සෝවියට් විප්ලවයට මං විවර කළ පෙබරවාරි විප්ලවය

වසර 304ක් රුසියාවේ පාලනය ගෙන ගිය රොමනොව් රජ පවුලේ පාලනය අවසන් වීමට හේතු වූ පෙබරවාරි විප්ලවය සිදු වූයේ 1917 මාර්තු 8 සිට 16 දක්වා සතියක කාළයක් තුළයි​. එවකට රුසියාවේ භාවිතා වූ ජුලියානු දින දර්ශනයට අනුව එම සමය පෙබරවාරි 23 සහ මාර්තු 3 දින අතර යෙදිණ​.

විප්ලවය ඇරඹියේ පැරණි දින දර්ශනය අනුව පෙබරවාරියේදී හෙයින් එයට පෙබරවාරි විප්ලවය යයි කියනු ලැබේ.

විප්ලවය සඳහා අවශ්‍ය කරුණු සැකසුණේ පළමු ලෝක යුද්ධය හේතුවෙනි. ඇතැම්විට එය නොවන්නට මේ සා විප්ලවයක් සිදු නොවන්නටද ඉඩ තිබුණි. එසේ වුවද ශතවර්ෂ ගණනක් තිස්සේ රුසියාවේ පැවති නරක සමාජ තත්ත්වය සහ ඒ හේතුවෙන් පාලක පන්තිය කෙරෙහි වූ කෝපය මීට දීර්ඝ කාලීනව හේතු විය​.

පසුගාමී සමාජය​

රුසියාව යුරෝපයේ අවසන් වැඩවසම් සමාජය වී යයි කිව හැක​. ප්‍රධාන රටවල් අතුරින් ප්‍රවේණි දාස ක්‍රමය අවසානයටම අහෝසි කෙරුණේ එහිය​. ඒ 1861 දී ය​. එහෙත් ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය කිසිසේත්ම උසස් වී යයි කිව නොහැක​.

එහෙයින් නාගරීකරණයද වේගවත් විය​. විශේෂයෙන්ම 19 වන ශතවර්ෂයේ අවසන් දශකයේදී ප්‍රංශය සමඟ ඇතිවූ නව සබඳතා ද සමඟ රටේ මුදල් ගැවසෙන්නට විය​. ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය වැන විශාල ව්‍යාපෘති සහ නව කර්මාන්තශාලා සමඟ කාර්මිකකරණය වේගවත් විය​. කම්කරු පන්තියක් නාගරිකව බිහි වූ අතර ඔවුනගේ ජීවන තත්ත්වය ද ඉතා අයහපත් වූයේය​.

නිකොලායි ගොගොල්ගේ “මළ මිනිස්සු” කෘතිය රුසියාවේ වැඩවසම් සමාජය ප්‍රශ්න කළ ප්‍රධානම නවකතාවක් විය​ (runivers.ru)

මෙම නරක සමාජ තත්ත්වය පිළිබඳ රට තුලින්ම මතුවූ එක්තරා විරෝධාකල්පයක් 19 වන සියවස රුසියානු සාහිත්‍යය තුළ දකින්නට ලැබේ. ලර්මන්තොෆ්ගේ “අපේ කාළයේ වීරයෙක්” සිට නිකොලායි ගොගොල්ගේ “මළ මිනිස්සු” හරහා ගෝර්කි, ටොල්ස්ටෝයි, චෙකොෆ් යනාදී සාහිත්‍යකරුවන් විසින් කරන ලද නිර්මාණවල එවක පැවති සමාජ ක්‍රමය​ ප්‍රශ්න කිරීම දකින්නට ලැබේ.

මේ අතර යුරෝපයෙන් ආගමනය වූ සමාජවාදය වැනි දේශපාලන මතවාදයන් ද සමාජය තුළ කෙමෙන් කෙමෙන් ව්‍යාප්ත වූයේ පැවති සමාජ ක්‍රමය ප්‍රශ්න කරමිනි.

1905 විප්ලවය​

රුසියාව ජපානය සමඟ 1904 දී යුද්ධයකට පැටලිණි. මෙහිදී ජපන් යුධ හමුදා හමුවේ රුසියානුවන් ලද්දේ අන්ත පරාජයකි. ඒ සමඟම රටේ රාජ්‍ය විරෝධී හැඟීම් තවදුරටත් උත්සන්න වූයේය​.

1905 ජනවාරි 22 වනදා ගැපොන් නම් පියතුමකු ප්‍රමුඛ විරෝධතාකරුවන් පිරිසක් සාන්ත පීටර්ස්බර්ග් නගරයේ සිසිර මාළිගය වෙත පෙළපාලියකින් ගියේ දෙවන නිකුලස් සාර්වරයාට (අධිරජයා) පෙත්සමක් බාර දීමටය​. අධිරාජ්‍යයීය හමුදා විසින් එම සාමකාමී පෙළපාලියට වෙඩි තැබීමත් සමඟ රාජ්‍ය විරෝධී හැඟීම් උත්සන්න වූ අතර එය 1905 විප්ලවයට හේතු විය​.

