Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවසාන මෝගල් අධිරාජයා- දෙවන බහදූර් ෂා සෆර්

1991 පෙබරවාරි 16 වන දා, මියන්මාරයේ (කලින් බුරුමයේ) අගනුවර වූ යැංගොන් හි (කලින් රැන්ගුන්) ෂ්වේදගොං දාගැබ පෙනෙන තෙක් මානයේ, කාණුවක් කපමින් සිටි කම්කරුවන් පිරිසකට ගඩොලින් බැඳි සොහොනක් හමුවුණා. එතුළ එතරම් හානියකින් තොරව වූ ඇට සැකිල්ලෙහි හිමිකරු කවරෙක්දැ යි තහවුරු කරගැනීම එතරම් අපහසු වූයේ නැහැ. අවසාන මෝගල් අධිරාජයාගේ අවසාන නවාතැන මේ අයුරින් සොයාගනු ලැබුණා.

1862 නොවැම්බර් 7 වන දා උදෑසන 5ට​, තමා රඳවනු ලැබූ නිවසේ දී, බහදූර් ෂා සෆර් අවසන් හුස්ම හෙළුවා. ඔහුගේ බ්‍රිතාන්‍ය රැඳවුම්කරුවන් එදින ම සවස 4 වන විට අවසන් කටයුතු සම්පූර්ණ කර, එම සොහොන් වළ වසා දැමුවා. ඔවුනගේ අරමුණ වූයේ බහදූර් ෂා යළි සොයාගනු නැත යන්න යි.

නාමික පාලකයා

මොන් ගොල් අධිරාජ්‍යයේ නිර්මාතෘ චිංගිස් ඛාන්ගෙන් පැවත එන මධ්‍යම ආසියාතික කුමාරයෙකු වූ බාබර් විසින් 1526 දී අවසාන දිල්ලි සුල්තාන්වරයා වූ ඊබ්‍රහීම් ලෝදි පරාජය කර මෝගල් අධිරාජ්‍යය ඉන්දියාවේ ස්ථාපිත කළා. මීළඟ සියවස් එකහමාරක පමණ කාලය තුළ ඉන්දියාවේ මහ බලවතා වූයේ මෝගල් අධිරාජ්‍යය යි. නමුත් 18 වන සියවසේ දී මෝගල් අධිරාජ්‍යය පරිහානිය කරා ගමන් ගත්තා. 1739 දී පර්සියානු අධිරාජ නදීර් ෂා විසින් කරන ලද ආක්‍රමණයත්, රාජ්පුත්වරුන්ගේ වර්ධනයත් මේ සඳහා ඉවහල් වුණා

1788 දී සිදු වූ ගුලාම් කදීර්ගේ ආක්‍රමණය අවස්ථාවේ එවක අධිරාජයා වූ දෙවන ෂා අලාම් අන්ධ කරනු ලැබුණා. ගුලාම් කදීර් 1788 දී මරා දැමුණ අතර, අන්ධ ෂා අලාම් 1806 සිය මරණය තෙක් නාමික පාලනයක් ගෙන ගියා. එකල ඉන්දියාවේ ජනයා උපහාසයෙන් මෙන් කියා සිටියේ ෂා අලාම්ගේ පාලනය දිල්ලියේ සිට පලාම් දක්වා පමණක් සීමා වන බව යි. පලාම් යනු දිල්ලියේ ම ප්‍රත්‍යන්ත ප්‍රදේශයක්.

දෙවන බහදූර් ෂා සහ මිර්සා ෆක්රුදින් කුමරු. ගුලාම් අලි ඛාන් විසින් අඳින ලද්දක් (Public Domain)

ෂා අලාම්ගේ මුණුබුරා වූ බහදූර් ෂා උපන්නේ 1775 ඔක්තෝබර් 24 වන දා යි. සෆර් යනු ඔහුගේ විරුද නාමය වූ අතර, එහි අර්ථය විජයග්‍රහණය යන්න යි. ඔහුගේ පියා වූයේ ෂා අලාම්ගේ දෙවන පුත්‍රයා වූ අක්‍බාර් කුමරු යි. සිය පවුලේ බලය සම්පූර්ණයෙන් ම පාහේ අහිමි වී යන අයුරු බහදූර් ෂා සිය ජීවිත කාලය තුළ ම අත්වින්ඳා. 1806 දී ඔහුගේ පියා දෙවන අක්බාර් ලෙස සිහසුනට පත්වූ අතර, 1837 දී බහදූර් ෂා ඔහුගේ පියාගේ ඇවෑමෙන් රජ බවට පත් වුණා. ඒ වන විට බහදූර් ෂාගේ පාලනය දිල්ලියේ රතු බලකොටුවට පමණක් සීමා වුණා.

