අදටත් අභිරහසක් වී ඇති ලෝකර්බි ගුවන් අනතුර

ජාත්‍යන්තර දේශපාලනය වගේම ගුවන් ගමන් ආරක්ෂාව පිළිබඳ හැරවුම් ලක්ෂයකි, 1988 දෙසැම්බර් 21 වන දින මඟීන් 259ක් සමගින් ස්කොට්ලන්ත ගුවනේ දී පුපුරා ගිය ඇමරිකානු Pan Am ගුවන්යානය.

ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළින් ගුවන්ගත වූ බෝයින් 747 ගුවන් යානයේ ගමනාන්තය සටහන් වී තිබුණේ නිව්යෝර්ක් නුවර කෙනඩි ගුවන් තොටුපළ යි. මඟීන් 243ක් හා කාර්යමන්ඩලයේ 16 දෙනෙකුගෙන් සමන්විත මේ ගුවන් යානයේ වැඩි පිරිසක් ඇමරිකානු ජාතිකයින් වූ අතර, ඔවුන් නත්තල් නිවාඩුව ගත කරනු පිණිස තම රටට යන පිරිසක් වූවා. එහෙත් යානය ගුවන්ගත වී විනාඩි 38ක දී ස්කොට්ලන්තයේ, ලොකර්බි නගරයට අඩි 31,000ක් ඉහළ අහසේ පුපුරා ගියේ පාලන මධ්‍යස්තානයට කිසිදු ඉඟියක් හෝ නොදීයි. කඩා වැටුනු ගුවන් යානය හේතුවෙන් බිම සිටි වැසියන් 11 දෙනෙකුගේත් ජීවිත අහිමි වුණා. එනිසා මේ ගුවන් යානා අනතුරෙන් මියගිය මුළු පිරිස 270ක් ලෙස සටහන් වුණා.

යානය කඩා වැටුණු ස්ථානය/ Dailymail

ඇමරිකාව හා බ්‍රිතාන්‍ය පරික්ෂණ කන්ඩායම් ගුවන් අනතුර සම්බන්ධව පරීක්ෂණ ඇරඹුවා. ඔවුන්ට විසඳාගැනීමට තිබූ පළමු ගැටළුව වී තිබුණේ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ද, එසේත් නැත්නම් කාර්මික දෝෂයක් ද යන්න යි. ගුවන් යානා නියමුවන් විසින් යානය කඩා වැටීමට යන බවට කිසිදු ඉඟිකිරීමක් දී නොමැති නිසාත්, කළු පෙට්ටියේත් එවැනි ඉඟියක් නොමැති නිසාත් පරික්ෂණ කන්ඩායම්වල සැකය යොමු වී තිබුණේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධව යි. ඔවුන් දිගින් දිගටම ගුවන් යානයේ සුන්බුන් එකතු කිරිමේ යෙදී සිටියේ ඉඟියක් ලබා ගැනීමේ අරමුණෙන්. එහෙත් මෙම සුන්බුන් වර්ග සැතපුම් 900ක් පමණ ප්‍රමාණයක විසිරී තිබීමත්, සීතල දෙසැම්බරයේ වැටෙන හිම නිසාත් මෙම කාර්යය ඉතා අපහසු වුණා. එහෙත් ඇමරිකානු FBI නිලධාරීන්ගේ හා නවීන උපකරණවල සහාය සහිතව නියපොතු කැබලි තරම් ඉතා කුඩා සුන්බුන් පවා එකතු කරගැනීමට ඔවුන් සමත් වුණා. එකතුකරගත් කැබලි යොදාගෙන නැවත ගුවන් යානයේ ආකෘතියක් සකසනු ලැබුවේ පහත රූපයේ දැක්වෙන පරිදියි.

