Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාට්සි ජර්මනිය දුම්වැටියට එරෙහි වූ අයුරු

දුම්පානයට එරෙහිව මුල්වරට රටක් ලෙස විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ හිට්ලර් ප්‍රමුඛ නාට්සි ජර්මනිය යි. ජර්මන් ආර්ය ජාතිය ගොඩනැංවීමේ දී ඊට එරෙහිව ඇති විශාල බාධකයක් ලෙස දුම්පානය නම් කිරීම ඔවුන් විසින් සිදුකරනවා.

දුම්පානය පෙනහළු පිළිකා ඇති කිරීමට සමත් වෙන බව ජර්මානු වෛද්‍යවරුන් පිරිසක් විසින් සොයා ගන්නවා. පසු ව එරට බලයට පැමිණි හිට්ලර් ප්‍රමුඛ නාට්සි ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ දුම්පානයට විරුද්ධ ව ව්‍යාපාරයක් මුළු ජර්මනිය පුරා රැගෙන යනවා.

මේ අනුව 1933 සිට නාට්සි ජර්මනිය බිඳවැටීම දක්වා අතර කාලයේ දී දුම්පානයට එරෙහිව දැඩි විරෝධී පිළිවෙතක් අනුගමනය කිරීමට නාට්සි ජර්මානු රජයට හැකියාව ලැබෙනවා.

දුම්පානය පිළිබඳ ව හිට්ලර්ගේ මතය

හිට්ලර් හා හර්මන් ගෝරින් (The Times of Israel)

හිට්ලර්ගේ දිවියේ මුල් කාලයේ දී ඔහු දැඩි ලෙස දුම්පානයට හුරු වූ පුද්ගලයෙකු ලෙස නම් කරන්න පුළුවන්. ඔහු දිනෙකට දුම්වැටි 25-40 අතර ප්‍රමාණයක් පානය කිරීම පුරුද්දක් කරගෙන තිබුණා.

නමුත් පසු කාලයේ දී එය ඵල රහිත ක්‍රියාවක් බව අවබෝධ කරගන්නා ඔහු පෞද්ගලික ව දුම්පානය නවත්වනවා. තමන්ගේ ළඟින් සිටින නාට්සි හමුදා ප්‍රධානීන් ද දුම්පානය කිරීමෙන් ඉවත් කරගැනීමට ඔහු උත්සාහ කරනවා. මාටින් බෝමන්, හර්මන් ගෝරින් වැනි නාට්සි ප්‍රධානීන් දුම් පානයෙන් ගලවා ගැනීමට හිට්ලර් විසින් උත්සාහ කර තිබෙනවා.

ලෝකයේ ඕනෑ ම හමුදාවක භටයන්ට දුම්වැටි යනු ආහාර කොටසේ ම එක් අමතර කොටසක් වූ නමුත් නාට්සි හමුදාවට දුම්වැටි සැපයීම අඩු කිරීමට හිට්ලර් විසින් නියෝග කරනවා.

1942 දී ඔහු හමුදාවට “සිගරට් නොමැති ව යුද්ධ කළ නොහැකි ය” යන ප්‍රකාශය වැරදි බවත් නාට්සි ජර්මානු හමුදාවට සිගරට් නොමැති ව යුද්ධ කළ හැකි බවත් ප්‍රකාශ කරනවා. තව ද සිගරට් බීම අත්හරින ඔහුගේ සමීපතම හමුදා නිලධාරීන්ට රන් අත් ඔරලෝසුවක් තෑගි දීමට තමන් සුදානම් බවත් ඔහු ප්‍රකාශ කරනවා.

ආර්ය ජාතියක් ගොඩනැගීමට දුම්වැටිය බාධාවක් වන බව සොයාගැනීම

දුම්පානයට එරෙහි නාට්සි ජර්මන් පෝස්ටරයක් (I’m A Useless Info Junkie)

1939 දී ජර්මනියේ විද්‍යාඥයෙක් වන ෆ්‍රාන්ස් ම්‍යුලර් විසින් මුල්වරට දුම්බීම හා පෙනහළු පිළිකා අතර සම්බන්ධතාවයක් ඇති බවට අනාවරණය කරනවා. ඉන්පසු ව ජර්මානු රජය විසින් මේ පිළිබඳ කෙතරම් උනන්දුවකින් කටයුතු කළේ ද යත් හිට්ලර් විසින් ඒ සඳහා රාජ්‍ය මුදල් වැය කරන ලෙස තම නිලධාරීන්ට උපදෙස් දෙනවා.

දුම්වැටි තුළින් මිනිසාට එල්ල වෙන තර්ජන පිළිබඳ ව සොයාබැලීමට ජෙනා විශ්වවිද්‍යාලය තුළ වෙන ම පර්යේෂණාගාරයක් ගොඩනගනවා. පෙනහළු පිළිකාවලට අමතර ව ඇති වන ආමාශයේ ආබාධ, හදවතේ කිරීට ක්‍රියාවිරහිත වීම්වලට පවා දුම්බීම බලපාන බව ඔවුන් සොයාගන්නවා. ඇමෙරිකානු හා යුරෝපීය රටවල් මෙවැනි දේ සොයාගන්නේ ඉන්පසු ව යි.

