Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුද්ගලික කෝන්තරයකට මරාදැමූ ප්‍රේමවතී මනම්පේරිගේ කතාව

සෑම වසරකම අප්‍රේල් ළං වන විට ජ. වි. පෙ. අප්‍රේල් කැරැල්ල ගැන මතකයට නැංවෙනවා. ඒ ගැන සමරු උත්සව ද පැවැත්වෙනවා. ඒත් කැරැල්ලේ නාමයෙන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුණු අහිංසක තරුණියක් වන කතරගම ප්‍රේමවතී මනම්පේරි ගැන නම් වැඩිදෙනෙකුට මතක් වන්නේ නැහැ.

ප්‍රේමවතී මනම්පේරි තරුණිය

ප්‍රේමවතී පාසල් සමයේ දී- dinamina.lk

වනජීවි දෙපාර්තමේන්තුවේ කතරගමට නුදුරු යාල වනෝද්‍යානයේ මුරකරුවකු වශයෙන් සේවය කළ හෙන්ද්‍රික් අප්පුහාමි හා ලීලාවතී ඔබේසිංහ යන අයගේ වැඩිමහල් දියණිය වූයේ ප්‍රේමවතී මනම්පේරි යි. ඔවුන්ගේ කුඩා නිවස පිහිටා තිබුණේ කතරගම දෙටගමුවේ යි. ඇයට බාල සොයුරන් දසදෙනෙකු ද එක් සොයුරියක් ද සිටියා.  වැඩිමලා වූ ඇය ඝාතනයට ලක්වන විට 22 වැනි වියේ පසුවූවා. ඇය උපත ලැබුවේ 1949 ජනවාරි 18 දා යි. කතරගම විද්‍යාලයයේ දීප්තිමත් සිසුවියක වූ ඇය, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් සියල්ල උසස් අන්දමින් සමත්වී සිටි තරුණියක්. වැඩිදෙනෙකු ඉගෙනුමට උනන්දුවක් නොදැක්වූ, එවකට ඉතා දුෂ්කරව පැවති කතරගම ප්‍රදේශයේ සිටි උගත් බුද්ධිමත් තරුණියක ලෙසට ද ඇය පිළිගැනීමට ලක්ව සිටියා. හැඩට සිටි නිසා ගමේ තරුණයන් ද සිටියේ ඇය ගැන උනන්දුවෙන්. ධර්මාචාර්ය විභාගයට මුහුණ දුන් ප්‍රේමවතී එයින් ද ඉහළින්ම සමත්ව කතරගම දහම් පාසලේ ආචාර්යවරියක ලෙස ද සේවය කරමින් සිටියා.

කතරගම රූමතිය

අවුරුදු උළෙලට එක් වූ තරුණිය- nethgossip.com

ප්‍රේමවතී 1970 වර්ෂයේ කතරගම පැවැති ගමේ අවුරුදු උළෙලේ දෙවන ස්ථානයට පත්ව තිබුණා.  දෙවන අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළැඳ සිටි නිසා ඇය ගමේ ජනප්‍රියව සිටියා. එම අවුරුදු උත්සවය පැවත්වුණේ කතරගම ස්ටැන්ලි හෝටලය ඉදිරිපිට බිම්කඩේ දී යි. මෙම රූමතිය කෙරෙහි කතරගම පොලිස්‌ ස්ථානාධිපති දැඩි අවධානයකින් පසු වුණා. ඔහුට ඇය සමග පෙම් සබඳකමක්‌ ඇතිකර ගැනීමට අවශ්‍ය වුණා. ඔහු එන්නේ තමාගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට බව දැන සිටි ඇය ඔහුට තම අකැමැත්ත පළකර සිටි බව ප්‍රේමවතී මනම්පේරිගේ මව පසුව පවසා තිබෙනවා. ඒ අතර තමයි 71 අප්‍රේල් කැරැල්ලේ අඳුරු සෙවණැලි කතරගමටත් බලපෑවේ.

