අගමැතීන්ට එරෙහිව කළ ඓතිහාසික කුමන්ත්‍රණ

පසුගිය ඔක්තෝබර් 26 දා සිට සිදු වූ ‘අගමැති කලබලය’ ගැන ඔබ කවුරුත් මේ වන විට දැනුවත්වයි සිටින්නේ. එක පාර්ශවයක් එය ව්‍යවස්ථානුකූල බව කියද්දී අනෙක් පාර්ශවය එය ව්‍යවස්ථා විරෝධී බව කියනවා. කෙසේ නමුත් එය තීරණය කිරීම බාර වෙන්නේ පාර්ලිමේන්තුවට සහ අධිකරණයට යි.

නිතර ‘දේශපාලන කුමන්ත්‍රණ’ ගැන සඳහන් කෙරෙන මෙසමය, නිදහසින් පසු ඉතිහාසයේ අප රටේ අගමැතිවරුන්ට විරුද්ධව සිදු වූ දේශපාලන කුමන්ත්‍රණ කීපයක් ඔබ වෙත ගෙන ඒමට කාලෝචිත අවස්ථාවක් බව අප සිතුවා.

1959 බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණය

අගමැති බණ්ඩාරනායක- colombotelegraph.com

1956 මැතිවරණයෙන් ජය ලබා අගමැති ධුරයට පත්වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකට, 1959 සැප්තැම්බර් 25 වැනි දා චීවරධාරියෙකු 45 webley Mark VI වර්ගයේ රිවෝල්වරයකින් පපුවට වෙඩි තැබුවා. ‌ඉන් දිනකට පසු අගමැතිවරයා මියගියේ රටම සෝ සයුරේ ගිල්වමින්. බණ්‌ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු වූයේ තල්දූවේ සෝමාරාම නමැති භික්ෂුව යි. මරණ දඬුවම හිමිවූ එම භික්ෂුව තමා අගමැතිතුමාට වෙඩි නොතැබූ බව මරණ දඬුවම ක්‍රියාත්මක වන තෙක්ම ප්‍රකාශ කළා. බණ්‌ඩාරනායකට වෙඩි තැබූ සැණින් හිස මුඩු, මිටි, මහත පුද්ගලයකු රොස්‌මීඩ් පෙදෙසේ බණ්‌ඩාරනායක නිවස අසල වූ තාප්පයෙන් පිටතට පැන “වැඩේ හරි” කියමින් මෝටර් රථයකට ගොඩ වූ බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු සාක්ෂ්‍ය දෙමින් කියා තිබුණා.

බණ්ඩාරනායකට වෙඩි තැබූ පිස්තෝලය- dbsjeyaraj.com

මෙම ඝාතනයට සැකපිට කැලණිය රජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්‌ඛිත භික්ෂුව, වැල්ලම්පිටියේ එච්. පී. ජයවර්ධන, වෛද්‍ය කරෝලිස්‌ අමරසිංහ හා පොලිස්‌ පරීක්‍ෂක නිව්ටන් පෙරේරා, සහ එවකට මුදල් ඇමැති ස්‌ටැන්ලි ද සිල්වාගේ සහෝදරයකු වූ ඩිකී ද සොයිසා හා ඇමැතිනී විමලා විඡේවර්ධන ද අත්අඩංගුවට ගනු ලැබුවා. 1959 නොවැම්බර් 26 දා ඔවුන්ගෙන් 7 දෙනකුට නඩු පවරනු ලැබූ අතර ඩිකී ද සොයිසා නිදහස ලැබුවා.

දේහය බැලීමට පැමිණි ජන ගඟ- dbsjeyaraj.com

බුද්ධරක්‌ඛිත භික්‍ෂුව ඇමැති ධුරයක් දැරූ විමලා විඡේවර්ධනගේ ඉතා කිට්‌ටු හිතවතෙක්. නැව් සමාගමක්‌ පිහිටුවීම සඳහා මුදල් ආයෝජනය කර තිබූ භික්‍ෂුව බණ්‌ඩාරනායකට මැතිවරණයට සහාය දී තිබුණා. නමුත් නැව් සමාගම් තිබිය යුත්තේ රජය යටතේ බව කියූ අගමැති බණ්ඩාරනායක, එයට සහාය දීම ප්‍රතික්ෂේප කළා. අගමැති සමග එකඟත්වයකට පැමිණීමට නොහැකි වුවහොත් ඔහුගේ ආණ්‌ඩුව පෙරළන බව බුද්ධරක්‌ඛිත භික්‍ෂුව ප්‍රසිද්ධියේ කියා තිබුණා. එහෙත් අගමැති ඝාතනය කරන බව අප්‍රසිද්ධියේ කියූ භික්ෂුව, ඒ මිනීමැරුම සඳහා කිසියම් පුද්ගලයකු කුලියට ගැනීමට තීරණය කර තිබුණු බව පසුව හෙළි වුණා. ඒ සෝමාරාම භික්ෂුව හෝ හිස බූ ගෑ වෙනත් පුද්ගලයෙක්‌ විය හැකි වුණා. අගමැතිට රොස්මීඩ් පෙදෙසේ නිවසේ දී සෙනසුරාදායින් පසු එළැඹෙන සඳුදා නිව්යෝර්ක්‌හි එක්‌සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට ඔහු සැලසුම් කරගෙන සිටියා.

