තෝනිගල සෙල්ලිපිය: පුරාණ බැංකු ක්‍රමය ගැන පැරණිත ම ලියවිල්ල

කිත්සිරිමෙවන් රජු කරවූ වවුනියාව තෝනිගල සෙල්ලිපිය අවුරුදු 30ක් තිස්සේ තිබුණේ පස්තට්ටුවකින් වසා දමලා. ඒ උතුරේ යුද සමයේ දී එයට සිදු වන හානිවලින් ආරක්ෂා කිරීමට යි.

එම තිබූ පස් ඉවත්කර තෝනිගල සෙල්ලිපිය මහජනතාවට යළිත්  දැක බලා ගත හැකි සේ පසුගිය දා විවෘත කළා. පුරාණ බැංකු ක්‍රමයක් ගැන කියවෙන මේ සෙල්ලිපියේ සුලමුල විමසා බලමු.

1 සෙල්ලිපිය කලකට පෙර වසා තිබූ ආකාරය – assistia.com

සෙල්ලිපියේ පිහිටීම

සෙල්ලිපිය සහිත පුරාවිද්‍යා ස්ථානය වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා තිබෙනවා. වවුනියාව නගරයේ සිට හොරොව්පොතාන දක්වා මාර්ගයේ කිලෝමීටර නවයක් පමණ දුරකින් ඇති කුඩාකච්චකොඩිය ගම්මානයේ දී තමයි එය දැක ගැනීමට ලැබෙන්නේ. සෙල්ලිපිය කොටා ඇත්තේ එහි පොළෝ මට්ටමේම පිහිටි ගල් තලාවක් මත යි.

දෙමළ භාෂාවෙන් ‘තෝනි’ යනු ඔරුවයි. මේ සෙල් ලිපිය පිහිටි ස්ථානයට නුදුරෙන් පිහිටි ගල් තලාවේ, ඔරුවක හැඩය ගත් කුඩා පොකුණු කීපයක් ඇති බැවින්, මේ සෙල් ලිපිය අයත් පෙදෙස ම තෝනිගල වශයෙන් හඳුන්වා තිබෙනවා.

සෙල් ලිපිය වසා තිබූ පස්තට්ටුව ඉවත් කරමින් – mawbima.lk

මඩෙන් වසා රැක ගත් සෙල් ලිපිය

වර්ෂ 2009 දක්වා පැවති පසුගිය යුද සමය වවුනියාව අවට නිතර මෝටාර් උණ්ඩ, බෝම්බ හෙළීම්, කාලතුවක්කු සටන් සිදුවුණු කලාපයක්. මේ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වැදගත් සෙල් ලිපිය ආරක්ෂා කර ගැනීම බරපතල ගැටලුවක් වුණා. කාලතුවක්කු හෝ මෝටාර් උණ්ඩයක් හෝ සෙල් ලිපිය මතට පතිත වුණොත් එහි අක්ෂර විනාශ වී යාමට ඉඩ තිබුණා. මේ නිසා සෙල් ලිපිය වූ පර්වත සීමාව වටා අඩියක් පමණ උසට ගඩොල් බැම්මක් බැඳ පස්වලින් මඩ අනා මුළු සෙල් ලිපිය ම මඩ තට්ටුවකින් වසා දැම්මා.

එසේ බැම්ම පිරෙන්නට මඩ පිරවූයේ, මෙහි අක්ෂර ආරක්ෂා කිරීමට යි. පර්වතය මත පිහිටි සෙල් ලිපි දෙක වටා ම බැමි බැඳ, මඩ පුරවා තිබුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය හා නිර්දේශය මත මෙම සෙල්ලිපියේ පස්බවට පත් ව තිබූ මඩ තට්ටුව පසුගිය දා ඉවත් කෙරුණේ තිස් වසරකට පසුව යි. උතුරු නැඟෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුවඇටගම ආනන්ද මාහිමියන් ඇතුළු පළාතේ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය හා එක්ව සෙල්ලිපියේ මැටි තට්ටුව ඉවත් කිරීම සිදුවුණා. පස් ඉවත් කර පාදා ගත් සෙල්ලිපිය නැවත පිටපත් කිරීමට ද පුරාවිද්‍යා නිලධාරින් පසුගිය දිනවල කටයුතු කළා. දැන් අපේ ඉතිහාසයට කැමති කාටත් සෙල්ලිපිය නැරඹීමට යන්නට පුළුවන්.

