ජපානය බියෙන් තැති ගැන්වූ තෝකියෝ උමං දුම්රිය විෂ වායු ප්‍රහාරය​

1995 මාර්තු 20 වන දා සඳුදා දවසක්. ජපානයේ තෝකියෝ නගරයට එදින උදෑසන වෙනදා මෙන්ම සුපුරුදු දිනයක් වුණා. සති අන්ත නිවාඩුවෙන් පසු රාජකාරි කටයුතු සඳහා ලක්ෂ ගණනක් වූ ජපන් ජාතිකයින් තෝකියෝවේ සිය සේවා ස්ථාන කරා ගමන් කරමින් සිටියා. ඒ බොහෝ දෙනා ගමන් ගත්තේ තෝකියෝ උමං දුම්රියෙන්.

මේ අතර සිටි මඟීන් පස් දෙනෙකුට එදින වෙනදා මෙන් වුණේ නැහැ.​ ඔවුන් විශාල විනාශයක් සඳහා අර අඳිමින් සිටි බව දැන සිටියේ ඔවුන් ද ඇතුළුව කිහිපදෙනෙකු පමණයි​. සාමාන්‍යයෙන් නීතිය හා සාමය ආරක්ෂා වන රටක, බරපතල ත්‍රස්ත ක්‍රියා පිළිබඳ අසන්නට ලැබෙන රටක, ජනතාව භීතියෙන් ඇලළීමට සමත් වූ ක්‍රියාවකට මෙම පස්දෙනා සූදානම් වූණා​.

එදින උදෑසන අට පසු වනවාත් සමග ම වගේ ඔවුන් පස්දෙනා වෙනස් දුම්රිය පහක, මැදිරි පහක දී යළි හැරවිය නොහැකි පියවර ගත්තා. තෝකියෝ උමං දුම්රිය ප්‍රහාරය නමින් ඉතිහාසයට එක්වූ එම ප්‍රහාරයෙහි ප්‍රතිඵලය ලෙස ජපන් ජාතිකයන් 12 දෙනෙකු මියගොස් 5000කට අධික පිරිසක් රෝගාතුර වූ අතර, ඉන් 1300කට වැඩි පිරිසකට ශරීරාබාධ සහිත ව ජීවිතයේ ඉදිරි කාලය ගත කිරීමට සිදු වුණා.

උගතුන්ගෙන් යුත් ප්‍රහාරකයින් පිරිස

මෙම ප්‍රහාරය දියත් කළ පස්දෙනා පිළිබඳ පොදු සාධක අතර ජපන් ජාතිකයන් වීම​, පුරුෂයින් වීම ආදී සරලව ම පෙනෙන පොදු කරුණු අතැර දැමූ විට සැලකිය යුතු ප්‍රධානම කාරණය වූයේ ඔවුනගේ අධ්‍යාපන පසුබිම යි. මෙම පස්දෙනා ම ජපානයේ ප්‍රකට විශ්ව විද්‍යාලයන්ගෙන් උපාධි සහ පශ්චාත් උපාධි ලබාගත් අය වුණා.

මෙම පිරිස අතර එවකට 31 හැවිරිදි වූ මසාතෝ යොකොයාමා, 37 හැවිරිදි වූ යසුඕ හයාෂි, 30 හැවිරිදි වූ කෙනිචි හිරෝසේ, 48 හැවිරිදි වූ ඉකුඕ හයාෂි, සහ 27 හැවිරිදි වූ තොරූ තොයෝදා යන අය සිටියා. මෙයින් හිරෝසේ වසේදා සරසවියෙන් ද, තොයෝදා තෝකියෝ සරසවියෙන් ද භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ලබා තිබුණ අතර, යොකොයාමා ද තොකායි සරසවියෙන් ව්‍යවහාරික භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා තිබුණා. ඉකුඕ හයාෂි කෙයියෝ සරසවියෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරූ හෘද රෝග වෛද්‍යවරයෙකු වූ අතර, යසුඕ හයාෂි කොගකුයින් සරසවියෙන් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ උපාධියක් ලබාගෙන තිබුණා.

