උඩු ගුවනේ කරක් ගැසූ ලයිකා

ක්‍රිස්තු වර්ෂ 1957 ක් වූ නොවැම්බර් මස 3 වැනි දින ලෝක ඉතිහාසයේ අමරණීය දිනයක්. ඒ සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව (වත්මන් රුසියාව), ලෝකය ම විශ්මයෙන් මුසපත් කරමින් ‘ස්පුට්නික් 2’ චන්ද්‍රිකාව සාර්ථක ව දියත් කිරීම හේතුවෙන්. නමුත් මේ සිදුවීම ඉතිහාසයට එක් වුණේ අභ්‍යාවකාශ ගත වූ ප්‍රථම චන්ද්‍රිකාව ලෙස නම් නෙමෙයි. චන්ද්‍රිකාව තුළ ගමන් ගත් ලයිකා නම් සුනඛ ධේනුව, පෘථිවි කක්ෂය වටා ගමන් කළ ප්‍රථම සත්ත්වයා බවට පත්වීමත් සමගයි.

එයට දශකයකට පමණ පෙර සිට ම ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය තරඟයට මෙන් විවිධ සතුන් ව අභ්‍යාවකාශ ගත කිරීමට උත්සාහ කළ ද මුල් ම වරට පණ ඇති සත්ත්වයෙක් රැගත් චන්ද්‍රිකාවක් ගුවන් ගත කරමින් ඉතිහාසයට එක් වීමේ භාග්‍ය හිමි වූයේ සෝවියට් දේශයට යි.

(time.com)

ලයිකා රැගත් ‘ස්පුට්නික් 2’ චන්ද්‍රිකාව දියත් කළ අවධියේ දී අභ්‍යවකාශ ගමනකින් සජීවී සත්ත්වයෙකුට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව විද්‍යාඥයින්ට දැන සිටියේ කාරණා අතළොස්සක් පමණ යි. එසේ ම ඒ කාලය වන විට කක්ෂගත කරන ලද යානයක් නැවතත් පෘථිවිය වෙත ගෙන්වා ගැනීමට අවැසි තාක්ෂණය වර්ධනය වී තිබුණේ ද නැහැ. මේ හේතුවෙන් එවකට විද්‍යාඥයින් අතර පැවති ජනප්‍රිය ම මතය වූයේ මිනිසුන් ව අභ්‍යවකාශ ගත කිරීම නොහැකි බව පමණක් නො ව අභ්‍යවකාශයේ පවතින පරිසර තත්ත්වයන් හමුවේ ඔවුන්ට ජීවිත් වීමට ද නොහැකි බව යි.

ඒ නිසා එක් වර ම මිනිසුන් රැගත් යානයක් අභ්‍යවකාශ ගත කරනවා වෙනුවට සත්ත්වයන් ගුවන් ගත කිරීම අත්‍යවශ්‍ය බව ඉංජිනේරුවන් ඒකමතික ව තීරණය කර තිබුණා. එයින් ඔවුන් බලාපොරොත්තු වූයේ පණ ඇති සත්ත්වයෙකුට කක්ෂගත වීමකින් පසු ව ද නොමැරී ජීවත් විය හැකි බව ඔප්පු කිරීම සහ අභ්‍යාවකාශයේ පවතින පරිසර තත්ත්වයන්ට සජීවි සත්ත්වයින් ප්‍රතිචාර දක්වන අයුරු අධ්‍යයනය කිරීම යි.

‘ස්පුට්නික් 2’ චන්ද්‍රිකාවේ ආකෘතියක්. (commons.wikimedia.org)

ඒ අනුව ‘ස්පුට්නික් 2’ චන්ද්‍රිකාව සමග අභ්‍යාවකාශ ගත කිරීම සඳහා මොස්කව් හි වීදියක අයාලේ යමින් සිටි සයිබීරියානු හස්කි මුහුම් සුනඛ ධේනුවක් වූ කුද්‍රැයැව්කා ව තෝරා ගත්තා. එයට හේතුව වූයේ අයාලේ යන සුනඛයෙක් දැනට ම කුසගින්න සහ අධික සීතල නිසාවෙන් ඇති වන කටුක අත්දැකීම්වලට සාර්ථක ව මුහුණ දීමට ඉගෙන ගෙන ඇති බව සෝවියට් විද්‍යාඥයින් විශ්වාස කිරීම යි. ඇල්බිනා සහ මුෂ්කා නම් වූ තවත් සුනඛයින් දෙදෙනෙකු සමග පුහුණු කිරීම් සිදු කරන අතරතුර දී කුද්‍රැයැව්කා ව ‘ලයිකා’ ලෙස යළි නම් කරන ලද අතර ඔවුන් තිදෙනාට ම කුඩා ඉඩ ප්‍රමාණයක ජීවත් වීමට මෙන් ම අභ්‍යවකාශයේ දී ඔවුන්ගේ එක ම ආහාරය බවට පත් වන පෝෂ්‍යදායී ජෙල් ආහාරයට ගැනීමට ඔවුන්ට උගන්වා තිබෙනවා.

