යුද්ධයකට පැටලුණ රටක ඉන්න මිනිස්සුන්ව ලෙඩ කරවලා, හදිසි අසනීප තත්ත්වයන්ට ලක් කරලා, මිනිසුන්ව මරා දමන හෝ තදබල අසාධ්‍ය තත්ත්වයට පත් කරන, විෂබීජ පතුරවන උපකරණ හෝ උපක්‍රම තමයි, ජීව විද්‍යාත්මක අවි කියන්නේ. තව ද, ජෛව විද්‍යාත්මක යුද්ධය වෛරස යුද්ධයක් ලෙස ද හැඳින්වෙනවා. විෂ බැක්ටීරියා, මරණීය වෛරස හා පුස් වර්ග යොදාගැනීම මෙහි විශේෂත්වය යි. එමඟින් මානවයාට අමතරව ශාක හා ජීව විශේෂ ද විනාශ කළ හැකි යි.

යුද්ධයක දී භාවිත කළ හැකි ඉතාමත්ම අමානුෂික හා භයානක ආයුධයක් ලෙස ජෛව අවි හඳුන්වන්නට පිළිවන්. ලොව බොහෝ විද්වතුන් සදාචාර විරෝධී ක්‍රමයක් ලෙස හැඳින්වූවත් බලවත් ජාතීන් විසින් පවා සිය සතුරා මර්දනය කිරීම සඳහා මේ ක්‍රම යොදාගෙන තිබෙන්නේ අද ඊයෙක නොවේ. එවැනි ජෛව රසායනික අවි පිළිබඳව බොහෝ දෙනෙක් අසා තිබෙනවා ඇති. ජෛව අවි යොදා පහර දීම් කළ විට කිසිම දේපළ හානියක් සිද්ධ වෙන්නේ නෑ. හැබැයි, මිනිස්සුන්ට බොහොම වේදනාකාරී මරණයක් නැතිනම්, සදාකල් පවතින රෝගාබාධ ‍රැසක් උරුම වෙනවා. ඒ වගේම මේ වගේ දෙයක් එක් මනුස්සයෙක්ගෙන් තවත් කෙනෙක්ට පැතිරිලා යන නිසා එතනින් පස්සේ පාලනය කරන්නත් බැහැ. 

ඉන්පසුව ඒ ප්‍රදේශය, කලාපය හෝ රට සාමාජිය ආර්ථික හා සෞඛ්‍ය අතින් වේගයෙන් කඩා වැටීමකට ලක් වෙනවා. ඒ හේතුවෙන් මේ වන විට ජෛව අවි ලෝකයෙන් තහනම් කරන්න එකඟතාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. නමුත්, දියුණු රටවල් හරහා රහසේ ජෛව අවි වැඩි දියුණු කරන බවට නොයෙකුත් ප්‍රවෘත්ති ලෝකයෙන් අහන්න ලැබෙනවා.

ජෛව රසායනික අවි ලෙස හඳුන්වන්නේ මොනවා ද?

ජෛව අවි තහනම් කිරීම සඳහා විවිධ සම්මුති මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. (foxnews)

ජෛව රසායනික අවියක් භාවිතා කිරීම යනු රෝගකාරක ජීවියෙක් හෝ ද්‍රව්‍යයක්, එසේත් නැත්නම් ධූලකයක් හිතාමතාම මිනිසුන්, සතුන්, හෝ වගාවන් ඉලක්ක කරගෙන මුදාහැරීම යි. මේවා පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය විය හැකි හෝ, එසේ නොහැකි යනුවෙන් කොටස් දෙකකට වෙන් කොට දැක්විය හැකි යි.

ජෛව රසායනික අවියක් මුදාහල හැකි ප්‍රධාන ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. ඒවා වාතයට මුසු කිරීම, මිනිස් වාහකයන් යොදාගැනීම, සතුන් මඟින්, ආහාර මඟින් මෙන්ම ජලය ඔස්සේ ද ව්‍යාප්ත කළ හැකි යි. ජෛව රසායනික අවි ලෙස බහුතරයක් අවස්ථාවල දී යොදා ගන්නේ බැක්ටීරියා, වෛරස, හෝ ධූලක යි. ඇන්ත්‍රැක්ස් ඇති කරන Bacillus anthracis බැක්ටීරියාව, මහාමාරිය ඇති කරන Yersinia pestis බැක්ටීරියාව, හා බොටුලිසම ඇති කරන බොටුලිනම් ධූලකය ඉතිහාසය පුරා වැඩිපුරම යොදාගෙන තිබෙන ජෛව රසායනික අවි කිහිපයක් වෙනවා.