තෝකියෝ උමං දුම්රිය ප්‍රහාරය (Yukinobu Kurosaka)

මෙම පිරිස එදින රාජකාරි සඳහා ජනයා ගමන් කරන තදබද වෙලාවේ දුම්රිය මාර්ග ඉලක්ක කර පහර දීමට සූදානම් වූයේ සරින් වායුව භාවිතා කරමින්. සංශුද්ධ තත්ත්වයේ සරින් වායුව සුළු ප්‍රමාණයක් මිනිසෙකු ක්ෂණික ව මරා දැමීමට ප්‍රමාණවත් වෙනවා. දුම්රිය පෙට්ටිවල එම වායුව මුදා හැරීමේ ප්‍රතිඵල අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ සා විශාල ජන සංහාරයක් සඳහා, මේ සා උගත් පිරිසක් පොළඹවන ලද්දේ ඔවුන් මේ වන විට පිළිගත් දර්ශනය යි. ඔවුනගේ විශ්වාසය වූයේ සමස්ථ මිනිස් සමාජය ම දූෂිත වී ඇති බවත්, තම සංවිධානයේ සාමාජිකයන් පමණක් එයින් මිදී ඇති බවත්. එහෙයින් සමාජයට පිළිල බවට පත්ව ඇති මිනිසුන් මරා දැමීම සාධාරණ බවත් ඔවුන් විශ්වාස කළා.

මෙම විකාර සහගත සහ ප්‍රචණ්ඩ අදහස්වල මූලාරම්භකයා වූයේ චිසුඕ මත්සුමෝතෝ නම් තැනැත්තෙක්. ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ ෂෝකෝ අසහාරා යන නමින්. ඕම් ෂින්රිකියෝ යනු ඔහුගේ ආගමික සංවිධානය වුණා.

ඕම් ෂින්රිකියෝ

ෂෝකෝ අසහාරා විසින් 1984 දී පිහිටුවන ලද ඕම් ෂින්රිකියෝ හෙවත් ඕම් පරම සත්‍යය නම් ආගමික කල්ලිය හින්දු (විශේෂයෙන් ශිව වන්දනාව​) මෙන්ම බෞද්ධ​, ක්‍රිස්තියානි යන ආගම්වල ද නොස්ත්‍රඩාමුස්ගේ ලේඛන ද ආදී විවිධ මූලාශ්‍රයන්ගෙන් ලබාගත් කරුණු ඇතුළත් ව සකසන ලද මතවාදයක් විශ්වාස කළා. කලින් අප දුටු පරිදි, බාහිර ලෝකය දූෂිත බවත්, ලෝක විනාශය පැමිණි විට එම දූෂිත ලෝකය විනාශ වී ඕම් සාමාජිකයන් ඉතිරි වන බවත් ඔවුන් විශ්වාස කළා. භෞතික වස්තූන් හඹා යන මිනිසා තම ආත්මය අමතක කරන බවත්, ආත්මය වටහා ගැනීමට භෞතික වස්තූන් අතහැරිය යුතු බවත් ද ෂෝකෝ අසහාරාගේ විශ්වාසය වුණා.

ෂෝකෝ අසහාරා අත්අඩංගුවට ගත් පසු (Kyodo)

මේ අනුව ඕම් කල්ලියට බැඳෙන්නන් තම භෞතික වස්තූන් අසහාරාගේ භාරයට තබා එම කල්ලියේ දර්ශනය අනුව යාමට උත්සාහ කළා.

වසර කිහිපයක් තුළ විශාල අනුගාමිකයන් පිරිසක් මෙන්ම විශාල ධනයක් ද අසහාරා තමන් වටා එක් කරගත්තා. ඔහුගේ ප්‍රචාරණ කටයුතු දේශන​, වීඩියෝ පට ආදිය මඟින් ප්‍රචාරණය කෙරුණා. ජපානයෙන් එපිට ද සුළු පිරිසක් ඇතුළු ව 1995 වන විට 40,000ක පමණ අනුගාමිකයන් පිරිසක් අසහාරා වටා එක් ව සිටියා.

