ජපානයේ තොකුගාවා පාලන සමය

ජපානයේ තොකුගාවා එසේත් නැති එඩෝ (Edo) වකවානුව වර්ෂ 1603 සිට 1867 දක්වා ජපානයේ පැවති සාම්ප්‍රදායික පාලනයේ, එනම් එවකට සංස්කෘතියේ හා සමාජයේ අවසන් කාල පරිච්ඡේදය ලෙස දැක්විය හැකි වනවා. තොකුගාවා ඉයෙයාසු (Tokugawa Ieyasu) ෂෝගුන්වරයා විසින් පිහිටවූ පාලනය​ වසර 250 කට අධික කාලයක් ජපානයේ බලය රඳවාගත් අතර​ රටේ සාමය හා සමෘද්ධිය තහවුරු කරනු ලැබුවා. ෂෝගුන්වරයකු ලෙස හැඳින්වූයේ හමුදා ආඥාදායකයකු වන් අයෙක්. නාමමාත්‍රව ජපන් අධිරාජයා ජපානයේ පාලකයා වුණත් සැබෑ ලෙස ම පාලනය රඳා පැවැතියේ ෂෝගුන්වරයා යටතේ යි.

තොකුගාවා පාලන කාළයේ නව වාණිජ පන්තියක නැගී සිටීම, හා නාගරිකකරණය වැඩි දියුණු වීම සිදු වුණා. බාහිර බලපෑම් රාශියක්ද තොකුගාවා පාලනය සමයේ එල්ල වූ අතරම, එම පාලන සමය නිමා වීමට බලපෑ මෙයිජි ප්‍රතිෂ්ඨාපනයේ (මෙයිජි ප්‍රතිසංස්කරණ​යේ) ආරම්භය ජපානයේ වැඩවසම් ක්‍රමයේ අවසානය ලෙස දැක්විය හැකි වනවා.

පාලනය

ඉයෙයාසු (commons.wikimedia.org)

මෙම තොකුගාවා පරම්පරාව යටතේ පාලනය ආරම්භ කරනු ලැබුවේ තොකුගාවා ඉයෙයාසු යටතේය. ඒ අනුව ජපානයේ පාලනයේ විධිමත් භාවයක් ඇති කරනු ලැබුවා. මෙම පාලනය යටතේද ද්විත්ව පදනමක් ඔස්සේ ආණ්ඩුව පාලනය කිරීම සිදු කරනු ලැබුවා. එලෙස පාලනය කළ ද්විත්ව පදනම් වූයේ රාජකීය පවුලත්, කියෝතෝ ප්‍රභූන්ගේ සභාවත්ය.

මොවුන්ට අනුව තම පරම්පරාව වෙත දේව කැමැත්ත පැවරී තිබෙන බවත් ඒ මත රාජ්‍ය රට පාලනය කිරීම සිදු කරන බවත් ජනතාව හට ඒත්තු ගැන්වීමට කටයුතු කරනු ලැබුවා. එමෙන්ම පාලකයන් පවිත්‍රත්වයෙන් යුක්ත පිරිස් වීම හේතුවෙන් ඔවුනට කිසිඳු හානියක් කළ නොහැකි බවටද රට පුරා මතවාද ව්‍යාප්ත කරනු ලැබුවා.

විදේශීය බලපෑම්

dailyoffice.wordpress.com

මෙම පාලනයේ මුල් වකවානුවේ දී පෘතුගීසි හා ස්පාඤ්ඤවරුන් සමඟ වෙළඳ කටයුතු පවත්වාගෙන ගිය අතරම, පසුව මෙම වෙළඳ කටයුතු සඳහා ලන්දේසි හා බ්‍රිතාන්‍යන්ද එකතු වනු ලැබුවා.

නමුත් මිෂනාරීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ලද්දේ වෙනයම් ප්‍රතිපත්තියකි. මිෂනාරින්ගේ පැමිණීමට ජපන් ජාතිකයන් වැඩි කැමැත්තක් නොදැක්වූ අතර, තොකුගාවා සමයේ බහුතර විශ්වාසයක් කොන්ෆියුසියස් දහම කෙරෙහි ඇති වී තිබුණා. එමෙන්ම දකුණු හා බටහිර ජපානයේ වෙළඳ මධ්‍යස්ථානයන්හි අවට වාසය කළ බහුතර පිරිස් කතෝලික දහම වැළඳගෙන තිබුණා. ආගන්තුක ආගම හේතුවෙන් රට, ජනතාවගේ දෙකඩ වීමක් මෙන්ම, සංස්කෘතියට යම් බලපෑමක් එල්ල වෙතැයි බියක් පළකරනු ලැබුවා. ටොකුගාවා පාලන සමය ආරම්භ වීමට ආසන්න වකවානුවේ ජපානයේ ක්‍රිස්තියානි භක්තිකයන් 300,000 පමණ සිටියා. මේ හේතුවෙන් පළමුව ජපානයට ආගන්තුක ආගම වැළඳ ගත් පිරිස් හට අවවාද කිරීමක් සිදු කර තිබෙන අතර, පසුව ක්‍රිස්තියානි දහම සම්පුර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කරනු ලැබුවා.

