සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි

කොළඹ නගරයේ කාර්යබහුලම තැන පිටකොටුව බව අමුතුවෙන් කිවයුතු නැහැ. ගහක් කොළක් නැති කොන්ක්‍රීට් වනාන්තරයක් වන පිටකොටුවේ තිබුණු ගස් අතරින් අද ඉතිරිව පවතින බෝධි වෘක්ෂය ඝෝෂාකාරී බව මඳකට දුරුකරමින් ගිනිගහන අව්කාස්ටකයට සිසිලක් ගෙන දෙනවා. උදේ පාන්දරට පිරිත් හඬ ඇසෙන්නේ ද, බණ දේශනා හඬින් අවට පිංබර පරිසරයක් මවන්නේ ද පිටකොටුව බෝධිය පිහිටි බෝධිරාජ විහාරය යි. විශාල පිරිසක් මරුමුවට පත්කරමින් 1988 පිටකොටුවේ කොටි බෝම්බය පුපුරා ගියේ ද මේ ඉදිරිපිට දී යි. ඊට පෙර 1987 දී ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව විශාල විරෝධතාවක් පැවැත්වූයේ ද බෝධිය ඉදිරිපිට දීම තමයි. ඉස්සර විරෝධතා පවත්වන තැනක් විදිහටත් මෙතැන ප්‍රසිද්ධව තිබුණා.

ඉතිහාසේ සොයා බලමු

පිටකොටුව 1960 දශකයේ-  pinrest.com

පිටකොටුවේ ප්‍රධාන මඟ සලකුණ වශයෙන් ප්‍රකටව පවතින මෙම බෝධියේ ඉතිහාසය වසර 200කට ආසන්න බව පැවසෙනවා. සමහරු මෙම බෝධිය හාස්කම් සහිත ස්ථානයක් ලෙසත් සලකනවා. දශක ගණනාවක සිට බෝධිය රැකබලාගන්නේ පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතිය මඟින්. තවත් සමාජ සද්කාර්යයන් රාශියක් ද එම සමිතිය විසින් ඉටු කෙරෙන බව යි අපට දැනගැනීමට ලැබුණේ.

සියවස් දෙකකට පෙර අද බෝධිය තිබෙන ස්ථානය පිහිටි මාර්ගය අද්දර ඇළ පාරක් තිබුණා. එය බේරේ වැව හා මුහුද යා කෙරෙන ඇළ මාර්ගයක්. ඒ දවස්වල මේ ඇළේ කිඹුලන් ද හිටියා. ඉංග්‍රීසින් ලංකාව යටත් කරගත් 1815 කාලයේ දී මේ ඇළ වසා දැමු බව පැවසෙනවා. ඒ කාලයේ බේරේ වැව ආසන්නයේ තිබූ බෝ පැලයක් ගෙනෙවිත් මෙතැන රෝපණය කර තිබෙනවා. මේ බෝධිය ලොකු වෙනකොට බොහෝ දෙනා මේ ගහේ හරක් බඳින්න පටන්ගත්තා. ඒ අතර මෙයට වන්දනාමාන කිරීම ද ඇරඹුණා.

කපන්න නොදී බේරාගත් බෝධිය

බෝධීරාජ විහාරය මෑතක දී- Kusumsiri Wijayawardhana

1848 දී සුදු පාලකයන් මේ බෝ ගස කැපීමට තීරණය කර තිබෙනවා. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් එකල වැඩ වාසය කළේ ඩයස් පෙදෙසේ දැනට බෝධිරුක්ඛාරාම විහාරය පිහිටි ස්ථානයේ කුඩා ආවාසයක යි. එකල උන්වහන්සේ විසිහය හැවිරිදි තරුණ වයසේ පසුවුණා. කරත්තකරුවන් ඇති විය හැකි විනාශය ගැන ගුණානන්ද හිමියන්ට දැනුම් දුන්නා. උන්වහන්සේ වහාම එතැනට වැඩම කර, තමන්වහන්සේගේ ජීවිතය ගියත් බෝධීන් වහන්සේ කැපීමට ඉඩ නොදෙන බව පැවසුවා. උන්වහන්සේගේ විරෝධයට තවත් බොහෝ දෙනෙකු එකතුවුණා. මේ නිසා බෝධීය  කැපීම නතර කිරීමට සුද්දන්ට සිදු වුණා.

මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ – ft.lk

පසුව පිටකොටුව ප්‍රදේශයේ චණ්ඩි, සිංහල ව්‍යාපාරිකයන්, නාට්ටාමිලා එකතු වෙලා ගල් බැම්මක් හදලා බෝ ගස ආරක්ෂා කර තිබෙනවා. ක්‍රමයෙන් පිටකොටුව බෝධිය මල්, පහන් පුදන පූජනීය ස්ථානයක් බවට පත්වුණා. පිටකොටුවේ සිංහල බෞද්ධ විශාල පිරිසක් ගැවසුණ ද පන්සලක් නැතිවීමේ අඩුව ඉන් සැපිරී තිබෙනවා. 1900 මුල් කාලයේ බෝධියේ සෙවණ ඉදිරිපිට යාපනයෙන් විත් සුරැට්ටු ව්‍යාපාරයක් කරගෙන ගිය තරුණයකුගේ කඩයක් ද තිබුණා. ඒ කඩේ තමයි පස්සේ ලීලා ස්ටෝර්ස් බවට පත්වුණේ. ටික කාලයක් ගතවන විට සුරුට්ටු විකුණන අතරම ඔහු මුද්‍රණාලයක් ද පටන් ගත්තා. කොළඹ ප්‍රවීණ කවීන්ගේ පොත් මුද්‍රණය කිරීම ද පටන් ගත්තා. පී. බී. අල්විස් පෙරේරා, සාගර පළන්සූරිය වැනි ඒ කාලෙ ජනප්‍රිය කවීන් ඒ අතර සිටියා.

තම්බයියා සින්නදුරේ මුදලාලි

තබ්බයියා ෂන්මුගම් -silumina.lk

පිටකොටුව ප්‍රදේශයේ බෞද්ධ ව්‍යාපාරික පිරිසකගේ දායකත්වයෙන් අදටත්  ක්‍රියාත්මක වන බෝධිරාජ විහාරයට පදනම වැටුණේ දෙමළ ව්‍යාපාරික ලීලා ස්ටෝර්ස් කඩේ මුදලාලිගෙන්. ඔහු ෂන්මුගම් තම්බයියා සින්නදුරේ.

1903 ජූලි 23දා යාපනයේ කන්කසන්තුරේ උපන් ෂන්මුගම් තම්බයියා කොළඹ පිටකොටුවට පැමිණ වෙළෙඳාම කරන අතරේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි, සාගර පලන්සූරිය, වී. ඩී. ද ලැනරෝල්, මීමන ප්‍රේමතිලක, පියදාස පලන්සූරිය, ඇල්.පී. දේශබන්දු, චන්ද්‍රරත්න මානවසිංහ සහ කුමාරතුංග මුනිදාස වැනි සිංහල සාහිත්‍යධරයන් සමග එකට එක්ව, සිංහලයෙකු මෙන් ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයට දායක වූ බව සදහන් වෙනවා. මේ නිසා ඔහු සිංහලයන් අතර ජනප්‍රිය තැනැත්තෙකු වුණා.

