Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රබන්ධයක් හා සැබෑවක් අතර දෝලනය වූ ඔරෑන්ග් මෙඩාන් නැවේ අභිරහස

නෞකා හා සමුද්‍රය සම්බන්ධව වාර්තා වූ විවිධාකාරයේ අද්භූත කතා පිළිබඳ තතු ඉතිහාස පොත් පිරික්සීමේ දී අපට හමුවනවා. මේ අතරින් බොහොමයක් මීට ශතවර්ෂ ගණනාවකට පෙර සිදුවූ, ඇත්තෙන්ම සිදුවූවාදැ යි නිශ්චය කරගත නොහැකි, බැලූ බැල්මට අතිශ්‍යෝක්තියක් සේ හැඟෙන කතා යි. කෙසේ නමුත් මෙවැනි අමුතුම පන්නයේ කතාවක් නවීන තාක්ෂණය යම් පමණකට හෝ තිබූ 1940 දශකයෙන් ද වාර්තා වෙනවා. ‘ඔරෑන්ග් මෙඩාන් නැවෙහි අභිරහස’ ලෙස ඉතිහාසයෙහි තැනක සඳහන් මෙය සත්‍ය සිදුවූමක් ද, එසේත් නැත්නම් ප්‍රබන්ධයක් ද යන්න පිළිබඳව අදටත් සමහරක් දෙනා විවාද කරනවා.

වාර්තා වී ඇති සිද්ධිය

ඔරෑන්ග් මෙඩාන් නෞකාව පිළිබඳව වූ කතා පුවත මෙසේ යි.

දෙවන ලෝක යුද්ධය අවසන් වී ලෝකයේ නැව් ගමනාගමනය යථා තත්ත්වයට පත් වී කෙටි කලෙකින්, 1947 වසරේ ජූනි මාසයේ හෝ 1948 වසරේ පෙබරවාරි මස දිනක සුමාත්‍රා දූපතට ආසන්නව, මලක්කා සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ නැව් කිහිපයකටම අමුතුම ආකාරයේ පණිවුඩයක් ලැබුණා. මෝස් සංඥාවක් ලෙස ලැබුණු මෙය එක්තරා යාත්‍රාවකින් උදව් ඉල්ලා යැවුණු පණිවුඩයක් වුණා. එහි අන්තර්ගතය පහත පරිදි වුණා.

කපිතාන් ඇතුළු අප නැවෙහි සියළුම නිලධාරීන් මියගොස් ඇත. සියළු දෙනා තැන තැන මැරී වැටී සිටිති. බොහෝ විට කාර්යයමණ්ඩලයෙහි සියළු දෙනා මියගොස් ඇත…. මම ද මියයමි

මෙම ලොමු ඩැහැගැන්වෙන පණිවුඩයෙන් පසුව එම නැවෙන් වෙනත් කිසිදු පණිවුඩයක් නිකුත් වූයේ නැහැ. මෙම පණිවුඩය පැහැදිලිව ලැබුණු ඇමෙරිකානු නෞකා දෙකකට එය නිකුත් වූ ස්ථානය නිසියාකාරයෙන් නිර්ණය කළ හැකි වුණා. මෙය ඕලන්ද භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන එස්එස් ඔරෑන්ග් මෙඩාන් නැවෙන් නිකුත් වෙන්නක් වුණා.

ඔරෑන්ග් මෙඩාන් නැවෙහි යැයි සැලකෙන සිතුවමක්- historicmysteries.com

වහ වහා ඇමෙරිකානු නෞකා දෙක ඔරෑන්ග් මෙඩාන් නැව ස්ථානගත වී තිබූ පෙදෙස කරා ඇදෙන්නට වූ අතර එම ස්ථානයට මුලින්ම ළඟා වූයේ සිල්වර් ස්ටාර් නම් නැව යි. බැලූ බැල්මට එය ‘ඔහේ පාවෙන’ සෙයක් පෙන්නුම් කළ අතර මේ හේතුව නිසා සිල්වර් ස්ටාර් නැවෙහි කාර්යයමණ්ඩලය තීරණය කළේ එයට ගොඩ වී පරීක්ෂා කරන්නට යි. ඔරෑන්ග් මෙඩාන් නෞකාවට ගොඩබට අයට දැකගත හැකි වූයේ ඉතා භයානක දර්ශනයක්. එහි තැනින් තැන මදුරුවන් සේ මිනිසුන් මැරී වැටී සිටි අතර, සියළුම දෙනාගේ මුහුණුවල තිබුණේ ඉතා භයානක අත්දැකීමකට මුහුණ දුන් ස්වභාවයක්. ඔවුන්ගේ දෑස් විශාල වී තිබුණා. නෞකාව තුළ ජීවතුන් අතර සිටි කිසිවෙකු වූයේ නැහැ.

