පැණි බේරෙන මල්වානේ ඉදි කළ පෘතුගීසි බළකොටුව

කොළඹ සිට කිලෝමීටර් 25ක් පමණ දුරකින් පිහිටි මල්වාන පැණි බේරෙන රඹුටන්වලට රට පුරා ම ප්‍රසිද්ධයි. මේ රඹුටන් වාරයයි. මල්වාන නගරය පිහිටා තිබෙන්නේ කැලණි නදී ඉවුරේයි.  මේ නිසා වාර්ෂික ව මල්වාන නගරය ගංවතුරට යට වෙනවා. ගංවතුර සමඟ එන සාරවත් දියලු පසින් මේ අවට පරිපූර්ණයි.

මල්වාන නගරයේ සම්පූර්ණයෙන් ම අද වාසය කරන්නේ මුස්ලිම් ජනතාවයි. ඔවුන් ව්‍යාපාරික කටයුතු කරන අතර, එයට යාබද ව සිංහල ජනාවාස පැතිර තිබෙනවා. සිංහල – මුස්ලිම් සහජීවනයටත් මල්වාන උදාහරණ සපයනවා.  වළං මැටි නිධි මේ අවට පැතිර තිබෙනවා. කලකට පෙර වළං සහ උළු කර්මාන්තයටත් මල්වාන ප්‍රසිද්ධ වුණත් අද නම් ඒවා එහි කෙරෙන්නෙ නැහැ.

1
 කැලණි ගඟේ මල්වාන බලකොටුව පිහිටා ඇති තැන-lankadeepa.lk

පෘතුගීසි බැල්ම මල්වානට

කොළඹ නගරයට ආහාරපාන ගෙන එන ලද්දේ කැලණි ගඟ හරහායි. මේ ගමනේ දී පෘතුගීසීන්ගේ ඇස ගැටුණු සුන්දර ස්ථානයක් තමයි මල්වාන. මල්වානට නුදුරින් කැලණි ගං ඉවුරේ පිහිටි  රස්සපාන නමින් හඳුන්වන වක්‍රාකාර ගල් තලාව හා ඒ අවට ප්‍රදේශය අලංකාර දසුනක් නිර්මාණය කළා. අද ඒ ගල්තලාව පාමුල නාන මංකඩක් පිහිටා තිබෙනවා. අදටත් මල්වානේ සිට බෝමිරියට එගොඩවෙන තොටුපොළ පිහිටා ඇත්තේ ද එතැනයි.  කොළඹ නගරය මෙන් උෂ්ණාධික නොවු සෞම්‍ය දේශගුණයකින් යුත් මල්වානට පෘතුගීසින් ඉතා ප්‍රිය කර තිබෙනවා.

පෘතුගීසි  ප්‍රධාන බළකොටුව කොළඹ පිහිටි නමුත් 1591 සිට 1658 දක්වා ඔවුන්ගේ ජනරජ හෙවත් ආණ්ඩුකාරයා වාසය කළේ මල්වානේ. මුලින් ම මල්වානේ වාසය කළේ සිංහලයන්ගේ පිළිකුලට ලක් වූ දොන් ජෙරනිමෝ ද අසවේදු යි. මල්වාන වාසය කර ගත් ආණ්ඩුකාරයන් අතර ප්‍රකට චරිතයක් වුණේ කුස්තන්තීනු ද සායි.

පාතුගීසි ලේඛක රිබෙයිරෝ මේ බළකොටු ගැන විස්තරයක් ඔහු ලංකාව ගැන ලියූ කෘතියට ද ඇතුළත් කර තිබෙනවා.