නැවත ගොඩනැගූ යානය/ FBI

 

ගුවන් යානයේ භාණ්ඩ ගෙනයන කොටසේ බඳ සුනුවිසුනු වී තිබුණා. ඒ අතරින් කැසට් වාදන යන්ත්‍රයක ඉතා කුඩා පරිපථ කැබැල්ලක්, ඉතා කුඩා ප්‍රමාණයේ සැම්සනයිට් සූට්කේස් කැබලි, හා කමිසයක කොටස් අතර තිබූ ටයිමරයක් සොයා ගනු ලැබුවා. මේ සියළු සාක්ෂ්‍ය සමගින් මෙම ගුවන් අනතුර සූට්කේසයක් තුළ දැමූ කැසට් වාදන යන්ත්‍රයක ඇටවූ කාල බෝම්බයක් බව තහවුරු කරනු ලැබුවා. ඊළඟට පරීක්ෂණ කණ්ඩායමට ගැටළු දෙකකට පිළිතුරු ලබා ගත යුතුව තිබුණා. ඒ, මෙය කිනම් කණ්ඩායමක ත්‍රස්ත ක්‍රියාවක් ද, සහ ගුවන් යානයට පිවිසීමට පෙර තබන ආරක්ෂක කපොලු පසුකොට යානය තුළට බෝම්බයක් ගෙන ආවේ කෙසේ ද යන ඒවා යි.

කැබලි වී තිබූ ඇදුම්වල “Made in Malta” (මෝල්ටාවේ නිපදවිණි) යනුවෙන් සඳහන් වීම මත මෙම සූට්කේසය පැමිණියේ මෝල්ටාවේ සිටයැ යි අනුමාන කෙරුනා. ඒ අනුව මෝල්ටා සිට ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපළටත්, එතැනින් හීත්‍රෝ ගුවන් තොටුපළටත් මෙම සූට්කේසය ගමන් කර ඇති බවට තහවුරු කෙරුනා. මෝල්ටා සිට පැමිනි මෝල්ටානු ගුවන් සේවයේ යානයක මඟියකු රහිත ගමන් මල්ලක් තිබූ බවට ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළ ප්‍රකාශ කළත්, එය පරික්ෂා කිරීමට නොහැකි වීම ගැන ඔවුන් මුනිවත රැක්කා. කෙසේ නමුත් මෝල්ටානු ගුවන් තොටුපළ එම චෝදනාව ප්‍රතික්ෂේප කළා. ප්‍රශ්නගත සූට්කේසය මෝල්ටා ගුවන්යානයට බාර දෙන අවස්ථාවේම තවත් ගමන් මල්ලක් මෝල්ටාවේ සිට ට්‍රිපොලි දක්වා ගුවන් ගත වූ ලිබියානු ගුවන් යානයකට බාර දී ඇති බවට ද ඒ අතර සොයාගැනුනා.

ඊළඟට පරීක්ෂණ ඇස යොමුවූයේ Pan Am ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ අනුව තව දුරටත් සොයා බැලීමේ දී පරික්ෂණ කන්ඩායම්වලට දැන ගන්නට ලැබුනේ මීට පෙර ඇමරිකානු ගුවන්සේවා එජන්සිය මඟින් බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම් කර තිබූ බව යි. විශේෂයෙන්ම පින්ලන්තයේ, හෙල්සින්කි නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ඊට මාස කිහිපයකට පෙර ඇමරිකානු ගුවන්යානයක් තුළ නුදුරු දිනයක දී බෝම්බයක් තබන බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී තිබුණා. එමෙන්ම එම වර්ෂයේම ඔක්තෝබර් මස ජර්මන් පොලීසිය විසින් PLO සංවිධනය හා සම්බන්ධකම් පැවැත් වූ ත්‍රස්තවාදින් 16ක් අත් අඩංගුවට ගනු ලැබ තිබුණේ අවි ආයුධ රාශියක් සමගින්. මේ අවි ආයුධ අතර, Pan Am ගුවන් යානයේ පුපුරා ගිය අන්දමේ බෝම්බ පහක් සොයා ගනු ලැබුවා. 

