Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපන් ගුවන් ප්‍රහාරයන්ගෙන් බේරීමට දූපතක් වූ නෞකාව – HNLMS Abraham Crijnssen

සතුරන්ගේ ගුවන් ප්‍රහාර වලින් වැළකීමට තම නෞකාව කොළ අතුවලින් ආවරණය කරමින් නැවේ පිටතට පෙනෙන කොටස දූපතක ඇති ගල්තලා හා කඳුවැටි මෙන් පාට කර, නැව දූපතක් ලෙස වෙස් ගන්වා සතුරු ගුවන් යානා නියමුවන්ව නොමග යවමින් අවසානයේ ආරක්ෂිතව තම ගමන නිම කළ යුධ නෞකාවක පුවතක් ඔබ මීට පෙර අසා තිබෙනාවද?

ඉතින් මෙම ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්න අදහස් කරන්නේ ඒ අපූරු කතා පුවතයි. මෙය දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වූ වෙනස්ම සිදුවීමක්.

ජාවා මුහුදේ සටන​

මිත්‍ර පාර්ශවයේ නැව් ඉලක්ක කරමින් ජපන් ගුවන් ප්‍රහාර (ThoughtCo)

ඉන්දුනීසියාවේ සුරබයා දූපත ජපානය විසින් ආක්‍රමණය කිරීම හේතුවෙන්, ඒ වෙනුවෙන් මිත්‍ර පාර්ශවය හා අක්ෂ පාර්ශවය අතර සටන් ඇති වන්නේ 1941 වසරේදීයි. 1942 වසරේ පෙබරවාරි මාසයේදී ජාවා මුහුදේ සටන උග්‍ර අතට හැරෙනවා.

මෙම සටනේදී මිත්‍ර පාර්ශවය වෙනුවෙන් අණදෙන නිළධාරින් ලෙස කටයුතු කරන්නේ ඕලන්දයේ නාවික සෙන්පතියන් වූ Karel Doorman හා Conrad Helfrich විසින්. සටන සදහා මිත්‍ර පාර්ශවය විසින් විශාල ප්‍රමාණයේ ප්‍රහාරක යාත්‍රා 2ක් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ප්‍රහාරක යාත්‍රා 3ක් හා කුඩා වේග ප්‍රහාරක යාත්‍රා 9ක් යොදා ගනු ලබනවා. සටන අතරතුර කුඩා ප්‍රහාරක යාත්‍රා 2ක් හා වේග ප්‍රහාරක යාත්‍රා 3ක් ගිල්ලවා දැමීමට ජපන් නාවික හා ගුවන් හමුදා සමත් වෙනවා. සටන හේතුවෙන් මරණයට පත්වෙන මිත්‍ර හමුදා නාවිකයන් ප්‍රමාණය 2300ක්. අණදෙන නිළධාරී Karel Doorman සටන අතරතුරදී මරණයට පත්වෙනවා.

ජපාන නාවික හමුදාව වෙනුවෙන් විශාල ප්‍රමාණයේ යුධ නෞකා 3ක්ද, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ යුධ නෞකා 2ක් හා වේග ප්‍රහාරක යාත්‍රා 14ක් සටනට ප්‍රවිශ්ට වෙනවා. ඊට අමතරව නාවිකයන් ප්‍රවාහනය සදහා යාත්‍රා 14ක් ජපානය විසින් භාවිතා කරනු  ලබනවා. සටන අවසන් වන්නේ යුධ ජයග්‍රහණය ජපානයට අත්කර දෙමින්. ඒ වන විට ජපානයට අහිමිවන්නේ නාවිකයන් 36ක් පමණයි. හානි සිදුවන්නේ එක් වේග ප්‍රහාරක යාත්‍රාවකට පමණයි.

පරාජය හමුවේ පලා යාම

මිත්‍ර පාර්ශවය වෙනුවෙන් ඕලන්ද, ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියානු නාවික හමුදා සටනට එලඹෙන අතර අක්ෂ පාර්ශවය වෙනුවෙන් ජපානය සටනට එකතු වෙනවා. ජාවා මුහුදේ දී සහ සුන්ඩා සමූද්‍ර සන්ධියේදී ඇතිවූ සටන් වලදී මිත්‍ර පාර්ශ්වික හමුදා පරාජයට පත්වෙන අතර ඒ 1942 මාර්තු මස මුලදීයි. සටන අතරතුර ජපන් හමුදාව විසින් ජපන් ගුවන් හමුදාවේ සහය ලබාගන්නා අතර ජපන් ප්‍රහාර හමුවේ ඕස්ට්‍රේලියාව දක්වා පසු බසින ලෙස ඉතිරිව තිබූ ඕලන්ද නෞකා තුනට අණ ලැබෙනවා.

දුරට පෙනුණු අයුරු (go2war2.nl)

නමුත් ඉතා අඩු වේගයකින් යත්‍රා කල HNLMS Abraham Crijnssen නෞකාවට ජාවා මුහුදේ සිට ඕස්ට්‍රේලියාව දක්වා පසු බැසීමට දින ගණනාවක් අවශ්‍ය කළ අතර යුධ ශක්තියක් නොමැතිව නාවික සැතුපුම් 1000ක් තරණය කිරීම ජපනුන්ගේ ගුවන් ප්‍රහාර වලට අතවැනීමක් බව නෞකාවේ අණදෙන නිළධාරියා විසින් අවබෝධ කරගන්නවා.

