අතුරුදහන් වුණු පුංචි කෝච්චියේ ඉතිහාසගත රසබර කතා

අදටත් අපි රත්නපුර හරහා ඕපනායකට ගිය සබරගමුව සැහැල්ලු දුම්රිය පාරට කියන්නේ පුංචි කෝච්චි පාර කියලා. විසිතුරු මතක සහිත මේ දුම්රිය කලකට පෙර ම නැවතුණා. පසුව හෝමාගමට පමණක් ධාවනය වුණු පුංචි කෝච්චිය මෑත අතීතයේ සිට යළිත් අවිස්සාවේල්ල දක්වා ධාවනය ආරම්භ වුණා. දැන් මේ පාරත් පළල් දුම්රිය මාර්ගයක් වෙලා ඉවරයි. 

එහි අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා කොටසත්, යටියන්තොට දක්වා කොටසත් නටබුන් බවට පත්ව අතුරුදන් වුණා. එසේ මතක සටහන් ඉතිරිවුණු අවිස්සාවේල්ල ඕපනායක කෝච්චි පාර ගැන සොයා බැලීමට ගත් උත්සාහයක් මේ.

ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ- srilankaexpress.com

වර්ෂ 1800 අග වනවිට අප රට උඩරට දුම්රිය මෙන්ම මාතර  මුහුදුබඩ දුම්රිය ද විශාල වශයෙන් භාවිත වූ අතර ඒවායෙන් විශාල ලාභයක් ද ලැබුණා. සබරගමුවේ රුවන්වැල්ල, කරවනැල්ල, කිතුල්ගල, රත්නපුර අවට පෙදෙස්වල රබර්, තේ, දැව ආදී දෑ කොළඹට ප්‍රවාහකය කිරීමට දුම්රිය මාර්ගයක අවශතාව බ්‍රිතාන්‍ය ව්‍යාපාරික සමාගම් 1880-90 කාලයේ නිතර ආණ්ඩුවට මතක් කළා.

මේතත්ත්වයන් සැලකිල්ලට ගෙන 1894 දී දුම්රිය මාර්ග විමර්ෂණයක් සඳහා ඩබ්ලිව්. ඩබ්ලිව්. මිෂෙල්ගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටු වාර්තාවටසර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා එතරම් කැමති නොවූ අතර යළිත්  නේවාසික ඉංජිනේරු එච්. ජී. වර්නන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ වාර්තාව 1895 පෙබරවාරි 15 වන දින ආණ්ඩුකාරවරයා වෙත බාර දුන්නා. පන්නිපිටිය, අවිස්සාවේල්ල, රුවන්වැල්ල දක්වා දුම්රිය මාර්ගයක අවශ්‍යතාව ගැන එහි සඳහන්ව තිබුණා.

කෝචිචි පාරේ පළල අඟල් 30යි – wikipedia.org

කෝච්චිය පුංචි වුණේ ඇයි?

පුංචි කෝච්චියේ නිල නාමය කැලණිවැලි දුම්රිය යි. කල්‍යාණි ද්‍රෝණි ධූම රථය කියලත් නිල ලේඛනවල ඒක හැඳින්වුණා. මෙහි ආරම්භය සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවයාගේ  පාලන යුගය ( 1893-1895) තෙක් දිවයනවා. ආණ්ඩුකාරවරයා මෙම දුම්රිය මාර්ගය හඳුන්වා ඇත්තේ ”කැලණිවැලි සබරගමුව සැහැල්ලූ දුම්රිය මාර්ගය” ලෙස යි.

එංගලන්තයේ රාජ්‍ය ලේකම්වරයා 1898 අප්‍රෙල් මස 27 වැනි දින ලංකාවේ ආණ්ඩුකාරවරයාට දන්වා ඒවා ඇත්තේ මෙම දුම්රිය මග ඉදිකිරීමට අනුමැතිය ලබාදෙන බව යි. පසුව 1899 ජූලි 25 වැනි දින එංගලන්තයේ යටත් විජිත භාර ලේකම්වරයා වෙත ලංකාවේ ප්‍රධාන  නේවාසික ඉංජිනේරු පී.ආර්. මැකින්ටොෂ් විසින් යවන ලද වාර්තාවක කැලණිවැලි දුම්රිය මඟ ඉදි කළ යුතු ආකාරය ගැන රජයේ ස්ථාවරය පැහැදිලි ව දක්වා තිබෙනවා.