තල්දූවේ සෝමාරාම උසාවියට රැගෙන යමින්- executedtoday.com

කවුරුත් උනන්දුවක් දැක්වූ දීර්ඝ නඩු විභාගය අවසානයේ දී මාපිටිගම බුද්ධරක්ඛිත, තල්දූවේ සෝමාරාම, හා එම්.පී.ජයවර්ධන වරදකරුවන් වී මරණීය දණ්ඩනය නියම වුණා. විමලා විජයවර්ධන නඩු විභාගයෙන් නිදහස් වුණත් ඇය යළිත් දේශපාලනයට පැමිණියේ නැහැ. නඩු තීන්දුවට එරෙහිව කළ අභියාචනයේ දී මාපිටිගම බුද්ධරක්ඛිත සහ එම්. පී. ජයවර්ධනට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වුණු අතර තල්දූවේ සෝමාරාම මරණ දඬුවම ලැබුවා.

1962 අගමැතිනි ඇල්ලීමේ කුමන්ත්‍රණය

කුමන්ත්‍රණය ගැන පුවත්පත් වාර්තා-dailymirror 2015 -1-16

බණ්ඩාරනායක ඝාතනයෙන් පසු අගමැති බවට පත්වන්නේ ආචාර්ය විජයානන්ද දහනායක යි. ඉන්පසු පැවති 1960 ජූලි මහ මැතිවරණයේ දී  ශ්‍රිලනිප ප්‍රමුඛ රජයක් පිහිටවනු ලැබුවා. එම ආණ්ඩුවේ අගමැති වන්නේ එතෙක් කලක් ගෘහණියකව සිටි බණ්ඩාරනායක වැන්දඹුව වූ සිරිමා බණ්ඩාරනායක යි. ඒ සමගම ඇය ලෝකයේ ප්‍රථම අගමැතිනිය බවට පත් වුණා. සිරිමා 1965 දක්වා වසර 5ක් රට පාලනය කළත් ඒ අතර අර්බුද රැසකට මුහුණ දුන්නා. 1962 දී නොසිතු විරූ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක අභියෝගයට මුහුණ දීමටත් ඇයට සිදුවුණා.

සිරිමා ආණ්ඩුව 1961 දී එතෙක් පෞද්ගලික හා මිෂනාරි පිරිස් සතුව පැවති පාසල් අධ්‍යාපනය රජයට පවරා ගැනීමට කටයුතු කිරීමෙන් කුපිත වූ දෙස් විදෙස් බලවේග, දේශීය ආරක්ෂක හමුදා ලවා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කළ බව යි නඩුවේ දී හෙළි වුණේ.

මෙම කුමන්ත්‍රණය 1962 ජනවාරි 27 වැනි දා රාත්‍රියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණේ අගමැතිනිය කතරගමට පැමිණි විටක දී යි. එහිදී ඇය අත්අඩංගුවට ගැනීමටත්, ඇගේ ඇමැතිවරුන් පසුව කොළඹ දී අත්අඩංගුවට ගෙන රාජ්‍ය බලය පැහැර ගැනීමටත් සැලසුම් කර තිබුණා.

කොළඹ නගරය, ගුවන් විදුලි සංස්ථාව (එවකට පැවති එකම විද්‍යුත් මාධ්‍යය), දුරකථන සේවා අත්පත් කරගෙන, ඇඳිරි නීති පනවා, අගමැතිනිය හා ඇගේ දූ පුතුන්, සහ අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් හා පොලිස්පති ඇතුළු නිලයන් අත්අඩංගුවට ගැනීම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ වුණා.

ඉතාම රහසිගත ආරම්භ කළ මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිත හඳුන්වා දී තිබුණේ රහසිගත සංකේතවලින්. නියෝජ්‍ය පොලිස්පති සී.සී.දිසානායක හැඳින්වූ රහසිගත නාමය වූයේ ‘ජන්ගල්‘. රණසිංහගේ නාමය වූයේ “හැන්ඩ්සම්”.

