Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පර්ල් වරාය ප්‍රහාරයේ දී ගුවනට නැගි ඇමෙරිකානු ගුවන් නියමුවන් දෙදෙනා

දෙවන ලෝක යුද්ධය අතරතුර හවායි හි පිහිටි පර්ල් වරායට ජපන් හමුදාව විසින් 1941 දෙසැම්බර් 7 වන දා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් එතෙක් දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ නොවී සිටි ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. හිට්ලර් ප්‍රමුඛ නට්සි ජර්මනිය ද ඉන්පසුව ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ඇමෙරිකාව විසින් නට්සි ජර්මනියට එරෙහිවත් යුද ක්‍රියාමාර්ගයන්ට පෙළඹෙනවා. ඇමෙරිකාව විසින් ජපානයට විරුද්ධව රැගෙන ගිය යුද්ධය අවසන් වන්නේ 1945 වසරේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට එල්ල කරන ලද පරමාණු බෝම්බ හේතුවෙන් ජපානය කොන්දේසි විරහිතව යටත් වීමෙනුයි.

පර්ල් වරායට එල්ල වූ බෝම්බ 

පර්ල් වරායට එල්ල වූ බෝම්බ (britannica.com)

පැසිපික් සාගරයේ නාවික බලය ඇමෙරිකානු හමුදාව විසින් තවදුරටත් වර්ධනය කරගනු ඇතැ යි ජපන් අධිරාජයා තුළ පැවති සැකය ද, මෙම කලාපයේ ඇමෙරිකානු නාවික හමුදාවට දරාගත නොහැකි ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළහොත් ඔවුන් නැවත සංවිධානය වී ජපානයට පහර දීමට ඉතා විශාල කාලයක් ගත වෙන බව ද ජපානය විසින් විශ්වාස කරනවා. මේ  ඔස්සේ යි, දෙවන ලෝක යුද්ධයේ කිසිදු පාර්ශවයකට අයත් නොමැති ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට පහර දෙන්නේ. මෙවැනි ප්‍රහාරයක් එල්ල කරාවියැ යි, ඇමෙරිකා එක්සත් ජනපදය කිසිවිටෙකත් අපේක්ෂා නොකළ බව යි සඳහන්.

1941 දෙසැම්බර් 6 වන දා ප්‍රහාරක ගුවන් යානා රැගත් ජපන් නාවික යාත්‍රා, ක්‍රම ක්‍රමයෙන් පැසිපික් සාගරයේ හවායි කරා ළඟා වෙන්නට වූ අතර පසු දා උදෑසන ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනවා. නාවික යාත්‍රා හයක ගෙන ආ ගුවන් යානා 353ක් පමණ මේ සඳහා යොදාගත් අතර, නැංගුරම් දමා තිබු ඇමෙරිකානු විශාල ප්‍රමාණයේ නෞකා කිහිපයක්ම ප්‍රහාර සඳහා ඉලක්ක වෙනවා.

ප්‍රහාරයෙන් ඇමෙරිකානු සෙබළුන් 2,335ක් පමණ මරණයට පත්වෙන අතර, ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් ප්‍රහාරයේ දී ගිල්වා දමන ලද ඇමෙරිකානු ‘ඇරිසෝනා’ (USS Arizona) නෞකාවේ සිටි නාවිකයන් වුණා. ගුවන් ප්‍රහාරවලට අමතරව ජපාන සබ්මැරීන යොදා ගනිමින් ද ප්‍රහාර එල්ල වෙනවා. ඇමෙරිකානු හමුදාව ද වහා ක්‍රියාත්මක් වෙන අතර, දෙපාර්ශවය හා පැය කිහිපයක් පුරා සටන දියත් වෙනවා. සටන අවසානයේ දී ඇමෙරිකානු හමුදාවට දැඩි අලාභ හානි සිදුවෙනවා. ඔය ආකාරයට යි පර්ල් වරායට බෝම්බ දැමීම සිදුවෙන්නේ.

ඉතින් මේ ලිපිය සඳහා පාදක වන්නේ එම ප්‍රහාරයට මුහුණ දුන් පර්ල් වරායේ සිටි ඇමෙරිකානු ගුවන් නියමුවන් දෙදෙනෙකු පිළිබඳව කතාවක්.

ප්‍රහාරයට පෙර රාත්‍රිය 

ජපන් බෝම්බ (historyonthenet)

මෙහි කතා නායකයන් වන්නේ Kenneth Marlar Taylor හා George Welch යන ගුවන් නියමුවන් දෙදෙනා යි. පෙර දා රාත්‍රියේ කඳවුරේ නිලධාරීන්ගේ නත්තල් සාදය පැවති බැවින්, ඊට සහභාගී වන ඔවුන් දෙදෙනා මධ්‍යම රාත්‍රියේ සිට තම නිලධාරී නිවහනේ සදළුතලයට පැමිණ නොනිදා පහන් වන තුරු කාඩ් සෙල්ලම් කිරීමේ යෙදෙනවා.