 සෙල්ලිපිය පිටපත් කිරීමට අවට පිරිසිදු කරමින් – bbc.com

සෙල්ලිපි තුනක්

ගල්තලාවේ වෙන් වෙන් ව සටහන් කළ සෙල්ලිපි තුනක් පිහිටා තිබෙනවා. ඒ අවට බිමේ වෘත්තාකාර පුරාවිද්‍යා ව්‍යුහ 2ක්, කණු පාදම් සහිත ස්ථානයක් සහ පොකුණු දෙකක් අවට දැකගත හැකි යි. ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් සාධක ද ගල් තලාවේ තැනින් තැන විසිර පවතින බව පුරාවිද්‍යාඥයන් පවසනවා. ඒ අතරින් ප්‍රධාන ලිපියේ තමයි පුරාණ බැංකු ක්‍රමය ගැන සඳහන් වෙන්නේ.

ඒ අසල කොටා ඇති අනෙක එම සෙල්ලිපියේ ම තවත් පිටපතක කොටසක් බව හෙළිව තිබෙනවා. සමහරවිට ප්‍රථමයෙන් ලියන්නට පටන් ගන්නට ඇත්තේ දෙ වැනියට කී සෙල්ලිපිය විය හැකි යි. එය ගලේ කෙටීමේ දී සිදු වූ කිසියම් දෝෂයක් නිසා ලිපිය බාගෙට සටහන් කර නවතා දමා අනෙක් ලිපිය සම්පූර්ණ වශයෙන් සටහන් කළා වීමට ඉඩ තිබෙනවා. පර්වතයේ ඇති තුන්වැනි ලිපිය තෝනිගල ප්‍රධාන ලිපියට මීටර් 10ක් පමණ දුරින් පිහිටා තිබෙනවා. එය ප්‍රධාන ලිපියට සියවස් කිහිපයකට පෙර ලියූ තනි අක්‍ෂර පෙළකින් යුතු ලිපියක්. එම ලිපිය කියවා විස්තර පළ කළ බවට මෙතෙක් සඳහනක් නැහැ.

නූතන මූල්‍ය ආයතන මෙන් ම ගනුදෙනුකරුවන්ගෙන් තැන්පතු ලබාගෙන එම තැන්පතු ආයෝජනය කරමින් ලාභ ලැබූ එම ලාභයෙන් කොටසක් තැන්පතුකරුවන්ට වාර්ෂික පොලිය වශයෙන් ලබාදීමට සමත් වූ බැංකු ක්‍රමයක් ගැන මෙහි පැවසෙනවා. මේවායේ ගනුදෙනු කළේ කාසිවලින් නම් නොවෙ යි. විධිමත් ධාන්‍ය බැංකු ක්‍රමයක් අනුරාධපුර යුගයේ ලංකාවේ පැවති බවට මෙය වැදගත් සාක්ෂියක්.

 සෙල්ලිපියේ මුලින්ම ලබාගත් ස්පර්ශ ලාංඡන පිටපතක්- archaeology.lk

තෝනිගල සෙල්ලිපිය

මෙම ලිපිය පිළිබඳ ව පළමුවෙන් 1886 දී හෙන්රි පාකර් විස්තර වාර්තා කොට ඇති බවත්, පසුව 1892 දී එවකට ශිලාලේඛන බාර සහකාර පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ඩී.එම්. ද ඉසෙඩ්. වික්‍රමසිංහ මෙහි තිබූ ලිපි පිටපත් කර එම වර්ෂයේ ම පාලන වාර්තාවේ ශිලා ලිපි ලැයිස්තුවේ වර්තා කර ඇති බවත් සඳහන් වෙනවා. එච්.සී.පී. බෙල්ගේ අධීක්‍ෂණයෙන් යුතු ව මෙම ලිපියේ නේත‍්‍ර පිටපතක් සකස් කළ බවත් පැවසෙනවා.