ඒ සොයාගැනීමෙන් අනතුරුව ද ඇමරිකානු ගුවන් සේවා ඒජන්සිය සියළුම ඇමරිකානු ගුවන් සමාගම් වෙතත්, සියළුම තානාපති කාර්යාලයන් වෙතත් අනතුරු ඇඟවීමේ ලිපි යවා තිබුණා. ඒ හරහා ඔවුන් ගුවන් යානා සමාගම් වෙත නිර්දේශයන් දෙකක් ද ඉදිරිපත් කර තිබුණා. ඒ, ගමන් මලු පරීක්ෂාවේ දී ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය වූ බෝම්බ හඳුනාගැනීමට වර්ණ තිර සහිත ස්කෑනර් යන්ත්‍ර භාවිත කරන ලෙසත්, එසේ නොමැති නම් සෑම ගමන් මල්ලක්ම විවෘත කර පරීක්ෂා කරන ලෙසත්. එහෙත් ෆ්‍රෑන්ක්ෆර්ට්හි Pan Am ගුවන් සේවා කාර්යමණ්ඩලයට ලබා දී තිබූ වර්ණ තිර සහිත ස්කෑනර් යන්ත්‍රය අනතුරට සති කිහිපයකට පෙර ක්‍රියා විරහිත වී තිබූ අතර, ඔවුන් භාවිතා කර තිබුණේ කළු-සුදු තිරයක් සහිත ස්කෑනර් යන්ත්‍රයක්. දෙසැම්බර් නිවාඩුවේ දී අධික පිරිසක් ගුවන් ගමන්වල යෙදෙන බැවින් සෑම ගමන් මල්ලකම විවෘත කර පරීක්ෂා කිරීම අනවශ්‍ය බව Pan Am ඉහළ නිලධාරීන් පහළ ආරක්ෂක නිලධාරීන්ට දන්වා තිබුණා. එමෙන්ම, පරික්ෂණ අතරතුර හෙළිවූ පරිදි ප්‍රශ්නගත ගමන් මල්ල ස්කෑන් කළ අවස්ථාවේ ස්කෑනර් යන්ත්‍රය හසුරුවමින් සිටි නිලධාරිනිය ලබා තිබී ඇත්තේ එක්දින පුහුණුවක් පමණ යි. ඇය ප්ලාස්ටික් බෝම්බ හඳුනාගැනීමට පුහුණුවක් ලබා තිබුණේ නැහැ.

ෆ්‍රෑන්ක්ෆර්ට්හි ආරක්ෂක වියවුලත් සමග පරීක්ෂණ කන්ඩායම්වල නෙත් යොමුවූයේ හීත්‍රෝ ගුවන් තොටුපළේ ආරක්ෂාව සම්බන්ධව යි. පරික්ෂණ කන්ඩායම් මවිතයට පත් කරමින් ඔවුනට දැන ගන්නට ලැබුනේ, ෆ්‍රෑන්ක්ෆර්ට්හි දී පරීක්ෂා කෙරුණු මඟී ගමන් මලු නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය නැති බව Pan Am ඉහළ ආරක්ෂක අධිකාරිය දන්වා තිබූ බව යි. තත්ත්වය මෙසේ වුවත් Pan Am සමාගම ආරක්ෂක ක්‍රියාමාර්ග උදෙසා සෑම ගුවන් මඟියෙකුගෙන්ම ඇමරිකානු ඩොලර් 5ක් අයකර ගෙන තිබුණා.

ලද සාක්ෂ්‍ය අනුව මෝල්ටා ගුවන් තොටුපළේ දී කිසියම් පුද්ගලයෙකු විසින් හිතාමතාම බෝම්බයක් සහිත සූට්කේසයක් ෆ්‍රෑන්ක්ෆර්ට් වෙතට එවූ බවත්, Pan Am ගුවන්සේවයේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම බෝම්බය පහසුවෙන් ගුවන් යානයට ඇතුල්වූ බවත් තීරණය කෙරුණා.

ඉන්පසු පරික්ෂණ කණ්ඩායමවල ඇස යොමු වූයේ මෙම පිපිරීම කාගේ ක්‍රියාවක් ද යන්න පිළිබඳව යි. බොහෝ ඉස්ලාමික අන්තවාදී සංවිධානයන් මෙහි වගකීම භාර ගත්තත්, එය හුදෙක් ජයප්‍රියවීමේ අරමුණෙන් කළ බවක් පෙනුනා.