දෙසැම්බර් 7 වන දා උදෑසන 6 30 පසුවෙනවාත් සමගම පර්ල් වරාය එල්ල කරමින් ජපනුන් බෝම්බ හෙලන බව ඔවුන්ට දුරකතනයෙන් හා අවට ගිගුරුම් දෙන ශබ්දවලින් හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා. වහාම තමන්ට Curtiss P-40B Tomahawk වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් සුදානම් කරන ලෙස පවසන මෙම තරුණ ගුවන් නියමුවන් දෙදෙනා, පෙරදා රාත්‍රියේ මත්පැන් පානයෙන් ඇති වූ හිසේ බමන ගතිය හා නිදි නොලැබීම හේතුවෙන් ඇතිව තිබූ කෙඩෙත්තු ගතිය පසෙක දමා ඉතා ඉක්මනින් ගුවන් පථය කරා යනවා.

ජපන් ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීම 

ප්‍රහාරයෙන් පසුව (pearlharborwarbirds)

කිසිදු සහායකයෙකුගේ උදව් නොමැතිව, කිසිදු විධානයකින් තොරව ප්‍රහාරක යානා දෙක පණ ගන්වා ඉහළ අහසට පිවිසෙන ඔවුන් දෙදෙනාගේම ගුවන් යානා දෙක සන්නද්ධ වී තිබෙන්නේ මැෂින් තුවක්කුවකින් පමණයි. ඔවුන් දෙදෙනාටම භාවිතා කිරීම සඳහා බෝම්බ හෝ මිසයිල නොතිබුණු අතර, තිබුණේ පතොරම් පමණ යි.

ඔවුන්ගේ ගුවන් යානා ඉහළට නැංවීමත් සමග ජපාන ගුවන් හමුදාවේ දෙවන ප්‍රහාරක රැල්ල ආරම්භ වෙනවා. ඉතා වේගයෙන් ගුවන්ගත වෙන Kenneth Marlar Taylor තම ප්‍රහාරක යානය හොඳින් හසුරවා ජපන් බෝම්බ හෙලන යානා දෙකක් විනාශ කරනවා. තවත් බෝම්බ හෙලන යානාවකට බරපතල හානි සිදුකිරීමට ඔහු සමත් වෙනවා. George Welch ද සතුරු ප්‍රහාරවලින් මෙන්ම ගොඩ බිමේ සිට ජපන් ප්‍රහාරක යානා වෙත එල්ල කෙරෙන මිතුරු ප්‍රහාරවලින් ද දක්ෂ ලෙස ආරක්ෂා වෙමින්, f Aichi D3A නම් ජපාන බෝම්බ හෙලන යානා දෙකක් විනාශ කර දමනවා.

Kenneth Marlar Taylor හා George Welch ගුවන් නියමුවන් දෙදෙනා

තම යානා දෙකේම පතොරම් ඉවර වීම හේතුවෙන් නැවත ගුවන් පථයට ගොඩබෑමට මෙම ගුවන් නියමුවන් දෙදෙනාටම සිදුවෙන අතර, ගොඩබෑමෙන් පසුව ගුවනේ ජපන් ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීම මාරාන්තික වන හෙයින් නැවත ගුවන්ගත නොවෙන ලෙස උපදෙස් ලැබෙනවා. නමුත්, ගුවන් නියමුවන් දෙදෙනා විසින් මෙම උපදෙස් පිළිපදින්නේ නෑ.

මෙම සටන අතරතුර ජපන් යානාවකින් එල්ල කරන වෙඩි තැබීමකින් Kenneth Marlar Taylorගේ හිසට උණ්ඩයක් කිඳා බසිනවා. ඊට අමතරව ඔහුගේ පාදයකට ද වෙඩි වදිනවා. නමුත් ඔහු දිවිගලවා ගැනීමට සමත් වෙනවා.

පැය ගණනක් ජපන් ගුවන් ප්‍රහාර හා නාවික ප්‍රහාර වැළැක්වීම උදෙසා මෙහෙයුම් සිදුකළ ඔවුන්, පර්ල් වරායේ ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු හමුදාවේ හා එරට රජයේ ගෞරවයට පාත්‍ර වෙනවා. ඒ, අසීරුම අවස්ථාවක තම දිවිය පිළිබඳව නොසිතා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී සතුරන් විනාශ කිරීමට දැක්වූ දායකත්වය හේතුවෙනුයි.

කවරයේ පින්තූරය- i.ytimg

මූලාශ්‍රය:

warhistoryonline.com

Related Articles