ගැටහැත්තේ නවතා ඇති පුංචි කෝච්චිය – youtube.com

 

ලොකු කෝච්චි ධාවනය වන මාර්ග හඳුන්වන්නේ පළල් දුම්රිය මාර්ග (Broad Guage) ලෙස යි. ඒවායේ පීලි දෙක අතර පරතරය අඟල් 60 ක්. නමුත් පුංචි කෝච්චිය පටු දුම්රිය මාර්ගය (Narrow Gauge ) ලෙස හැඳින්වෙන අතර පීලි දෙක අතර පරතරය අඟල් 30ක්.

දුම්රිය මාර්ගය පටු නිසාත් එන්ජිම මෙන් ම මැදිරි ද පුංචි වූ නිසාත් සාමාන්‍ය ජනතාව මෙම දුම්රිය හැඳින්වූයේ පුංචි කෝච්චිය කියල යි. මෙම දුම්රිය මුලින් ම අප්‍රිකානු රටවල් සඳහා නිෂ්පාදනය කළ බවත් දකුණු අප්‍රිකාවේ ආණ්ඩුකාරයා එයට අකමැති වූ නිසා ලංකාවේ ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ එයට කැමති කර ගත් බවත් සමහර වාර්තාවල දැක්වෙනවා.

 පුංචි කෝච්චි පාරේ ධාවනය වූ පුංචි රේල් බසයක් – pinrest.com

දුම්රිය මඟ ඇරඹේ

දුම්රිය මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇත්තේ 1900 මාර්තු මස 22 වැනිදා යි. එහි මුල් අදියර නිම කරමින් වර්ෂ දෙකක් ගතවන විට 1902 සැප්තැම්බර් 15 වැනිදින අවිස්සාවේල්ල දක්වා දුම්රිය ගමන් ඇරඹුවා. අවිස්සාවේල්ලේ සිට”පුංචි කෝච්චි පාර” යටියන්තොට දක්වා ඉදිකිරීමත් ඇරඹුණා.

1903 සැප්තැම්බර් 14 වැනි දින යටියන්තොට දක්වා වැඩ කටයුතු නිම කළ බව සඳහන් වෙනවා. 1908 වනවිට අවිස්සාවේල්ල සිට කුරුවිට දක්වා කොටස විවෘත කෙරුණා. එම මාර්ග කොටස ඉදිකිරීම පමාවුණේ ජල මාර්ග, වගුරු බිම්, කුඹුරු හරහා පාලම් තනමින් පාර ඉදි කළ යූතු වූ නිස යි.

 බස් නැවතුමක් වූ රත්නපුර දුම්රිය ස්ථානය – facebook

රත්නපුරය දක්වා දුම්රිය මග ඉදිකිරීම් අවසන් ව ඇත්තේ 1912 අප්‍රෙල් මස 18 වැනිදා යි. එම උත්සවය ආණ්ඩුකාර සර් හෙන්රි මැක්ලම්ගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.

කැලණිවැලි මාර්ගය  ඕපනායක දක්වාම දීර්ඝ කිරීමේ ඉල්ලීම් වැවිලිකරුවන් සහ ව්‍යාපාරිකයන් අතරින් මතු වුණා. බොහෝ ව්‍යාපාරිකයන් තම ගමන් බිමන් සඳහා ඒ කාලයේ මේ දුම්රිය භාවිත කළා. ඒ වනවිටත් කුඩා වාහන යාහැකි හොඳ මාර්ගයක් නිතර ජලයෙන් යටවන රත්නපුරය තෙක් තිබුණේ නැහැ.

පුංචි කෝච්චියට ඈඳා ඇති ඩීසල් එන්ජිමක් –  facebook.com/Rasika.Sanjeewa.Wickramanayaka

1916 දී රත්නපුර සිට දෑල දක්වා ද, 1919 මැයි 02 දෑල සිට  ඕපනායක දක්වා ද  මාර්ගය විවෘත වුණා. දුම්රිය පැමිණීම මේ කඳුකර දුෂ්කර ගම්වල වැසියන්ට මහත් ප්‍රීතියක් වුණු බව ඒ කාලෙ කතාවලින් පැහැදිලි වෙනවා. ඕපනායකට ගිය කැලණිවැලි දුම්රිය මගේ මුළු දිග සැතපුම් අසුහතක්  වුණා.

