ලංකාවේ වෙරළබඩ කලාපය 1505 පටන් පෘතුගිසින්, ලන්දේසීන්, සහ ඉංග්‍රිසින්ට නතු විය. 1815 දී ජෝන් ඩොයිලි කූට උපායයෙන් කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසින්ට අයත් කරගන්නට සමත් විය. ඒ අනුව සිරිලක පාලනය මුළුමනින්ම 1815 දී බ්‍රිතානයයන්ට යටත් විය. එසමයේ සිට ලංකාවට නිදහස ලැබෙන තෙක් කාලසිමාව තුළ වූ ප්‍රවාහන විධි ක්‍රම රැසකි. එයින් දුම්රිය, බස්, ලොරි, කාර්, දුම් නැව, ආදිය එම කාලසිමාවේදීම ලංකාවට පැමිනි ප්‍රවාහන මාධ්‍යෙයන් වේ. .

පයින් ගමන

රජ සිටු මැතිවරුන් හැරුණු කල පුරාතනයේ ලංකාවේ සාමාන්‍ය ජනයාගේ ගමන් ක්‍රමය පයින් ගමන විය. එහිදී විශාල මාර්ග තනා ඒ හරහා යනවාට වඩා කෙටි දුර යෙදෙන පරිදි අඩි පාරවල් තනාගන්නට හැකිය. එහෙත් ගමන් කරන මාධ්‍යය දෙපය වන බැවින් දිනකට කිලෝමීටර 20-30කට වඩා ගමන් කළ නොහේ. යටත් විජිත සමයේ විසූ අන්දරේ වැනි අය රුහුණේ සිට මහනුවරට පයින් ගමනේ දී මුහුන පෑ අත්දැකීම් ජනප්‍රවාද වල සටහන් වේ.

පයින්ම ගමන් යන කදුකර ගමන් (රචකයාගේ පිංතුර )

බයිසිකලය

දශක තුනකට එපිට ලංකාවේ ගම්බද වැසියනට බයිසිකලයක් මිලදී ගැනීම අද කාලේ කාර් රියක් මිලට ගැනීම හා සමාන විය. 1900 ගණන් වල ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය නිලධාරින් පවා රාජකාරි වලට වාර්තා කොට ඇත්තේ බයිසිකල් වලින් බව ඇතැම් පැරණි විස්තර වාර්තා බැලීමේ දී පෙනී යයි. “සියවසකට එපිට රජතුමා එනවිට කාණුවට බැස ආචාර කරන්නට සිදුවූ පරම්පරාවෙන් පැවත ආ අයවළුන්, දැන් අලංකාර සේද රෙදි වලින් සැරසී බයිසිකල් වල නැගි පිඹගෙන යන්නේ යැ”යි 1900 මුල් දශකයේ ලියැවූ ඇතැම් ලාංකික පොත් පත් වල සදහන් වේ.

දෝලාව

දෝලාව යනු අපේ ආසියානු කලාපයේ ඉතිහාසය තුළ ජනප්‍රිය වූ ගමන් මාධ්‍යයකි. වනාන්තර මැදින් අඩිපාරවල් දිගේ දෝලා ඔසවාගෙන ගිය අතර ඒවායේ ඇතුලේ රජවරු සිටුවරු මැතිවරු ආදී විශාල තානාන්තර වල පුද්ගලයෝ ගමන් ගත්හ. අසුන්ගෙන් වැඩගත් යුරෝපයේ තානායම් අසල අසුන් මාරුකරගැනීමට හැකියාව ලැබුනා සේ, එකල රජ දවස දෝලා කාරයන් ද එක් එක් නැවතුම් පොල ආසන්නයේ දී සපයාගැනීමට හැකියාව තිබී ඇත.

අද කාලයේ දෝලාවෙන් මනාලිය කැන්දා ගෙන යන අවස්ථාවක්. twitter.com

ඩැන්ඩිය

ඩැන්ඩිය යනු හොදින් සවිකල පුටුවක් දික් කළ ලී මත තබා ඔසවාගෙන යෑම වේ. බ්‍රිතාන්‍ය සමයේ මුල් කාලයේ සිටි වංශවතුන්ට රට තොට බලමින් යෑමට අවශය වූ විට ඩැන්ඩිය භාවිතා කොට තිබේ.

