නාසි ජර්මනියෙන් යුරෝපය මුදවා ගැනීමේ සටන අරඹමින් මිත්‍ර හමුදා උතුරු ප්‍රංශයට ගොඩ බැසීමේ ක්‍රියාන්විතය හඳුන්වන්නේ නෝර්මැන්ඩි ආක්‍රමණය ලෙස යි. එය D-Day මෙහෙයුම ලෙසත් හඳුන්වනු ලබනවා. 1944 ජූනි මස 06 වන දා නොර්මැන්ඩි වෙරළ තීරයට ස්ථාන කිහිපයකින්ම මිත්‍ර හමුදා සෙබළුන් 156,000ක් පමණ ගොඩබසිනවා.

සාමාන්‍යයෙන් D–Day ලෙස හඳුන්වන්නේ මෙහෙයුමක් පටන් ගැනීමට නියමිත දිනය නමුත්, ලෝක ඉතිහාසයේ විශේෂ සටනක් වූ මෙය D-Dayලෙස පසුව ඉතා ප්‍රසිද්ධියට පත් වෙනවා.

මෙහෙයුම ලෝක ඉතිහාසයට එක්ව ඇත්තේ මුහුදු වෙරළකට වැඩිම හමුදා භට පිරිසක් ගොඩ බැස්සවූ යුද සටන හැටියට යි. දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් ලෙස යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන මෙම සටන ජයග්‍රහණය කරන බටහිර පෙරමුණ,1945 වසරේ ජර්මනියේ අවසන් නට්සි බලකොටුව බිඳ දැමීම දක්වා විජයග්‍රාහිව ගමන් කරනවා.

එහි 75 වන සංවත්සරය යෙදී තිබුණේ ඊයේ දිනට යි. නෝර්මැන්ඩි වෙරළ තීරයේ දී ජීවිත පරිත්‍යාග කළ ත්‍රිවිධ හමුදා සෙබළුන් අනුස්මරණය කරන විශේෂ සැමරුම් උළෙලවල් බොහෝ ප්‍රමාණයක් සෑම සංවත්සර දිනක දීම ලෝක නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා.

ස්ථාන පහක් ඔස්සේ වෙරළ තීරයට ගොඩ බැසීම

නෝර්මැන්ඩි ගොඩ බැසීම (Clemson World Magazine)

මෙම මෙහෙයුම යටතේ ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, ප්‍රංශ, හා කැනේඩියානු යුද භටයන්ගෙන් සමන්විත බලකා කිහිපයක් වෙරළ තිරයේ ස්ථාන පහකට ගොඩ බසිනවා. සාගරය ඔස්සේ කෙරෙන ගොඩ බැසීමට අමතරව මිත්‍ර හමුදා පැරෂුට් භටයන් 24 000කට ආසන්න ප්‍රමාණයක් ගුවන් මඟින් ගොඩ බසිනවා.

සෙබළුන් පුරවාගත් වෙරළට ලඟා විය හැකි යාත්‍රාවක් (D-Day Center)

හිට්ලර් ඇතුළු නට්සි යුද නායකයන් මිත්‍ර හමුදා ප්‍රංශ වෙරළට ගොඩ බසිනු ඇතැ යි අපේක්ෂා කළ ද, ගොඩබැසීමට නියමිත ස්ථානයන් හා දිනයන් නිවැරදිව දැන නොසිටි හෙයින් යුද්ධය තුළ නට්සින්ට එල්ල වූ මරු පහරක් ලෙස මෙම ආක්‍රමණය හඳුන්වා දිය හැකියි. මෙම මෙහෙයුමේ ප්‍රධානම අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකු බවට පත් වූ ඩේවිඩ් D අයිසන්හවර්. ඔහු ඇතුළු මිත්‍ර හමුදා නායකයන් මෙම මෙහෙයුම ඉතා රහසිගතව සැලසුම් කළ අතර, මෙහෙයුමට ඉතා ආසන්න දිනක යි ඔවුන් විසින් ගොඩ බැසිය යුතු වෙරළ තීර පිළිබඳව අවසන් තීරණයක් ගන්නේ.

භටයන් දහස් ගණනක් (turnstiletours.com)

මෙහෙයුමේ ජයග්‍රහණය මිත්‍ර පාර්ශවයට හිමි වූවත් ඉන් දෙපාර්ශවටයම දරුණු හානි සිදු වෙනවා. මෙහෙයුමෙන් මිත්‍ර හමුදා භටයන් 4400ක් පමණ මරණයට පත් වූ බව තහවුරු කරන අතර එය 10 000ක් පමණ විය හැකි බව තවත් වාර්තාවල සඳහන් වෙනවා. ජර්මානු හමුදා මරණ ප්‍රමාණය 4000 – 9000ත් අතර අගයක් බවත් එම වාර්තාවල සඳහන් වෙනවා.

මිත්‍ර හමුදාවේ යුධ ටැංකි උපක්‍රම

පාවෙමින් එන යුද ටැංකියක් (turnstiletours.com)

D-Day ආක්‍රමණය සඳහාම නිර්මාණය වූ යුද ටැංකි සැලසුම් කිහිපයක් ඔබ වෙත ගෙන ඒම තමයි මෙම ලිපියේ මූලික අරමුණ වෙන්නේ. මෙහිදී බ්‍රිතාන්‍ය රාජකීය යුද ටැංකි රෙජිමේන්තුවේ 79 වන යුද ටැංකි ඩිවිශනයේ අණදෙන්නා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් පර්සි හෝබර්ට් නම් යුධ ටැංකි විශේෂඥයා පිළිබඳව සටහන් කළ යුතු වෙනවා.