විරෝධතාවය ජනතාව කරා රැගෙන යාම

ජර්මානු හමුදා මෙන්ම සෑම හමුදාවකම දුම්බීම, ඉතා ජනප්‍රිය පුරුද්දක් විය (Military Trader)

පෝස්ටර් හා පුවත්පත් ලිපි මඟින් දුම්පානය කිරීමේ විපාක ජනතාව වෙත ගෙන යාමට නාට්සි රජය විසින් තීරණය කරනවා. Healthy People, People’s Health හා Healthy Life වැනි සඟරා තුළින් දුම්බීම මඟින් ඇති වන අහිතකර ප්‍රතිඵල පිළිබඳ ව දිගින් දිගටම මහජනතාව දැනුවත් කරනවා.

නාට්සි ජර්මනිය විසින් මෙම කාර්යය සඳහා “හිට්ලර් යූත්” නම් ජර්මානු තරුණ සංවිධානය හා එම සංවිධානය යටතේ සිටි  “ජර්මානු තරුණියන්ගේ ලීගය” භාවිතා කරනු ලබනවා. මේ ඔස්සේ තරුණ තරුණියන් දුම්පානයෙන් ඈත් කරවීමට ඔවුන් සමත් වෙනවා.

නාට්සි ජර්මනියේ දුම්වැටි විරෝධී පිළිවෙත්

එවකට මිත්‍ර රටවල බොහෝ නායකයන් ප්‍රමාණයක් දුම්පානයට ඇබ්බැහි වී සිටියා (Ads of the World)

මේ යටතේ පාසල්වල කාර්යාල වැඩපලවල මෙන්ම සිනමා ශාලාවල දුම්පානය තහනම් කිරීමට නාට්සි රජය විසින් ක්‍රියා කරනවා. පොලිස් භටයන්ට තම නිල ඇඳුම පිටින් දුම්බීම සම්පූර්ණයෙන් ම තහනම් කරන අතර කාන්තාවන්ට දුම්වැටි මිල දී ගැනීම හා දුම්වැටි සම්බන්ධ ප්‍රචාරණය ද තහනම් කරනවා.

කාන්තාවන්ට දුම්වැටි තහනම් කිරීමට මූලික හේතුව වූයේ ඔවුන්ගෙන් බිහිවෙන දරුවන් දුර්වලයන් වන බවත් දුම්වැටි පානය හේතුවෙන් කාන්තාවන්ගේ බාහිර ස්වරූපය විකෘති වන බව හා මවු කිරි දරුවන්ට දීමට තරම් සුදුසු නිවන බවත් හිට්ලර් ඇතුළු දුම්වැටි විරෝධතා ව්‍යාපාරය තදින් විශ්වාස කරනවා. තව ද දුම්පානයට යොමු වූ කතුන් තම වර්ගයා බෝ කිරීමට තරම් සුදුසු නොවන බව ජර්මානු වෛද්‍යවරුන් විසින් පවසනවා.

සෞඛ්‍ය අංශයට පමණක් සීමා වී තිබූ දුම්පානය කිරීමේ තහනම ක්‍රම ක්‍රමයෙන් අනෙක් අංශ කරා ද ව්‍යාප්ත වෙනවා. ඒ අනුව 1939 වන විට නාට්සි රජයේ සියලුම ආයතනවල දුම්බීම තහනම් කිරීමට රජය විසින් සමත් වෙනවා.

අවුරුදු 18ට අඩු සියලුම දෙනාට දුම්බීම තහනම් වන අතර, ගර්භනී කාන්තාවන්ට මෙන්ම වයස අවුරුදු 25ට අඩු හා වයස අවුරුදු 55න් ඉහළ කන්තාවන්ට ද දුම්පානය සම්පුර්ණයෙන් ම තහනම් වෙනවා.

වර්මාච් ඇතුළු නාට්සි හමුදා රෙජිමේන්තුවලට ලබා දෙන මාසික සිගරට් තොග ප්‍රමාණය ඉතා අඩු ප්‍රමාණයක් දක්වා ගෙන ඒමට ද නාට්සි රජය කටයතු කරනවා. දුම්වැටි සඳහා අධික බද්ධක් පැනවීමට රජය විසින් තීරණය කරන අතර, මේ හේතුවෙන් දුම්කොළ සමාගම් කිහිපයක් බංකොලොත් වීම සිදුවෙනවා.

දුම්පානය තුළින් සෞඛ්‍ය ගැටලු නිර්මාණය නොවන බවට එකල දුම්කොළ සමාගම් විසින් රැගෙන ගිය සියලුම ප්‍රචාරණ තහනම් කරන්නේ 1941 දී යි. ඒ අනුව දුම්කොළ නිෂ්පාදන සම්බන්ධයෙන් කිසිදු දැන්වීමක්, කිසිදු මාධ්‍යයකින් ප්‍රචාරණය කිරීම තහනම් වෙනවා.

ඒ අනුව මෑත ඉතිහාසයේ දුම්කොළ නිෂ්පාදනයන්ට එරෙහිව සාර්ථක විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ රටක් ලෙස නාට්සි ජර්මනිය හඳුන්වා දෙන්න පුළුවන්.

දෙවන ලෝක යුද්ධයේ දී ඇමෙරිකාව හා රුසියාව ප්‍රමුඛ මිත්‍ර හමුදාව ඉදිරියේ නාට්සි හමුදා පරාජයට පත් වීමත් සමග නාට්සි ජර්මනියේ අවසානය සනිටුවහන් වෙනවා. ඉන්පසු ව විශාල වශයෙන් සිගරට් හා ඇමෙරිකානු දුම්කොළ නිෂ්පාදන ජර්මනිය වෙත ගලා ඒම ආරම්භ වෙනවා.

කවරයේ පින්තූරය: medium.com

Related Articles