සුන්දර දුම්රිය ගමනක්

යටත්විජිත යුගයේ සිරිපා කරුණාකරන්නන්ගේ ඉතා ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් බවට පුංචිකෝච්චිය පත් වූ බව අදත් අහන්නට ලැබෙනවා. මේ මාර්ගය ඉතා සුන්දර පරිසරයක් හරහා වැටී තිබුණා. දුටුවන් මනබඳින මේපරිසරය හරහා ගිය ගමනට එදා දෙස් විදෙස් මගීන්ගේ ඇල්ම ලැබී තිබෙනවා. එසේම වංගුපාලම් ගහන මන්දගාමී දුම්රිය ගමනට දිගු වේලාවක් ගතවූ බවත් පැවසෙනවා.

 කුරුවිට දුම්රිය පාලමක්- sundayobserver.lk

එකල සිරිපා සමයට හෝමාගම-යටියන්තොට-රත්නපුර යා කොට රේල් බස් සේවයක් ද පැවැති බව පැරණියන්ගේ මතකයේ පවතිනවා. 1927 දුම්රිය සාමාන්‍යාධිකාරී වාර්තාවේ සඳහන් වන්නේ එංගලන්තයේ සෙන්ටිනල් ස්ටීම් රේල් කාර් මැනුපැක්චර්ස් ආයතනයේ නිෂ්පාදිත සෙන්ටිනල් වාෂ්ප රේල් බස් තුනක් හා පැට්‍රෝල් රේල් කාරයක් කැලණිවැලි මාර්ගයේ ධාවනයට යොදවා තිබුණු බවයි.

කොළඹ සිට කුරුවිට දක්වා පුංචි කෝච්චියේ ගොස් එතැනින් එරත්න දක්වා ගමන් කර කුරුවිට මාර්ගයේ සිරිපා කරුණා කිරීමට විශාල පිරිසක් පුංචි කෝච්චිය භාවිත කළ බව පැරැන්නන් පවසනවා.

ඕපනායක දුම්රිය පාලමක්-  Priyanka Rodrigo -facebook

 

කුරුවිටින් කුරුගඟ හරහා ඉදිකළ අඩි 150ක්දිග දුම්රිය පාලමේ විශාලත්වය ගැන ඒ කාලෙ ගැමියන් පුදුම වූ බවත් පැවසෙනවා. කුරුවිට පාලමට 1919 දී  වැයවී ඇති මුදල රුපියල් 72,496/-ක් බව ලේඛනවල සඳහන්ව තිබෙනවා.

තවත් දුම්රිය පාලමක් ඉදිකොට තිබී ඇත්තේ රත්නපුරට සැතපුම් තුනක් පමණ දුරින් කළු ගඟ හරහා යි. අඩි 100ක් වූ එම දුම්රිය පාලම ගොඩ නැඟීමට එකල රු. 165,700 ක් වැය වූ බව සඳහන්වෙනවා.

8 නුගේගොඩ දුම්රිය ස්ථානය අද- wikipedia.org

දුම්රිය නැවතුණු තැන්

පුංචි කෝච්චි පාරේ ආරම්භය සලකුණු වුණේ මරදාන ස්ටේෂමෙන්. මේ මාර්ගයේ මරදානෙන් පිටත පළමුවැනි දුම්රිය නැවතුම හමුවන්නේ බොරැල්ල කොටාපාර යි. ඉන්පසුව නුගේගොඩ, පන්නිපිටිය, හෝමාගම, පාදුක්ක, වග, පුවක්පිටිය යන නැවතුම් පසුකර දුම්රිය අවිස්සාවේල්ලට පිවිසෙනවා.

එච්. ඩබ්ලිව්. කේව් සදහන් කරන අයුරින් එවකට කොටා පාර මෙන් ම නුගේගොඩ දුම්රිය ස්ථාන ද ඉතා ග්‍රාමීය පරිසරයක තමයි පිහිටා තිබුණේ. මේ පාරේ තරමක නාගරික වටපිටාවක් සහිත අවිස්සාවේල්ල, කඳුකරයේ තේ, රබර්, කුළුබඩු එකතු කරන මධ්‍යස්ථානයක් වශයෙන් ද පැවත තිබෙනවා. අවිස්සාවේල්ල පුංචි කෝච්චි මඟ යටියන්තොට දක්වා විහිදෙන හන්දියක් ලෙසත් ක්‍රියා කළා. 