එම විප්ලවය පරාජය කරන ලද නමුත් එමගින් සීමා සහිත වූ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට රජයට බලකිරීම් සිදු කරන ලදී.

රුසියාව සහ පළමු ලෝක යුද්ධය​

පළමු ලෝක යුද්ධය රුසියානුවන්ට ප්‍රශ්න රැසක් ගෙන ආවේය​. එක් අතකින් යුද්ධයේදී විශාල ජීවිත හානි ප්‍රමාණයකට රුසියානු හමුදා මුහුණ දුන්හ​. අවි ආයුධ හිඟකම, පුහුණුව මදකම මෙන්ම හමුදා නායකත්වයේ දුර්වලතා ද හේතුවෙන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි විය​.

තවද යුධ පෙරමුණට බොහෝ ගොවීන් යවන ලද බැවින් ආහාර නිෂ්පාදනය අඩු වීමට ද එය හේතු වූයේය​.

දෙවන නිකුලස් සාර්වරයා යුධ පෙරමුණෙහි වැඩි කළක් ගත කරන අතරවාරයේ අධිරාජිණිය අද්භූත පූජකයකු වූ රස්පුටින් ගේ ග්‍රහණයට නතු විය. රස්පුටින් අධිරාජිණිය ඇතුලු ප්‍රභූ කාන්තාවන් අතර ජනප්‍රිය චරිතයක් වූ අතර ඔහුට අවශ්‍ය පරිදි රජ පවුල කටයුතු කළේය​. ඔහු පිළිබඳ වූ කට කතා එමට ය​. ඔහුගේ කල් ක්‍රියාව රජ පවුලට ද නිග්‍රහයක් වූයේය​. විප්ලවයට පෙර ඔහුව මරා දැමුණ ද ඒ වන විට ඔහුගෙන් විය යුතු හානිය වී අවසන් ය​.

රස්පුටින් (Public Domain)

රටේ පාලකයන් කෙරෙහි වූ කලකිරීම යුධ හමුදාව වෙත ද පැතිර තිබුණි. සෙබලුන් යුධ හමුදාව හැර යාම වේගවත් වී තිබුණු අතර ජර්මානුවන් අල්ලාගත් පෙදෙස් අතැර පැමිණි සරණාගතයන් ගේ ප්‍රශ්නයට ද රජයට විසඳුමක් නොවීය​.

ආහාර ප්‍රශ්නය තව තවත් උග්‍ර වීමට එය ද බලපෑවේය​. සියල්ල පුපුරා යාමට අවශ්‍ය වූයේ යම් සිද්ධියක් පමණි.

පැරණි දින දර්ශනයට අනුව පෙබරවාරි මස මැද දී පෙට්‍රොග්‍රාඩ් අගනුවර පුටිලොව් කර්මාන්තශාලාවේ කම්කරුවෝ රජයට එරෙහිව වැඩ වර්ජනයක් දියත් කළහ​. එහෙත් එය අනවශ්‍ය ලෙස කලබල වීමට හේතුවක් ලෙස රජය නොදිටීය​.

කාන්තා දිනයෙන් ඇරඹි විප්ලවය​

පෙබරවාරි 23 වනදා (අලුත් දින දර්ශනයට අනුව මාර්තු 8) ලෝක කාන්තා දිනය විය​. එදින විරෝධතා ව්‍යාපාරවලට එක්වූ පිරිස් ආහාර සලාක ක්‍රමයට එරෙහිව පෙළපාලි ගිය හ​.

මෙය කාන්තාවන්ට සංවේදී කරුණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම විරෝධතා ව්‍යාපාරවලට කම්කරුවන් ද එක් වනු දකින්නට ලැබිණ​. මාර්තු 10 (පෙබරවාරි 25) වන විට පෙට්‍රොග්‍රාඩයේ බොහෝ කම්හල් වැසී ගොස් තිබිණ​.

පෙට්‍රොග්‍රාඩ් හමුදා දිස්ත්‍රික්කයේ අණ දෙන නිලධාරියා වූ ජෙනරල් සර්ගෙයි කබලොව් වෙත නියෝගයක් එවමින් විරෝධතාකරුවන් මර්දනය කිරීමට සාර්වරයා අණ දුන්නේ ද එදින ය​.

