Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව සිදුවූ අපූරු අහඹු සිදුවීම් ත්‍රිත්වයක්

ලොව සමහර දේ අහඹු ලෙස අපට නැවත නැවතත් අත්දකින්නට සිදු වෙනවා. මේවා සිදුවීමේ සම්භාවිතාව අනුව සමහරක් අහඹු සිදුවීම් අති සුවිශේෂී වෙනවා. උදාහරණයක් වශයෙන් එක ප්‍රදේශයක ජීවත්වන අයවළුන් දෙදෙනෙක් උදෑසන දින දෙකක් හෝ කිහිපයක් එකම බසයකට නැගීමේ අහඹු සිදුවීම සිදුවීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා. කෙසේ නමුත් සමහර අහඹු සිදුවීම් නම් සලකා බැලීමේ දී ලොව ඇත්තෙන්ම එවැනි දේ සිදුවූවා ද යන්න විශ්වාස කිරීමටත් අපහසු යි. මෙලෙස නැවත සිදුවීමේ සම්භාවිතාව දහස් ගණනකින් එකක් තරමේ වන, එහෙත් සිදු වූ දුර්ලභ අහඹු සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

ලිංකන් හා බූත්

එඩ්වින් බූත්- charlespaolino.com

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ ජනපතිවරයෙකු වන ඒබ්‍රහම් ලිංකන් 1865 වසරේ, විරුද්ධ මතධාරියෙකු වන වේදිකා රංගන ශිල්පී ජෝන් විල්කිස් බූත් එල්ල කළ වෙඩි පහරක් හේතුවෙන් ඝාතනය වූ සිද්ධිය ලොව බොහෝ දෙනා දන්නා කරුණක්. කෙසේ නමුත් ජෝන් ගේ සොයුරු එඩ්වින්ගේ නමත් ලිංකන් පවුල හා වෙනත් ආකාරයකින් ඈඳී තිබෙන බැව් ඔබ දන්නවා ද?

ඒබ්‍රහම් ලිංකන්ගේ පාලන සමයෙහි වහල් සේවය තහනම් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සිවිල් යුද්ධයක් ඇවිලී ගියා. ජෝන් සිටියේ වහල් සේවය අවැසි බැව් පවසන පාර්ශවයෙහි යි. කෙසේ නමුත් ඔහුගේ සොයුරු එඩ්වින් බූත් සිටියේ ලිංකන් රජයට පක්ෂපාතී මතයක යි. කෙසේ නමුත් එඩ්වින් ඉන් එහා ගිය සිදුවීමක් නිසා ලිංකන් පවුලෙහි කෘතඥතාවට ලක් වුණා.

1864 වසරේ එක් දිනෙක ලිංකන්ගේ පුත්‍රයෙකු වන රොබට් ටොඩ් නිව්යෝක් සිට වොෂිංටන් කරා දුම්රියෙන් යමින් සිටියා. එදින දුම්රිය මඟීන්ගෙන් පිරී තිබූ අතර, ජර්සිහි එය නැවැත්වූ පසු රොබට් එහි දොරෙන් මඳක් මෑත් වූයේ අන් අයට බැසගැනීම සඳහා යි. එහිදී ඔහු පය පැකිළී මඟී වේදිකාව හා දුම්රිය අතරින් රේල් පීලි මතට ඇද වැටෙන අතර, ඒ මොහොතේම දුම්රියත් ඉදිරියට ඇදෙන්නට පටන් ගන්නවා. මේ මොහොතේ ඒ අසල සිටි එඩ්වින් වහාම ඔහු ඉවතට ඇදගෙන රොබට්ගේ දිවි ගලවනවා.

ජෝන් මෙන්ම එඩ්වින් ද එවකට වේදිකා නළුවකු ලෙස ඇමෙරිකාවේ ප්‍රචලිතව සිටියා. රොබට් විසින් ඔහු හඳුනාගත් අතර මේ ජනපති පුතු බැව් එඩ්වින් දැන සිටියේ නැහැ. පසුකාලීනව සිය පුත්‍රයා මරණයෙන් ගලවාගැනීම පිළිබඳව ඒබ්‍රහම් ලිංකන් ගෙන් එඩ්වින්ට පැසසුම් පවා ලැබුණා.