2
බළකොටුව දැක්වෙන පෘතුගීසි සිතියමක්- amazing lanka.com

 

රිබෙයිරෝ මල්වාන ගැන මෙසේ සඳහන් කර සිටිනවා:

මල්වාන කොළඹට ලීග තුනක් ඈතින් ගංඉවුර මත පිහිටියේය. චතුරස්‍රාකාර උප කොටුවකින් යුක්ත මෙය ප්‍රමාණයෙන් කුඩා විය. මෙය ගොඩ දිසාවෙන් ආරක්ෂා කර නොතිබුණි. කපිතන්වරයෙක්, එක්සයිස්වරයෙක්, සාජන්ට්වරයෙක් ද ශරීර වර්ධනය කර ගැනීමට රෝහලේ සිට යවන ලද සොල්දාදුවෝ ද තමන්ගේ ම කඳවුරට ආපසු පැමිණි අය ද මෙහි සිටියහ. දේවස්ථානයක් හා පූජකයෙක් ද සිටි අතර ආයුධ සහ උපකරණ ගඩබාවක් ද තිබුණි ( සිංහල ද්වීපයේ ඓතිහාසික ඛේදාන්තය- ජොආඕ රිබෙයිරෝ පරි. කැලිස්ටන් නානායක්කාර).

1900 වන විට බළකොටුව පැවති තත්ත්වය රොමෑන්ටික් සිලෝන්  (සිංහල පරි. පෙම්බර ලංකා) පොත ලියූ ආර්. එච් බැසට් මෙසේ සඳහන් කරනවා;

මල්වානේ තොටුපොළෙන් එගොඩ ( බෝමිරිය දක්වා යන අදටත් ක්‍රියාත්මක තොටුපොළ) එලීනා නම් බළකොටුව පිහිටියේය. කොන්වල ඉදිවුණු කවාකාර මුර අට්ටාල සහිත වර්ග යාර හතළිහක් පමණ විශාල බළකොටුවේ සලකුණු අද ද දක්නට ලැබේ. බටහිරින් කැලණි ගඟ ද උතුරෙන් ගැඹුරු ඇළක් ද ( පහුරු ඔය) දකුණු දෙසින් වඩාත් කුඩා දිය අගලක් ද මායිම් කරගෙන එය ඉදිව තිබුණි. එහි ඇතැම් තැනක අඩි දෙකක් හෝ තුනක් උස කබොක් ගල් තාප්ප කැබලි දැකගත හැකිය ( පෙම්බර ලංකා- ආර්. එච් බැසට් පරි. ප්‍රේමචන්ද්‍ර අල්විස් ).

මල්වාන බළකොටුවේ මුල් ම පාලකයා වුයේ කපිතාන් ජනරාල් දොන් ජෙරනිමෝද අසවේදුයි.  ඔහු මල්වානේ රජතුමා ලෙස හැඳින්වූ බව රිබෙයිරෝ සඳහන් කරනවා. ඔහුගේ කෘර පාලනය හේතුවෙන් සිංහල ජනයා දැඩි පීඩාවකට ලක්වූ බව සඳහන් වෙනවා. මොහුගේ කෘර පාලනයට විරුද්ධව ජනතාව කැරලි ගසා පහර දී තිබෙනවා.

3
 බලකොටුවේ මායිමෙන් ගලන පහුරු ඔය- Darshan Rathayake- amazing lanka.com

අසවේදුගේ මාලිගය

අසවේදු තම බළකොටුව නුදුරින් ගං ඉවුරේ උස්බිමක තමාට ජීවත්වීමට මන්දිරයක් ද ඉදිකරගෙන තිබුණා. අද එහි නටබුන් කිසිවක් දැකගැනීමට නැහැ. ඒ අවට බිම වෙනස්කර නිවාස ඉදිකර තිබෙන නිසා.  1930 වනවිටත් මෙහි නටබුන් පැවති බව බැසට් සඳහන් කරනවා

ගම්වාසීන් මාලිගාව ලෙස හඳුන්වන  නිවසේ කබොක් බිත්තිවල කොටස් රක්ෂපාන ගල පසුපස උස්බිමෙක් අදත් දක්නට ලැබේ. ඉඩමේ වත්මන් අයිතිකරු එය සෙස්සනට දක්වන්නේ මහත් ආඩම්බරයෙනි. ඔහු එහි වූ කැටයම් කුලුනු හිස් ඇතුළු බොහෝ කොටස් නිවසක් ඉදිකිරීම සඳහා ගෙනගොස් ඇත. නිවසෙහි ඝන බිත්ති කපරාරුව බෙලිකටු කැබලි එබීමෙන් අලංකාර විය. බිඳී ගිය මැටි භාජන හා නිවසෙහි විසූවන්ගේ යයි සිතිය හැකි ඇටකටු කැබලි සුළු කැණීමක දී පවා හමුවෙයි ( පෙම්බර ලංකා- ආර්. එච් බැසට් පරි. ප්‍රේමචන්ද්‍ර අල්විස් ).