සෙල්ලිපිය අක්‍ෂර පේළි 17කින් යුක්ත යි. මෙහි මුල් අක්‍ෂර පේළි හතර අඩි 9ක් දිගින් ද පහේ සිට දහසය දක්වා ඇති පේළි අඩි 8ක් හා අවසාන පේළිය අඩි 2ක් දිගින් ද යුක්ත යි. වර්ග අඩි 10ක පමණ ප්‍රදේශයේ පැතිරුණු ලිපියෙහි එක් අක්‍ෂරයක සාමාන්‍ය උස අඟල් 3ක් වෙනවා. වර්ෂ 1933 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙහි ස්පර්ශ ලාංඡන පිටපතක් ගෙන මෙය කියවා පළ කර තිබෙනවා.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ සෙල්ලිපිය බැංකු ක්‍රමය, පොලී ක්‍රමය හා ස්ථිර තැන්පතු ක්‍රමය සම්බන්ධයෙන් වන ලොව පැරණිත ම ලියවිල්ල බව යි. මෙහි කියවෙන කළහුමනක නියමතන නම් ආයතනය තැන්පත් බාර ගෙන පසුව ඒවාට පොලියක් ගෙවන බැංකුවට සමාන ආයතනයක්. මුදල් භාවිතයට වඩා භාණ්ඩ හුවමාරු ක්‍රමය පැවති එකල එහි තැන්පත් කර ඇත්තේ ධාන්‍ය වර්ග යි. වෙළඳ ගම්සභාව යන්න එම ආයතනයට දිය හැකි සුදුසු ම වචනය බව මහාචාර්ය පරණවිතාන සඳහන් කර තිබෙනවා. අතීතයේ තිබූ මෙබඳු තවත් ආයතන කිහිපයක් ම පිළිබඳව පෙරුමියන්කුලම, ලබුඇටබැදිගම, බඳගිරිය ආදී සෙල්ලිපිවලින් පැහැදිලි වෙනවා.

සෙල්ලිපියේ පෙළ දැනගන්නට කැමති නම් කියවා බලන්න:

01. සි පුවිය මහසෙන මහරජ පුත සිරිමෙකවණ අබමහරජහ වත ලෙගි
02. නක තිනවනක වසහි නකරහි උතරපසහි කළ හුමනක නියම තනහි සිය අරි
03. කිණියෙහි නිකත කඩු බලගමකෙහි වසනක අමෙති පහෙජ සිවය
04. හ පුත දෙවයහ යහිස පවය නවවහෙරකෙහි දින අරිය ච
05. ස වට වී දෙහකඩ දස අමණක වී ඉච ස අමණක
06. උදිඉව බයලි දස අමණක ඉව මෙදෙහකඩ දස අ-
07. මණක වී පිටදඩහසහි වෙඪ අකලහසහි වෙඪ මරි
08. දෙහසහි වෙඪ පචවිසිය අමණක වී ඉච මෙස අමණක උදිහි
09. වෙඪ එක අමණ දෙපෙකඩක උදිඉව දසඅමණක බයලිහි වෙඪ අ
10. දෙපෙකඩක බයලි ඉව මෙවනක වනහි ගහෙ කිණිය විටවය වෙ
11. ඪගෙණ තිණඩහකට දනවටඉව අතරකජක වටඉව අතරකජ
12. පර කර යපෙනි ඉච දී මියවට පෙණිතිල ඉච බුත තෙල ඉච ලොණ ඉච
13. පලහවට ඉච වෙටලය ඉච වහෙරරි ගසරරිපරි පචනහ
14. මිලිය පදිය ඉව මෙව (නක) වෙඪ වනක ගෙණ වනය ච(න)‍ෙ
15. අතොවසභි නිකමණිය චදපුණමස දොළසපක දිවසෙ
16. (අ) රියවස කරන මහබිකු සගහට නියතකොටු යහිසපව(තන)
17. ව වහෙරක හි දින

 මඩුකන්ද දළදා විහාරය-assistia.com

සෙල්ලිපියේ සරල තේරුම

මංගලයක්‌ වේවා! පෘථිවීශ්වර (පෙර සිටි) මහසෙන මහ රජුගේ පුත්‍ර වූ සිරි මේඝවණ්‌ණ අභය මහ රජතුමා සේසත් එසවූ තුන් වැනි වර්ෂයේ දී නගරයෙහි උතුරු දිශාවේ ‘කලහුමනක’ නම් වෙළෙඳ සභාවේ (බැංකුවේ) තමා විසින් පරිත්‍යාග කරන ලද වස්‌තුව අඩු වීමක්‌ හෝ හීන වීමක්‌ හෝ නොවන ලෙස කඩුබලගම වාසය කරන අමාත්‍ය පර්ෂදයේ සිවගේ පුත්‍රයා වන දේව විසින්, යහිස පර්වතයෙහි අභිනව විහාරයට දෙන ලද අරියවංශ දේශනාව පැවැත්වීම සඳහා, වී සකට (කරත්ත) දෙකක්‌ හා දස අමුණක වී ද, අමුණු හයක උඳු ද, මුං ඇට අමුණු දහයක්‌ද දෙන ලදී. මේ දස අමුණක වීවල මහ කන්නයේ පොලිය ද, යල කන්නයේ පොලිය ද, මැද කන්නයේ පොලිය ද වශයෙන් අමුණු විසිපහක වී ද, උඳු හය අමුණක පොලිය ද, උඳු එක අමුණු පෙකඩ දෙකක්‌ද, මුං දස අමුණක පොලිය අමුණු දෙකයි පෙකඩ දෙකක්‌ ද වේ.

