රණශූරයින් දහසක් තරම් වටිනාකමින් යුතු වූ සමුරායි වීරවරිය​

සමුරායිවරුන් යනු මධ්‍යතන යුගයේ දී ජපානයේ බිහිවූ, හමුදා සේවයට කැපවූ කොටසක්. “සමුරායි” යන යෙදුම ක්‍රි.ව​. 7 වන සියවසේ දී භාවිතයට පැමිණි බව විශ්වාස කෙරෙනවා. ජපානය වෙත එනු ඇතැයි බලාපොරොත්තු වූ චීන ආක්‍රමණයක් අබියස ජපන් සමාජය තුළ සිදු වූ ප්‍රතිසංස්කරණයන් අතරතුර මෙම නමින් යුත් පැළැන්තියක් නිර්මාණය වුණා. නමුත් ඔවුන් ප්‍රබල හමුදා පැළැන්තියක් ලෙස මතුව එන්නේ, අටවන සියවස අගභාගයේ පමණ සිට හොන්‍ෂු දූපතේ උතුරුදිග ප්‍රදේශවල විසූ එමිෂි නමැති ජනකොටස මැඩ පවත්වා එහි බලය තහවුරු කිරීමට ජපන් අධිරාජ්‍යයන් කළ උත්සාහයන් ඔස්සේ යි.

සමුරායි යන නමෙහි සරල අර්ථය “සේවකයා” ලෙස ගත හැකි යි. සත්‍ය වශයෙන්ම සමුරායිවරයකු යම්කිසි ස්වාමියකුට සේවය සපයන්නකු වූ අතර මේ ස්වාමියා බොහෝ විට අධිරාජයාගේ පෙළපතෙන් පැවතෙන වංශාධිපතියකු වුණා.

සාමාන්‍යයෙන් යුධ පෙරමුණෙහි සටන් වැදුණේ සමුරායි පිරිමින් පමණ යි. නමුත් සමුරායි පවුල්වල​ කාන්තාවන්ට අවි ආයුධ භාවිතය තහනම් වූයේ නැහැ. සත්‍ය වශයෙන්ම හදිසි අවස්ථාවක දී සිය නිවහන ආරක්ෂා කිරීමේ වැදගත් වගකීමක් සමුරායි කාන්තාවට පැවරුණා. කාන්තාවන් අවි පුහුණුවත් ලැබූ අතර දිගු දණ්ඩකට මුවහත් තලයක් සවි කොට තැනූ නගිනාතා නම් ආයුධය ඔවුන් අතර ජනප්‍රිය වුණා. අදටත් නගිනාතා සටන් කලාව (නගිනාතා-ජුත්සු) වඩා ප්‍රකට වන්නේ ජපන් කාන්තාවන් අතරයි.

කෙසේ නමුත් ජපන් ඉතිහාසය තුළ ඉඳ හිට යුධ පෙරමුණේ සටන් කළ සමුරායි කාන්තාවන් පිළිබඳ පුරාවෘතයන් අසන්නට ලැබෙනවා. මෙයින් පැරණිම පුවතක් වන්නේ තොමොඒ ගොසෙන් පිළිබඳ කතා පුවත යි.

ගෙන්පේ යුද්ධය​

ජපන් අධිරාජ්‍යයය පාලනය කළේ සූර්යය දේවතාවියගෙන් පැවතෙන්නේ යයි පුරාවෘතවල සඳහන් වූ රජ පෙළපතක් විසින්. අදටත් ජපන් අධිරාජයින් පැවතෙන්නේ මෙම පෙළපතින්. මෙම පෙළපත සමග විවාහ සබඳතා මගින් සමීප වූ ෆුජිවාරා නම් පෙළපතක් ක්‍රි.ව​. අටවන සියවස පමණ වන විට තිරය පිටිපස සිට රාජ්‍ය බලය හසුරවන්නට පටන් ගත්තා. මේ අතර කියෝතෝවේ පාලනය ජපන් දූපත් පුරා පැතිර යද්දී එම ප්‍රදේශ පාලනයට ප්‍රාදේශීය නායකයින් පත් කරනු ලැබුණා.