ජනපති ඝාතන තුනක් ඇසින් දුටු රොබට් ලිංකන්

රොබට් ටොඩ් ලිංකන් සිය පියා සමග- Getty Images

මේ අහඹු සිදුවීමටත් මුහුණ දුන්නේ ඒබ්‍රහම් ලිංකන්ගේ පුතු රොබට් ටොඩ් ලිංකන්ම යි. වසර 230ක් පමණ පැරණි ඉතිහාසයක් තිබෙන ඇමෙරිකානු ජනපති පුටුව හෙබවූ සිවු දෙනෙක් මේ වන විට ඝාතනයට ලක් වී තිබෙනවා. මින් ත්‍රිත්වයක් 1865 වසරේ සිට 1901 වසර අතර කාලයේ දී සිදුව තිබෙන අතර, රොබට් ටොඩ් ලිංකන් ඒ ත්‍රිත්වයම සියැසින් දැක තිබෙනවා.

ඔහු කුඩා කල 1865 වසරේ දී සිය පියා ඝාතනය වනු සියැසින් දුටු රොබට් පසුකාලීනව සිය මව සමග චිකාගෝ නුවරට යනවා. එහිදී නීතීඥයෙකු වූ ඔහු සාර්ථක විවාහ ජීවිතයකට ද එළැඹෙනවා. අනතුරුව දේශපාලනයට ද පිවිසෙන ඔහු 1881 වසරේ දී ජේම්ස් ගාෆීල්ඩ්ගේ රජයෙහි යුධ හා පාලන පරිපාලන කටයුතු පිළිබඳ ලේකම්වරයා බවට ද පත් වෙනවා. එම වසරේ දීම ජූලි මාසයේ ගාෆීල්ඩ් ජනපතිවරයා සමග නිව්ජර්සි බලා යන්නට වොෂිංටන්හි දුම් රියපොළට ඔහු පිවිසෙන අතර එහිදී ඔහු ඉදිරියේම ජනපතිවරයාට සාහසිකයෙකු විසින් වෙඩි තබනවා. මින් මාස දෙකකට පසු මේ වෙඩිතැබීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් ජේම්ස් ගාෆීල්ඩ් මියයනවා.

රොබට් තෙවන ජනපති ඝාතනයත් සියැසින් දකින්නට අවාසනාවන්ත වන්නේ 1901 වසරේ දී යි. ඒ වසරේ  බෆලෝහි පැවති පෑන්-ඇමරිකන් ප්‍රදර්ශනය නරඹන්නට එවකට ජනපතිව හුන් විලියම් මැකින්ලිට ආරාධනා ලැබෙනවා. ඔහු එහි පැමිණි විට පිළිගැනීමට සිටි අය අතරේ රොබට් ලිංකනුත් සිටියා. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාගේ හමුවීම සිදුවීමට ඔන්න මෙන්න තිබිය දී කිසිවෙකු විසින් මැකෙන්ලිට වෙඩි තබන්නේ ලිංකන්ගේ ඇස් ඉදිරිපිටම යි. මේ වෙඩි තැබීමෙන් සති දෙකකට පසු මැකෙන්ලි ද මියයන්නේ උණ්ඩයක් ශරීරයෙහි රැඳීම නිසා ඇතිවූ සංකූලතා නිසා යි.

වයලට් ජෙසොප් හා නැව් අනතුරු

වයලට් ජෙසොප්- Thevintagenews.com

සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නැව් සමාගමක් වන ‘වයිට් ස්ටාර් ලයින්’ විසිවන සියවසෙහි මුල් භාගයේ ටයිටැනික්, ඔලිම්පික්, හා බ්‍රිටැනික් නමින් අධි සුඛෝපභෝගී නැව් තුනක් නිපදවූවා. මේ ත්‍රිත්වය පහසුවෙන් ගිල්වීම හෝ හානි සිදුකිරීම උගහට බැව් ප්‍රකාශ වූවත් මේ ත්‍රිත්වයම ඛේදනීය ඉරණම්වලට ලක් වුණා.

