Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු තරගයක් හේතුවෙන් ඇති වූ පැය සියයේ යුද්ධය

පාපන්දු තරගයක් හේතුවෙන් රටවල් දෙකක් යුද්ධයකට පැටලුණ බව ඔබ අසා නොතිබෙන්න පුළුවන්. 1969 ජූලි මාසයේ දින කිහිපයක් පැවති මෙම යුද්ධය හටගන්නේ ලතින් ඇමෙරිකානු කලාපයේ එල් සැල්වදෝරය හා හොන්ඩුරාස් රාජ්‍යය අතර යි. මෙය “පාපන්දු යුද්ධය” ලෙසත් “පැය සියයේ යුද්ධය” ලෙසත් හඳුන්වනවා. කෙසේ නමුත් දින කිහිපයකින් යුද්ධය නිමාවට පත්වෙන විට දෙපාර්ශවයට බරපතළ හානි සිදු වී තිබුණා.

එල් සැල්වදෝරයේ සිට හොන්ඩුරාස් බලා

රටවල් දෙකේ පිහිටීම (A Learning Family)

1950 ගණන්වල අග භාගයේ දී එල් සැල්වදෝර්වල ජනගහනය මිලියන 3.7 ඉක්මවා යනවා. නමුත් ඊට වඩා පස් ගුණයක් විශාල අසල්වැසි රටක් වන හොන්ඩුරාස්හි ජනගහනය ඒ වන විට මිලියන 2.6ක් පමණ යි.

එල් සැල්වදෝරයේ අධික ජනගහනය හේතුවෙන් එරට වැසියන් බොහෝ දෙනෙක් ස්ථිර පදිංචිය සඳහා හොන්ඩුරාස් රාජ්‍යය බලා පිටත් වෙනවා. 1960 වසර වන විට එල් සැල්වදෝරයේ ජනගහනයෙන් 20%ක ප්‍රතිශතයක් (ලක්ෂ තුනක ප්‍රමාණයක්) හොන්ඩුරාස්හි පදිංචිය සඳහා ගොස් සිටි අතර, ඔවුන් සියල්ලන්ටම පාහේ වගා කිරීම සඳහා ඉඩම් ලබාදීමට එවකට හොන්ඩුරාස් රජය කටයුතු කරනවා.

ස්වදේශික ගොවියන් එල් සැල්වදෝර් විරෝධීන් ලෙස නැගී සිටීම

ඇමෙරිකානු United Fruit සමාගම දුප්පත් රටවල් සූරා කන ආකාරය නිරූපණය වන කාර්ටූනයක් (The Oligarch Kings – WordPress.com)

මේ කාලය වන විට ඇමෙරිකානු කෘෂිකාර්මික සමාගමක් වන United Fruit ආයතනය හොන්ඩුරාස්හි මුළු වගා බිම් අතරින් විශාල බිම් ප්‍රමාණයක හිමිකාරිත්වය දරනවා. දිගින් දිගටම එල් සැල්වදෝර් ජනතාවට ඉඩම් ලබාදීම තමන්ට තර්ජනයක් බව වටහා ගන්නා මෙම සමාගම ස්වදේශික ගොවියන් එල් සැල්වදෝර් විරෝධීන් බවට පත්කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. ස්වදේශික ගොවියන්ගෙන් සැදුම්ලත් විවිධ සංවිධාන ඉඩම් පිළිබඳව නීති හොන්ඩුරාස් වැසියන්ට වාසිදායක ලෙස සකසන ලෙසට රජයට බලකර සිටිනවා.

ඒ අනුව 1962 හා 1967 වසරේ හොන්ඩුරාස්හි ඉඩම් බලතල පිළිබඳ නීතීන් වෙනස් වන අතර එල් සැල්වදෝර් වැසියන්ට ඉඩම් මිල දී ගත නොහැකි ආකාරයට නීති සංශෝධනය වෙනවා. නමුත්  සැල්වදෝර් පුරවැසියන් ස්වදේශිකයන් සමග විවාහ වීම, දිගු කාලයක් හොන්ඩුරාස්හි රැඳී සිටීම වැනි කරුණු හේතුවෙන් ඔවුන්ව විදේශිකයන් ලෙස නම් කළ නොහැකි වූ අතර මෙම නීතිය පිළිබඳව කිහිපවරක් ගැටලු මතු වෙනවා.

මේ හේතූන් නිසා ස්වදේශිකයන් හා සංක්‍රමණිකයන් අතර වරින් වර ගැටුම් ඇතිවෙන අතර කාලයත් සමග දෙපිරිස අතර නොසන්සුන්තාවයක් නිර්මාණය වෙනවා. ඒ සඳහා හොන්ඩුරාස් රජය ද කිසිදු පියවරක් ගන්නේ නෑ.

දළු ලා ආ අළු යට ගිනි පුපුරු  

පාපන්දු තරගයේ අවස්ථාවක් (Fox Sports)

මේ අතරවාරයේ 1970 ලෝක පාපන්දු කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සඳහා හොන්ඩුරාස් හා සැල්වදෝර් අතර තරග තුනකින් යුත් පාපන්දු තරගාවලියක් ආරම්භ වෙනවා.

