Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අසිරිමත් තිරියාය පුදබිම පිළිබඳව තොරතුරු බිඳක්

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන තිරියාය නම් පුදබිම ලක්වාසී බෞද්ධ ජනතාවට ඉතාමත්ම වැදගත් ස්ථානයක්. එම පුදබිමේ පිහිටා තිබෙන ගිරිහඬු සෑය නම් ස්තූපය බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලය තුළ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් ඉදිකරවූ බව පූජාවලියේ සඳහන්. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුව තැන්පත් කරමින් කරවා ඇති මෙම ස්තූපය ලංකාවේ පළමු ස්තූපය බව පූජාවලියේ වැඩි දුරටත් සඳහන් වී තිබෙනවා. ලංකාවේ පිහිටා තිබෙන ප්‍රධාන වටදාගෙවල් අතුරින් එකක් තිරියාය පුදබිමේ පිහිටා තිබෙන නිසා මෙම භූමියට සංචාරකයන් නිතරම පැමිණෙනවා. 

ගමන් මාර්ගය 

කොළඹ සිට තිරියාය බලා යන සංචාරකයෙකු මුලින්ම ත්‍රිකුණාමලය නගරය වෙත ළඟා විය යුතු යි. ඉන් පසුව 

ත්‍රිකුණාමලයේ සිට පුල්මුඩේ දක්වා වැටී ඇති B424 මාර්ගය ඔස්සේ කිලෝමීටර් 46.5ක් පමණ දුරක් ගමන් කර තිරියාය පුදබිම වෙත ළඟාවන්නට පුළුවන්. මහ සයුර ආසන්නයේ පිහිටි කුඩා කඳු ගැටයක් මත පිහිටා ඇති මෙම පුදබිම ඉතාමත් සුන්දර, නිස්කලංක බිමක් නිසා මෙහි සංචාරයේ යෙදෙන ඔබට නිසොල්මනේ මෙහි ඇති අසිරිය නැරඹිය හැකියි.

තිරියාය පිළිබඳව ඉතිහාස කතාව 

බුදුරජාණන් වහන්සේගේගේ බුද්ධත්වයෙන් දින 50ක් ගත වුණු පසු, තපස්සු-භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද විළඳ සහ මී පැණි ප්‍රථම දානය ලෙස පිළිගත් බව පූජාවලියේ සඳහන් වනවා. බුදුරජාණන් වහන්සේ තම දානය පිළිගැනීම නිසා සතුටට පත්වුණු වෙළඳ දෙබෑයන් වැඳුම් පිඳුම් කිරීම සඳහා යම් දෙයක් ඉල්ලා සිටි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සිය හිස පිරිමැද කේශ ධාතූන් ලබාදුන් බව එහි වැඩිදුරටත් සඳහන් වනවා. එම කේශ ධාතූන් රැගෙන උත්තලා නගරයේ සිට පෙරදිග වෙළඳාමට යන අතරතුර වෙළඳ දෙබෑයන් ලංකාවට ගොඩබැස තිබෙනවා. ඔවුන් දෙපළ පැමිණ තිබුණේ ත්‍රිකුණාමලයේ කුච්ඡවේලිය අසල ගල්වරාය නම් ප්‍රදේශයට යි. ඉන් අනතුරුව යාං ඔය ඔස්සේ ගිරිකණ්ඩ පර්වතයට පැමිණි වෙළඳ දෙබෑයන්, සුරක්ෂිත ස්ථානයක කේශ ධාතූන් තබා, එතැන සිට ආහාරගත් බව සඳහන් වනවා. ආහාර ගැනීමෙන් පසුව  පිටත්ව යාමට සැරසී කේශ ධාතූන් තබා තිබූ තැනින් රැගෙන යාමට උත්සාහ කළත් ඒවා සෙලවීමට හැකිවී නැහැ. එම ස්ථානයේ යම් ආශ්චර්යයක් තිබෙන බව තේරුම්ගත් වෙළඳ දෙබෑයන් කේශ ධාතු එහිම නිධන් කොට ගිරිහඬු සෑය ඉදිකළ බව පැරණි මූලාශ්‍රවල ලියැවී තිබෙනවා.

ගිරිහඬු සෑය 

තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ඉදිකරන ලද ගිරිහඬු සෑය පසු කලෙක විශාල කර සාදවා ඇති බවට නිගමනයකට එළඹිය හැකියි. මෙම ස්තූපය වටා වටදාගෙයක් ඉදිකර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ දී යි. වටදාගෙයකට මැදිව තිබෙන ගිරිහඬු සෑය ප්‍රමාණයෙන් එතරම් විශාල එකක් නොවෙයි. එහි විෂ්කම්භය සටහන් වන්නේ අඩි 32 අඟල් 6ක් ලෙස යි. එසේම එහි ඇතුළත පිහිටා ඇති පැරණි ස්තූපයේ විෂ්කම්භය අඩි 24 අඟල් 9ක් පමණ වනවා. 1929 වසරේ දී තිරියාය පුදබිමේ තිබුණු ගල් තලාවක කොටා තිබුණු සෙල්ලිපියක මෙය තපස්සු-භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු නිදන් කොට සෑදූ ගිරිහඬු සෑය නම් චෛත්‍යය ලෙස සඳහන්ව තිබුණු බව කියවෙනවා. සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇති එම සෙල්ලිපිය ක්‍රි.ව 8 වැනි සියවසේ අනුරාධපුරයේ රජකම් කළ අග්‍රබෝධි සිලාමේඝ රජ දවස ලියවුණු එකකැ යි සැලකෙනවා.