මිනිස් වර්ගයාට අපහසුතා ඇති කිරීම සඳහා වගාවන් ඉලක්ක කොට ගෙන ජෛව රසායනික අවි යොදාගැනීමේ දී, බැක්ටීරියා හා වෛරසවලට අමතරව දිලීර මෙන්ම ප්‍රොටොසෝවාවන් ද යොදාගන්නවා. මිනිස් වර්ගයාගේ ප්‍රයෝජනය උදෙසා ජෛව රසායනික අවි යොදාගන්නා එක් අවස්ථාවක් ලෙස හානිදායක කෘමීන්ට එරෙහිව තවත් ජීවියෙක් ව්‍යාප්ත කොට, එම හානිදායක කෘමි ප්‍රජාව පාලනය කිරීම ගත හැකි යි. විසිවන සියවසේ අග භාගයේ ශ්‍රී ලංකාවේ පොල් වගාවට වින කැටූ පොල් පත්‍ර කණින්නා හෙවත් promecotheca cumingi මර්දනය කිරීමට Dimmockia javanica නම් ජීවියා යොදාගැනීම මීට හොඳම උදාහරණයක්.

කැටපෝල යොදාගෙන, මහාමාරිය රෝගයෙන් මියගිය අයවලුන්ගේ මළකඳන් විදීම 

කැෆා නගරය වැටලීම (ytimg)

ඉතිහාසයේ මුල්ම වරට ජීව අවි භාවිතා කර තිබෙන අවස්ථාව ලෙස සඳහන් වන්නේ ක්‍රි. ව. 1346 දී යුරෝපය අල්ලා ගැනීමේ සටන්වල නියුතුව සිටි මොංගෝලියානු හමුදාව විසින් මහාමාරිය රෝගය ව්‍යාප්ත කිරීම යි. මොන්ගෝලියානු හමුදාව කැටපෝල යොදාගෙන, මහාමාරිය රෝගයෙන් මියගිය අයවලුන්ගේ මළකඳන් ක්‍රිමියාවේ කැෆා නුවර (වර්තමානයේ එය හඳුන්වන්නේ යුක්රේනයේ ෆියෝඩෝසියා ලෙස යි) ජලය සැපයූ මූලාශ්‍රවලට හා නගර මධ්‍යයට විදිනවා. මේ හේතුවෙන් වසංගතයක් මෙන් මහාමාරිය පැතිර ගිය අතර බොහෝ දෙනා රෝගය වැළඳී මියයනවා.

කැෆා නුවර වැටලීම (modernnotion.com)

අවසානයේ දී මෙම තත්ත්වය පාලනය කිරීමට නොහැකි ලෙසින් ව්‍යාප්ත වී ගිය බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ හේතුවෙන් එහි ප්‍රතිඵල මොංගෝලියානු හමුදාවට ද ලැබෙනවා. අවසානයේ බොහෝ දෙනෙක් එම ප්‍රදේශයෙන් පලා යනවා. නමුත්, ඔවුන් පලාගිය ප්‍රදේශවලට ද මහාමාරිය ක්ෂණිකයෙන් බෝ වී විශාල ප්‍රමාණයක් මරණයට පත් වෙනවා.

මුලින්ම, මහාමාරිය මොන්ගෝලියානු හමුදාවට බෝ වූ අතර ඉන් අධෛරමත් වන මොන්ගෝලියානු භටයන් කැෆා නගරය අල්වාගැනීම කෙරෙහි උදාසීන හැගීමක් ඇති කරගන්නවා. මෙයට විසඳුමක් ලෙස ඔවුන්ගේ හමුදාවේ වේගයෙන් පැතිරී ගිය මහාමාරිය තම සතුරන්ට ද පැතිරවීමේ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස යි වසංගතයෙන් මියගිය ඔවුන්ගේ ම හමුදා භටයන්ගේ සිරුරු කැටපෝල ආධාරයෙන් සතුරු භූමි කරා පතිත කරවන්නේ. 

සටන (historycollection)

මේ පිළිබඳව වහා අවබෝධ කරගත් කැෆා වැසියන් වැටෙන සිරුරු ඉතා ඉක්මනින් එකතු කර මුහුදුට වීසි කරනවා. නමුත්, ඒ වන විටත් වසංගතය පැතිරී ගොස් අවසන් බව සඳහන්. 1347 වසරේ දී මොංගෝලියානුවන් හා නගර පාලකයන් අතර පැවති සාකච්ඡාවලින් පසු වටලෑම අවසන් වූ නමුත්, ඒ වන විට වසංගතය තවත් දරුණු තත්ත්වයකට හැරෙනවා.

කැටපෝල භාවිතය (ancient-origins)

ලෝකයේ ජෛව අවි භාවිතය ඉන්පසුව ද අවස්ථා කිහිපයකම දකින්න ලැබෙනවා. එවැනි අවස්ථා සමග ඉදිරි ලිපි පෙළින් හමුවෙමු. 

කවරයේ පින්තූරය -warhistoryonline

මූලාශ්‍රය- 

Warhistoryonline.com