4
කිඹුල්විල වත්ත වැව -Kusumsiri Wijayawardhana

මිනිසුන් කිඹුලන්ට ගොදුරු කර දුන් “කිඹුල්විලවත්ත”

 “උල්හිටිවල” ලෙස අද හඳුන්වන්නේ අසවේදු මිනිසුන් උල්වල සිටුවා මරා දැමූ පෙදෙස බව පැවසෙනවා. මිනිසුන් කිඹුලන්ට ගොදුරු කර දුන් ප්‍රදේශය “කිඹුල්විලවත්ත” නමින් අදටත් හැඳින්වෙනවා. එම ගමේ වැවක්ද පිහිටා තිබෙනවා. නාරංගස්ගොමුව, යබරලුව, පල්ලියවත්ත, රජමල්වත්ත වැනි ග්‍රාමයන් ද පෘතුගීසී ආභාෂය මත නම් ලද යාබදව පිහිටි ගම් කිහිපයක් ලෙස සැලකිය හැකියි. 

    අලගියවන්න මුකවැටි  ලියූ  “කුස්තන්තීනු සටන” නමැති කාව්‍ය කෘතියේ කුස්තන්තීනු ද සා මල්වානට පැමිණීම ගැන මෙසේ සඳහන් වෙනවා:

මෙ අප හිමි           සසොබන

මල්වාන පුර              වදිමින

සිවු දිසාපති                   යන

දක්කවා ගෙන සෙනඟ සමගින

(කුස්තන්තීනු සටන 66 කව- සංස්. එච්. එම්. මොරටුවගම)

5
5 කොටු පවුර- amazing lanka.com

මල්වාන බළකොටුව අද 

  බළකොටුව පිහිටි ඉඩම නාරංගස්කොටුවෙවත්ත නමින් හැඳින්වෙනවා. එය එක් පසෙකින් පහුරු ඔයටත් තවත් පැත්තකින් කැලණි ගඟටත් මායිම් ව පිහිටා තිබෙන බිම්කඩක්.  පෞද්ගලික අයිතිය යටතේ පැවතුණත් එහි පැරණි නටබුන් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

එහි වත්මන් අයිතිකරු වන්නේ තනුජ් දර්ශන වන අතර ඔහුට එය අයිති ව ඇත්තේ සීයා වන හපුආරච්චිගේ පුංචි සිංඤෝගෙන්. එය ඔහු මිලදී ගෙන තිබෙන්නේ මුස්ලිම් ජාතිකයකුගෙන් බව සැලකෙනවා.

6
 කොටුවේ නටබුන් – exploresrilanka.com

 

මල්වාන බළකොටුවේ  කබොක් ගල්වලින් ඉදි කළ ප්‍රාකාර කොටස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කර තිබෙනවා. අටපට්ටම් හැඩයෙන් යුත් බළකොටුවේ ගොඩ බිම දෙසට ඇති ප්‍රාකාරයේ බැස්ටීල දෙකක් තිබුණු බව පැරණි සිතියම්වලින් පෙනෙනවා.

බළකොටුව ගඟ දෙසට විවෘතවයි ඉදිකර තිබෙන්නේ.

7
ලෙනගම්පොළ ලෙන් විහාර බිමේ දසුනක් – google maps

ලෙනගම්පොළ ලෙන් විහාරය

මල්වාන නගරයෙන් සමණබැද්ද පාරට හැරී කිලෝමීටර් එකහමාරක් පමණ ගමන් කරන විට ශ්‍රී සාරානන්ද මාවත හමුවෙනවා. එම මාවතෙහි මඳ දුරක් ඉදිරියට ගිය විට මල්වාන පහළ මාපිටිගම පිහිටි ලෙනගම්පොළ විහාරය අපට හමුවෙනවා.