බහදූර් ෂා දක්ෂතා රැසකින් හෙබි අයෙකු වුණා. ඔහු සූෆිවරයෙකු, ආගමික චින්තකයෙකු, කලාවට දිරි දෙන්නෙකු මෙන්ම දක්ෂ කවියෙකු ද වුණා. බහදූර් ෂා විසින් රචිත ගසල් ගණනාවක් ඇතුළු විවිධ කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් ම වනවා. නමුත් ඔහු රාජ්‍ය පරිපාලනයෙහි විශේෂ දක්ෂයෙකු වූයේ නැහැ. ඒ පිළිබඳ විශාල උනන්දුවක් ද ඔහුට තිබුණේ නැහැ.

සීනට් මහල්ගේ ඉතිරි ව ඇති එකම ඡායාරූපය​. 1872 දී රැන්ගුන් හි දී ජෙනරල් මැක්මොහන් විසින් ගන්නා ලද්දකි.

බහදූර් ෂා සිය ජීවිතයේ අවසන් කාලයේ දී ඔහුගේ නව බිසව වූ සීනට් මහල්ගේ බලපෑමට යට වුණා. ඔවුන් විවාහ වූයේ 1840 දී. ඒ වන විට බහදූර් ෂා 65 හැවිරිදි වූ අතර, සීනට් මහල්ගේ වයස අවුරුදු 19ක් වුණා. 1841 දී ඔවුනගේ පුත්‍රයා වූ මිර්සා ජවාන් බක්ත් උපන් අතර, සීනට් මහල්ට අවශ්‍ය වූයේ ඔහු බහදූර් ෂාගේ අනුප්‍රාප්තිකයා වනු දැකීම යි. මෙහි දී ඇය සහ බහදූර් ෂාගේ වැඩිමහල් පුත්‍රයින් අතර ගැටීමක් ඇති වීමේ අවදානම තිබුණා.

බහදූර් ෂා බලයට පත්වන විට මෝගල් රජ පරපුර දුගී තත්ත්වයට පත් වී තිබුණ අතර, බහදූර් ෂා සිය වියදම් සපයා ගැනීමට නිරන්තරයෙන් දිල්ලියේ මුදල් ණයට දෙන අය වෙත ඉල්ලීම් කළා. මේ ණය​ බොහෝ විට යළි ගෙවනු ලැබුණේ ද නැහැ.

ඉංග්‍රීසි බලය​

1757 දී බෙංගාලය අල්ලාගත්ත ද​, 18 වන සියවස අවසාන කාලය වන විටත් ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම දිල්ලියේ විශාල බලවතෙකු වූයේ නැහැ. නමුත් 19 වන සියවස මුල් කාලයේ ඔවුන් එම ප්‍රදේශයන් හි ද සිය බලපෑම ව්‍යාප්ත කළා. නාමික ව ඉංග්‍රීසින් කටයුතු කළේ මෝගල් අධිරාජයාගේ අවසරය මත යි. නමුත් අධිරාජයා යන තනතුර මිසක දිල්ලියේ පාලකයාට බලයක් තිබුණේ නැහැ. මුල්කාලීන ව ඉංග්‍රීසින් සිය කාසිවල පර්සියානු බසින් ද අකුරු කෙටූ නමුත්, පසුව එය නවතා දමනු ලැබුණා. බහදූර් ෂා හමුවීමට පිටස්තරයෙකු පැමිණේ නම් එයට ඉංග්‍රීසින්ගෙන් අවසර ගත යුතු වුණා.