කැරැලිකරුවන් අතට කතරගම

කතරගම නගරය- katharagama.org

ජවිපෙ විසින් ප්‍රහාර එල්ල කරන ලද පොලිස් ස්ථාන අතර එක් පොලිස් ස්ථානයක් වී තිබුණේ කතරගම පොලිසිය යි. මේ පොලිස් ස්ථානයට එල්ලකළ ප්‍රහාරයට මුල්වී සිටියේ ගාමිණි බාස්‌, කරුණාසේන, හා සිරිපාල යන ප්‍රාදේශීය ජවිපෙ නායකයන්. ප්‍රමාණවත් පොලිස් භටයන් සහ ආයුධ නොමැතිවීම නිසා පොලිස් නිලධාරින් පසුබැස හම්බන්තොට පොලිසියට ගොස්  සිටියා. සියගණනක් ජවිපෙ තරුණ තරුණියන් කතරගම පාලනය කරමින් සිටි බව පැවසෙනවා.  එසේ 1971 අප්‍රේල් 05 වැනිදා සිට 15 වැනිදා දක්වා කතරගම එසේ තම පාලනයට යටත්කරගැනීමට ජවිපෙ කැරලිකරුවන් සමත් වෙලා සිටියා. මේ අතර රට පුරා කැරැල්ල මැඩපැවැත්වීමට ඇඳිරි නීතිය පනවා පොලිස් සහ හමුදා වැටලීම් ආරම්භ වෙමින් පැවතුණා.

හමුදාව පැමිණෙයි

කතරගම දෙවොල් බිම -lankapura.com

ඇඳිරිනීතිය හා කැරලිකාර කටයුතු නිසා අවුල් වී පවතින කතරම ජන ජීවිතය යථා තත්ත්වට පත්කිරීමට හමුදාවට අවශ්‍ය වුණා. හම්බන්තොට හමුදා කඳවුරේ කර්නල් ඩෙරික් නුගවෙල කතරගමට හමුදා භට කණ්ඩායමක් පිටත්කළේ ඒ අරමුණ ඇතිව යි.

හමුදාව කතරගමට පැමිණ කඳවුරු බැඳගත්තේ අප්‍රේල් 16 දා පෙරවරු 5 ට පමණ යි. හමුදාව පැමිණෙන බව ආරංචි වූ විට කැරලිකරුවෝ කැලෑවට පැන ගිය අතර කැරැල්ල මෙහෙයවූ ගාමිණී බාස් ද තරුණයන්ට පසුබසින ලෙස උපදෙස් දුන්නා. කතරගම ජවිපෙ කටයුතුවලට සම්බන්ධ වූ සිරිපාල නමැත්තා ප්‍රේමවතී මනම්පේරිගේ පවුලේ ඥතියකු ද වුණා.

කතරගම ස්ථානාධිපති

අප්‍රේල් 16 දා උදෑසන  9.00ට පමණ කතරගම පොලිසියේ ස්‌ථානාධිපතිවරයා තවත් පොලිස්‌ නිලධාරීන් තුන්දෙනකු ද සමග පොලිසියට කිලෝමිටරයක් පමණ දුරින් පිහිටි ප්‍රේමවතී මනම්පේරිගේ නිවෙසට ජීප් රථයෙන් ගියා. පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇය බලහත්කාරයෙන් ජීප් රියට නංවාගෙන හමුදා කඳවුරට ගෙන ගොස් තිබෙනවා. පසුව අනාවරණය වුයේ ජීප් රථයේ දී ද ඇයට බොහෝ වධදුන් බව යි.

නිර්දෝෂී තරුණිය

අත්අඩංගුවට පත් කැරලිකරුවන් -vikalpa.org

හමුදාව කතරගම වැඩ ඇල්ලුවේ ගමම භිෂණයක ගිල්වමින්. කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රේමවතී මනම්පේරි කතරගම ජවිපෙ ප්‍රධානම නායිකාවක් බවට ප්‍රකාශ කරමින්, කතරගම හමුදා කඳවුරේ ලුතිනන් ඇල්ෆ්‍රඞ් විජේසූරිය නම් නිලධාරියාට බාර දී තිබෙනවා. ලුතිනන් විජේසූරිය ඇයගෙන් ප්‍රශ්න කළත් ඇය ජවිපෙ පන්ති පහටවත් සහභාගී වී නැති බව යි පවසා තිබෙන්නේ.

මේ අතර යාල වනෝද්‍යාන භාරකරු ඩෙස්මන් වයිට් ඇඳිරි නීතියෙන් පසු අ‍ප්‍රේල් 17 දා රාජකාරි බාර ගැනීමට කතරගමට පැමිණියා. හමුදා උපදෙස් මත ඔහු මුලින්ම ගියේ තාවකාලික කඳවුර පිහිටුවා තිබූ විශ්‍රාම ශාලාවට යි. එහි හමුදා නිලධාරින් හමුවීමට ගිය විට වනෝද්‍යාන සේවක හෙන්ද්‍රික් අප්පුහාමිගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට ගත් තරුණියන් අතර බිම හිඳගෙන සිටිනු ඔහු දුටුවා. ඒ සිද්ධිය ඔහු පසුව පුවත්පතකට මෙසේ විස්තර කර තිබුණා:

ලුතිනන්වරයා මගෙන් ඇහුවා ඇයව හඳුනනවා ද කියලා. මම කිව්වා ඔව්, ඇගේ තාත්තා මගේ යටතේ සේවය කළ කෙනෙක් කියලා. පෙර දිනයේ හමුදා භාරයට පත්ව සිටි මේ තරුණිය බොහෝ දුක්විඳ සිටි බව  මට පෙනුණා.