 පොලිස් ස්ථානය වූ ඕපනායක දුම්රිය ස්ථානය – youtube.com

 

අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා වූ ප්‍රධාන නැවතුම් වශයෙන් තිබුණේ ගැටහැත්ත, ඇහැලියගොඩ, පරකඩුව, කුරුවිට, රත්නපුර, තිරිවානාකැටිය, දෑල, වටාපත, කහවත්ත, ඕපනායක යි. මේ අතරින් රත්නපුර දෙමහල් විශාල දුම්රිය නැවතුම් ගොඩනැගිල්ලක් තිබුණා. යටියන්තොට මාර්ගයේ ප්‍රධාන නැවතුම් වුණේ දෙහිඕවිට සහ කරවනැල්ල යි. 

ඒ බොහොමයක  ගොඩනැගිලි තවමත් ඉතිරිව පවතිනවා. සවිමත් එම දුම්රිය නැවතුම් ගොඩනැගිලි රජයේ වෙනත් කාර්යාල සඳහා යොදා ගෙන ඇති බවත් පෙනෙනවා. ඕපනායක පොලිස් ස්ථානය ඇත්තේ පැරණි දුම්රිය නැවතුමේ යි. රත්නපුර පුද්ගලික බස්නැවතුම සඳහා දුම්රිය ගොඩනැගිලි යොදාගෙන තිබෙනවා.

අබලන් වුණු ගැටහැත්ත දුම්රිය පොළ-sundayobserver.lk

 

පුංචි කෝච්චිය පාඩුයි 

මෙම ප්‍රදේශ හරහා මහා මාර්ග නිර්මාණය වීමත් සමඟ බරවාහන ගමනාගමනයට අවස්ථාව සැලසුණා. මේ නිසා දුම්රිය පාඩු ලබන්නට වුණා. දෙවන ලෝක යුද උණුසුම පැවති වර්ෂ 1942 වනවිට අවිස්සාවේල්ල -යටියන්තොට කොටස වසා දමා තිබෙනවා.  අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා අවසන් මගී දුම්රිය ගමන් කර ඇත්තේ1976 දි යි. ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හේතුකොටගෙන 1975 සිට කැලණිවැලි මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහනය නවතා දමා තිබෙනවා. 1975 සිට මරදාන – හෝමාගම දක්වා උදේ සවස කාර්යාල  දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වුණා.

 පළල් වුණූ පුංචි කෝච්චි පාරේ යන බලවේග දුම්රියක් -C.M. Dissanayake, kelani valley railway facebook page

පුංචි කෝච්චි පාර පළල් වෙයි

දශක කිහිපයකට පෙර හයිලෙවල් පාරේ මාර්ග තදබදය අඩු කිරීමට පුංචි කෝච්චි පාර යොදා ගැනීමට සැලසුමක් ඉදිරිපත් වුණා.  1991 -1997 කාලයේ එය පුළුල් මාර්ගයක් බවට පත්කිරීමට ආණ්ඩුව තීරණය කළා. 1998න් පසුව කැලණිවැලි මාර්ගයේ මෙම කොටස පුළුල් බවට පත් කළ අතර එවකට ප්‍රවාහන ඇමැතිව සිටි ඒ. එච්. එම්. ෆවුසි  එයට මුල්වූ බව පැවසෙනවා.

මාර්ගය මුලින් ම පාදුක්ක දක්වා පුළුල් කළ අතර පසුව අවිස්සාවේල්ල දක්වා පුළුල් කර දුම්රිය ධාවනය කෙරනවා. 1994 අගෝස්තු 05 වන දින අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය විවෘත කිරීමෙන් මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිමාවුණා. මහරගම, කොට්ටාව, මීගොඩ, කොස්ගම යන උප දුම්රිය ස්ථාන මෙහෙයුම් කටයුතු සිදුකරන දුම්රිය ස්ථාන බවට පත් ව තිබෙනවා. 

කවරයේ ඡායාරූපය- පුංචි කෝච්චි පාරේ දිවූ රේල් බසයක් - pinrest.com

 මූලාශ්‍ර:

Lankadeepa.lk

The Ceylon Government Railway- Henry Cave

Related Articles