අශෝක රජතුමා යනු බෞද්ධ සාහිත්‍යයේ එන ජනප්‍රිය චරිත අතරින් ඉහළම තැනක ඉන්නා චරිතයක් බවට සැකයක් නැහැ. මෞර්ය වංශයේ බලකාමීම රජතුමා ලෙස සැලකෙන අශෝක රජු, බෞද්ධ සහ ජෛන ආගම්වලට කරන ලද සේවය ගැන බොහෝ සටහන් තිබුණත්, ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන ඓතිහාසික සටහන් දක්නට ලැබෙන්නේ ඉතා අඩුවෙන්. මේ ලිපිය වෙන් වන්නේ අශෝක චරිතයේ එන තවත් ආකර්ෂණීය කතාවක් වන, අශෝක පුත් කුණාල කුමරුන්ටයි.

කුණාල කුමරුන්ගේ කතාව මුල සිට අග දක්වාම විචිත්‍ර පුරාවෘතයන්ගෙන් පිරුණු එකක්. එසේම, ඔහුගේ ධාර්මික බව සහ සත්‍යවාදී බව මතුකර පෙන්වනු පිණිස ඉතිහාස අවදාන රචකයන් මහත් සේ උනන්දු වූ බව පැහැදිලියි. අශෝක රජුගේ ප්‍රියතම දරුවා ඔහු වූ බවටත් යම් සාධක අපට ඉතිහාස කථාවලින් මතුකරගත හැකියි. ඒ වුණත් අශෝකගේ අභාවයෙන් පසුව සිහසුන හිමිවන්නේ කුණාලට නොව, කුණාලගේ පුත් සම්ප්‍රති හෙවත් සම්පදී හටයි. කුණාල පිළිබඳව සොයා බලන්න පෙරාතුව අපි අශෝක රජුගේ භාර්යාවන් පිළිබඳව මඳක් විමසමු.

අශෝක රජුට සිටි භාර්යාවන් සත්දෙනෙක් පිළිබඳව ඉතිහාසයෙන් තොරතුරු හමුවෙනවා. මහාවංශයට අනුව අශෝකගේ අගබිසව වන්නේ අසන්ධිමිත්‍රා නම් බිසවක්. අලහබාද් ස්තම්භ ලිපියට අනුව, දෙවැනි බිසවු තනතුරේ සිටි බවට සැලකෙන්නේ, කාරුවාකී හෙවත් කෞර්වකී. මේ හැර, විදිසාවෙහි සිටුවරයකුගේ දුව වන “දේවී” නමැති බිසවක් ගැන ද මහාවංශයේ සඳහන් වෙනවා. ලංකාවට බුදුදහම ගෙන ආ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හෙවත් “මහේන්ද්‍ර” සහ ලංකාවට ශ්‍රී මහා බෝධි ශාඛාව ගෙන ආ සඟමිත් මෙහෙණිය හෙවත් “සංඝමිත්‍රා” යනු ඒ විවාහයෙන් ලද දරුවන් දෙදෙනා යි. අසන්ධිමිත්‍රා, කෞර්වකී සහ දේවී හැර, ඉතිහාස කතාවන්හි වැදගත් තැනක් ගන්නා අනෙක් දේවිය වන්නේ “තිෂ්‍යරක්ෂා” හෙවත් “තිෂ්‍යරක්ෂිතා”යි. අපේ කතා නායකයා වන කුණාල කුමරුන්ගේ මව වන්නේ පද්මාවතී නම් පස්වැනි බිසවක්.

අශෝකගේ මෙහෙසිය සහ බෝධි වෘක්ෂය (අබනින්ද්‍රනාත් ඨාකූර්)

“අසුහාරදාහේ පිංකම්” යනු බෞද්ධ සාහිත්‍යයේ නිතර අසන්නට ලැබෙන යෙදුමක්. බුදුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු සම්පූර්ණ ධර්ම කොටස්වල එකතුව, ගණනින් අසුහාරදහසක් බවයි කියැවෙන්නේ. අසුහාරදාහක් ධර්මස්කන්ධ වෙනුවෙන් අසුහාරදාහක් වෙහෙර විහාර තැනවූ පළමුවැනි රජතුමා වන්නේ අශෝක රජතුමායි. කුණාල කුමරු ඉපදුණු දිනය ලෙස කුණාලාවදානයේ දැක්වෙන්නේ, අශෝක රජු විසින් අන්න ඒ අසුහාරදහසක් ධර්මස්කන්ධයන් වෙනුවෙන් සෑදවූ අවසන් විහාරය සංඝයා වහන්සේට පූජා කළ දිනයයි.