ලුතිනන්වරයාගේ අවසරය මත දෙපාර්තමේන්තු නිල නිවාසය බැලීමට මම අනෙක් නිලධාරීන් සමග පිටවගොස් යළිත් කඳවුරේ ප්‍රධාන ගොඩනැගිල්ලට ආවා. ඒ එනකොට මට දකින්නට ලැබුණේ ස්වයංක්‍රීය ගිනි අවියක් අතැතිව ප්‍රේමවතීව ඉදිරියෙන් දක්කාගෙන මෙන් යන ලුතිනන් ඇතුළු පිරිස යි. ඉදිරියට පැමිණි ඔහු තමන්ට  මුහුණ ලා සිටින ප්‍රේමවතීට ත්‍රස්ත කටයුතුවලට සහභාගිවීම ගැන අසභ්‍ය වචනයෙන් බැණ වැදුණා. ඉන්පසුව තරුණියට ඇඳ සිටි ඇඳුම් ගලවන්නයැ යි අණ කළා.”

අමානුෂික සැලකිලි

ගුණසිරි හෝටලය -silumina.lk

ප්‍රේමවතී මහදවල් ජනතාව මැද ඇඳුම් ගැලවීමට කැමති වුණේ නැහැ. නමුත් හමුදා නිලධාරියාගේ තර්ජනය නිසා ඇය එකින් එක ඇඳුම් උනා දමා තිබෙනවා. ඉන්පසුව නිරුවත් තරුණියට අත් ඉහළට ඔසවාගෙන පාර දිගේ යන්නට අණකර තිබෙනවා. ඇය කතරගම නගරය දෙසට ඇවිද ගොස් තිබෙනවා. අසල පිහිටි ගුණසිරි හෝටලයේ හුන් පිරිස ඇස් අදහාගත නොහැකිව ඒ දර්ශනය දෙස කුතුහලයෙන් බලා කම්පාවී තිබෙනවා.

කැරල්ලේ භීෂණය- Colombotelegraph.com

ඇයට පිටුපසින් ගිනි අවිය මානාගෙන ලුතිනන් හා තවත් සොල්දාදුවන් දෙදෙනෙකු ගමන් කර තිබෙනවා. ටික වේලාවකින් ඇයට වෙඩි තබනවා. ඒ සමගම ප්‍රේමවතී මුනින් අතට වැටෙනවා. නමුත් ඇය මියයන්නේ නැහැ. එවිට ලුතිනන් සැරයන් රත්නායකට කෑ ගහලා ඇයව “ඉවරයක් කර දාන්නැ”යි අණකර තිබෙනවා. රත්නායක ඇයට යළිත් වෙඩිතැබූ අතර ඊට ටික වේලාවකට පසු පාරේ ගිය කෙනෙකුට කතාකර ඇගේ මිනිය වළලන ලෙස ලුතිනන් අණ දී තිබෙනවා. එසේ පවරා ඇත්තේ කතරගම ඇලඩින් නමැති අයෙකුට යි. ඇලඩින්ව හඳුනාගත් ප්‍රේමවතී තම දෙකනේ තිබූ කරාබු ජෝඩුව ගලවා එය තම නැගණියට දීමට අම්මාගේ අතට දෙන්නැ යි කියා තිබෙනවා. ඉන් මඳ වේලාවකට පසුව ඈ වෙත පැමිණි සොල්දාදුවෙකු ඇයගේ හිසටම රයිෆලය තබා වෙඩි තබා තිබුණා.

අපරාධකරුවන් අධිකරණයට

ප්‍රේමවතීගේ මව සහ පියා -dinamina.lk

ඝාතනය සියැසින් දුටු ඩෙස්මන් වයිට් මේ ගැන වගකිවයුත්තන්ට දැනුම් දෙනවා. පසුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹෙන අතර ඇත්ත පුවත්පත ද ඒ පිළිබඳ පුවත් පළ කරමින් ජනමතයක් ඇතිකිරීමට දායක වුණා. අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මේ සිද්ධිය ගැන පරීක්ෂණ කරන ලෙස පොලිසියට නියෝග කළා. 1971 මැයි 24 වනදා ප්‍රේමවතී මනම්පේරිගේ මිනිය ගොඩගෙන පරික්ෂණ පවත්වන්නේ ඒ අනුව යි.  