කල් යාමේ දී ඉංග්‍රීසි මිෂනාරින්ගේ කටයුතු හේතුවෙන් සාමාන්‍ය ජනයා තුළ ඉංග්‍රීසින් කෙරෙහි අප්‍රසාදය වර්ධනය වුණා. ඉංග්‍රීසින් තම සම්ප්‍රදායයන් විනාශ කරන්නේ ය යන බිය හින්දු සහ මුස්ලිම් දෙපාර්ශවය තුළ ම වර්ධනය වුණා.

සිපෝයි කැරැල්ල​

බහදූර් ෂා සෆර්ගේ මෙන්ම මෝගල් අධිරාජයේ ද ඉරණම තීරණය වූ සිද්ධිය වූයේ සිපෝයි කැරැල්ල හෙවත් ඉන්දියානු මහ කැරැල්ල යි. මෙය 1857 මැයි 10 වන දා මීරත් නගරයෙන් පටන් ගැනුණා. සිපෝයිවරුන් යනු ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ හමුදාවල සේවය කළ දේශීය සෙබළුන් වූ අතර හින්දු මෙන්ම මුස්ලිම් සෙබළුන් ද ඒ අතර වුණා. මැයි 11 වන දා මෙම සෙබළුන් දිල්ලිය අල්ලා ගත්තා. සිපෝයිවරුන් කැරැල්ලේ නායකත්වය ගන්නා ලෙස බහදූර් ෂා සෆර්ගෙන් ඉල්ලීමක් කළා. සෆර් ඒ පිළිබඳ අදිමදි කළ ද, අවසානයේ තීරණාත්මක පියවරක් ගනිමින් ඒ සඳහා කැමැත්ත පළ කළා.

මෝගල් අධිරාජයාගේ ඇතැම් පුත්‍රයින් මෙම කැරැල්ලේ දී හමුදා නායකත්වන් දැරූ නමුත්, සීනට් මහල් සිය පුත්‍රයාව එයට සම්බන්ධ වීමෙන් වළක්වා ගත්තා. ඇය බලාපොරොත්තු වූයේ සිපෝයිවරුන් පරාජය වූ පසු ඉංග්‍රීසින් හා එකඟත්වයෙන් තම පුත්‍රයාගේ රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීම යි. බහදූර් ෂා සිපෝයි කැරැල්ලට ආධාර දීම පිළිබඳ ඇය, ඔහු හා අසතුටින් පසු වුණා.

සිපෝයි කැරැල්ල අවසන දිල්ලියේ කාශ්මීර් දොරටුව (Samuel Bourne)

මුල්කාලීන ව ජාතිවාදී හෝ වර්ගවාදී හෝ භේදයකින් තොරව සිපෝයිවරුන් ඉංග්‍රීසින් හා සටන් වැදුණ අතර ඔවුන් සහ සාමාන්‍ය ජනතාව අතර මෝගල් අධිරාජ්‍යය පිළිබඳ තිබූ අදහස ද මෙහි දී පැහැදිලි වුණා. ඇතැම් ඉතිහාසකරුවන් සහ විශේෂයෙන් ම අන්තවාදී හින්දූන් විසින් මෝගල්වරුන් සලකන්නේ විදේශීය ඉස්ලාමීය රජ පවුලක් ලෙස යි. සිය වසකට ආසන්න කාලයක් කිසිදු බලයක් නොමැති ව තිබූ රාජවංශයක් වුවද, මෝගල්වරුන් පිළිබඳ ජනතාව අතර වූ පිළිගැනීම නමුත් සිපෝයි කැරැල්ල අවස්ථාවේ දී පැහැදිලි වුණා.

සිපෝයි කැරැල්ල පිළිබඳ ඉතිහාසයේ දී දිල්ලිය ඉතා වැදගත් වුණා. දිල්ලිය යළි අල්ලා ගැනීම ද එසේම වැදගත් වුණා. ජූලි 2 වන දා ජෙනරල් බක්ත් ඛාන් නම් වූ ප්‍රවීණ සෙන්පතියා දිල්ලියට පැමිණ හමුදා මෙහෙයවන්නට වුණා. නමුත් ඔහුගේ ඇතැම් අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් ඔහු හා අනෙක් කැරලිකාර හමුදා නායකයන් අතර ගැටුම් ඇති වුණා. එමෙන්ම කල් යාමේ දී ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් දිල්ලියේ සටනේ වැඩි බරක් අතට ගත්තා. මේ අනුව හින්දු සහ මුස්ලිම් කණ්ඩායම් අතර ද යම් යම් මතභේද ඇති වුණා.