1969 ජුනි මාසයේ දී පළමු තරගය හොන්ඩුරාස්හි පැවති අතර තරගය ජයග්‍රහණය කරන්නේ හොන්ඩුරාස් රාජ්‍යය යි. මෙයින් උද්දාමයට පත්වෙන හොන්ඩුරාස් වැසියන් එරට රැදී සිටින සැල්වදෝර් වැසියන්ට පහරදීමත්, ගෙවල් ගිනිබත් කිරීමත් අරඹනවා. දෙවන තරගය එල් සැල්වදෝරයේ පැවැත්වෙන අතර ඉන් ජය ගන්නේ සැල්වදෝර් කණ්ඩායම යි. තරගයට පෙර රාත්‍රියේ හොන්ඩුරාස් ක්‍රීඩකයන් සිටි නවාතැන වටකරන සැල්වදෝර් වැසියන් ක්‍රීඩකයන්ට විශාල වශයෙන් බාධා එල්ල කරනවා. තරගයෙන් පසුව හොන්ඩුරාස් ක්‍රීඩකයන් ගමන් ගත් බස් රථයට ද පහර දෙනවා.

මේ සිදුවීම් සමග ඉමහත් කෝපයට පත්වෙන හොන්ඩුරාස් වැසියන් එරට සිටින සැල්වදෝර් සංක්‍රමණිකයන් මරා දැමීම හා ගෙවල් ගිනිබත් කිරීම ආරම්භ කරනවා. ගැටුම් හේතුවෙන් සැල්වදෝර් වැසියන් විශාල ප්‍රමාණයක් නැවතත් තම මවු රට බලා පිටත් වෙනවා. තව ද, හොන්ඩුරාස් සමග සියලු රාජ්‍ය ත්‍රාන්තික සම්බන්ධතා අවසන් කර දැමීමට සැල්වදෝරය තීරණය කරන්නේ හොන්ඩුරාස් රජය එරට අභ්‍යන්තර ගැටුම් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන්.

තරගාවලියේ අවසන් තරගය මෙක්සිකෝවේ දී පැවති අතර  එය ජයග්‍රහණය කරන්නේ සැල්වදෝරය යි.

සැල්වදෝරය යුද ප්‍රකාශ කරයි

පාපන්දු තරගයේ හා යුද්ධයේ ඡායාරූප එකතුවක් (The Kootneeti)

ජූලි 14 වන දා සවස සැල්වදෝර් ගුවන් හමුදාව විසින් හොන්ඩුරාස්හි ටොන්කොන්ටින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගුවන් ප්‍රහාර එල්ල කරනවා. 15 වන දා උදෑසන සැල්වදෝර් පාබල හමුදා විසින් හොන්ඩුරාස් දේශ සීමාව ආක්‍රමණය කරනවා. එදින හොන්ඩුරාස්වල සැලකිය යුතු තරම් ඉඩ ප්‍රමාණයක් සැල්වදෝර් හමුදා විසින් අල්ලා ගන්නවා.

16 වන දා උදෑසන හොන්ඩුරාස් ගුවන් හමුදාව විසින් එල් සැල්වදෝරයේ ඉලොපනගෝ ගුවන් තොටුපොළට හා තෙල් ගබඩා සංකීරණවලට ගුවන් ප්‍රහාර එල්ල කරනවා. 17 වන දා වන විට දෙපාර්ශවයේම ගුවන් යානා උඩු ගුවනේ සැරිසරමින් ප්‍රහාර එල්ල කරන අතර සැල්වදෝර් ගුවන් යානා කිහිපයක් එම ප්‍රහාර හමුවේ කඩා වැටෙනවා.

සාමය සඳහා මැදිහත් වූ ඇමරිකානු රාජ්‍යන්ගේ සංවිධානය

ආක්‍රමණය සඳහා පිටත්ව යන සැල්වදෝර් හමුදා භටයන් (Read Listen Learn)

යුද්ධය අවසන් කිරීමට මැදිහත් වෙන ලෙස හොන්ඩුරාස් රජය විසින් ඇමෙරිකානු රාජ්‍යන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින අතර, ඒ අනුව එම සංවිධානය විසින් එල් සැල්වදෝර් රජයෙන් යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලා සිටිනවා. මුල දී එම යෝජනාව සැල්වදෝරය විසින් ප්‍රතික්ෂේප කරනවා.

නමුත් හොන්ඩුරාස්වල සිටින සැල්වදෝර් වැසියන් නැවතත් ආරක්‍ෂිතව සැල්වදෝරය වෙත ගෙන ඒමට අවස්ථාව ලබාදෙන බවට ඇමෙරිකානු රජයන්ගේ සංවිධානය විසින් පොරොන්දු වීමෙන් පසුව ඔවුන් ඒ සඳහා එකඟ වෙනවා.

18 වන දා තවදුරටත් සිදුකරන ආක්‍රමණය නැවත්වීමට සැල්වදෝර් හමුදා තීරණය කරනවා. නමුත් ඔවුන් සියලු සැල්වදෝර් වැසියන් ආරක්ෂිතව තම රටට ගෙන්වා ගන්නා තුරු ආපසු හැරී යාම ප්‍රතික්ෂේප කරනවා. අගෝස්තු 2 වන දා සියලුම සැල්වදෝර් භටයන් මවු රටට ගෙන්වා ගැනීමට එරට රජය කටයුතු කරනවා.

යුද්ධය හේතුවෙන් දෙපාර්ශවයේම හමුදා භටයන් හා සිවිල් වැසියන් 6000ක් පමණ මරණයට පත්වෙන අතර තවත් 15,000ක් පමණ බරපතළ තුවාල ලබනවා.

යුද්ධයෙන් පසු වසර 11ක් ගතවෙන තුරු සතුරු රටවල් දෙකක් ලෙස ක්‍රියා කළ මෙම රාජ්‍යයන් දෙක 1980 දී සාම ගිවිසුමක් යටතේ නැවතත් රාජ්‍ය ත්‍රාන්තික සම්බන්ධතා ආරම්භ කරනවා.

මූලාශ්‍රයයන්:

youtube.com/watch?v=W12vb_Crf00&t=132s

youtube.com/watch?v=qKCe5N2vhhg

adst.org/2014/06/the-1969-soccer-war

Related Articles