අගමැතිනි සිරිමා බණ්ඩාරනායක- Wikipedia.org

කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට පෙර දා එයට සම්බන්ධ කණ්ඩායම සාදයක් පවත්වා විසිර ගොස් සිටියා.  එදා රාත්‍රියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත වූ කුමන්ත්‍රණයේ පළමු අදියර භාරවූයේ දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී එම්.ඩී.තම්බයියාට යි.

පෙර කී සාදයේ දී අධිකව මධුවිත සප්පායම් වී සිටි පොලිස් අධිකාරී ස්ටැන්ලි සේනානායක එදින නිවසට ගොස් බීමතින් දොඩවමින් සිටිය දී කුමන්ත්‍රණයේ තොරතුරු කීපයක් ද කියැවෙනවා. එය ඇසූ සේනානායක මහත්මිය ඇය ලබාගත් සියලු තොරතුරු ඇගේ පියා වූ, ආනන්ද විදුහලේ හිටපු විදුහල්පති පී.ද.එස්.කුලරත්නට දන්වනවා. හිටපු විදුහල්පතිවරයා සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුවට සම්බන්ධ අම්බලන්ගොඩ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද, මැතිනියගේ හිතෛශියෙක් ද වුණා.

මධ්‍යම රාත්‍රියේ දී දියණියගේ දුරකතන පණිවිඩය ලැබෙන විට තද නින්දේ සිටි ඔහු, ලැබුණු පණිවිඩයේ බරපතලකම නිසා ඇඳිවත පිටින්ම අරලියගහ මන්දිරයට ගොස් තොරතුර සැලකර තිබුණා. අගමැතිනියට එවෙලේ පොලිස්පතිවරයා සොයාගත නොහැකි වූ නිසා එවකට හමුදාපතිව සිටි මේජර් ජනරාල් විජේකෝන්ට අමතා අරලියගහ මන්දිරියේ ආරක්ෂාව තරකර ගත්තා.

කුමන්ත්‍රණය පුවත්පත් වාර්තා කළ අයුරු- ලංකාදීප 2018-1-7

අවසන් මොහොතේ සැලසුම් එළිදරව් වීම නිසා කුමන්ත්‍රණය අසාර්ථක වුණා. කුමන්ත්‍රණයේ පළමු විත්තිකරු වූයේ එකල ඉඩම් සංවර්ධන අධ්‍යක්‍ෂක වූ ඩග්ලස් ලියනගේ. මේ කුමන්ත්‍රණයට සිරිමා රජයේ ඉහළම පෙළේ හමුදා සහ පොලිස් නිලධාරීන් ද, සිවිල් සේවාවේ නිලධාරීන් ද සම්බන්ධව සිටි බව පසුව හෙළි වුණා. කුමන්ත්‍රණයට හවුල් වූ 24 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කෙරුනා.

එතෙක් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් දීමේ නීතියක් නොපැවති නිසා, සැකකරුවන්ට විරුද්ධ නඩු විභාගය සඳහා විශේෂ නීතියක්‌ සම්මත කිරීමට රජය කටයුතු කළා. ඒ, 1962 අංක 1 දරන අපරාධ නීති විශේෂ විධිවිධාන පනත‌ සම්මත කර ගැනීමෙන්.

නඩු විභාගයෙන් චූදිතයන්ට දස අවුරුදු සිරදඬුවම් දී, දේපොළ රාජසන්තක කෙරුණා. නමුත් එකල පැවති  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව චූදිතයන් එංගලන්තයේ ප්‍රිවි කවුන්සලයට අභියාචනයක් ඉදිරිපත් කළා. එංගලන්තයේ තීන්දුව වූයේ හදිසියේ සම්මත කරගත් පනතක් මඟින් වැරදිකරුවන් කළ ඔවුන් නිදහස් කරන ලෙස යි.  එනිසා කුමන්ත්‍රණකරුවන් නිදහස ලැබුවා.