ක්‍රි.ව​. 794 දී ඇරඹුණ හෙයියාන් සමයේ (කියෝතෝව වෙත අගනුවර ගෙන ගිය පසු ඇරඹි සමය​) රජ පවුලට සම්බන්ධ වූ කුමාරවරුන් ගණනාවක් කිරුළ හිමි තත්ත්වයෙන් පහත් කොට ප්‍රාදේශීය වංශාධිපතිවරුන් බවට පත් කෙරුණා. මොවුනට වාසගම් ලබා දෙන ලද අතර එයින් ප්‍රධාන වූයේ තයිරා (හෙවත් හයිකේ) සහ මිනමෝතෝ (හෙවත් ගෙන්ජි) යන වාසගම් දෙක යි. (රාජකීය පෙළපතට වාසගමක් නැහැ). මෙම පෙළපත් දෙක අතරින් තයිරාවරුන් බටහිර ප්‍රදේශවලත්, මිනමෝතෝවරුන් කියෝතෝවෙන් උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවලත් ස්ථාපිත වුණා. මොවුන් අතර වූ එදිරිවාදිකම උච්ච ස්ථානයකට පත් වූයේ ගෙන්පේ යුද්ධයේ දී යි.

12 වන ශතවර්ශය​ මැද වනවිට තයිරා කියොමෝරි කියෝතෝවේ රජුන් තනන්නා බවට පත් වුණා. ඔහු විවාහ මාර්ගයෙන් තම පවුල හා අධිරාජ්‍ය පවුල අතර සබඳතාව ගොඩනගාගෙන, තමන්ගේ මුණුබුරා අධිරාජ්‍ය තනතුරට උසස් කළා. 1180 දී බලයට පත් ජපානයේ 81 වන අධිරාජයා වූ අන්තොකු ඒ වනවිට දෙහැවිරිදි ළදරුවෙක්.

අන්තොකු අධිරාජයාගේ යයි සැලකෙන චිත්‍රයක් (Public Domain)

මේ අවස්ථාවේ මිනමෝතෝවරුන් තයිරා පාලනයට එරෙහිව නැගී සිටියා. මිනමෝතෝවරුන්ගේ නායකයා වූයේ කමකුරා හි මොනමෝතෝ යොරිතෝමෝ යි. නමුත් මේ අවස්ථාවේ මූලිකවම සටන් දියත් කළේ කියෝතෝවෙන් උතුරේ කිසෝ හි පාලනය ගෙන ගිය මිනමෝතෝ යොෂිනාකා යි.

1180 අගදී දැඩි සේ රෝගී වූ කියොමෝරි ඊළඟ අවුරුද්ද මුල දී මිය ගියා. ඔහුගේ පුතුන් යොෂිනාකාට එරෙහිව ඇරඹි සටන පරාජය වූ අතර යොෂිනාකා කියෝතෝව වෙත ගමන් කිරීම ඇරඹුවා. තයිරාවරුන් කියෝතෝවෙන් පළා ගියා. හිටපු අධිරාජ්‍ය ගෝ-ෂිරකාවා ඔවුනගෙන් ගැලවී සැඟව සිට පසුව යොෂිනාකා කියෝතෝව අල්ලාගත් පසු එහි ජීවත් වුණා. මේ අතර අන්තොකු තයිරාවරුන් විසින් රැගෙන යනු ලැබුණා.

මොනමෝතෝ යොෂිනාකාගේ චිත්‍රයක් (Public Domain)

කියෝතෝවේ බලය ලබාගත් පසු යොෂිනාකා තම සිතැඟි පරිදි කටයුතු කරන්නට පටන් ගත්තා. මේ තත්ත්වය හමුවේ කලක් යද්දී ඔහු හා යොරිතෝමෝ අතර ආරවුල් ඇතිවන තැනට තත්ත්වය ගමන් කළා. මේ අනුව තයිරාවරුන් හා වූ අරගලය මඳක් පසෙක ලූ මිනමෝතෝවරුන් තමන් අතර වූ ආරවුල විසඳාගන්නා තැනට පැමිණියා.

මේ සඳහා යොරිතෝමෝ වෙනුවෙන් කියෝතෝව වෙත පැමිණියේ මිනමෝතෝ යොෂිට්සුනේ. ඔහුගේ හමුදා හමුවේ යොෂිනාකාගේ හමුදා පරාජය වුණා. මේ අනුව යොෂිනාකා කියෝතෝව හැර පළා ගියේ තම හිතෛෂීන් පිරිසක් සමග යි.