පෙබරවාරි 26 (මාර්තු 11) වනදා සාර්වරයාගේ යෝජනාවක් අනුව රාජ්‍ය ඩූමාව හෙවත් පාර්ලිමේන්තුව අප්‍රේල් වනතෙක් කල තබන ලද බව ප්‍රකාශ කෙරුණි. මේ අතර හමුදාව අතරින් ද විරෝධතාකරුවන්ට සහය පළ වීමේ මුල් සලකුණු එදිනම පළ විය​.

මේ අතර ඩූමාවේ සභාපති වූ මිහායිල් රොඩ්සියන්කෝ පෙබරවාරි 26 (මාර්තු 11) දා සාර්වරයාට විදුලි පුවතක් යවමින් තත්ත්වය බැරෑරුම් බව දන්වා සිටියේය​. ඊළඟ දින සවස් යාමය වන විට නගරයේ හමුදා ද කැරලි ගසන තත්ත්වයට පත්ව තිබුණි.

1917 මාර්තු 1 (පැරණි ක්‍රමයට​) පෙට්‍රොග්‍රාඩයේ ඩූමාව අසළ ජනතාව (Public Domain)

පෙබරවාරි 28 වන විට පෙට්‍රොග්‍රාඩයේ රාජ්‍ය පරිපාලනය කඩා වැටී තිබුණු අතර එයට පිළිතුරක් ලෙස ඩූමාව විසින් තාවකාලික කමිටුවක් පත් කර ගත්තේය​. මේ අතර වාමාංශික කණ්ඩායම් විසින් පෙට්‍රොග්‍රාඩ් සෝවියට් සභාව ද යළි පිහිටුවන ලදී.

මේ අතර එදින උදෑසන සාර්වරයා මොගිලෙව් නගරයෙන් පිටත් වූයේ පෙට්‍රොග්‍රාඩයට පැමිණීමට ය​. නමුත් දුම්රිය ස්ථාන රාජ්‍ය විරෝධීන් අත පැවතීම හේතුවෙන් ඔහුට නගරයට පැමිණිය නොහැකි විය​. ඔහු මාර්තු 1 වනදා ප්ලෙස්කොව් (Pskov) නගරයට ළඟා විය​.

මේ අතර පෙබරවාරි 28 වනදා රොඩ්සියන්කෝ විසින් නව ආණ්ඩු ක්‍රමයක් සඳහා වන ලියවිල්ලකට රොමනොව් රජ පවුලේ සාමාජිකයන් වූ පෝල් ඇලෙක්සැන්ඩ්‍රොවිච්, කිරිල් ව්ලැඩිමිරොවිච් සහ දිමිත්‍රි කොන්ස්ටන්ටිනෝවිච් මහාදිපාදවරුන්ගේ අත්සන් ලබා ගත්තේය​. මේ අනුව ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවකට දෙවන නිකුලස් සාර්වරයා කැමැත්ත පළ කළ යුතු විය​.

කෙසේ වෙතත් පවතින තත්ත්වය එතරම් යහපත් නොවූ අතර මාර්තු 2 වනදා (මාර්තු 15) අධිරාජ්‍යයා සිය පුත්‍රයා වෙනුවෙන් සිහසුන අත හැරීමට කැමති විය​. නමුත් පසුව ඔහු සිය සහෝදර මහාදිපාද මයිකල් ඇලෙක්සැන්ඩ්‍රොවිච් සිහසුනට නම් කළේය​.

සිහසුන අත හැරිය පසු දෙවන නිකුලස් සාර්වරයා (Public Domain)

ඊළඟ දිනයේදී මහාදිපාදවරයා දන්වා සිටියේ තමුන් සිහසුන දැරීමට සූදානම් නැති බව ය​. මේ අනුව තාවකාලික ආණ්ඩුව රටේ පාලන බලය ලබා ගත්තේය​.

නව ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ රුසියානු ජනතාව අතර විශාල බලාපොරොත්තු දැල්විණ​. ජනතා අභිලාෂය වූයේ නව ආණ්ඩුව යුද්ධය නිමා කර රටේ ප්‍රශ්න විසඳීමට යොමු වනු ඇති බව ය​. නමුත් නව රජය යුද්ධය දිගටම කරගෙන යන බව පසක් විය​. එමෙන්ම නව රජය අස්ථාවර වූ අතර ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කිරීමට ඔවුන් අපොහොසත් බව පසක් විය​.

බෝල්‍ෂවික් පක්ෂය විසින් රටේ බලය අල්ලාගත් ඔක්තෝබර විප්ලවයට මාර්ගය විවර වූයේ තාවකාලික රජයේ මෙම අසාර්ථකත්වය හේතුවෙනි.

මූලාශ්‍ර​: Russian Revolutions 1905-1917. thecorner.org, archived link, February Revolution begins in Russia, history.com

කවරයේ පින්තූරය​: පෙබරවාරි විප්ලවයේ මුල් අවස්ථාවක් (Public Domain)

Related Articles