ලද සාක්ෂ්‍ය අනුව පරීක්ෂකයින්ගේ සැකය යොමු වී තිබුණේ පාර්ශවයන් තුනක් වෙත යි. ඒ ඉරානය, පලස්තීනය, හා ලිබියාව යි. 1988 ජුලි තෙවැනි දින ඉරානයේ මඟී ගුවන් යානයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයට එකට එක කිරීමක් විය හැකියැ යි උපකල්පනය මත ඉරානය සැකයට භාජනය වුණා. ජර්මන් පොලිසිය පලස්තීන ත්‍රස්තයන් පිරිසක් බෝම්බ සමග අත් අඩංගුවට ගත් නිසා ඒ දෙසට ද සැකය යොමුවුණා. එසේම පෙර සඳහන් කළ පරිදි ට්‍රිපොලි වෙත ද තවත් ගමන් මල්ලක් භාර දී තිබූ බැවින් ලිබියාව වෙත සැකය යොමු වී තිබුණා.

ඊළඟට පරික්ෂණ කණ්ඩායම ටයිමරය හා කැසට් වාදන යන්ත්‍රය සමග එකතු කළ ඇඳුම් කැබලි කෙරෙහි අවධානය යොමු කළා. “මොල්ටාවේ නිපදවිණි” යනුවෙන් සඳහන් වූ එම රෙදි කැබලිවල Yorkie යන වෙළද සන්නාමය සොයා ගනු ලැබුවා.

“යෝකී” සන්නාමය දැරූ රෙදි කැබැල්ල/ FBI

 

පරීක්ෂණ කන්ඩායම් මෝල්ටාවේ Yorkie නිෂ්පාදන සමාගම වෙත ගොස් ප්‍රශ්න කිරීම ආරම්භ කළා. මෝල්ටාවල Yorkie සන්නාමයේ ප්‍රධාන නියෝජිත වූ මේරීස් හවුස් ආයතනය වෙත ඔවුන් යොමු කෙරුනා. එහි අයිතිකරු වන ටෝනි ගෞචිට මීට සති කිහිපයකට පෙර ලිබියානු පුද්ගලයෙකු විසින් තමන්ගෙන් ඇඳුම් මිළ දී ගත බවට මතකයක් තිබුණා. පුදුමයකට මෙන් මේ ලිබියානු පුද්ගලයා ගත් අයිතමයන්හි අගය පවා ඔහුට මතක තිබුණා. ගෞචි පැවසූ හැඩරුව අනුව ඡායාරූපයක් පිළියෙල කළත්, ගෞචී පසුව පරීක්ෂකයින් විසින් ඉදිරිපත් කළ ඡායාරූප අතරින් අබ්දුල්බාසේත් අල්-මෙග්‍රාහි නම් පුද්ගලයෙකු හඳුනාගත්තා. එහෙත් ගෞචි මුලින් සඳහන් කළ දේහ ලක්ෂණයන් අල්-මෙග්‍රාහි තුළ පැවතියේ නැහැ. එමෙන්ම, අල්-මෙග්‍රාහි, අදාල බෝම්බය පිපිරුණ දා මෝල්ටාවේ සිට ලිබියාවට ගමන් ගත් ගුවන් යානයේ මඟියෙකුව සිටියා. ඒ අනුව අල්-මෙග්‍රාහි පළමු සැකකරු බවට පත් වූ අතර, මෝල්ටා ගුවන් තොටපළේ සේවයේ නියුතු ලාමින් කළීෆා යන අය ද සැකකරුවෙකු බවට පත් කෙරුනා. පරීක්ෂකයින්ට අනුව ඔවුන් දෙදෙනාම ලිබියානු රහස් ඔත්තු සේවයේ සාමාජිකයන්. ඔවුන් දෙදෙනාම ඒ වනවිට ලිබියාවට පැන ගොස් තිබුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනාට මනුෂ්‍ය ඝාතන චෝදනාවන් 270ක් එල්ලවූ අතර, නඩු පැවරීම සඳහා ඔවුන් තමා වෙත ලබාදෙන ලෙස ස්කොට්ලන්ත රජය ඉල්ලා සිටියත්, ලිබියාව එය ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට, චෝදනා ලිබියාවට භාරදෙන ලෙසත්, ලිබියාව මෙහි නීතිමය කටයුතු ඉදිරියට ගෙනයන බවටත් ප්‍රකාශ කළත් එම යෝජනාව ස්කොට්ලන්තය, සහ ඇමරිකාව අවඥාවෙන් බැහැර කළා. ඒ අනුව ලිබියාවට ජාත්‍යන්තර බලපෑම් එල්ල වූ අතර එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් 1992 අප්‍රේල් 15 දින ලිබියාවට එරෙහිව ගුවන් ගමන් හා අවි ආයුධ සම්බාධක පනවනු ලැබුවා. 