මේ කුමරු ක්‍රි. ව. 263 දී උපන් විට ඔහුගේ නම “කුණාල” නොවෙයි; උපතින් ඔහුට තබන ලද නම වන්නේ “ධර්මවිවර්ධන” යන්නයි. ඒ, ඔහු උපන් දිනයේ වැදගත්කම සලකා යි. ඔහුගේ මව වන පද්මාවතී බිසව, මේ දරුවා වැදූ වෙලාවේ ම ඔහු අතට ගත් අශෝක රජු, දරුවාගේ ඇස්දෙකෙහි සුන්දරත්වය දැක ඊට වශී වූ බව පැවසෙනවා. ඒ මොහොතේම රජු සිය ඇමතියන්ගෙන් ඇසුවාලු එවැනි සිත්කළු ඇස් දෙකක් ඔවුන් විසින් කිසිදා දැක තිබෙනවාද යනුවෙන්.

ඊට පිළිතුරු දුන් එක ඇමතියෙක් හිමාල පර්වත මුදුනෙහි වාසය කරන කුණාල නම් පක්ෂියෙක් පිළිබඳව. උගේ ඇස්දෙක තරම් පියකරු දෑසක් කිසිවෙකුට නැති බවත්, උගේ ඇස්දෙක මෙන්ම කටහඬ ද කෙතරම් සිත්කළු ද කියතොත්, යොදුනක් දුර ඉන්නා යක්ෂයෝ ද, යොදුන් බාගයක් දුර ඉන්නා නාගයෝ ද ඒ පක්ෂියාගේ මිහිරි කටහඬ අසමින් සිටින බවත් කිව්වේලු.

මේක අහපු අශෝක රජු අණ කළා ලු, කුණාල පක්ෂියෙක් තමන්ට දකින්න අල්ලාගෙන එන ලෙස. රාජ නියෝගය පරිදි අමාත්‍යයෝ කුණාල පක්ෂියෙක් අල්ලාගෙන රජතුමාට පෙන්වූවා ලු. පුදුමයකට මෙන්, රජකුමරාගේ සහ කුණාල පක්ෂියාගේ ඇස්දෙක එකවගේම ලු. මේ දැකපු අශෝක රජු තීරණය කළා ලු, කුමාරයාට “කුණාල” කියන නම තබන්න. ධර්මවිවර්ධන කුමරු, කුණාල වුණේ එහෙමයි.

කුණාල කුමරුන්ට ඉතා පියකරු දෑසක් මෙන්ම කන්කළු කටහඬක් ද තිබු බව විවිධ පුරාවෘතයන්හි දැක්වෙනවා. කටහඬ සහ ඇස්දෙක පමණක් නොව, ඔහු ඉතා කඩවසම් අයෙකු ලෙසත් ප්‍රවාදවල දැක්වෙනවා. අවාසනාවකට, ඔහුට විඳිනට සිදු වූ සියලු කරදරවලට මුල වුයේත්, මේ ඇස්දෙකමයි.

අප කලින් සඳහන් කළා කුණාලගේ මව පද්මාවතී නම් බිසවක බව. ඒ වගේම, අශෝක රජුට තිෂ්‍යරක්ෂිතා නම් තවත් බිසවක සිට බවත් අප කලින් කීවා. තිෂ්‍යරක්ෂිතා බිසව, නෑ කමට කුණාල කුමාරයාගේ සුළු මව. කුණාලගේ කරදර පටන්ගන්නේ මෙන්න මේ තිෂ්‍යරක්ෂිතා නම් බිසව, කුණාල කුමාරයා කෙරෙහි ඇල්මක් ඇතිකරගැනීම සමගයි.

අශෝක රජුගේ යැයි සැලකෙන අමරාවතී කැටයමක්    (Perspective – blogger)