ඔරෑන්ග් මෙඩාන් නෞකාවෙහි කාර්යයමණ්ඩලය මියයන විට ස්ථානගත වී තිබූ ස්ථානවලට අනුව ඔවුන් ‘යමක්’ සමග හෝ එකිනෙකා සමග පොරබැදූ සෙයක් දිස්වුණා. විශේෂත්වය වන්නේ නෞකාවෙහි වූ සුනඛයෙකු ද භයානක මුහුණක් මවාගනිමින් මියගොස් තිබීම යි. නැවේ කපිතාන්වරයාගේ නිසල සිරුර ද හමු වූ අතර, පණිවුඩය එවන්නට ඇතැ යි විශ්වාස කළ හැකි ගුවන්විදුලි පණිවුඩ හසුරවන්නා ද එම යන්ත්‍රය අසලම මියගොස් සිටියා. ඔහුගේ මුහුණෙහි ද වූයේ නැවෙහි අනෙක් අයවළුන්ගේ මුහුණුවල ඇඳී තිබූ භයානක ලීලාවම යි.

ඔරෑන්ග් මෙඩාන්ට සිදුවූයේ කුමක් ද?

ඔරෑන්ග් මෙඩාන් නෞකාව සොයාගන්නා විට ඒ හා සබැඳි අසාමාන්‍ය තත්ත්වයන් කිහිපයක්ම වාර්තා වී තිබුණා. ඒ වන විට අවට පරිසරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100ක් පමණ වී තිබූ නමුත් එහි ළඟා වූ ඇමෙරිකානු නැවියන්ට හදිසියේම නෞකාව තුළින් ගලා ආ ශීතලක් දැනී තිබුණා. ඊට අමතරව මියගොස් සිටි කිසිවෙකුගේ ශරීරවල තුවාල තිබී නැහැ. එමෙන්ම සාමාන්‍යයෙන් මෘතශරීරයක් නරක් වන වේගයට වඩා කඩිනමින් මෙහි වූ සිරුරු නරක් වීමට පත්ව තිබුණා. නෞකාවට කිසිදු හානියක් වී නොතිබූ අතර යාත්‍රා කළ හැකි මට්ටමක තිබුණා.

මලක්කා සමුද්‍රසන්ධිය අවට මුහුදු කලාපය- Shutterstock/File

නෞකාව යාත්‍රා කළ හැකි මට්ටමේ තිබෙන බවට තීරණය කළ සිල්වර් ස්ටාර් නැවෙහි කපිතාන්වරයා එය සිය නැවට ගැටගසා රැගෙන යන්නට තීරණය කරනවා. කෙසේ නමුත් එසේ සිදුකර මඳ වේලාවකින්ම එහි කැබිනයක් තුළින් දුමක් නිකුත් වෙනු ඔහු නිරීක්ෂණය කරනවා. මේ හේතුවෙන් වහාම නෞකා දෙක එකට ගැටගසා තිබූ රැහැන කපා හැරෙන අතර ඔරෑන්ග් මෙඩාන් නෞකාව එක්වරම මහ හඬින් පුපුරා ගොස් ගිලී යනවා.

ඔරෑන්ග් මෙඩාන් නෞකාව හුදු ප්‍රබන්ධයක් ද?

ඔරෑන්ග් මෙඩාන් නෞකාවේ කතාව සැබෑ ලෝකයේ සිදු නොවූ හුදු ප්‍රබන්ධයක් ලෙස සමහරු සලකනවා. ඒ එහි ලියකියවිලි පිළිබඳව වූ අපැහැදිලි තැන් නිසා යි.