විහාරයේ ඉහළ මහලේ සිට පිටකොටුව- Kusumsiri Wijayawardhana

ලීලා මුද්‍රණාලය ආරම්භ කර 1950 වර්ෂයේ සිට ලීලා පංචාංග චිත්‍ර දින දර්ශනය මුද්‍රණය ආරම්භ කළා. එය ලංකාව පුරා අලෙවි වන ජනප්‍රිය කැලැන්ඩරයක් බවට පත් වුණා. ඔහු ද්‍රවිඩයන් අතර සිංහලෙන් වැඩ කළ අතර, දරුවන් ආනන්ද විද්‍යාලයට ඇතුළත් කර සිංහල අධ්‍යාපනය ලබාදුන්නා. උපතින් හින්දු බැතිමතෙකු වුවත් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කරන්නට විශාල පරිශ්‍රමයක් දැරූ බව පේනවා. වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පිරිවෙන, මහව පළමුගෙදර ශ්‍රී මංගලාරාමය, අනුරාධපුර කුරුන්දන්කුලම සද්ධර්ම විවේකාශ්‍රමය, සහ ඇහැලියගොඩ සාම මහා විහාරය ආදී විහාරස්ථාන රැසක දියුණුව උදෙසා සින්නදුරේ පවුලේ දායකත්වය ලබා දී තිබෙනවා. ඔහු  මියගියේ 1980 මාර්තු 5 දා යි.

නැවතත් බෝධියට තර්ජන

බෝධීය වටා තැනූ විහාරය- Kusumsiri Wijayawardhana 

නගරය වර්ධනය වන විට පිටකොටුවේ සන්ධිස්ථානයක තිබෙන බෝධි වෘක්ෂය නගර සංවර්ධනයට බාධාවක් ලෙස සුදු නිලධාරීන් දුටුවා. වර්ෂ 1938 දී මේ බෝධි වෘක්ෂය කපා ඉවත් කිරීමට සුදු පාලකයන් තීරණය කළා. ඒ තීරණයට එරෙහිව ඉදිරියට පැමිණියේ සුරැට්ටු ව්‍යාපාරික ෂන්මුගම් තම්බයියා මුල්කර ගත් පිරිසක්. අහල පහළ ව්‍යාපාරිකයන්, කරත්තකරුවන් සහ චණ්ඩි විලියම් නමැති පුද්ගලයෙකු ද බෝධිය කැපීමේ තීරණයට එරෙහිව පෙළ ගැසුණා.

ඉහළ මහලේ තනා ඇති ශ්‍රාවක ප්‍රතිමා- Kusumsiri Wijayawardhana

සුද්දන්ට තම තීරණය අත්හිටුවීමට සිදුවුණා. යළිත් බෝධිය ආරක්ෂා වුණා. ෂන්මුගම් මුදලාලි පසුව බෝධිය අවට කරත්තකරුවන්ගේ හරක් බැඳීම වළක්වා ආරක්ෂක වැටක් ඉදිකරවා තිබෙනවා. බෝගස ඉදිරිපිට කුඩා කාමරයක් තනා එහි අඩි දෙකක් උස කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවක් ද තැන්පත් කර වන්දනා කිරීමට පහසුකම් ලබා දී තිබෙනවා. කුඩා පිංකැටයක් ද එහි තබා තිබූ බව සඳහන්. තම්බයියා වෙනුවට පසුව පිටකොටුව බෝධියෙහි කටයුතු කෙරුණේ ඒ අසල පිහිටි වීර හෝටලයේ මුදලාලිගේ ප්‍රධානත්වයෙන් පැවති වීර සමාජයේ මූලිකත්වයෙන් බව පැවසෙනවා.  මෙම ස්ථානයට විදුලිය ද ලබා ගත්තා. 

පිංකැටයේ මුදල් එතැන සිටි පුද්ගලයන් තම තමන්ට අවශ්‍ය පරිදි පරිහරණය කළ නිසා එහි නඩත්තුව නිසි ලෙස සිදුවූයේ නැති බව පැවසෙනවා. මේ නිසා හය මාසයක විදුලි බිල වූ රු. 215ක් ගෙවීමට නොහැකි වීමෙන් විදුලි බල මණ්ඩලය විසින් විදුලිය කපා තිබෙනවා. ලීලා මුදලාලි ඉදිරිපත් වී විදුලි බිල ගෙවා සමිතියක් ගොඩනගා බෝධිය පිහිටි ස්ථානය විධිමත්ව පාලනය කිරීමට තීරණය කර තිබෙනවා.