සැකකරුවන් ස්වාධීන රටක දී විනිශ්චයට භාජනය වන්නේ නම් ඔවුන්ව භාර දීමට 1994 මාර්තු මස දී ලිබියාව එකඟතාවය පල කළා. ඒ අනුව නෙදර්ලන්තයේ හේග් නුවර අධිකරණයක දී මෙම නඩුව විනිශ්චය ඇරඹුනා. එහෙත් මෙහි දී නීතිමය ප්‍රශ්නයක් පැන නැගුණා. ඒ, ස්කොට්ලන්තයට අයත් නොවන භූමියක දී මෙම නඩුව ඉදිරියට ගෙනයන්නේ කෙසේ ද යන්න යි. ඊට විසදුමක් ලෙස, නෙදර්ලන්තය විසින් උසාවි භූමිය තාවකාලිකව ස්කොට්ලන්තයට පවරා දෙනු ලැබුවා.

1999 අප්‍රේල් 5 දා ජාත්‍යන්තර දේශපාලය නව මඟකට යොමු කරමින් හා ජාත්‍යන්තර මාධ්‍යයේ කතාබහට ලක් වෙමින්, සිද්ධියේ සැකකරුවන් දෙදෙනා ලිබියාව විසින් ස්කොට්ලන්තය භාර කෙරුනා.

Abdel Basset Ali al-Megrahi, Lockerbie Bomber, Dies at 60 - The New York  Times
අල් මෙග්‍රාහි/ New York Times

ලිබියාව වෙත පනවා තිබූ සම්බාධක ඉවත් කරනු ලැබූ අතර, 2000 මැයි 3 වෙනි දින නඩුව විභාගයට කැඳවනු ලැබුවා. මෙහිදි පැමිණිලි පාර්ශවය විසින් සුළු චෝදනා ඉවත් කරගත් අතර, මිනීමැරීමේ චෝදනාව පමණක් ඉදිරිපත් කෙරුනා. නඩු විභාගයට සාක්ෂ්‍යකරුවන් 232ක් කැඳවනු ලැබුවා. මෙහිදි ඉතා තීරණාත්මක සාක්ෂ්‍යය වූයේ ටෝනි ගෞචිගේ සාක්ෂ්‍යය යි. එය අතිශය පරස්පරතා මෙන්ම වෙනස්කළ ප්‍රකාශයන්ගෙන් බහුල වුණා. නමුත් උසාවිය විසින් අල්-මැග්‍රාහි අනතුරට වැරදිකරු කළ අතර, කලීෆා නිදොස් කොට නිදහස් කරනු ලැබුවා. දිගින් දිගටම තමන් නිවැරදිකරුයැ යි දිව්රමින් සිටි මැග්‍රාහිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුවේ ස්කොට්ලන්තයේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවන බැවින්. එසේම, ලිබියාව අල්-මැග්‍රාහිගේ සිර දඬුවම ලිබියාවේ ගතකිරීමට කරන ලද ඉල්ලීම ස්කොට්ලන්තය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා.