මේ නැවෙහි ලියාපදිංචි කළ වර්ෂයක් හෝ ස්ථානයක් සොයාගැනීමට කිසිවෙකුට හැකි නොවූ අතර, මෙයට වූ අනතුර පිළිබඳව ද නිල වශයෙන් වාර්තා වී තිබුණේ නැහැ. මේ කාලයේ දී සුමාත්‍රාව ඕලන්දයට යටත්ව තිබූ අතර එහි නාමය අනුව එය සුමාත්‍රාවේ දී ලියාපදිංචි කළ එකක් ලෙස සැලකුණා. සිල්වර් ස්ටාර් නැව අයත් සමාගම මේ සිද්ධිය පිළිබඳව ප්‍රසිද්ධ වීමට ඉඩ නොතැබීමත් මේ සිද්ධියේ සත්‍යතාව පිළිබඳ සැක උපදවන බව සමහරෙක් පැවසුවා.

1952 වසරේ දී ඇමෙරිකානු වෙරළාරක්ෂක භටයෙකු ප්‍රථම වරට ඔරෑන්ග් මෙඩාන් නෞකාව පිළිබඳව සටහන් කළ නිල වාර්තාවක් පිළිබඳව ප්‍රසිද්ධියට පත් කළා. මේ වාර්තා සිල්වර් ස්ටාර් නෞකාවේ කාර්යයමණ්ඩලය විසින් සැකසූ ඒවා වුණා. කෙසේ නමුත් මෙමඟින් මෙම සිද්ධිය අසත්‍යයක්යැ යි පවසන්නන්ගේ සැක සම්පූර්ණයෙන්ම පහවූයේ නැහැ.

ඔරෑන්ග් මෙඩාන් නෞකාව රසායනික අවි ප්‍රවාහනය කළා ද?

ඔරෑන්ග් මෙඩාන් නෞකාවට අත් වූ ඉරණම පිළිබඳව පර්යේෂණ කළ කිහිපදෙනෙක්ම වුණා. මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධානතම කාරණා දෙකක් වන්නේ නෞකාව හදිසියේ පුපුරා යාම හා ඒ සම්බන්ධව අනුගමනය කර තිබූ රහස්‍යභාවය යි. මේ පිළිබඳව අදහස් දක්වන ජර්මානු මහාචාර්යයවරයෙක් පවසා සිටියේ මේ නෞකාව පොටෑසියම් සයනයිඩ් හා නයිට්‍රොග්ලිසරින් වැනි රසායන ද්‍රව්‍යයන් ප්‍රවාහනය කරමින් සිටින්නට ඇති බව යි. රසායනික අවි නිපදවීමට මේවා යොදාගන්නා අතර විෂ වාෂ්ප නිකුත් කිරීමේහි හා ප්‍රබල ලෙස පුපුරා යාමෙහි ශක්‍යතාවක් මේවාට තිබෙනවා.

ශිරෝ ඉෂි- dirkdeklein.net

ඔරෑන්ග් මෙඩාන් නෞකාව හා සබැඳි තවත් මතයක් වන්නේ එය ජෛව රසායනික අවි ප්‍රවාහනය කරමින් සිටි බව යි. මේවා ජපාන අණුක ජීව විද්‍යාඥයෙකු වන ශිරෝ ඉෂි හා කණ්ඩායමක් වෙත ප්‍රවාහනය කරමින් සිටි බවට ද පැවසුණා. මේ විද්‍යාඥයා දෙවන ලෝක යුධ සමයෙහි ජෛව රසායන අවි පර්යේෂණ පිළිබඳව චෝදනා ලැබුවෙක් වෙනවා. කෙසේ නමුත් මේ උපකල්පනයන් ද්විත්වයම තවමත් තහවුරු කරගෙන නැහැ.

ඔරෑන්ග් මෙඩාන් නෞකාවට අත් වූ ඉරණම සත්‍යයක්යැ යි පිළිගන්නා අයවළුන් මේ සඳහා තවත් හේතු ඉදිරිපත් කරනවා. පිටසක්වල ආක්‍රමණයක්, සමුදුරු පතුලෙන් නික්මුණු මීතේන් බුබුළක්, හෝ බොයිලේරුවේ සාමාන්‍ය ගින්නක් නිසා එය මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ බැව් ඔවුන් ගේ මතය යි. මේ සියල්ල අතරින් අවසානයේ තවත් ‘අද්භූත’ නෞකා පුරාවෘතයක් ඉතිහාසයට එක් වී තිබෙනවා.

Related Articles