නෞකාවේ වේගය නොට් (පැයට නාවික සැතපුම්) 15ක් පමණ වූ අතර නැව සතු වෙඩි බලයද ඉතා සීමිත වුණා. යුධ නෞකාව සතුව තිබුණේ විෂ්කම්භය අගල් 3ක් වූ ප්‍රහාරක අවියක් හා Oerlikon වර්ගයේ මිලිමීටර් 20 අවි දෙකක් පමණි. තවද පසු බැසීමේදී අනෙක් ඕලන්ද නෞකා වන Eland Dubois හා Jan Van Amstel ගුවන් ප්‍රහාර එල්ල කර මුහුදුබත් කරවීමට ජපන් ගුවන් ප්‍රහාරක නියමුවන් විසින් කටයුතු කරනවා. ඒ මාර්තු 8 වනදායි.

බේරී පලායාම සඳහා උපක්‍රම සෙවීම

නැවේ කාර්ය මණ්ඩලය රැස්කර උද්ගතව ඇති තත්වය ප්‍රකාශ කිරීමට නැවේ ප්‍රධානියා විසින් තීරණය කරන අතර සතුරු ගුවන් ප්‍රහාර හමුවේ ඕස්ට්‍රේලියාව දක්වා පසු බසින්නේ කුමන අයුරකින්ද යන්න විමසා සිටිනවා. නැවියන් 45 දෙනෙකු මෙහි සේවය කළ අතර ඔවුන් සියළු දෙනාම මෙහිදී විවිධ අදහස් ඉදිරිපත් කරනවා. මෙහිදී අපූරු යෝජනාවක් ඉදිරිපත්වන අතර නැව දූපතක් ලෙස සකස් කරමු යන්න එම යෝජනාව විය. මුලදී මෙය බොහෝ  නැවියන්ගේ සිනහවට ලක් වූවත් මෙම යෝජනාව හැර ක්‍රියාත්මක කිරීමට තරම් සුදුසු යෝජනාවක් නොමැති බව ඔවුන් විසින් පසුව වටහා ගන්නවා.

දූපතක් වූ නෞකාව

නැවේ සමීප දසුනක් (Netherlands Indies Government Information Service)

වහාම ක්‍රියාත්මක වෙන නැවියන් නැව වෙරළ ආසන්නයේ නැංගුරම් ලා අසළ පිහිටි ගොඩබිමකින් විශාල ප්‍රමාණයේ ගස් කපාගෙන ඉතා අපහසුවෙන් නැව වෙත රැගෙන එනු ලබනවා. මීටර් 55ක් දිග මීටර් 7ක් පළල නැව, ගස් මගින් වැසීමට ඉක්මණින්ම කටයුතු කරනවා. මෙම ගස් මගින් සම්පූර්ණයෙන්ම නැව් තට්ටුව ආවරණය කෙරෙන අතර නැව් තට්ටුව මත හා එහි ඇති ද්‍රව්‍ය මත තීන්ත ආලේපනය කරන්නේ ගල් තලා හා කදු වැටි ලෙස පෙනෙන ආකරයටයි. මේ ආකරයට කුඩා දිවයිනක් ලෙස ගුවනට පෙනෙන අයුරින් නැව සකස් කිරීමට නැවියන්ට ඉතා ඉක්මනින්ම හැකියාව ලැබෙනවා.

නැව සකස් කිරීමෙන් අනතුරුව ඔවුන්ට තවත් ප්‍රශ්ණයක් පැන නගිනවා. ඒ ජපනුන් විසින් ගමන්  කරන දූපතක් දුටුවොත් අනිවාර්යෙන්ම ප්‍රහාර එල්ල කරනු ඇතැයි යන බියයි. ඊට පිළිතුරක් ලෙස රාත්‍රී කාලයේ පමණක් යාත්‍රා කිරීමටත් දහවල් කාලය තුළ දූපතක, වෙරළට ආසන්නව නැංගුරම්ලා තැබීමටත් තීරණය වෙනවා. ඉන්දුනීසියාව අවට හුදෙකලා දූපත් දහස් ගණනක් පැවතීම හේතුවෙන් දූපතක් ලෙස වෙස්වලාගත් නෞකාව පිලිබඳව ජපාන ගුවන් හමුදාවට හදුනාගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ.

ආරක්ෂිතව ඕස්ට්‍රේලියාව බලා

මෙසේ දින ගණනාවක් රාත්‍රියේ පමණක් යාත්‍රා කරමින් ඔවුන් ක්‍රම ක්‍රමයෙන් ඕස්ට්‍රේලියාව බලා ඒමට සමත් වෙනවා.

අවසානයේ ඔවුන් උපද්‍රවයකින් තොරව බටහිර ඕස්ට්‍රේලියාවේ ෆ්‍රිමැන්ටල් ප්‍රදේශයට ගොඩබසින්නට සමත් වෙන්නේ 1942 වසරේ මාර්තු මස 20 වනදායි. ජාවා දූපතෙන් සාර්ථකව පලා ආ අවසන් නෞකාව මෙන්ම එම කලාපයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ විනාශ නොවූ එකම නෞකාවද එයයි. තවද දෙවන ලෝක යුද්ධ සමයේ ඕලන්ද නාවික හමුදාවේ අවසන් නෞකාව වන්නේද මෙයයි.

කවරයේ ජායාරූපය – HNLMS Abraham Crijnssen නෞකාව (Flickr)

Related Articles