අවි රැස් කිරීම

මෙහි වූ පුදුමාකාර ම කරුණ වූයේ ඉතා ම හොඳ අධ්‍යාපනයක් ලද පිරිස් පවා මීට එක් වීම යි. මේ අතර කලින් සඳහන් කළ පස්දෙනා වැනි ම වූ භෞතික විද්‍යාව​, රසායන විද්‍යාව ආදී විද්‍යාවන් අධ්‍යයනය කළ උගත් පිරිස් අසහාරා වටා එක් වුණා.

අසහාරා විසින් එක් රැස් කරගෙන තිබුණු විශාල ධනය භාවිතා කර ඔහුගේ කල්ලිය සාම්ප්‍රදායික අවි මෙන්ම විශේෂ අවි ද නිපදවීමට පටන් ගත්තා. එක් කණ්ඩායමක් රුසියාවේ AK-47 තුවක්කුව අධ්‍යයනය කරමින් ගිනි අවි නිපදවීමට වූ අතර, තවත් කණ්ඩායම් රසායන සහ ජෛව අවි නිපදවන කටයුතුවල නිරත වුණා. සරින් වායුව​, සයික්ලෝන්-බී වායුව ආදී විෂ වායු මෙන්ම VX වැනි විෂ ද ඕම් ෂින්රිකියෝ මූලස්ථානයේ වූ රසායනාගාරයන් හි නිපදවනු ලැබුණා. මීට අමතර ව ජෛව විද්‍යාත්මක අවි​ ද නිපදවීම සඳහා පරීක්ෂණ සිදු කෙරුණා. එමෙන්ම ඔවුන් හෙලිකොප්ටරයක් පවා මිලට ගත්තා.

මත්සුමෝතෝ සරින් වායු ප්‍රහාරය​

තෝකියෝ ප්‍රහාරයට පෙර ඕම් ෂින්රිකියෝ සංවිධානය තවත් අවස්ථා කිහිපයක දී විෂ වායු සහ ආදිය භාවිතා කරමින් විවිධ ප්‍රහාරයන් කිහිපයක ම යෙදුණා. මේ බොහොමයක් තනි පුද්ගලයන් ඉලක්ක කරගත් ප්‍රහාරයන් වූ නමුත් මත්සුමෝතෝ සරින් වායු ප්‍රහාරය ඉන් වෙනස් වුණා.

මත්සුමෝතෝ හි පොලිස් පරීක්ෂණ (Kyodo)

මත්සුමෝතෝ යනු මධ්‍යම හොන්‍ෂු දූපතේ නගානෝ පළාතේ නගරයක්. අසහාරා මෙහි ඉඩම් නඩුවකට පැටලී සිටි අතර, එහි දී තමන්ට අවාසි සහගත තීන්දුවක් ලබාදෙනු ඇතැ යි ඔහු විශ්වාස කළා. මේ අනුව අසහාරා තීරණය කළේ එම අධිකරණයේ විනිසුරුවරුන් ඝාතනය කළ යුතු බව යි. මේ අනුව ඔවුන් පදිංචි වී සිටි ප්‍රදේශය ඉලක්ක කර සරින් වායුව මුදාහැරීමට ඕම් ෂින්රිකියෝ සාමාජිකයන් කටයුතු කළා. 1994 ජූනි 27 වන දා රාත්‍රියේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කිහිපදෙනෙකු මියගොස් 500ක් පමණ දෙනා රෝගාබාධයන්ට ලක් වුණා. එමෙන්ම අදාළ විනිසුරුවරුන් ද ප්‍රහාරයට හසු වූ අතර නඩුව කල් දමනු ලැබුණා.

එකල මෙම ප්‍රහාරය පිළිබඳ ඕම් ෂින්රිකියෝ සංවිධානය දෙසට ඇඟිල්ල දිගු වූයේ නැහැ. වෙනත් ජපන් ජාතිකයෙකු එහි එක් සැකකරුවෙකු වූ අතර මාධ්‍ය මඟින් ද ඔහු පිළිබඳ සැක මතු කළා. යොෂියුකි කෝනෝ නම් මේ පුද්ගලයා පොලිස් පරීක්ෂණවල ප්‍රධාන ඉලක්කය බවට පත් වුණා. මේ අතර උතුරු කොරියානුවන් පිළිබඳ ව ද සැක මතු වුණා.