තෝනිගල සෙල් ලිපියට අනුව, එකල අරියවංශ සූත්‍ර දේශනාව කරන ලදැයි දක්වන ‘යහිස පවත විහාරය’, වත්මන් මඩුකන්ද ශ්‍රී දළදා විහාරය බවට අතීත වංශකථාවල තොරතුරුවලට අනුව සනාථ කරගෙන තිබෙනවා. ඒ අනුව රජු, බැංකුවේ තැන්පත් කළ ධාන්‍ය ගම්වාසීන්ට පොලියට දී ඇත්තේ, එම පොලී ආදායමෙන් වාර්ෂිකව යහිස පවත විහාරයේ අරියවංශ සූත්‍රය දේශනා කරන භික්ෂූන් වහන්සේලාට සිව්පසය සපයා දීමට යි.

 පස් තට්ටුව ඉවත් කළ පසුව- bbc.com

තැන්පතු ධාන්‍යවල පොලිය

තෝනිගල සෙල්ලිපියේ සදහන් වන වෙළඳ ගම් සභාවේ ප්‍රාග්ධනය ලෙස තැන්පත් කොට ඇත්තේ වී, උදු සහ මුං යන ධාන්‍ය වර්ග යි. එහි දී වී අමුණු පනහක් ද, උදු අමුණු හයක් ද, මුං අමුණු දහයක් ද රජු තැන්පත් කර තිබෙනවා. මෙම තැන්පතු ධාන්‍යවලින් යම් ප්‍රමාණයක් වෙනත් ඕනෑම ගනදෙනුකරුවකුට පරිහරණය සඳහා ලබා ගැනීමට හැකියාවක් තිබුණා. ඔවුන් පසුව ආයතනයට ඒ සඳහා සම්මත පොලිය ධන්‍යවලින් ම ගෙවීය යුතු වුණා.

සෙල්ලිපියේ කියවෙන අන්දමට වී වලින් යල, මහ සහ මැද යන කන්න තුන සඳහා ම ස්ථීර තැන්පතුවෙන් ලැබෙන පොලිය අමුණු විසි පහක් වෙනවා. වී ගොවිතැන සඳහා තැන්පත් කළ ප්‍රාරග්ධනය වූ අමුණු පනහට පොලිය වශයෙන් අමුණු විසි පහක් ලැබෙන්නේ නම් වාර්ෂික පොලිය 50%ක් තරම් ඉහළ ප්‍රමාණයක්. ඇත්තට ම එය අද භාෂාවෙන් කිව්වොත් ගිනි පොලියක්. ගොඩ ගොවිතැනට යොදාගන්නා උදු, මුං ආදිය තැන්පත් කිරීමට ලැබෙන වාර්ෂික පොලී අනුපාතය වන්නේ 25%ක්. එනම් තැන්පත් කළ ධාන්‍ය වලින් 1/4කට සමාන ප්‍රමාණයක්.

සෙල්ලිපිය කරවූයේ කිත්සිරිමෙවන් රජු

තෝනිගල සෙල්ලිපිය මහසෙන් රජුගේ පුත් කීර්ති ශ්‍රී මේඝවර්ණාභය හෙවත් කිත්සිරිමෙවන් රජු (ක්‍රිස්තු වර්ෂ 303-331) කරවා ඇති සෙල්ලිපියක්. දළදාව මෙරටට වැඩමවාගෙන ආවෙත් ඒ රජ සමයෙ යි. බුදු දහමට රජු විශාල අනුග්‍රහයක් දක්වා තිබෙනවා.

ශ්‍රී මේඝවර්ණාභය රජුගේ ඇමැතිවරයකු වූ සිවගේ පුත් දේව තමයි වෙළෙඳ ආයතනයක ධාන්‍ය වර්ග කිහිපයක් තැන්පත් කර එය ස්ථිර තැන්පතුවක් වශයෙන් පවත්වා ගෙනගොස් තිබෙන්නේ. ඒ රජුගේ නියෝගය මත යි.

කවරයේ ඡායාරූපය - සෙල්ලිපිය පිටපත් කරමින් ස්පර්ශ ලාංඡනයක් ගනිමින්- lankadeepa.lk

මූලාශ්‍ර:
archaeology.lk
බිබිසී සිංහල
dinamina.lk
පුරාවිද්‍යා ශත සංවත්සර ග්‍රන්ථ මාලා- අභිලේඛන සංස්. නන්දදේව විජේසේකර

Related Articles