විහාරයෙහි ඇති කටාරම් කෙටූ ගල්ලෙන හා ඒ අවට ඇති අනෙකුත් ලෙන් නිසා තමයි මෙයට ලෙනගම්පොළ නම ලැබී තිබෙන්නේ. කටාරම් කෙටූ ලෙන තුළ විහාරයක් දැකගත නොහැකියි.

8
 සෝලියස් මැන්දිස්ගේ සිතුවම්- නාග රජු- lankadeepa.lk

 

ලෙන පිහිටි පර්වතය මත තිබෙන විහාර මන්දිරය ඉදිකර තිබෙන්නේ පසුගිය සියවසේ මුල් භාගයේදි යි. එම විහාර මන්දිරය සෝලියස් මෙන්දිස් මුල් යුගයේ ඇඳි රමණීය සිතුවම්වලින් අලංකාර වී තිබෙනවා.   කුඩා විහාර මන්දිරය අඩි 30 ක් පමණ දිගකින් ද  අඩි 25 ක් පමණ පළලකින් ද යුක්තයි.   

එවකට කැලණි විහාරයට අයත් ව තිබූ මේ විහාරයේ චිත්‍ර නිර්මාණය කැලණි විහාරාධිපති මාපිටිගම ධම්මරක්ඛිත හිමි  හා හෙලේනා විජයවර්ධන අය සෝලියස් මැන්දිස්ට බාර දෙනවා. 1932 දී ඔහු එම විහාරය නිම කරනවා. එම චිත්‍ර ගැන පැහැදීමට පත්ව කැලණි විහාරයේ චිත්‍ර ඇඳීම ද ඔහුට බාර දී තිබෙනවා.

9
 හිටි බුද්ධ ප්‍රතිමාව – lankadeepa.lk

 

හිටි බුද්ධ ප්‍රතිමාව, හිඳි පිළිමය හා පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිටිනා සැතපෙන පිළිමය සෝලියස් මෙන්දිස් සතු ව තිබූ  මූර්ති ශිල්පයෙහි කුසලතා පිළිබිඹු කරවනවා.   හිඳි පිළිමයෙහි පිටුපස අලංකාර මකර තොරණක් දැකගත හැකියි.  සැතපෙන පිළිමය අසල පිහිටා ඇති නාථ දෙවියන්ගේ විශාල ප්‍රතිමාව තවත් අගනා මූර්තියක්.  බුද්ධ ශ්‍රවක රූප හා නාග රජු ඇතුළු  රූපවලින් මෙහි බිත්ති අලංකාර කර තිබෙනවා.    නෙලුම් මල්, ලියවැල්, හංස රූපවලින් වියන සරසා තිබෙනවා.

10
 රඹුටන් කඩන අවස්ථාවක්- facebook

මල්වානේ පැණි රඹුටන්

රඹුටන් ගැන කතා කරන විට  ලංකාවේ ම ප්‍රකට මල්වාන හා ඒ අවට ප්‍රදේශයයි. මල්වාන නගරයේ රඹුටන් වගා නැතත් මාපිටිගම, කළුකොඳයාව, වල්ගම වැනි යාබද ගම්වල රඹුටන් වතු දැකගත හැකියි. සෑම වසරක ම ජුලි සහ අගෝස්තු මාසවල දී රඹුටන් වාරය ආරම්භ වෙනවා. එවිට මෙහි රඹුවන් වතු රතු පාටින් අලංකාර යායක් ලෙස දිස්වෙනවා. පෘතුගීසි යුගයේ දී ලංකාවට රඹුටන් පැමිණි බවට විශ්වාසයක් පවතිනවා.  ඕලන්ද ජාතිකයන් මැලේසියාවෙන් ලංකාවට රඹුටන් ගෙන ආ බවට තවත් මතයක් තිබෙනවා.     