යොෂියුකි කෝනෝ 2009 දී (Kyodo)

මත්සුමෝතෝ ප්‍රහාරයේ සුලමුල හෙළි වූයේ තෝකියෝ ප්‍රහාරයෙන් පසු ව යි. එයින් පසු ජපන් පොලිසිය සහ ජනමාධ්‍ය කෝනෝගෙන් සමාව ඉල්ලා සිටි බව ද මෙහි දී සඳහන් කළ යුතු යි.

තෝකියෝ ප්‍රහාරය

තෝකියෝ ප්‍රහාරය සඳහා සූදානම් වූ පස්දෙනා ද්‍රව තත්ත්වයේ වූ සරින්, කුඩා පොලිතින් මලුවල බහා, පත්තරවලින් ඔතාගෙන සිය ගමන් මලුවල දමාගත්තා. ඔවුන් පස්දෙනා අතම දිගු කුඩ වූ අතර ඒවායේ උල් වූ, වානේවලින් සැකසූ තුඩු වුණා. සැලසුම වූයේ දුම් රියෙන් පිටවීමට පෙර එම තුඩුවලින් සරින් අඩංගු බෑග් සිදුරු කිරීම යි.

මෙම පස්දෙනා නගරයේ උමං දුම්රිය හෙවත් මෙට්‍රො මාර්ග තුනක දුම්රිය පහකට නැගුණේ උදෑසන අටට සුළු වේලාවක් තිබිය දී යි. ඔවුන් පස්දෙනාගෙන් අවසානයට දුම්රියට නැගි පුද්ගලයා වූයේ තොයෝදා යි. එමෙන්ම ප්‍රහාරය පිළිබඳ කිසිදු සැක සංකාවක් හෘදයසාක්ෂියේ මතු නොවූ අයෙකු ලෙසත් ඔහු සැලකෙනවා.

මේ අනුව චියෝදා මාර්ගයේ දුම්රියකට ඉකුඕ හයාෂි නැගුණ අතර මරුනොචි මාර්ගයේ දුම්රිය දෙකකට හිරෝසේ සහ තොයෝදා නැගුණා. හිබියා මාර්ගයේ දුම්රිය දෙකකට යොකොයාමා සහ යසුඕ හයාෂි ගොඩ වුණා.

මෙයින් යසුඕ හයාෂි සරින් මලු තුනක් ම ඉල්ලාගෙන තිබුණා. සංවිධානය සහ අසහාරා කෙරේ වූ තම දැඩි පක්ෂපාතීත්වය පෙන්වීමට අවශ්‍ය වූ හෙයින් ඔහු එසේ කළ බව යි සැලකෙන්නේ. අනෙක් සියල්ලන් ම රැගන ගියේ සරින් මලු දෙකක් පමණයි.

මේ මාර්ග තුන තෝරාගත්තේ අදාළ දුම්රිය සියල්ල ආසන්න වශයෙන් එකම වෙලාවක කසුමිගාසෙකි දුම්රියපොළ වෙත පැමිණෙන නිසා යි. ඒ වන විට සරින් වායුව දුම්රියවල පැතිරී දුම්රියපොල වෙත ද කාන්දු වී තවත් විනාශයක් කරනු ඇතැ යි ඕම් සංවිධානය විශ්වාස කළා.

තමන් බැස යාමට මත්තෙන් ප්‍රහාරකයින් සරින් මලු සිය ගමන් මලුවලින් ගෙන බිම තබා, දුම්රියෙන් බැස යන මොහොතේ ඒවා හිල් කළා. සිදුරු වූ මලුවලින් පිටතට එන සරින් වාෂ්ප වී මැදිරිවල පැතිරුණා. මේ අවසන් මොහොතේ දී සිය හෘදයසාක්ෂිය තමන්ට වද දුන් බව ඉකුඕ හයාෂි මෙන්ම යසුඕ හයාෂි, සහ කෙනිචි හිරෝසේ ද පසු ව පැවසුවා.