බ්‍රිතාන්‍යයන් දිල්ලිය අල්ලා ගැනීමට අවසන් ප්‍රහාරය එල්ල කළේ 1857 සැප්තැම්බර් 14 වන දා යි. දින තුනක් තිස්සේ සටන් පැවති අතර, මුල දී දෙපාර්ශවයෙන් ජය ගන්නේ කවරෙකු ද යන්න පැහැදිලි වූයේ නැහැ. නමුත් සැප්තැම්බර් 16 වන දා වන විට සටනේ අවසන් ප්‍රතිඵලය පැහැදිලි වුණා.

බහදූර් ෂා යටත් වේ (Robert Montgomery Martin)

බහදූර් ෂා සෆාර් නගරය අතැර හුමායුන්ගේ සොහොන කරා ගියා. ජෙනරල් බක්ත් ඛාන් ලක් නව් දෙසට පළා ගියා. නමුත් බහදූර් ෂා සෆර් ඔහු හා ගියේ නැහැ. සැප්තැම්බර් 21 වන දා ඔහු ඉංග්‍රීසීන්ට යටත් වුණා.

බහදූර් ෂා ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වුණා. මෙහි දී ඉංග්‍රීසීන් කියා සිටියේ බහදූර් ෂා සෆර් මුල පටන් ම මෙම සිපෝයි කැරැල්ලෙහි කුමන්ත්‍රණයේ මහ මොළකරු බව යි. ඔහුගේ අරමුණ ඉස්ලාමීය රාජ්‍යයක් ප්‍රතිස්ථාපනය කිරීම බව චෝදනා කෙරුණා. එමෙන්ම ඔහු රාජ්‍ය ද්‍රෝහී වූ බවට ද චෝදනා කෙරුණා.

ඉස්ලාමීය අන්තවාදියකු නොවූ, අන්‍යාගමිකයන්ට කාරුණික වූ බහදූර් ෂා සෆර්ට එල්ල කළ පළමු චෝදනාව මෙන්ම රාජ්‍ය ද්‍රෝහී චෝදනාව ද විකාරයක් ලෙස කෙටියෙන්ම කිව හැකියි. නීත්‍යානුකූල ව බහදූර් ෂා රාජ්‍ය ද්‍රෝහියෙකු වීමේ හැකියාවක් තිබුණේ නැහැ. කිසිදු ප්‍රායෝගික බලයක් නොතිබුණ නමුත් නිල වශයෙන් ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම බහදූර් ෂාගේ අවසරය මත කටයුතු කළ ආයතනයක් වුණා. නිල වශයෙන් බහදූර් ෂා සිටියේ ඔවුනට ඉහළින්.

බහදූර් ෂා වළ දැමූ ස්ථානයේ සූෆි පල්ලිය​ (Prathap Nair/Nat Geo Traveler India)

කෙසේ නමුත්, මෙම නඩු විභාගය අවසන බහදූර් ෂා සෆර් රැන්ගුන් වෙත පිටුවහල් කිරීමට නියම කළා. ඔහු එහි යවන විත සිපෝයි කැරැල්ල ද සම්පූර්ණයෙන් නිම වී තිබුණේ නැහැ. රැන්ගුන් හි සිය ජීවිතයේ අවසන් කාලය ගෙවා දැමූ බහදූර් ෂා එම නගරයේ දී ම මියගියා.

ඔහු වළ දැමූ ස්ථානය සොයාගත් පසු එම ස්ථානයෙහි සූෆි දේවස්ථානයක් ඉදිකෙරුණා.

කවරයේ පින්තූරය: බහදූර් ෂා සෆර් (IP Black/Indiapicture)

මූලාශ්‍රය​: The Last Mughal by William Dalrymple

Related Articles