අද මල්වානේ රඹුටන් වර්ග කිහිපයක් ම දැකිය හැකියි. නවීන කෘෂිකාර්මික දෙමුහුම් කිරීම්වලින් සොයා ගත්  ඉස්තරම් ම රඹුටන් වර්ගය ලෙස සැලකෙන්නේ ‘මල්වාන ස්පෙෂල්’ නම් වර්ගයයි. එහි විශේෂත්වය වන්නේ මැලේසියන් වර්ගය මෙන් විශාලත්වය ඇති වීමට අමතර ව ඊට වඩා ප්‍රණීත රසයකින් යුක්ත වීමයි. කුඩාවට සෑදෙන එතරම් වර්ණවත් නැති මල්වාන රඹුටන් වර්ග ද රසයෙන් වැඩියි. මස් ගැලවීමත්, ආකර්ශනීය පෙනුමත් නිසා මැලේෂියන් හා මල්වාන ස්පෙෂල් රඹුටන්වලට ඉල්ලුම වැඩියි.   

මල්වාන සාම්ප්‍රදායික රඹුටන් ගස් කපා දමා ජනප්‍රිය රඹුටන් වර්ග වගා කිරීමට සමහර වගාකරුවන් පෙලැඹ සිටිනවා. කලකට පෙර මල්වානේ සාම්ප්‍රදායික ව පැතිර තිබු  රඹුටන්වලට මල්වානේ ගැමියන් අද ව්‍යවහාර කරන්නේ වල් රඹුටන් කියායි. මෙම වල් රඹුටන් ගසක ආයු කාලය අවුරුදු 60-70ක් පමණ වෙනවා. ඉක්මනින් වැවෙන එතරම් උස නොයන බද්ධ  රඹුටන් ගස්වල  අවුරුදු දෙකෙන් තුනෙන් පල දරන අතර එම රඹුටන්වල ආයු කාලය අවුරුදු 15ක් පමණ වෙනවා.

11
තෙත්බිමේ පැළ සිටුවන අවස්ථාවක්- facebook

 

මල්වාන, කළුකොඳයාව සහ වතුරුබොඩ ප්‍රදේශයේ සිට පහළ දොම්පේ තෙක් කිලෝමීටර් 4ක පමණ දිගකින් සහ කිලෝමීටරයක පළලින් පැතිර යන සුන්දර තෙත්බිම් කලාපයක් තමයි පහුරුවෙල. මෙයට දළ වශයෙන් හෙක්ටයාර් 400ක පමණ භූමි ප්‍රදේශයක් අයත් වෙනවා.

ප්‍රදේශයේ පාරිසරික සුන්දරත්වය ඉහළ නංවන  මේ තෙත්බිම පුරාණයේ වෙල්යායක් ව තිබුණ ද ගංවතුර තර්ජනය නිසා කලක පටන් ම අත්හැර දමා තිබෙනවා. දැනට එහි ඉහළ දොම්පේ අවට ප්‍රදේශවල කුඹුරු ස්වල්පයක් වගා කර තිබෙනවා. තෙත්බිම මැදින් ගලා බසින්නේ පහුරු ඔයයි.  

ගංවතුර ගලන අවස්ථාවලදී එම ජල කඳ රඳවා තබාගන්නා නිසා ප්‍රදේශයේ ගංවතුර වැළැක්වීමේ බාධකයක් ලෙස ද පහුරුවෙල ක්‍රියා කරනවා. අධික වැසි කාලවලදී පහුරු ඔය උතුරා මේ අවට විශාල ජලාශයක් බවට පත්වන අතර දොම්පේ මල්වාන මාර්ගය ද යටවෙනවා.

කවරයේ පින්තූරය: මල්වානේ රඹුටන් වාරේ- Magicbeantrippers.wordpress.com

මූලාශ්‍ර:

සිංහල ද්වීපයේ ඓතිහාසික ඛේදාන්තය- ජොආඕ රිබෙයිරෝ, පරි. කැලිස්ටන් නානායක්කාර

පෙම්බර ලංකා- ආර්. එච් බැසට්, පරි. ප්‍රේමචන්ද්‍ර අල්විස්

කුස්තන්තීනු සටන - සංස්. එච්. එම්. මොරටුවගම

lankadeepa.lk

Amazing lanka.com

Related Articles