මෙම ආක්‍රමණයේදී යුද ටැංකි ඩිවිශනවලට වැදගත් කාර්යයභාරයක් ඉටු කිරීමට තිබූ අතර සාගරය ඔස්සේ ටැංකි ප්‍රවාහන නෞකාවල ප්‍රවාහනය කළ යුද ටැංකි සටනට අවතීරණය වීමේ දී හා ඉදිරියට යාමේ දී විවිධ ගැටළු මතු වෙනවා. එයට විසඳුම් ඉදිරිපත් කරන්නේ මේජර් ජෙනරාල් පර්සි හෝබර්ට් නම් නිලධාරියා යි.

සර් පර්සි හොබර්ට් (Classic Military Vehicle - Key Publishing)

සටනට ඔරුත්තු දෙන ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කළ යුද්ධ ටැංකි වැඩිපුරම යෙදවෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් ගොඩ බැසි වෙරළ තීරවලට යි.මේ සඳහා ඔවුන් බොහෝ විට වතුරේ පා වී යා හැකි යුද්ධ ටැංකි විශේෂයක් නිර්මාණය කරනවා. ඒවා හඳුන්වන ලද්දේ DD (Duplex Drive tanks) ටැංකි ලෙස යි. නමුත් පාවී යන බැවින් සෙබළුන් මෙය හැඳින්වීමට යොදා ගත්තේ “ඩොනල්ඩ් ඩක්” ටැංකි ලෙස යි. අවර පෙති හා ජලයෙන් වැසීයාම වැළැක්වීමට කැන්වස් රෙදි ආවරණයකින් වට කර, ඒ තුළ සෙබළුන් බැස යාම සිදුවුණා. මෙම ක්‍රියාවලිය සඳහා ඔවුන් වැඩිපුරම භාවිතා කරන ලද්දේ Sherman යුධ ටැංකිය යි. ඒවා වෙරළට සැතපුම් කිහිපයක් දුරින් සාගරයට මුදා හරින ලද අතර යුද්ධයේ පළමු ආරක්ෂක වළල්ල ලෙස මෙම යුධ ටැංකි කටයුතු කිරීම යි ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ.

කිඹුලා නමින් හැඳින්වුණු ගිනි විදින යුධ ටැංකි ද මෙහෙයුම සඳහා භාවිතා කර තිබුණා. මෙම ටැංකිවල ඉන්ධන ලීටර් 1800ක් පමණ ගබඩා කර තිබූ අතර, මීටර් 110කට පමණ දුරකට ගිනි විදීමේ හැකියාව තිබුණා. චර්චිල් යුධ ටැංකිය භාවිතා කර මෙම වර්ගය නිපදවා තිබූ අතර ජර්මානුවන්ගේ බංකර දුර සිට සම්පූර්ණයෙන් අළු කර දැමීමට මෙම ටැංකි සමත් වෙනවා.

ගිනි විදින කිඹුලා D – day සටනේ (D-Day Center)

මීට අමතරව බොබින් (Bobbin) නමින් යුධ ටැංකි විශේෂයක් නිර්මාණය කර තිබූ අතර ඒවායින් කෙරෙන්නේ මීටර් 3ක් පමණ පළල දෙපස යකඩ බට යොදා වාටි සකසා ඇති කැන්වස් රෙද්දක් එලාගෙන යාම යි. මේ හේතුවෙන් ඉන් පසුව ගමන් කරන වාහන හා භට කණ්ඩායමට වැල්ලේ නොඑරී ගමන් කළ හැකි යි. රැහැන්වලින් බඳින ලද ශක්තිමත් ලී මිටි හෝ ලෝහ බට එකිනෙක තබා බඳින ලද මිටියක් (Fascine) යුද ටැංකියේ තබාගෙන යන අතර එය යුද අගල්වලට හෙලා එය මත ගමන් කිරීම ද මෙම මෙහෙයුමේ දී දකින්න ලැබෙනවා. කුඩා යකඩ පාලම් (Small Box Girder) රැගෙන යන යුද ටැංකි ද මෙහෙයුමේ දකින්න ලැබෙන අතර තරණය කළ නොහැකි නැග්මවල් සහිත කදුකර බිම් තරණය කිරීම සඳහා මේවා යොදාගනු ලබනවා. මේ සියලු උපක්‍රම සඳහා භාවිතා කරන්නේ චර්චිල් යුද ටැංකිය යි.

බෝබින් (Defense Media Network)

කකුළුවා (Crab) නමින් හැඳින්වුණු, ඉදිරියේ විශාල බඹර පෙති හා යකඩ දම්වැල් සවි කරන ලද Sherman යුද ටැංකිය, මෝටර් පෙති කරකවා තම ගමන් මාර්ගයේ සියලුම බාධක බිද හරින අතර, පොළව ද හාරමින් ගමන් කරන බැවින් යුධ ටැංකි බෝම්බ ඇත්නම් කලින්ම පුපුරා විනාශ වීම ද සිදු වෙනවා.

දරමිටි (Imperial War Museum)

නෝමැන්ඩි ආක්‍රමණයේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක වූ යුද ටැංකි පෙරමුණ, සටනේ ජයග්‍රහණය මිත්‍ර පාර්ශවයට ගෙන දීම සඳහා විශාල කාර්යයභාරයක් ඉටු කරනවා.

මාර්ගය සම්පූර්ණයෙන් ම හාරමින් ගමන් කිරීම (Imperial War Museum)

කවරයේ පින්තූරය - US Army Center of Military History