ඇල්බිනා සහ මුෂ්කා. (bloomberg.com)

පුහුණුවීම් සඳහා තෝරා ගන්නා විට ලයිකාගේ බර ආසන්න වශයෙන් රාත්තල් එකොළහක් වූ අතර ඇගේ වයස අවුරුදු තුනක් පමණට වන්නට ඇති බව සැලකෙනවා. සෝවියට් විද්‍යාඥයින් ඇතැම් අවස්ථාවල දී ඇය ව සුච්කා (කුඩා මකුණා) සහ ලිමෝන්චික් (පුංචි දෙහි ගෙඩිය) යන නාමයන්ගෙන් ද හඳුන්වා ඇති අතර ඇයට ලයිකා යන නම ලබා දී ඇත්තේ රුසියාවේ දී බොහෝමයක් හස්කි සුනඛයින්ට ලබා දෙන්නේ ඒ නම වීම නිසා යි. ඇගේ සත්‍ය පෙළපත ගැන කිසිවෙක් නොදැන සිටි අතර ඇය අර්ධ වශයෙන් හස්කි සුනඛයෙක් හෝ වෙනත් ස්කැන්ඩිනේවියානු සුනඛ වර්ගයක් සමග මුසු වූ ටෙරියර් සුනඛයෙක් විය හැකි බව කියැවෙනවා.

අනෙකුත් සුනඛයින් සමග රණ්ඩුවට නොගිය සාමකාමී ලයිකා ව බොහෝ අවස්ථාවල දී විස්තර කර ඇත්තේ අලස සුනඛ ධේනුවක් ලෙස යි.

ලයිකා පුහුණුවීම් අතරතුර දී. (lomography.com)

‘ස්පුට්නික් 2’ මෙහෙයුමේ පුහුණු කිරීම් සුනඛයින් තිදෙනාට ම පහසු වී නැහැ. කුඩා චන්ද්‍රිකා මැදිරියට හුරු කිරීම සඳහා ඔවුන් තිදෙනා ම දින විස්සක කාලයක් ක්‍රමයෙන් කුඩා වී යන කූඩුවල රඳවා තබා ඇති අතර මෙම රඳවා ගැනීම් හේතුවෙන් ඔවුන් කලබලකාරී බවට පත් වී මුත්‍රා කිරීම සහ මළපහ කිරීම නතර කර තිබෙනවා. එමෙන් ම ඔවුන්ගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයට පිරිහීමට පටන් ගෙන ඇති අතර විරේචන ඖෂධ ලබා දීමෙන් පසු ව ද ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ වර්ධනයක් දක්නට ලැබී නැහැ.

නමුත් දිගින් දිගට ම පුහුණු වීම් සිදු කිරීම තුළින් පමණක් ඵලදායී ප්‍රතිඵල අත්පත් කර ගත හැකි බව දුටු විද්‍යාඥයින් රොකට්ටුවක් දියත් කිරීමේ දී සිදු වන ආකාරයේ පරිසරයක් නිර්මාණය වන ලෙස සුනඛයින් තිදෙනා ව කේන්ද්‍රාපසාරකයන් හි සහ අභ්‍යාවකාශ යානයක ශබ්දය ගෙන දෙන යන්ත්‍ර තුළ රඳවා තිබෙනවා. මේ මගින් ඔවුන්ගේ හද ගැස්ම මෙන් ම රුධිර පීඩනය ද ඉහළ ගොස් ඇති බව සඳහන් වෙනවා. පුහුණුවීම් අවසන් වන විට ඇල්බිනා, ඉහළ මට්ටමේ පර්යේෂණ රොකට්ටුවක දෙතුන් වරක් පියාසර කර ඇති අතර ජීවිත සහයෝගිතා සහ උපකරණමය පර්යේෂණයන් සඳහා මුෂ්කා සාර්ථක ව සහභාගී වී තිබුණා. නමුත් ‘ස්පුට්නික් 2’ චන්ද්‍රිකාව සමග කක්ෂගත කිරීම සඳහා සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ වෛද්‍ය විද්‍යාඥ ව්ලැඩ්මියර් යැස්ඩොව්ස්කි තෝරා ගත්තේ ලයිකා ව යි.