තොමොඒ ගොසෙන්

ගෙන්පේ යුද්ධය පිළිබඳ කතා පුවත කියැවෙන මූලිකම ජපන් මූලාශ්‍රය වන්නේ හයිකේ වංශකතාව යි. මෙහි සඳහන් වන අන්දමට පසුබැස පළා යන යොෂිනාකා සමග යන පිරිස එක් අවස්ථාවක සත් දෙනකු දක්වා අඩු වනවා. මෙයින් එක් අයකු වන්නේ තොමොඒ ගොසෙන්.

තොමොඒ ගොසෙන් – කිකුචි යෝසායිගේ චිත්‍රයක්

හයිකේ වංශකතාව ඇය හඳුන්වා දෙන්නේ මෙලෙසිනි:

“පැහැපත් සමකින්, දිගු වරලසකින්, සහ සුන් දර මුහුණකින් යුතු වූ තොමොඒ අතිශයින් රූමත් වූවා ය​. දක්ෂ දුනුවායකු වූ ඇය අසු පිට හෝ නැතිව හෝ අති දක්ෂ සටන්කාරියක වූවා ය​. යක්ෂයින් හෝ දෙවියන් හෝ සමග වුවද සටන් කිරීමට සුදුසු වූ ඇය රණශූරයින් දහසකගේ වටිනාකමට සම වූ වටිනාකමකින් යුතු වූවා ය​. හීලෑ නොවූ අසුන් මෙල්ල කිරීමේ අති දක්ෂයකු වූ ඇය කඳු පල්ලම් ඔස්සේ අසුන් පැදවීමේ විශිෂ්ටතමයකු වූවා ය​. සටන් බිමේදී මනාව සන්නාහයෙන් සැරසී අනගි කඩුවකින් හා දුන්නකින් සන්නද්ධ වූ ඇය යොෂිනාකා විසින් සිය පළමු සටන්කරුවා ලෙස යවන ලදී. ඇය තමා වෙත සහ තම සහචර විරුවන් වෙත විශාල කීර්තියක් ගෙන ආවා ය​. අවසානයේ ඔවුන් සියල්ලන්ම පළා යද්දී ඇය අවසන් අසරුවන් හත් දෙනාගෙන් කෙනෙකු ලෙස යොෂිනාකා හා රැඳුණා ය​.”

මෙම විස්තරයට අනුව තොමොඒ ගොසෙන් යොෂිනාකා සතුව සිටි විශිෂ්ටතම සටන්කරුවකු බව පැහැදිලි යි​. විශේෂයෙන්ම තම පළමු සටන්කරු ලෙස යොෂිනාකා විසින් තොමොඒ සටන් බිමට යවන්නේ යයි කරන සඳහන මෙහි දී වැදගත් වනවා.

සමුරායි සම්ප්‍රදාය අනුව දෙපිරිසක් සටනකට සැරසෙද්දී දෙපස වීරයින් දෙදෙනෙක් ද්වන්ද්ව සටනක යෙදෙනවා. එහි දී ඔවුන් පෙරට පැමිණ එකිනෙකාගේ නාමය සහ ඔවුන් මරා දැමූ විරුවන් පිළිබඳ හඬගා කියනු ලබනවා. මෙය ඇත්තෙන්ම තම තමන්ගේ ජීව දත්ත ප්‍රකාශ කිරීමක් මෙන් වූ කටයුත්තක්. එක් පසෙකින් අභියෝගයක් කළ විට අනෙක් පසින් යම් විරුවකු ඒ අභියෝගය භාර ගැනීම සිදු වුණා. තම පළමු සටන්කරු ලෙස යොෂිනාකා විසින් තොමොඒ සටන් බිමට යවන බව පැවසීමෙන් කියැවෙන්නේ ඇය මෙසේ ද්වන්ද්ව සටන් සඳහා සහභාගී වී පුරුෂ සමුරායිවරුන් පරාජය කළ බව යි.