ප්‍රහාරය අවස්ථාවේ හිරෝසේ අතින් සරින් මලු බිම වැටුණ අතර කිසිවෙකුත් එය පිළිබඳ අවධානය යොමු කළේ නැහැ. නමුත් එහි ප්‍රතිඵලය ලෙස ඔහු ද කලබලයට පත්ව මලු සිදුරු කළෙන් සරින් වායුව ඔහුටත් ශරීරගත ව තිබුණා.

ප්‍රහාරකයින් පස්දෙනා ඔවුන් දුම්රියෙන් බැසීමට නියමිත වූ දුම්රිය ස්ථානවලින් පිටතට පැමිණියා. පිටත ඔවුන් එනතුරු වාහන පහක් සූදානමින් සිටි අතර ඔවුන් ඒවා කරා ඇවිද ගියා. එතැනින් රහසිගත ස්ථානයක් කරා ගිය ඔවුන් පසු ව ඕම් මූලස්ථානය කරා ගමන් කළා.

දුම්රිය ස්ථානයෙන් පිටව වාහනයේ යද්දී හිරෝසේ වෙවුලන්නට වූයේ සරින් විෂ ඔහුගේ සිරුර තුළ ගමන් කරද්දී යි. නමුත් ප්‍රහාරකයින් සතු ව ඒ සඳහා ප්‍රතිවිෂ ද තිබුණා. හිරෝසේ සිරින්ජයකින් එය ශරීරගත කරගත්තා.

නමුත් දුම්රිය මැදිරිවල වූ බොහෝ දෙනාට ඒ වාසනාව වූයේ නැහැ. ඔවුන් දැඩි සේ පීඩාවට පත්ව ඇද වැටෙන්නට වුණා. ඇතැම් දුම්රියවල මුල් සිද්ධි වාර්තා වූ මැදිරි හිස් කර ඉතිරිවාට ගමන් කරන්නට බලධාරීන් ඉඩ දුන්නා. එවිට සිදු වූයේ අනෙක් මැදිරිවලට ද සරින් කාන්දු වීම යි. බලධාරීන් මුලින් සිතුවේ මෙම ප්‍රශ්නය වායු කාන්දුවක් නිසා සිදු වන්නක් බව යි. ත්‍රස්ත ප්‍රහාරයක සැකයක් ඇති වූයේ තරමක් වෙලා ගිය පසු යි.

අවට ප්‍රදේශයන් හි රෝහල් පිරී යද්දී බලධාරීන් මේ ප්‍රහාරයට හේතු වූ රසායනිකය පිළිබඳ පරීක්ෂණ කරන්නට වුණා. ප්‍රහාරයෙන් පැය දෙකහමාරකට පසු සරින් වායුව අදාළ සංයෝගය බව හඳුනාගැනුණා.

පොලිස් හා අධිකරණ​ ක්‍රියාමාර්ග

මෙවර ඕම් ෂින්රිකියෝ සංවිධානයට ගැලවීමක් වූයේ නැහැ. මේ වන විට ඕම් සංවිධානය කෙරේ සැක සංකා මතුවෙමින් පැවති අතර, මෙම ප්‍රහාරය සිදුවීමට පෙරත් පොලිසිය වෙනත් සැක සහිත කරුණු මත ඕම් මූලස්ථානය වැටලීමට සූදානමින් සිටියා. අසහාරා සිය ප්‍රහාරය එල්ල කිරීමට හේතු වූයේ මේ පිළිබඳ ව කලින් දැනගෙන පොලිසියේ අවධානය වෙනතක යොමු කිරීමට බව යි විශ්වාස කෙරෙන්නේ. ඔහුගේ බලාපොරොත්තුව වූයේ දැවැන්ත විනාශයක් තෝකියෝව වෙත සිදුකර බලධාරීන් සම්පූර්ණයෙන් අසරණ කිරීම යි.

