ලංකාවේ රජෙකු චීනයට පැහැරගෙන ගිය චෙං හෝ ගෙනා ත්‍රි භාෂා සෙල්ලිපිය

ලංකාවේ මුල් කාලීන ලේඛන දෙස බලන විට අපට පෙනී යන්නේ ඒවායින් බොහොමයක අන්තර්ගත වී ඇත්තේ සුවිශේෂී පරිහාර දීමනා, පුදපූජා හා වත් පිළිවෙත්ය. එමෙන්ම මෙම ලේඛන බොහොමයක් රචනා වී ඇත්තේ බ්‍රාහ්මීය අක්ෂර වලිනි. නමුත් ජාතික කෞතුකාගාරයේ භාෂා තුනකින් ලියැවුනු සෙල්ලිපියක් දක්නට ලැබේ. ලංකාව ලෝකයේ අනෙක් රටවල් සමග අන්තර්ජාතික වශයෙන් සම්බන්ධතා පැවැත්වූ බවට මෙය කදිම උදාහරණයකි. එපමණක් නොව මෙම සෙල්ලිපිය ගෙනා චීන නාවික​ සෙන්පතියා වූ අද්මිරාල් චෙං හෝ ලංකාවට දේශපාලනික වශයෙන් අභියෝග කල අයෙක් ද වනවා. අපි දැන් මේ සෙල්ලිපිය ගැන සොයා බලමු.

සෙල්ලිපිය සොයා ගැනීම

මෙම සෙල්ලිපිය සොයා ගනු ලැබුවේ 1911 වසරේ ගාල්ල ප්‍රදේශයෙනි. මෙය චීන, දමිළ හා පර්සියානු යන භාෂා ත්‍රිත්වයෙන් ලියා ඇත. එකල මෙම ලේඛනය සොයා ගත්තේ ගාල්ල ප්‍රදේශයේ ප්‍රාදේශිය ඉංජිනේරුවරයා ලෙස සේවය කල එච්. එෆ්. ටොමලින් මහතා විසිනි. මෙහි දිග අඩි 4 අඟල් 9 ක් වන අතර පළල අඩි 2 අඟල් 6 ක් වේ. ඝනකම අඟල් 5 කට ආසන්න වේ.

මෙම සෙල්ලිපිය ඉතා සුමට වන අතර ඉහලින් මකර රූප දෙකක් දක්නට ලැබේ. මෙම මකරුන් දෙදෙනා එකිනෙකා දෙස බලාගෙන සිටින ආකාරයෙන් කැටයම් කර ඇති අතර ඔවුන්ගේ හිස් වලට ඉහලින් ගෝලාකාර වස්තුවක් නිරූපණය වේ. මෙම සෙල්ලිපිය වටා අඟල් දෙකක පළලකින් යුත් මල්වැල් කැටයමක් ද දක්නට ලැබේ. මෙම සෙල්ලිපියේ වම් පස මකර රූපයට පහලින් ඉහළ සිට පහළට චීන අක්ෂර සහිත ලේඛනය දක්නට ලැබේ. දකුණු පස මකර රූපයට පහළින් ආරම්භ වූ මැදක් යනතුරු දමිළ අක්ෂර සහිත ලේඛනය හමුවේ. ඉන් මධ්‍යයේ සිට ලේඛනයේ පහළට යන තෙක් ඇත්තේ පර්සියානු අක්ෂර යි. එකල පර්සියානු පෙදෙස් වල ඉස්ලාම් ධර්මය පැතිර යාම හේතුවෙන් මෙහි පර්සියානු කොටස අරාබි අක්ෂර වලින් සමන්විත වේ.

ගාල්ලෙන් හමුවූ ත්‍රි භාෂා සෙල්ලිපිය(trisinhale.blogspot.com)

සෙල්ලිපියේ සඳහන් දෑ

ලංකාවේ දෙවුන්දර දේවාලය හා ශ්‍රී පාදස්ථානය මෙකල වන විට ලෝකයේ ප්‍රචලිතව පැවති ස්ථාන දෙකක් විය. එමනිසා චීන අධිරාජ්‍යයා මෙම ස්ථාන වලට පුදපූජා පැවැත්වීමට තීරණය කළේ ය. ඔහු ඒ සදහා යොදා ගත්තේ චෙං හෝ සෙන්පතියාව යි. මෙම සෙල්ලිපියේ චීන භාෂාව සදහන් කොටස් පළමුව පරිවර්තනය කලේ එඩ්වඩ් බැක්හවුස් මහතා විසිනි. එහි සදහන් ආකාරයට චීන අධිරාජ්‍යයා රත්තරන් කැබලි 1000, රිදී කැබලි 5000, විවිධ වර්ග වලින් සමන්විත සිල්ක් රෙදි තොග 50, මැණික් එබ්බවූ පතාක 4, තඹවලින් නිමැවූ පහන් රැඳවුම් 5, තඹ වලින් නිමැවූ ඉටිපන්දම් රඳවන යුගල 5, රනින් නිමවූ නෙළුම් මල් යුගල 6, ඉටිපන්දම් යුගල 10, සුවඳ කූරු 10 ක් යන​ පඬුරු ලංකාව වෙත එවන ලදි. ශ්‍රී පාදස්ථානයේ දී කෙරුණු පූජාවක් ගැන ද චීන කොටසෙහි සදහන් වේ.