හුදකලා රාජ්‍යක් බවට පත් වීම

ක්‍රිස්තියානි ආගම තහනම් කිරීම වැනි නියෝග නිකුත් කිරීමෙන් පසුව, ටොකුගාවා ෂෝගුන්වරුන් ජාතික හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබුවා. වර්ෂ 1633 සිට ජපන් වැසියන් හට විදේශ රටවල සංචාරය කිරීම මෙන්ම, විදේශ රටවලින් නැවත පැමිණීම තහනම් කරනු ලැබුවා. එමෙන්ම විදේශ සම්බන්ධතා චීන හා ලන්දේසි වෙළෙන්ඳන්ට​ පමණක් සීමා කරනු ලැබුවා.

තොකුගාවා පාලකයන් වර්ෂයකට එක් නැවක් පමණක් ජපන් වරායකට ඇතුල් වීමට අවසර ලබා දීමක් සිදු කළ අතරම, ජපාන මුහුදු සීමාව තරණය කොට ඉන් එහාට යා හැකි නැව් තැනීමද තහනම් වුණා. මෙම නියෝග එසේත් නැතිනම් තහනම් නොතකා කටයුතු කරන පුද්ගලයන් හට දැඩි දඬුවම් පමුණවීමක්ද සිදු කරනු ලැබුවා.

මේ හේතුන් මත ලෝකයෙන් තනි වූ රාජ්‍යක ලක්ෂණ ජපානයේ තොකුගාවා පාලකයන් තුළින් පෙන්නුම් කරනු ලැබුවා.

ආර්ථිකය හා සමාජය

suffragio.org

නව​ කොන්ෆියුසියන් සිද්ධාන්තය ජපානයේ තොකුගාවා වකවානුවේ ප්‍රධාන වුණා. මෙම යුගයේ සමාජ පන්ති හතරක් පමණ හඳුනා ගත හැකියි. යුධ භටයින් (සමුරායි), කම්කරුවන්, ගොවියන් හා වෙළෙන්දන් වශයෙනි. මෙම කණ්ඩායම් හතර අතර සමාජ සංචලතාවය නිළ වශයෙන් තහනම් කරනු ලැබුවා. සාමය ප්‍රතිෂ්ඨාපනය කිරීම හේතුවෙන් බොහෝ සමුරායිවරු රජයේ නිලධාරීන් බවට පත් වුණා. එමෙන්ම මොවුන් යුධ භටයෙකු ලෙස අභිමානයත්, හමුදා ප්‍රකෘතයත් පවත්වාගෙන යාමට බලපොරොත්තු වුණා. ගොවියන් හට කෘෂිකාර්මික නොවන කටයුතු වල නිරත වීම තහනම් කරනු ලැබුවා.

තොකුගාවා පාලන සමයේ ජපානයේ ආර්ථික කටයුතු ද සැලකිය යුතු ආකාරයෙන් වර්ධනය වීමක් සිදු වුණා. කෘෂිකාර්මික කටයුතු වශයෙන් සහල්, සීනි, උක්, මල් බෙරි, කපු, දුම්කොළ ආදිය සිදු කෙරුණා. මෙම කෘෂිකාර්මික කටයුතු අවධාරණයට අමතරව, වාණිජ හා නිෂ්පාදන කර්මාන්තද පුළුල් කිරීමක් සිදු කරනු ලැබුවා. මේත් සමඟම එඩෝ, ඔසාකා හා කියෝතෝ වැනි විශාල නාගරික මධස්ථාන වර්ධනය වීමක් සිදු වුණා.

තොකුගාවා වකවානුව වාණිජ දියුණුව වේගවත් කාලයක් ලෙස දැක්විය හැකි වනවා. අනෙක් පන්ති හා සංසන්දනය කිරීමේදී වාණිජ පන්තියට අඩු කීර්තිනාමයක් හිමි වුවද, ඔවුන් විශාල ආර්ථිකය බලයක් හිමි කර ගනු ලැබුවා. අද වන විට ජපානයේ විශාල බහු ජාතික සංස්ථා බවට පත්ව තිබෙන්නේ මෙම වකවානුවේ සරලව ආරම්භ වූ ව්‍යාපාරයන්ය.

අධ්‍යාපනය

අධ්‍යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී වයස අවුරුදු 7 සිට 15 දක්වා දරුවන් බෞද්ධ නිකායන් මඟින් පවත්වාගෙන ගිය අසල්වැසි දහම් පාසල් වලට සහභාගී වුණා. ඔවුන් කියවීමට, ලිවීමට ආදියට ඉගැන්වීමට කටයුතු කළා. බොහෝ අවස්ථා වලදී හාමුදුරුවන් විසින් ඉගැන්වීම් සිදු කළද, සමුරායිවරු, වෛද්‍ය වරුන් හා අනෙකුත් වෘත්තියන් වල පුද්ගලයන් ගුරුවරුන් ලෙස සේවය කළා.

පාලනය අවසන් වීම

තොකුගාවා යුගයේ කාන්තාවන් (Youtube screengrab)

තොකුගාවා පාලන සමය බටහිර අධිරාජ්‍යවාදී වෙනසට පෙරාතුව සාමය, සමෘද්ධිය හා ස්වදේශීය ජපන් වැසියන්ගේ සංස්කෘතිය උපරිම ස්ථානයකට පැමිණි වකවානුවක් ලෙස හැඳින්විය හැකියි. නමුත් වෙළෙඳ පන්තියේ වර්ධනය සහ බාහිර බලපෑම් හමුවේ තව දුරටත් එම පාලනය පවත්වාගත නොහැකි වුණා. වර්ෂ 1868 දී මෙම පාලන සමය අවසන් වීම සනිටුහන් වුණා.

කවරයේ පින්තූරය: history.com

Related Articles