1965 වැසිකිළි කුමන්ත්‍රණය

අගමැති ඩඩ්ලි සේනානායක- Wikipedia.org

1965 දී පැවැත්වූ මහ ඡන්දයෙන් සිරිමා ආණ්ඩුව පෙරළී ඩඩ්ලි සේනානායකගේ නායකත්වයෙන් එජාප  ආණ්ඩුවක් පිහිටෙවුණේ තවත් පක්ෂ හයක් එක්කරගෙන යි. මේ නිසා හත් හවුල් රජය යන නම ඊට ලැබුණා. නමුත් මේ රජය අවුරුද්දක් යාමටත් පෙර කුමන්ත්‍රණයකින් පෙරළා දැමීමට පිරිසක් උත්සාහ කළා. හමුදාපති රිචඩ් උඩුගම ඇතුළු පිරිසක් එයට සැකපිට අත් අඩංගුවට ගැනුණා. උඩුගම, මැතිනියගේ ඥතියෙකු ද වූ අතර ඉහළ ශ්‍රේණිවල නොවූ හමුදා භටයන් රැසක් හා සිවිල් වැසියන් රැසක් ද චෝදනා ලැබූවන් අතර සිටියා.

මෙහිදී අත් අඩංගුවට ගැනුණු කෝප්රල් තිලකවර්ධන සහ දොඩම්පේ මුදලාලි යන අය රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම් අතරේම අද්භූත ලෙස මියයෑම එකල රටේ කතාබහට ලක්වූ සිද්ධියක් වුණා. දොඩම්පෙ මුදලාලිගේ මරණය රහස් පොලිස් මූලස්ථානයේ හතරවෙනි තට්ටුවෙන් ඇදවැටී සිදුවූවක් බව රජය නිවේදනය කළත්, එය මිනීමැරුමක් බව නීතිඥයන් උසාවියට ඔප්පු කළා.

හේන්පිටගෙදර ඥාණසීහ හිමි බන්ධනාගාරයට රැගෙන යමින් -revhenpitagedaraghanaseehathero.blogspot.com

ප්‍රසිද්ධ ධර්ම දේශකයෙකු වූ හේන්පිටගෙදර ඥණසීහ භික්ෂුව මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චූදිතයා වූ අතර, සිංහල බෞද්ධ නිලධාරීන් රැසක්ම කුමන්ත්‍රණ චෝදනාවට ලක්වුණා. එවකට අගවිනිසුරු පදවිය දැරූ ජී. පී. ඒ. ද සිල්වා ඇතුළු විනිසුරුවන් පස්දෙනකු ඉදිරියේ මෙම නඩුව වසර දෙකක් විභාගයට ගත්තා. මෙහිදී විත්තිකරුවන් උදෙසා පෙනී සිටියේ ප්‍රකට නීති විශාරදයකු වූ ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වාගේ නීතිඥ කණ්ඩායම යි.

හමුදාපති උඩුගම- asiantribune.com

මෙහි ප්‍රධාන විත්තිකරු වූ හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් ඇතුළු 28 දෙනා ඇප ලබා නොදී, දිගටම රිමාන්ඩ් භාරයේ තබාගත් අතර, රිචඞ් උඩුගම ඔවුන්ගෙන් වෙන්කර වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබුවා.

1965 දෙසැම්බර් 01 වැනි දා සිට 1966 පෙබරවාරි 18 වැනි දා දක්වා, රැජිනගේ ආණ්ඩුව යුද බලයෙන් පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම හා එම කාල සීමාව තුළ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට සූදානම් වීම යන ප්‍රධාන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරුණා.

නඩුව ඇසූ අලුත්කඩේ පැරණි උසාවිය-  tripadviser.com.au

නමුත් ප්‍රබන්ධ කළ සාක්ෂ්‍ය මත මෙම නඩුව ගොනු වී ඇති බව හෙළිවීම නිසා සියලු චූදිතයන් නිදහස ලැබුවා. මෙය ඇත්ත පුවත්පත මඟින් ‘වැසිකිළි කුමන්ත්‍රණයක්’ ලෙස උපහාසයට ලක් කළා. වසර දෙකක් පුරා විවිධාකාරයෙන් කරුණු හෙළිදරව් කරගෙන කුමන්ත්‍රණ චෝදනාව ඔප්පු කිරීමට ආණ්ඩුවේ නීතිපතිගේ මෙහෙයවීමෙන් දැරූ කිසිදු ප්‍රයත්නයක් සාර්ථක වුණේ නැහැ.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

දිවයින 2015 සැප් 28

2016 ඔක් 2 දිවයින

2018 ජන 07 වන ඉරිදා ලංකාදීප

දිනමිණ 2012 ජුනි 18

බණ්ඩාරනායක චරිතාපදානය- විමල් අභයසුන්දර

ආණ්‌ඩුව පෙරළීමේ කුමන්ත්‍රණය කළ හැටි- පී. මලල්ගොඩ

අරලියගහ මැදුරේ ස්‌පන්දනය- බ්‍රැඩ්මන් වීරකෝන්

https://rraju.wordpress.com

කවරය- Kesara Rathnayake - Flickr

Related Articles