යොෂිනාකා යටතේ ඇය දැරූ තනතුරක් පිළිබඳ හරිහැටි සඳහනක් වන්නේ නැහැ. ඇය යොෂිනාකාගේ බිරිඳ වූ බවත් ඇතැම් වාර්තා කියා සිටිනවා. නමුත් හයිකේ වංශකතාව ඇයව හඳුන්වා දෙන්නේ වසර හතරක පමණ යොෂිනාකාගේ යුධ දිවියේ අවසාන ජවනිකාව ආසන්නයේ යි. නමුත් ඇතැම් වාර්තා අනුව ඇගේ පවුල යොෂිනාකා සමග ඉතාමත් සමීප සබඳතා තිබූ පවුලක් බව සඳහන් වනවා. යොෂිනාකාගේ හමුදාවල අවසන් ප්‍රධාන සටන වූ අවාසු සංග්‍රාමයේ දී (1184 පෙබරවාරි 21) ද ඇය විශිෂ්ට ලෙස සටන් කළ බවත් විශ්වාස කෙරෙනවා. මෙම සටනේ දී ඇය උචිදා ඉයෙයෝෂි මරා දමා හතකෙයාමා ෂිකෙතාදාගෙන් ගැලවී පළා ගිය බව පුරාවෘතයෙහි සඳහන්.

තොමොඒ, අවාසු සටනේදී උචිදා මරා දමා හතෙකෙයාමාගෙන් ගැලවී පළා ගිය බව කියන සිද්ධිය (Public Domain)

පළා යාම​

කෙසේ නමුත් තමන් සමග ඇය තවදුරටත් පැමිණීම පිළිබඳ යොෂිනාකා සතුටු වූයේ නැහැ. තම අවසානය ආසන්න බව දැන සිටි හෙතෙම කාන්තාවක තමා සමීපයේ සිටිය දී සිය අවසානය ළඟා වනු දැකීමට අකමැති වුණා. ඒ එය අගෞරවයක් ලෙස සලකන ලද නිසා යි. මේ නිසා තම පිරිසෙන් ඉවත්ව පළා යන ලෙස ඔහු ඇයට කියා සිටියා.

“මට මගේ තත්ත්වයට සරිලන ප්‍රතිවාදියකු ලැබේ නම් අගෙයි. එවිට මට මගේ ප්‍රධානියා වෙනුවෙන් අවසන් සටනක ද නියැලෙන්න පුළුවන්” යයි ඇය සඳහන් කළ බව හයිකේ වංශකතාව කියා සිටිනවා.

වංශකතාව අනුව එකණෙහිම මෙන් සතුරු අසරුවන් තිස් දෙනකුගේ කණ්ඩායමක් ප්‍රදේශයෙන් මතුවී තිබෙනවා. තොමොඒ ඔවුන් අතරට කඩා වැදී එක් අයකු තමා වෙත ඇදගෙන ඔහුගේ ගෙල සිඳ දමා වේගයෙන් පළා ගිය බව සඳහන් වනවා.

පුරාවෘතවලට අනුව ඇය සිය උපන් බිම කරා පළා ගොස් පසු කලෙක මිනමෝතෝ නිලදරුවකු වූ වාදා යොෂිමෝරි හා විවාහ වී තිබෙනවා. ඇයට අඩු ගණනේ එක් පුත්‍රයකු ලැබී තිබෙන බව සඳහන්. 1213 දී සිදු වූ කැරැල්ලකදී වාදා පවුල මරා දමන ලද අතර ඇයගේ සැමියා සහ පුත්‍රයා ද ඒ අනුව මරණයට පත් වනවා. නමුත් තොමොඒ ගොසෙන් එයින් ද ජීවිතය බේරාගෙන පසු කලෙක පන්සලක මෙහෙණියක බවට පත් ව, අනූ වසරක් ඉක්මවා ආයු වළඳා, 1247 දී පමණ​ මිය ගිය බව සඳහන් වනවා.

(ගෙන්පේ යුද්ධය පිළිබඳ සම්පූර්ණ කතාව මීට වඩා සවිස්තරාත්මකව වෙනත් ලිපියකින් විස්තර කිරීමට අප බලාපොරොත්තු වනවා. මෙහි සඳහන් වන්නේ තොමොඒගේ කතාව සඳහා අවශ්‍ය කොටස පමණයි. ගෙන්පේ යුද්ධය නිම වන්නේ 1185 දී)

මූලාශ්‍රයයන්

1. The Samurai: A New History of the Warrior Elite (Jonathan Clements)

2. Tomoe Gozen, the Legendary Female Samurai Champion (American Heroes Channel)

3. The Genpei War and the Tale of the Heike, Japan’s Greatest War Story (East Asian Studies Center, The Ohio State University)

Cover Image: තොමොඒ ගොසෙන් අවාසු සටනේදී – උතගාවා යොෂිකාසුගේ නිර්මාණයක් (Public Domain)

Related Articles