ගිරිහඬු සෑය (girihaduseya.lk)

වටදාගෙය  

තිරියාය පුදබිම වඩාත් සුන්දර වී තිබෙන්නේ ස්තූපය වටා ඉදි වී ඇති අලංකාර වටදාගෙය නිසා යි. ක්‍රි.ව 8 වැනි සියවසේ දී අග්‍රබෝධි සිලාමේඝ රජතුමා විසින් මෙය ඉදිකර වූ බවට අනුමාන කරන්නේ තිරියාය පුදබිමේ ඇති සෙල්ලිපියක සඳහන් විස්තරයකට අනුව යි. තිරියාය වටදාගේ විෂ්කම්භය අඩි 79ක් පමණ වන විට එයට පිවිසීම සඳහා තිබෙන දොරටු හතරෙහි සඳකඩ පහන, මුරගල, සහ කොරවක්ගල දක්නට ලැබෙනවා. එසේම මෙම වටදාගෙය කුළුණු 44ක් මත ඉදිකොට තිබුණු බව නිගමනය කළ හැකියි. මැදිරිගිරිය සහ ථූපාරාමය වැනි වටදාගෙවල්වල ගල්කණු හිස වෙනම නෙළා සවිකර ඇතත් තිරියාය වටදාගයේ ගල්කණු හිසත් සමග තනි ගලෙන් නිමවා තිබීම මෙහි දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක්. මෙම වටදාගයේ පිටතින් බැඳි ගල් බිත්තිය නිසා එයට අලංකාර බවක් එක් වී ඇති බව නිරීක්ෂණය කළ හැකියි. එම බිත්තියේ උස අඩි 10 අඟල් 3ක් පමණ වන බව ද සඳහන්.

වටදාගෙය සහ ස්තූපය (N.H Samarasinghe) 

පුදබිම විනාශයට යාම 

පළමු අග්බෝ, මහා විජයබාහු වැනි රජවරුන් මෙම පුදබිමේ ඇති සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කළ බව කියවෙනවා. නමුත් ක්‍රි.ව 1215 දී කාලිංග මාඝ නම් දරුණු ආක්‍රමණිකයා විසින් පොළොන්නරුව රාජධානිය අල්ලාගැනීමෙන් පසුව මෙම පුදබිම විනාශ කරනු ලැබුවා. ඉන් පසුව ලංකාවේ රාජධානි නිරිතදිග ප්‍රදේශවලට සංක්‍රමණය වීමත් සමග මෙම ප්‍රදේශ වල් බිහි වුණා. එම නිසාම තිරියාය පුදබිම විනාශ වුණා පමණක් නොව එහි ඇති නටබුන් නිදන් හොරුන්ගේ ග්‍රහණයට ද නතු වුණා.

යළි සොයාගැනීම 

කාලයක් තිස්සේ කැලයෙන් වැසී තිබුණු මෙම පුදබිම 1929 වසරේ දී යළි මතු කරගෙන තිබෙන්නේ ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද ස්වාමීන් වහන්සේගේ කැපවීමෙහි ප්‍රතිඵලයක් වශයෙන්. ඉන් පසුව 1930 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් තිරියාය පුදබිම වෙත ගොස් තිබෙනවා. එහි ගිය කණ්ඩායම ඉන් අනතුරුව පුදබිමේ මැනුම් කටයුතු සිදුකිරීමෙන් පසුව එය පුරාවිද්‍යා ආරක්ෂිත භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් වුණා. මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් ලියන ලද පුරාවිදු පර්යේෂණ පොතේ සඳහන් වන ආකාරයට 1951 වසරේ දී පමණ මෙම බිම සංරක්ෂණය කිරීමේ වැඩ කටයුතු අරඹා තිබෙනවා. 1953 වසර වන විට වටදාගයේ වැඩ කටයුතු බොහෝමයක් නිම කිරීමට හැකි වුණු බව එම පොතෙහි වැඩිදුරටත් සඳහන් වනවා.

වර්තමාන තත්ත්වයට පත්වීම 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුව සංරක්ෂණය කළ තිරියාය පුදබිම යළි විනාශයට පත් වුණේ දශක 3ක් පුරාවට පැවති ඊළාම් යුද්ධය නිසා යි. එදා කොටි ත්‍රස්තවාදීන් එල්ල කරන ලද රුදුරු ප්‍රහාරයන්ට ගොදුරු වුණු මෙම පුදබිම යළිත් වසර ගණනාවක් පාළුවට ගොස් තිබුණා. නමුත් 2009 වසරේ දී යුද්ධය නිමාවීමත් සමග යළි තිරියාය පුදබිම වෙත සංචාරකයන් පැමිණෙන්නට වුණ. එම නිසා අද වන විට මෙය සංචාරකයන් නිතරම පැමිණෙන තැනක් බවට පත්ව තිබෙනවා. ඔබට තවමත් මෙම සුන්දර පුදබිම වන්දනා කිරීම සඳහා යාමට නොහැකි වුණා නම් නුදුරු දිනක දී එහි ගොස් සුන්දරත්වය නරඹන්න.

කවරයේ ඡායාරූපය- තිරියාය පුදබිම (girihaduseya.lk)

මූලාශ්‍රයයන්

1) පුරාවිදු පරීක්ෂණ- සෙනරත් පරණවිතාන

2) පූජාවලිය 

3) මහාවංසය 

Related Articles