අසුන් ගොනුන් ඇදි රථ

බ්‍රිතාන්‍ය පාලන සමයේ දී බක්කි කරත්තය, රේස් කරත්තය, තිරික්කලය ආදී ආදී අසුන් ගොනුන් බැඳි රථ වීය. ලන්දේසි කාලයේ දී ලංකාවේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු සදහා ගෙන ආ අශ්වයින් ගෙන් පැවත එන අශ්වයෝ තවමත් උතුරේ ඩෙල්ෆ්ට් දූපතේ සිටිති. මාතර, ගාල්ල වැනි පළාත්වල දැනට දශක තුන හතරකට එපිටදී ද මිනිසුන් ගෙන යන බක්කි කරත්ත දකින්නට තිබුණි.

බක්මහ උළෙලක තිරික්කල රේස්. lankabusinessnews.com

ඇතුන් සහ අශ්වයින්

නිදහසින් පසුව දිගාමඩුල්ලේ ගොවිතැන දියුණු කළ මහාමාන්‍ය ඩී ඇස් සේනානායක පාරවල් නොමැති එකල අශ්වයින් පිට, ඇතුන් පිට මෙන්ම ගොනුන් පිට ද දිගාමඩුල්ලේ වැඩ බිම් කරා ගමන් කළ බැව් වාර්තා වල සඳහන් වේ. ඔහු මිය පරළොව යන්නේ ද හදිසියේ කුලප්පු වූ සිය අසුපිටින් ඇද වැටීමෙනි. වියළි කලාපයේ පඳුරු වැටි අතරින් තරමක වේගයෙන් යන අලියා පිට යෑම එකල සිට ජනප්‍රිය ප්‍රවාහන ක්‍රමයක් වන්නට ඇත.

රික්ශෝ රථය

මිනිසකු විසින් ඇදගෙන යන රථයක ගමන් කිරීම අවමානයක් ලෙස නූතන ලෝකයේ දී සැලකුනත් තවමත් ඉන්දියාවේ දිල්ලි වල බයිසිකල් ලෙස පැදයන රික්ශෝ තිබේ. ඒවායේ මිනිසුන් ගමන් පහසුව ද සලසාගනී. ලංකාවට මුල්ම රික්ශෝව 1883 දී ගෙන එන ලද අතර නිදහස ලබන වකවානුව වන විට රික්ශෝ රියදුරන් 3129ක් සිට ඇති බැව් වාර්තා වේ.

ඉන්දියාවේ රික්ශෝ රියක්. mickyandrani.blogspot.com

තැපැල් රථය

අශ්වයින් දෙදෙනකුගේ බලයෙන් ඉදිරියට ඇදුන තැපැල් රථය මුලින්ම ආසියානු රටක ධාවනය වූයේ ලංකාවේ දී ය. 1832 දී තැපැල් ලිපි ගෙන යෑමට ආරම්භ වූ කොළඹ-නුවර තැපැල් රථයේ ගමනට මගියෙකුගෙන් පවුම් දෙකකුත් සිලිං 10ක් අයකර තිබේ. මුල් කාලයේ මහනුවර ගමනට පෑ 14ක් ගත වී තිබේ. 1838 දී ගාල්ල දක්වා ද ඇරඹි තැපැල් රථ සේවය එදා වංශවතුන් කිහිපදෙනකුගේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් විය.

ට්‍රෑම් සේවය

කොළඹ මොනොරේල්, මෙට්‍රො රේල් ගැන සැලසුම් චිත්‍ර ඇදෙන මේ කාලයේ මෙන්ම එදා ද රථවාහන තදබදය කොළඹ නගරයට විශාල ගැටළුවක් විය. එයට පිළියමක් ලෙසින් 1900 දී ට්‍රෑම් සේවය කොළඹ ස්ථාපනය කරන ලද අතර එය කොළඹ සිට තොටළඟ දක්වාත්, කොළඹ කොටුව  සිට බොරැල්ල දක්වාත් ගමන් ගන්නා ලදී. විදුලි බලයෙන් ධාවනය වූ ට්‍රෑම් රියට බලය සැපයුනේ මාර්ගයට ඉහළින් ඇදි විදුලි කම්බි මගිනි. 1970 ගණන් තෙක් ධාවනය වූ ට්‍රෑම් නවිකරණය නොවූ නිසා 1970 දී වඩාත් සෙමෙන් යන රථ සේවාවක් විය. වැඩි වැටුප් ඉල්ලා ට්‍රෑම් සේවකයින් සිදුකළ වර්ජනයකට විසදුම් නොලැබුන නිසා ට්‍රෑම් සේවාව සදහටම ලංකාවෙන් අතුගෑවී ගියේය.