ආජන්ටිනාවේ උපන් වයලට් ජෙසොප් නම් අයිරිෂ් සම්භවයක් සහිත කාන්තාව පසුකාලීනව බ්‍රිතාන්‍යට සංක්‍රමණය වී, සිය මවගේ අඩිපාරේ යමින් නැව් සේවිකාවක් ලෙස සේවය කරන්නට පටන්ගත්තා. මුල දී රෝයල් මේල් සමාගමේ කලක් සේවය කළ ඇය පසුකාලීනව වයිට් ස්ටාර් ලයින් හා සම්බන්ධ වුණා. වයිට් ස්ටර් ලයින් සමාගම අධි සුඛෝපභෝගී නැව් ත්‍රිත්වයක් ලොවට හඳුන්වා දෙන්නේ මේ කාලයේ යි.

වයලට් මුලින්ම උක්ත නැව් ත්‍රිත්වයෙන් එකක් වන ඔලිම්පික් නෞකාවේ සේවයේ පිහිටුවනු ලැබූ අතර, 1911 වසරේ දී එම නෞකාව තවත් නැවක ගැටී අනතුරට භාජනය වෙනවා. මේ අනතුරෙන් වයලට් නිරුපද්‍රිතව දිවි බේරාගන්නවා. අනතුරුව 1912 වසරේ ඇය සේවය කිරීම සඳහා ටයිටැනික් නැව වෙත යවන අතර, මංගල ගමනේදීම එය අනතුරට ලක් වී ගිලී යනවා. 1500කගේ පමණ දිවි මේ අනතුරෙන් අහිමි වූවත් ඉන් දිවි ගලවාගත් 700ක් පමණ වූ පිරිස අතර සිටින්නට තරම් වයලට් වාසනාවන්ත වූවා. මෙහිදී ඇය කිහිපදෙනෙකුගේම දිවි බේරාගැනීම සඳහා ක්‍රියා කර තිබූ අතර දැඩි ශීතල පරයමින් ජීවිතාරක්ෂක බෝට්ටුවක පැය අටක් නිරුපද්‍රිතව රැඳී සිටින්නට සමත් වූ ඇයව කාපේතියා නැව විසින් අවසානයේ බේරා ගැනෙනවා.

වයිට් ස්ටාර් ලයින්හි තෙවන අධි සුඛෝපභෝගී නැව වන බ්‍රිටැනික් පළමුවන ලෝක යුද්ධය ඇවිලී ගිය පසු වෛද්‍යාධාර සපයන නැවක් බවට පරිවර්තනය කෙරුණා. මේ සමය වන විට වයලට් ජෙසොප් ද බ්‍රිතාන්‍ය රතු කුරුස සංවිධානයේ ස්වෙච්ඡා හෙදියක ලෙස වැඩ අරඹා තිබුණා. ඇය 1916 වසරේ දී බ්‍රිටැනික් නෞකාවට අනුයුක්ත කෙරෙන අතර එම වසරේ නොවැම්බරයෙ දී සතුරු ප්‍රහාරයක් නිසා බ්‍රිටැනික් නැවට විශාල හානියක් සිදුවෙනවා. කෙසේ නමුත් මේ අනතුරෙන් මියගිය ප්‍රමාණය 30ක් පමණක් වූ අතර නැවෙහි ගමන්ගත් දහසක් පමණ වූ සෙසු පිරිස දිවි ගලවාගෙන තිබුණා. මේ පිරිස අතර වයලට් ද සිටි අතර ඉන් අනතුරුව දිගු කලක් ඇය හෙදියක ලෙස නැව්වල සේවය කළා. වයලට් ජෙසොප් මියගියේ වයෝවෘධව 1971 වසරේ දී යි.

කවරයේ පින්තූරය- ලිංකන් ඝාතනය- battlefields.org

Related Articles