සිද්ධිය දුටු ඩෙස්මන් වයිට් – nethgossip.com

මේ පිළිබඳ නඩුව මුලින්ම හම්බන්තොට මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් වන අතර ඔහු එය ගාල්ලේ මහාධිකරණය වෙත යොමු කර තිබෙනවා. මෙම නඩුව විභාග කළේ  මහාධිකරණ විනිසුරුවරයකු වූ ඩී. කිව්. ඇම්. සිරිමාන්න යි. පැමිණිල්ල මෙහෙයවූයේ රජයේ නීතිඥ කෙනත් සෙනවිරත්න යි. ප්‍රේමවතී මනම්පේරි  ජ.වි.පෙ. කටයුතුවලට හෝ කැරැල්ලට සම්බන්ධ වූ බවට කිසිදු තොරතුරක්‌ ඒ පිළිබඳව නඩු විභාගයේ දී අනාවරණය වුණේ නැහැ. ඇගේ මරණය තනිකරම පෞද්ගලික පළිගැනීමක් වුණා.

සිද්ධිය සියැසින් දුටු ඇල්. ඒ. ඇලඩින් සිල්වා අධිකරණය ඉදිරියේ දී මෙසේ පවසා තිබෙනවා: 

“ප්‍රේමවතී වළලා දමන්න හමුදාව මට අණ කළා. පෙරුමාල්, කාදර්, සහ සයිමන් සමග එකතුව වළ කැපුවා. ප්‍රේමවතී ළඟට ගියාම ඇයට පණ තිබුණා. වළලන්න බැහැ කිව්වම හමුදා ඇදුම් ඇඳගත්ත අයෙකු පැමිණ තවත් වෙඩි කිහිපයක් බිම වැටී සිටි ප්‍රේමවතිගේ සිරුරට තිබ්බා. ඊට පසුවත් ඇයට පණ තිබුණා. වළ ළඟට ගෙනියනකොටත් ඇය කිව්වා, “මාමේ කරාබු දෙක ගලවාගෙන අම්මාට ගෙනිහින් දෙන්න” කියලා. ආයෙමත් ඇගේ හිසට හමුදාවෙ අයෙක් වෙඩි තැබුවා. ඉන්පස්සේ ඇය දෙනෙත් පියාගත්තා. අපි සිරුර වළදමලා එයාගේම ඇඳුම්වලින් වහලා පස් දමලා වැහුවා.”

අපරාධකරුවන්ට විලංගු

අපරාධ නඩුවේ  චරිත – silumina.lk

පුරා දින 11ක් තිස්සේ ගාල්ල මහාධිකරණයේ විනිසුරු ඩී. කිව්. එම්. සිරිමාන්න ඉදිරියේ විභාග වූ මෙම නඩුවේ දී ජූරි සභාවේ ඒකමතික තීරණය පරිදි ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය හා සැරයන් අමරදාස රත්නායක යන චූදිතයන්ට බරපතල වැඩ සහිතව වසර 16 බැගින් සිර දඬුවම් නියමවුණා. නඩු තීන්දුව 1973 මැයි 30 වැනි දින ප්‍රකාශයට පත්කෙරුණා. නඩු විභාගය අවසානයේ දී පළමු විත්තිකාර ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය හා දෙවන විත්තිකාර සැරයන් රත්නායක චෝදනාවන්ට වරදකරුවන් වූ අතර ඔවුන්ට  බරපතළ වැඩ සහිත වසර 1ක සිරදඬුවමක් නියම වුණා. නඩු විභාගවල දී ප්‍රකාශවූයේ හමුදාව මෙම තරුණියන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත්තේ ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාගැනීම සඳහා බව යි. ප්‍රේමවතී මරාදැමීමෙන් පසු අනිත් තරුණියන් නිකම්ම නිදහස්‌ කිරීමෙන් ඒ බව පැහැදිලි වී තිබෙනවා.

සිරදඬුවම විඳිමින් සිටි විජේසූරිය ඊට වසරකට පසු බන්ධනාගාරයේ දී හෘදයාබාධයකින් මරණයට පත් වුණා.  සිරදඬුවම් විඳ නිදහස් වී පැමිණි රත්නායක දෙවිනුවර සිය නිවසේ සිටිය දී 1988 – 89 භීෂණ සමයේ දී පිහියෙන් ඇන ඝාතනයට ලක්වුණා. තම ආත්ම ගෞරවය වෙනුවෙන් එඩිතරව මරණයට පත්වූ මේ තරුණිය වෙනුවෙන් ස්මාරකයක් ද කතරගම ඉදිකර තිබෙනවා.

 

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Lankadeepa.lk

Dinamina.lk

Divaina.com

Captions:

Cover -ප්‍රේමවතී මනම්පේරි සහ ඇයට වෙඩි තැබූ ස්ථානයේ පිහිටා තිබූ ගුණසිරි හෝටලය -youtube.com

Related Articles