක් තිබෙන ගුවන්පථය එය බැවින් පියර්සන් හා ඔහුගේ සහායකයා එය තෝරාගන්නවා.

ගිම්ලි පැරණි ගුවන්පථය අද- Youtube

සාර්ථක ගොඩබෑම

ගිම්ලි වෙත ළඟා වෙද්දී ගුවන් යානය සෑහෙන පමණකින් පොළොවට ආසන්න වී තිබුණා. වලාකුළු අතරින් ගිම්ලි ගුවන්පථය දර්ශනය වෙද්දී ම තමන් එයට උවමනා ප්‍රමාණයට වඩා ආසන්න බැව් පියර්සන්ට වැටහුණා.

සාමාන්‍ය තත්ත්වවල දී මෙන් නොව එන්ජින් නිසි ලෙස ක්‍රියා නොකරන විට ගුවන් යානයක් පාලනයකින් යුතු ව ගොඩබෑම අසීරු කාර්යයක් වෙනවා. මේ සඳහා වැඩි දුරක් තියා එය පහත් කිරීම සිදුකළ යුතු වන අතර, භූමිය කරා ළඟා වූ පසු ව ද එය සම්පූර්ණයෙන් නවත්වා ගැනීම සඳහා වැඩි දුරක් පථය ඔස්සේ ගමන් කළ යුතු වෙනවා. මේ ද්විත්වය ම සිදුකිරීම සඳහා තමන් ගුවන්පථයට ආසනන්න වැඩි බැව් වටහා ගත් පියර්සන්, කෙසේ හෝ එය කරා ළඟා වීමට මඟක් සිතනවා.

ගුවන් කරණම් ශිල්පියෙකු ලෙස කලක් ක්‍රියා කළ ඔහුට යම් අදහසක් පහළ වන්නේ මේ අතර යි. යානය ‘ග්ලයිඩරයක්’ ලෙස පසෙකට ඇල කරගතහොත් ඉක්මනින් ම එහි උන්නතාශය අඩු වන බැව් ඔහු දැන සිටි අතර, අනතුරුව සුදුසු පරිදි ගුවන් පථය වෙත යානය දිශාගත කරගත හැකි බැව් ඔහු අනුමාන කරනවා. කෙසේ නමුත් ප්‍රමාණයෙන් වඩා විශාල මඟී ගුවන් යානයක් ඊට කෙසේ ප්‍රතිචාර දක්වාවි ද යන්න ඔහු නොදැන සිටියත්, තමන් හට තිබූ එක ම අවස්ථාව මෙය බැවින් එය ක්‍රියාවේ යොදවනවා.

ගුවන්යානය ගොඩබෑමෙන් අනතුරුව- Wayne Glowacki/ The Canadian Press Photo

පියර්සන්ගේ උත්සාහය සාර්ථක වන අතර, යානය නිසි ලෙස ගුවන් පථය වෙත දිශාගත වෙනවා. නව ගැටළුවක් ඔහු ඇස ගැටෙන්නේ එවිට යි. අත්හැර දමා තිබූ ගුවන් පථය මෝටර් රථ ධාවන තරග සඳහා සකස් කර තිබූ අතර, සෙනසුරාදාවක් වූ එදින සාමාන්‍ය ජනයා ද එම පරිශ්‍රයට පැමිණ සිටියා.

ගුවන් යානයේ වාසනවට ඒ මොහොත වන විට පථයෙහි පාපැදි පදිමින් සිටි කුඩා දරුවන් දෙදෙනෙකු හැර කිසිවෙකුත් සිටියේ නැහැ. ගුවන්යානය පැමිණෙනු දුටු ඔවුන් වහා ම ඉන් ඉවත් වුණා. පථයට ගොඩබට යානය ගැස්සෙමින් පැද්දෙමින් ඇදී ගොස් එය මැද තිබූ ආධාරකයකට හේත්තු වී නැවතුණා. සියලු දෙනා නිරුපද්‍රිත ව සිය ජීවිතය ගලවාගත්තා.

Smartbiz/ timeline.com

පසු විපරම

ගිම්ලි හි සිදු වූ සිදුවීම වාර්ථා වූ සැනින් ඒ පිළිබඳ ව පර්යේෂණ ඇරඹුණා. යානයේ කාර්මික දෝෂයක් පිළිබඳ මුල දී සැක කළත්, එවැනි කිසිවක් එහි නොවූ බවත්, ඇත්තෙන් ම සිදු ව ඇත්තේ යානයේ ඉන්ධන අවසන් වීම බවත් වැඩිදුර පර්යේෂණවලින් අනාවරණය වුණා.

ජීවිත ගණනාවක් අවදානමේ හෙළමින් සිදු වූ මේ සිදුවීමට හේතු වූයේ කුඩා දරුවන් සිදුකර ගන්නා පන්නයේ ගණිතමය වරදක් බව හෙළිවූයේ පසු ව යි. මොන්ට්‍රියල් හි යානාවලට ඉන්ධන පිරවීමේ දී රාත්තල් හා කිලෝග්‍රෑම් යන ඒකක දෙක ම භාවිතාවට ගැනීම සිදු වූ අතර, ගමනට අදාළ ඉන්ධන ප්‍රමාණය කිලෝග්‍රෑම්වලින් ගණනය කොට රාත්තල්වලින් පිරවීම සිදුකර තිබූ නිසා මෙය උද්ගත වූ බැව් හෙළි වුණා. රාත්තලක් බරින් ග්‍රෑම් 454ක් පමණ වෙනවා. මේ නිසා ගමනේ අඩක් යන විට ඉන්ධන අවසන් වී තිබෙනවා. වහා ම ක්‍රියාත්මක වන පරිදි ලොව සියලු ගුවන් තොටුපොළවල ගණනය කිරීම් මෙට්‍රික් ක්‍රමයට හැරවුණා.

බොබ් පියර්සන් පසුකාලීන ව-rcaf-arc.forces.gc.ca

සිද්ධියට අදාළ සියලු දෙනාට දඬුවම් පැමිණවූ අතර, ඒ අතර ගමනට පෙර එය නිසිලෙස පරීක්ෂා නොකළ යානයේ නියමුවා හා දෙවන නිලධාරියා ද වුණා. කෙසේ නමුත් එය ජීවිත ගණනාවක් බේරා ගනිමින් පියර්සන් සිදුකළ වික්‍රමයේ මහිම යටපත් කරන්නට සමත්වූයේ නැහැ. අංක 143 ගුවන්යානය අලුත්වැඩියා කිරීමෙන් පසු නැවත සේවයෙහි යෙදවුණු අතර, එයට ‘ගිම්ලි ග්ලයිඩරය’ නම් නාමය පටබැඳුණා.

Related Articles

Exit mobile version