වරක් අශෝක රජතුමා සිය පුත් කුණාල සමගින් ජනපද සංචාරයකට යන අතරතුර, කුක්කුටාරාමයට ගොස් “යස” නම් භික්ෂුවක සමග කතාබහක නියැළෙනවා. මේ යස භික්ෂුව, අනාගතය දකින නුවණක් තිබු භික්ෂුවක ලෙසයි පුරාවෘතයන්හි දැක්වෙන්නේ. අශෝක රජුට වඩා කුණාල කුමරු කෙරෙහි අවධානය යොමුකළ භික්ෂුව, “ඇස්දෙකත් ඇතුළුව, මුළු ශරීරයම අනිත්‍ය බව මෙනෙහි කරන්නැයි” කුමරුන්ට අනතුරු අඟවනවා. නමුත් කුණාල කුමරුන්ට ඒ අනතුරු ඇඟවීම වැටහෙන්නේ නැහැ. ඉතින් සංචාරය අතරමැද කුමරු තනිව සිය කුටියේ ඉන්නා වෙලාවක, තිෂ්‍යරක්ෂිතා බිසව කුණාල කුමරුගේ කුටියට පිවිස, ඔහු වැළඳගෙන, “කුමරුනි, ඔබේ ඇස්දෙක මා මුසපත් කරයි” යනුවෙන් ඔහුට සිය ඇල්ම ප්‍රකාශ කරනවා. නමුත් කුණාල කුමරු කිසිසේත් ඊට කැමති නොවන්නේ, තමන්ගේ මව හා සමාන සුළු මව කෙරෙහි එවැනි හැගීමක් ඇතිකරගැනීම තමන්ට කිසිසේත් කළ හැක්කක් නොවන බව පවසමින්. අවසානයේ තිෂ්‍යරක්ෂිතා බිසව කුටියෙන් නික්ම යන්නේ කුණාල කෙරෙහි වෛරයක් සිතේ තබාගෙනයි. කුණාලගේ ඇස්දෙක නිසා තමා ලජ්ජාවට පත්වූ බැවින් ඔහුගේ දෑස ඔහුට නැති කරවීමට ඈ ඉටාගත්තා.

උත්තරාපථයෙහි තක්ෂිලා නම් නුවර කැරැල්ලක් හටගන්නේ මේ කාලයේදීමයි. කැරැල්ල සංසිඳවන්නට නම් කාරුණික ගති පැවතුම් ඇත්තෙකු යැවිය යුතු බවට ඇමති මණ්ඩලය තීරණය කරනවා. ඒ අනුව කුණාල කුමරුන් ඒ ගමනට යැවීමට ඒකමතිකව තීරණය කෙරුණු බවයි කුනාලාවදානයෙහි සඳහන් වන්නේ. දේශාටක හියුං සියං භික්ෂුවගේ වාර්තාවල දැක්වෙන්නේ නම් මේ ගමනට කුණාල කුමරුම යැවිය යුතු බවට යෝජනා කළේ තිෂ්‍යරක්ෂිතා බිසව බවයි. කෙසේ හෝ අවසානයේ තක්ෂිලාවෙහි තත්ත්වය සමනය කරන්නට, කුණාල කුමරුන්ට පිටත්වෙන්න සිදුවෙනවා. ඒ අනුව කුණාල කුමරුත්, ඔහුගේ භාර්යාව වන කාංචනමාලා බිසවත් මේ ගමනට පිටත් වෙනවා.

තක්ෂිලාවට කුණාල කුමරු පිටත් වීමත් සමග අශෝක රජු බලවත් ලෙස රෝගාතුර වෙනවා. එවැනි රෝගයක් මින්පෙර කිසිදාක කිසිවෙකුත් දැක තිබුණේ නැහැ. රෝගයේ ලක්ෂණය වුණේ කටිනුත්, ශරීරයේ සියලු රෝමකූපවලිනුත්, නොනවත්වාම අසූචි පිටවීමයි. කිසිදු වෙදකමක් සාර්ථක නොවීම නිසා වේදනාවට පත් රජු, තමන් වෙනුවට කුණාල කුමරුන් ආපසු ගෙන්වා රජකම භාරදීමට තැත්කරනවා. එහෙත් තිෂ්‍යරක්ෂිතා බිසව එහිදී මැදිහත් වී රජතුමාට පවසන්නේ තමා මේ රෝගයම මීට පෙර දැක ඇති බවත්, සතියක් දුනහොත් ඊට පිළියමක් සොයා දෙන බවත්.

යෝජනාව පිළිගත් අශෝක රජු, සතියක කාලයක් ඇයට ලබාදෙනවා.

අවසරය ලද සැණින් සියලු පණිවුඩකරුවන් එක්රැස් කරන බිසව, ඔවුන්ට පවසන්නේ වැද්දන් අතර මේ රෝගය ඇති බවත්, රෝගයෙන් මියගිය වැද්දෙකු සොයාගෙන එන ලෙසත්. එවැනි වැද්දෙකු සොයාගැනීමට ඔවුනට හැකි වේ ද? රජතුමාගේ ජීවිතය රඳාපවතින්නේ එය මතයි.

කුණාල කුමරුගේ කතාවේ දෙවනි කොටස මේ ලිපියේම දිගුවක් ලෙස මීළඟ ලිපියෙන් අප ඉදිරිපත් කරන්නම්.

Sources:

  1. අශෝකාවදාන
  2. කුණාලාවදාන 
  3. හ්යුං සියං භ්‍රමණවෘත්තාන්තය

Cover image: සාංචි ස්ථුපය අභියස තොරණ Flickr/Raveesh Vyas via Creative Commons