එදා කොළඹ වූ ට්‍රෑම් රියක්. (i.pinimg.com)

මෝටර් රථ

1815 දී ලංකාවට පැමිණි සුද්දා අශ්වයාගේ පිටේ රටතොට ගමන් ගිය ද ඔහු ලංකාවෙන් නික්මෙන කාලයේ දී මෝටර් රථය ජනප්‍රිය ගමන් මාධ්‍යයක් විය. 1899 දී වාශ්ප බලයෙන් ක්‍රියාකරන මෝටර් රථයක් ලංකාවට පැමිණ තිබේ. ඒත් ඉන්ධන වලින් ධාවනය වන රථයක් මුලින්ම ලංකාවේ මාර්ගයට ඇතුලත් වන්නේ 1902 දී ය. 1911 දී 745ක් වූ මෝටර් රථ 1926 දී 14,947ක් දක්වා ගණනින් වර්ධනය වී තිබේ. නිදහස ලබන විට ලංකාවේ මාර්ග වල මෝටර් රථ 29,949ක් ධාවනය වී තිබේ.

බස් රථ සේවාව

මුල්ම බස් රථය 1907 දී හලාවත සහ කොළඹ අතර ලංකාවට හඳුන්වා දුන් අතර 1913 දී ගාල්ල-ත්‍රිකුණාමලය, බදුල්ල-මඩකලපුව අතර බස් ගමන් ආරම්භ කරන ලදී. එවකට බස් රියක රියදුරුට අමතරව රියේ යා හැකි වූයේ 5 දෙනෙකුට පමණි. 1948 වනවිට බස් සමාගම් 53ක් සහ පුද්ගලයින් සන්තකයේ බස් රිය 2583ක් තිබී ඇත. පසුව බස් රිය සේවාව ජනසතු කිරීම පුද්ගලික අංශයෙන් බස් සියල්ල රජයට පවරාගැනීම් ආදී දේ සිදුවී ඇතත් සාමාන්‍ය බස් සේවාව දැන් වසර 40-50ක් තිස්සේ තාම එකතැන ය.

එදා බස් රියක් (i.pinimg.com)

යතුරු පැදිය

1903 දී එංගලන්තයේ වෝකර් සමාගමෙන් ලංකාවට ප්‍රථම යතුරු පැදිය පැමිණ තිබේ. 1946 වන විට ලංකාවේ යතුරු පැදි ගණනින් 5918ක් දක්වා වර්ධනය වී තිබේ. එවකට ලංකාවට පැමිණි යතුරු පැදි බොහොමයක් එංගලන්තයේ නිශ්පාදිත ඉස්තරම් වර්ගයේ ඒවා විය.

නිරුවත් දෙපයින් ගමන් කිරීම, ඉන්පසු සෙරෙප්පු දෙකක් මිලට ගැනීම, පාපැදියක් මිලදී ගැනීම, යතුරුපැදියක් මිලදී ගැනීම, ඔවුන්ට සැපපහසු පොදු ප්‍රවාහන ක්‍රමයක් හෝ, කාර් රියක් හිමිවීම යනු මිනිසාගේ දියුණුව පෙන්වන එක්තරා පැතිකඩකි. අද ද ඉන්දියාවේ ඇතැම් දුෂ්කර පැතිවල ජනයා මෙන්ම මධ්‍යම අප්‍රිකානු රටවල ජනයා ද පයට පාවහන් යුවලක්වත් නැතිව සිය අවශ්‍යතාවන් වෙනුවෙන් කිලෝමීටර ගණන් පයින්ම ගමන් කරති. යම් යම් දුර්භාග්‍ය සම්පන්න සිදුවිම් තිබුනත් වර්ථමාන ලාංකිකයින්ගෙන් අති බහුතරය අද මාසික වැටුපකින් බයිසිකලයක් මිලදී ගත හැකි මට්ටමකට දියුණු වී තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍යයින්ගේ යටත් විජිතයක් වූ අවුරුදු 133 (1815-1948) කාලය දක්වා අපේ ලාංකික මුතුන්මිත්තන්ගේ ගමනාගමන චර්යාවන් සැලකිය යුතු ලෙසකින් වෙනස් වී තිබුනි.

කොළඹ විශ්ව විද්‍යාලයීය ඉතිහාස අංශයේ මහාචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහ ගේ ශ්‍රී ලංකාවේ මාර්ග ප්‍රවහනය කෘතියෙන් ඇතැම් සංඛ්‍යාමය දත්ත උපුටාගන්නා ලදී.