හදිසියේම, ලිබියානු නායක කර්නල් ගඩාෆි ලොකර්බි ගුවන් යානා අනතුරේ වගකීම භාර ගත්තා. ඔහු කියා සිටියේ තමන් එයට අණ නොදුන්න ද මෙම ක්‍රියාවට සම්බන්ධ වූයේ ලිබියානු රාජ්‍ය නිලධාරියෙකු බැවින් තමා මෙම වගකීම භාර ගන්නා බව යි. ලිබියාව විසින් මියගිය අය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.7ක් වන්දි ලෙස ගෙවනු ලැබුවා. 2007 ජුනි මස අල්-මැග්‍රාහි තමන්ගේ නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ අතර ටෝනි බ්ලෙයා ලිබියාවේ සංචාරයක යෙදුනා. ඉන් අනතුරු අල්-මැග්‍රාහි තමන්ගේ අභියාචනය ඉවත් කරගෙන තිබුණා.

කෙසේ වෙතත් 2008 ඔක්තෝබර් මස මානුෂික හේතූන් මත අල්-මැග්‍රාහිව නිදහස් කරනු ලැබුවා. ඒ ගැන කරුණු දැක්වූ ස්කොට්ලන්ත අධිකරණ ලේකම් කියා සිටියේ අල්-මැග්‍රාහිට මාරාන්තික පිළිකාවක් ඇති බැවින් ඔහුව නිදහස් කරන බව යි. ඒ අනුව අල්-මැග්‍රාහි ලිබියාවට පැමිණියේ වීරයකුගේ පිළිගැනිමක් සමගින්.

අල් මෙග්‍රාහි ට්‍රිපොලි ගුවන් තොටුපළේ දී/ Al Jazeera

 

මෙම සිද්ධිය බටහිර රටවල දැඩි විරෝධයට හේතුපාදක වුණා. මාස තුනකින් මියයන්නට නියමිතව සිටි අල්-මැග්‍රාහි ඉන් වසර දෙකකට පසු ගඩාෆිට පක්ෂපාතී රැලියක රෝද පුටුවක දක්නට ලැබුනා. 2012 මැයි 20 වන දින අල්-මෙග්‍රාහි මියගිය අතර, මරණ මංචකයේ දී පවා ඔහු කියා ඇත්තේ තමා කිසිදා ටෝනි ගෞචි දැක නොමැති බවත්, ඔහුට තමා සමාව දෙන බවත්.

මිනිසුන් 270ක් මරා දැමූ ලොකර්බි ගුවන් අනතුර ඔහුගේ මරණයත් සමග ඉතිහාසයට එක්වුණා.

මෙතෙක් වේලා ඔබ කියවූයේ 1988 දෙසැම්බර් 21 දින සිදු වූ ලොකර්බි ගුවන් අනතුර ගැන නිල වශයෙන් ප්‍රකාශයට පත් වූ වාර්තාවන්ගේ අඩංගු වූ තොරතුරු යි. එහෙත් මෙම කතාව ප්‍රතික්ෂේප කරන බොහෝ අය සිටිනවා. මෙම ගුවන් අනතුර ලිබියාවේ තෙල් සම්පත සූරාකෑම සඳහා ඇමරිකාව හා එංගලන්තය එක්ව කළ කුමන්ත්‍රණයක් බව ඇතැමුන් විශ්වාස කරනවා. තවත් සමහරුන් පවසන්නේ මෙම බෝම්බය ගුවන් යානයට පැමිණියේ මෝල්ටාවෙන් නොව හීත්‍රෝ ගුවන් තොටුපළින් බව යි. එමෙන්ම, ටෝනිගෞචිගේ සාක්ෂ්‍යවල පරස්පරතා පමණක් නොව සාක්ෂ්‍ය වෙනස් කිරීම සම්බන්ධයෙන් ද ඇත්තේ ගැටලුවක්. එනිසා නඩු තීන්දුව කුමක් වුවත්, ලොකර්බි අනතුර පිටුපස ඇති සත්‍ය කතාව කුමක්දැ යි නිශ්චිතව කියන්නට බැහැ.

Related Articles