මෙහි දමිළ අක්ෂර පරිවර්තනය කලේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසිනි. ඔහු පවසන්නේ ක්‍රි.ව. 1403 දී චීනයේ රජකම් කල යුං ලෝ අධිරාජ්‍යයාගේ රාජ්‍ය පදවිප්‍රාප්තියෙන් හත්වෙනි වර්ෂයේ දෙවෙනි මාසයේ දී ලංකාවේ දෙවුන්දර විෂ්ණු දේවාලයේ කීර්තිය ගැන අසා පූජා වස්තූන් ලංකාවට එවූ බවයි. ඒවා එවා ඇත්තේ චිං වෝ සහ උවිං චුවිං යන තානාපතිවරු දෙදෙනා අත බව වැඩිදුරටත් සදහන් වේ.

සෙල්ලිපියේ ඉහළ කොටසේ ඇති මකර කැටයම් (trisinhale.blogspot.com)

මෙම සෙල්ලිපියේ සදහන් පර්සියානු භාෂාවෙන් ලියූ කොටස පරිවර්තනය කලේ ගුලාම් යස්දානි මහතා විසිනි. එහි සදහන් ව ඇත්තේ අල්ලාහ් දෙවියන් උදෙසා සිදුකරන ලද පූජාවක් පිලිබඳවයි. චීන හා දමිළ භාෂාවෙන් ලියූ කොටස් හා සසඳන​ විට පර්සියානු බසින් ලියූ කොටස් කාලයාගේ ඇවෑමෙන් බොහෝ පරිහානියට පත්ව තිබේ.

චීන මූලාශ්‍රවලට අනුව චෙං හෝ ලංකාවට පැමිණෙන්නේ 1405 වසරේදී යි. එහෙත් සෙල්ලිපියට අනුව ඔවුන් පැමිණ ඇත්තේ 1403 වසරේදී යි. මේ පිලිබඳව පුරාවිද්‍යාඥයින්ගේ මත දෙකක් පවතියි. එකක් නම් සෙල්ලිපිය චීනයේ දී 1403 දී ලියා 1405 දී ලංකාවට ගෙනෙන්නට ඇති බවයි. අනෙක නම් චීන දූත පිරිස ලංකාවට නැවෙන් පැමිණෙන අතරතුර මෙම සෙල්ලිපිය නිර්මාණය කල බවයි.

ලංකාවේ රජ කෙනෙක් චීනයට පැහැරගෙන යයි

චෙං හෝ ලංකාවට පැමිණෙන විට තිබුනේ ගම්පොළ රාජධානි සමයයි. එකල ගම්පොළ රාජධානියේ දළදා වහන්සේ වැඩසිටි නිසා එය අගනගරය ලෙස සැලකුව ද එකල රාජධානි කිහිපයක් පැවතියේ ය. එකල බටහිර වෙරළේ තිබුනේ රයිගම් රාජධානිය යි. මෙහි පාලකයා වීර අලකේෂ්වර නම් අයෙක් බව සදහන් වේ. (වෙනත් මූලාශ්‍ර වල ඔහු කෝට්ටේ රාජධානියේ පාලකයා බවද සදහන් වේ.)

චෙං හෝ (pinterest.com)

චෙං හෝ සෙන්පතියා ලංකාවට පැමිණ චීන අධිරාජ්‍යයාගේ අනුදැනුම ඇතිව ලංකාවේ පාලනය ගෙනගිය රජුව චීනයට පැහැරගෙන ගිය බව රාජාවලියේ සදහන් වේ. සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ මෙම රජු වීර අලකේෂ්වර විය යුතු බවයි. ලංකාවේ මූලාශ්‍ර වල මෙය එතරම් පැහැදිලිව සදහන් නොවුනත් චීන මූලාශ්‍රවල ලංකාවෙන් පැහැරගෙන ආ රජෙක් ගැන එනම් වීර අලකේෂ්වර ගැන සදහන් වේ.

චීන මූලාශ්‍රවල සදහන් ආකාරයට වීර අලකේෂ්වර යනු ජනතාව පීඩාවට පත් කල කුරුරු ඒකාධිපතියෙකි. මේ නිසා ඔහු ඇතුලු ඔහුගේ පවුල ජීවග්‍රහයෙන් අල්ලාගෙන 1411 දී චීනයට රැගෙන ගියේය. කෙසේ හෝ අවසානයේ දී චීන අධිරාජ්‍යයා මොහුට හොදින් සලකා නැවත ලංකාවට එවා ඇති බවද සදහන් වේ.

මූලාශ්‍රයයෝ

1)විජය, දිවයින පුවත්පත්

2)රාජාවලිය – ඒ. වී. සුරවීර සංස්කරණය

කවරයේ පින්තූරය – චෙං හෝ ගේ දූත ගමන් දැක්වෙන සිතුවමක්. (Pinterest)

Related Articles