(commons.wikimedia.org)

‘ස්පුට්නික් 2’ මෙහෙයුම ඇරඹීමට දින තුනකට පෙර එනම් 1957 ඔක්තෝබර් 31 වැනි දින සහායකයින් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ ලයිකා ව චන්ද්‍රිකාව තුළ තැන්පත් කරන ලද අතර දියත් කරන ස්ථානයේ උෂ්ණත්වය ඉතාමත් සීතල වූ බැවින් ඇගේ බහාලුම උණුසුම් කිරීම සඳහා එය තාපකයකට සම්බන්ධ කර තිබෙනවා. දකුණු කසකස්ථානයේ බයිකනූර් කොස්මඩ්‍රෝම් අභ්‍යවකාශ තොටුපළෙන් පිටත් වීමට පෙර ලයිකාගේ හද ගැස්ම, හුස්ම ගැනීමේ වේගය සහ රුධිර පීඩනය මැනීම සඳහා අවැසි උපකරණ සැත්කමක් මගින් ඇගේ සිරුරේ තැන්පත් කර ඇති අතර දුර්වල මධ්‍යසාර ද්‍රාවණයක් යොදා ගනිමින් ඇගේ ලොම් මනා ව පිරිසිදු කර තිබෙනවා.

‘ස්පුට්නික් 2’ චන්ද්‍රිකාව ගුවන් ගත කිරීම. (naked-science.ru)

චන්ද්‍රිකාව ගුවන් ගත වීමෙන් පසු ව ලයිකාගේ ශ්වසන ශීඝ්‍රතාවය සාමාන්‍ය ප්‍රමාණය මෙන් සිව් ගුණයකින් ඉහළ ගිය අතර ඇගේ හද ගැස්ම ද දෙගුණයකින් ඉහළ ගොස් තිබුණා. පෘථිවි කක්ෂයට ළඟා වීමෙන් පසු ව බලාපොරොත්තු වූ පරිදි ම ‘ස්පුට්නික් 2’ චන්ද්‍රිකාවේ කේතුව ගැලවී ඉවත් වුව ද සැලසුම් කළ පරිදි  ප්‍රධාන ‘ඒ කොටස’ වෙන් වූයේ නැහැ. ඒ හේතුවෙන් චන්ද්‍රිකාවේ තාප පාලන ක්‍රමය නිවැරදි ව ක්‍රියා කිරීම නතර වූ අතර  ලයිකා සිටි මැදිරියේ උෂ්ණත්වය 40°C දක්වා ඉහළ ගොස් තිබුණා.

යම් හෙයකින් මෙහෙයුම අසාර්ථක වුවහොත් විද්‍යාඥයින් සැලසුම් කර තිබුණේ විෂ සහිත ආහාර ලබා දීමෙන් ලයිකා ව අනායාස මරණයකට භාජනය කිරීමට යි. ඒ අනුව ‘ස්පුට්නික් 2’ චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමෙන් සතියකට පමණ පසු ව සෝවියට් සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සැලසුම් කළ පරිදි ම ලයිකා ව අනායාස මරණයකට භාජනය කිරීම නිසා ඇය වේදනාවකින් තොර ව මිය ගිය බව යි.

(upsocl.com)

නමුත් 2002 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් හි පැවැත් වූ ලෝක අභ්‍යාවකාශ සමුළුවේ දී අනාවරණය වූයේ ‘ස්පුට්නික් 2’ මෙහෙයුම ආරම්භ වී පැය කිහිපයක් ඇතුළත චන්ද්‍රිකාවේ කෝෂ ක්‍රියා විරහිත වීම නිසා ඇති වූ ඔක්සිජන් හිඟතාවය සහ ඇය ගමන් ගත් මැදිරිය අධිතාප වීම නිසා ලයිකා මිය ගිය බව යි. මෙහෙයුම අසාර්ථක වුව ද සාර්ථක ව කක්ෂ වාර 2750 ක් ගමන් කිරීමෙන් අනතුරු ව 1958 අප්‍රේල් 14 වැනි දින ලයිකාගේ සිරුර රැගත් ‘ස්පුට්නික් 2’ චන්ද්‍රිකාව යළි පෘථිවියට පැමිණීමට උත්සාහ කළ ද එය අභ්‍යාවකාශයේ දී ම ලයිකාගේ නිසල සිරුර ද සමග ම කොටස්වලට වෙන් වී විනාශ වුණා.

(goldensunflowercosplay.tumblr.com)

ලයිකා ව අනුස්මරණය කිරීම සඳහා ඇය වෙනුවෙන් රුසියාවේ ‘තාරුකා නුවර’ යනුවෙන් සැලකෙන මොස්කව් ඔබ්ලාස්ට් හි ප්‍රතිමාවක් සහ ඵලකයක් ඉදි කර තිබෙනවා. 1997 වසරේ දී නිර්මාණය කරන ලද එයින් අජටාකාශගාමීන් පිරිසක් සමග අවධානයෙන් බලා සිටින ලයිකා ව නිරූපණය වෙනවා. එමෙන් ම 1964 දී ගොඩ නංවන ලද ‘අජටාකාශය ජය ගත්තවුන්ගේ ස්මාරකය’ (Monument to the Conquerors of Space) ද ලයිකා ව ඇතුළත් කර තිබෙනවා.

කවරයේ පින්තූරය : (walldevil.com)

මූලාශ්‍ර :

 

  • space.com
  • en.wikipedia.org
  • time.com
  • news.bbc.co.uk

 

Related Articles