2018 ජූලි 6 වන දා මරණ දඬුවමට ලක් වූ සත් දෙනා: (ඉහළ වමේ සිට​) අසහාරා, තොමොමාසා නකගාවා, සෙයිචි එන් දෝ, මසාමි ට්සුචියා. (පහළ වමේ සිට​) යොෂිහිරෝ ඉනුවේ, තොමොමිත්සු නිමී, කොෂිහිදේ හයකාවා (Kyodo)

නමුත් අසහාරා බලාපොරොත්තු වූ මහා විනාශය සරින් වායු ප්‍රහාරයෙන් සිදු වූයේ නැහැ. ඊට ප්‍රධාන හේතුව වූයේ ඕම් ෂින්රිකියෝ සංවිධානයේ විද්‍යාඥයන්ට සුපිරිසිදු සරින් නිපදවිය නොහැකි වීම යි. එය එතරම් පහසු ක්‍රියාවලියක් නොවේ. සරින් ගන්ධයක් නොමැති වායුවක් වුව ද තෝකියෝ ප්‍රහාරයට ලක් වූවන්ට යම් සුළු ගන්ධයක් දැනී තිබුණේ එම සරින් සංශුද්ධ නොවූ නිසා යි.

ප්‍රහාරයෙන් දින දෙකකට පසු පොලිස් නිලධාරීන් 2500ක් දෙනා ඕම් මූලස්ථානය වටලෑවා. එහි දී රසායනාගාර​, අවි ආයුධ මෙන්ම හෙලිකොප්ටරය ද සොයාගැනුණා. සරින් ප්‍රහාරයට සම්බන්ධ අය ද මීළඟ දිනවල දී කොටු කරගනු ලැබුණා. ෂෝකෝ අසහාරා මැයි 16 වන දා අත්අඩංගුවට ගනු ලැබුණා.

අසහාරා ඇතුළු 13 දෙනෙකුට​ මරණ දඬුවම නියම වූ අතර, ප්‍රධාන ප්‍රහාරය එල්ල කළ පස්දෙනාගෙන් සිව් දෙනෙකු ද ඕම් රසායනික වැඩපිළිවෙලේ ප්‍රධානියා වූ මසාමි ට්සුචියා ද, ඕම් සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෙයිචි එන්දෝ ද ඒ අතර වුණා. නමුත් රජයේ සාක්කිකරුවෙකු බවට පත්වීම හේතුවෙන් වෛද්‍ය ඉකුඕ හයාෂිගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස අඩු කෙරුණා. හයාෂිගේ සාක්කිය අසහාරාට එරෙහිව ද ඉතා වැදගත් වුණා.

ප්‍රධාන ප්‍රහාරයට සම්බන්ධ වූවන්ගෙන් වැඩිම කලක් බලධාරීන්ගෙන් ගැලවී සිටීමට සමත් වූ තැනැත්තා වූයේ කත්සුයා තකහාෂි නමැත්තා යි. තොයෝදා පලා ගිය රථය පැද වූ රියදුරා වූ ඔහුව අත්අඩංගුවට ගන්නා ලද්දේ 2012 දී යි. ඔහුට ද එරෙහිව නඩු කටයුතු අවසන් වනතෙක් කිසිවෙකුට එරෙහි මරණ දඬුවම ක්‍රියාවට නැගුණේ නැහැ.

2018 ජූලි 26 වන දා මරණ දඬුවමට ලක් වූවන්: (ඉහළ වමේ සිට​) යසුඕ හයාෂි, කසුවාකි ඔකසාකි, මසාතෝ යොකොයාමා (පහළ වමේ සිට​) කෙනිචි හිරෝසේ, සතෝරු හෂිමෝතෝ, තොරූ තොයෝදා. (JIJI Press)

2018 ජූලි 6 වන දා ජපානය නිවේදනය කළේ අසහාරා සහ තවත් සය දෙනකුට එරෙහි මරණ දඬුවම ක්‍රියාවට නැගුණ බව යි. මරණ දඬුවම නියම වූ ඉතිරි සය දෙනා ජූලි 26 වන දා ඊට යටත් කෙරුණා.

කවරයේ පින්තුරය: ප්‍රහාරයට ලක්වූවන් පිරිසකට සුකුජි දුම්රියපොල අසල දී ප්‍රතිකාර කරනු ලබයි. (Kyodo)

 

Related Articles