එක්සත් බෝධිරාජ සමිතිය

බෝධිය ඉදිරිපිට උද්ඝෝෂණයක්-groundviews.org 

1958දී තමයි, එක්සත් බෝධිරාජ සමිතිය පිහිටුවා ගත්තේ. එහි මුල්ම සභාපති වන්නේ වරායේ සේවකයකු වූ එන්. යූ. ගුණසේකර යි. ලේකම් වුණේ විලියම් සිල්වා. භාණ්ඩාගාරික බවට පත්වූයේ ලීලා මුදලාලි. පසුව ලීලා මුදලාලි වෙනුවට එන්. ඩබ්. රත්නපාල  භාණ්ඩාගාරික ලෙසත් යූ. ඩබ්. සුමතිපාල සභාපති ලෙසත් පත්ව තිබෙනවා.

ක්‍රමයෙන් එක්සත් බෝධිරාජ සමිතිය තම කාර්යභාරය පුළුල් කළා. කොළඹ ප්‍රධාන තොරණක් වන පිටකොටුව තොරණ ද එම සමිතිය මඟින් අඛණ්ඩව ඉදිකිරීම ආරම්භ කළා. මේ අතර සභාපති වශයෙන් ඊ. ඩී. එන්. පෙරේරා, නවගිරි සමූහ ව්‍යාපාරයේ අධිපති පී. නවරත්න, පී. ඩබ්. සුනිල් ශාන්ත යන මහත්වරුන් ද වරින්වර පත්ව තිබෙනවා.

හාමුදුරුවරු නැති පන්සල

ඉහළ මහලේ බුදු පිළිමය- Kusumsiri Wijayawardhana 

බෝධිරාජ විහාරය උදේ පාන්දර 4.00ට විවෘත කරනවා. රාත්‍රී 10.00ට වසනවා. මෙම විහාරයේ හාමුදුරුවරුන් නෑ. ව්‍යාපාරික පිරිසක් තමයි සියලු කටයුතු කරන්නේ. දුගී මඟීන්ට, අසරණයන්ට  පිහිටවීමට ද ඔවුන් කටයුතු කරනවා. පිට පළාත්වලින් කොළඹට වැඩම කරවන භික්ෂූන් වහන්සේලාට විවේක ගැනීමට, දානය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් විහාරය තුළ  තිබෙනවා.

මුලින්ම බෝධිය ඉදිරිපට පිහිටවූ අඩි දෙකක් උස කිරිගරුඬ බුදු පිළිමය වෙනුවට පසුව අඩි  6ක් දිග සැතපෙන ප්‍රතිමාවක් විහාරයේ නිර්මාණය කර තිබෙනවා. එවකට පැවති කුඩා බුදුමැඳුර වඩාත් අලංකාර කර බිත්ති චිත්‍රවලින් සරසා නව බුද්ධ ප්‍රතිමාවක් ද ඉදිකර, 1998 ජනවාරි 31 දින සමිතියේ සභාපති වූ නවගිරි ව්‍යාපාරයේ අධිපති පී. නවරත්න අතින් විවෘත කෙරුණා. ඊටපසු මෑතක දී විහාර මන්දිරය තුන්මහල් කර තැනවූ අතර එය මත විශාල හිඳි බුද්ධ ප්‍රතිමාවක් ද ඉදි කර තිබෙනවා. දාගැබක් ද, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා ද විහාර මන්දිරයේ ඉහළ ඉදිකර තිබෙනවා. පිටකොටුවට පැමිණෙන කාටත් මේ විහාරයට ගොස් ඉහළ මහලටත් පිවිස එය වන්දනාමාන කර ගැනීමට පුළුවන්.

Related Articles