ඊශ්‍රායල-පලස්තීන අර්බුධය පිළිබඳ මූලික කරුණු කාරණා කිහිපයක් අපි මින් පෙර ලිපි දෙකකින් සාකච්ඡා කළා. මේ ලිපියත් වෙන්වන්නේ එම අර්බුධය හේතුවෙන් ඇති වූ පලස්තීන නැගීසිටීම් ගැනයි.

අර්බුධයේ ඉතිහාසය ගැන ලියවුණ ලිපි දෙක පහත ලින්ක් වෙත ගොස් කියවන්න ඔබට පුළුවන්.

  1. ඊශ්‍රායල පලස්තීන අර්බුධයේ ඉතිහාසය (පළමු කොටස)
  2. ඊශ්‍රායල පලස්තීන අර්බුධයේ ඉතිහාසය (දෙවන කොටස)

ඊශ්‍රායලයට එරෙහිව සිදු වූ පලස්තීන නැගීසිටීම්  හඳුන්වනු ලබන්නේ ඉන්ටිෆාඩාවන් (intifada) ලෙසට යි. ඊශ්‍රායල පලස්තීන ඉතිහාසයේ මෙවන් ඉන්ටිෆාඩාවන් දෙකක් සිදුවී තිබෙනවා.

ඉන්ටිෆාඩාවක් යනු,

ඉංග්‍රීසි භාෂාවෙන් “ඉන්ටිෆාඩා” යන්න සාමාන්‍යයෙන් යෙදෙන්නේ නැගීසිටීම (uprising) සහ කැරල්ලක් (rebellion) ලෙසට යි. නමුත් අරාබි භාෂාවේ මෙම වචනයෙන් හැඳින්වෙන්නේ යමක් මුලිනුපුටා දැමීම, භීතිය  ආදිය යි. ඊශ්‍රායල-පලස්තීන අර්බුධය පිළිබඳ කතා කෙරෙන විට ඉන්ටිෆාඩාවන් ලෙස හඳුන්වන්නේ දේශපාලන සහ යුධමය ආදී වශයෙන් සංවිධානය වූ පලස්තීන ජනතාව ඊශ්‍රායල හමුදාවට එරෙහිව නැගීසිටීම වෙනුවෙන්. මුලින් කීවාක් මෙන් මෙවන් ඉන්ටිෆාඩාවන් 2ක් මේ වන විට ඇති වී තිබෙන අතර, පළමු ඉන්ටිෆාඩාව 1987 වසරේ ආරම්භ වී 1993 වසරේ දී නිමාව දුටුවා. 2000 වසරේ දී ඇති වූ දෙවන ඉන්ටිෆාඩාව වසර හතරකටත් වඩා වැඩි කාලයක් පැවතුණා.

ප්‍රථම ඉන්ටිෆාඩාව

ඊශ්‍රායල හමුදා සෙබළුන් සමඟ වාදයක පැටලී සිටින පලස්තීන කතුන්/Middle East Monitor

ආරම්භය

ප්‍රථම ඉන්ටිෆාඩාව ආරම්භ වූයේ 1987 වසරේ දෙසැම්බර් 08 වන දා යි. ගාසා තීරය වෙත යමින් සිටි පලස්තීන කම්කරුවන් පිරිසක් රැගත් මෝටර් රථයක් ඊශ්‍රායල යුධ ට්‍රක් රථයක් හා ගැටුණ අතර, මින් පලස්තීන කම්කරුවන් සිව් දෙනෙක් මියගියා. එම අවාසනාවන්ත සිද්ධිය ට්‍රක් රථයේ රියදුරාට එය පාලනය කරගැනීමට නොහැකිවීම නිසා සිදුවූ අනතුරක් බව ඊශ්‍රායලය ප්‍රකාශ කළත් එය පිළිගැනීම පලස්තීනුවන් ප්‍රතික්ෂේප කළා. මෙම සිද්ධියට දින කිහිපයකට ප්‍රථම ඊශ්‍රායල වැසියෙකු පලස්තීන වැසියෙකුගේ පිහි ඇනුමක් නිසා මියගිය බවට වාර්තා පල වී තිබුණා. එම නිසා පලස්තීනුවන් විශ්වාස කළේ එයට පලිගැනීමක් ලෙස ඊශ්‍රායල යුධ ට්‍රක් රථය සිතාමතාම කාරයේ ගැටෙන්නට සැලැස්වූ බවයි.

ගැටුම් ඇතිවීම

පලස්තීන කම්කරුවන්ගේ මරණ නිසා ඊශ්‍රායල හමුදාවට එරෙහිව සිවිල් වැසියන්ගේ අරගල හට ගැනුණා. ඊශ්‍රායල හමුදාව මෙම වැසියන් වෙත දැඩි ප්‍රහාර එල්ල කිරීම නිසා තත්ත්වය වඩාත් දරුණු වුණා පමණක් නොව, ඔවුන්ට එරෙහිව පලස්තීන වැසියන් වඩ වඩා වීථි බසින්නට පටන් ගත්තා. පසුව එවකට පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අරෆත් විසින් මෙම ගැටුම් මෙහෙයවීම සියතට ගත්තා. එතැන් පටන් පලස්තීන විමුක්ති සංවිධානයේ මගපෙන්වීම මත පලස්තීන වැසියන් වඩා සංවිධානාත්මකව ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා.

මෙම ගැටුම් වලට සමගාමීව පලස්තීනුවන් ඊශ්‍රායලය තුල රැකියා කිරීම, ඊශ්‍රායල නිෂ්පාදන මිල දී ගැනීම ප්‍රතික්ෂේප කිරීම ආදී දෑ ද සිදුවුණා. හමාස් සංවිධානයේ උපත සිදුවූයේ ද ප්‍රථම ඉන්ටිෆාඩාව හටගත් 1987 වසරේදීම යි. ෂෙයික් අහමඩ් යසීන් ගේ නායකත්වයෙන් බිහිවුණ මෙම සංවිධානයට මුස්ලිම් සහෝදරත්වයේ (Muslim Brotherhood) සහ පලස්තීන විමුක්ති සංවිධානයේ සහයෝගයත් ලැබුණා.

පලස්තිනුවන්ගෙන් එල්ලවූ ප්‍රහාරවලට ඇඳිරි නිතිය පැනවීම්, සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම්, පහරදීම්, වධ හිංසා පැමිණවීම් ආදී ලෙස ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කළා.

ගල් සහ පෙට්‍රල් බෝම්බ රැගත් පලස්තීන ළමුන්/iuvmpress

අවසානය සහ මරණ

වසර 6ක් පුරා දිවුණ ප්‍රථම ඉන්ටිෆාඩාව නිමාවූයේ 1983 වසරේ දී ඊශ්‍රායලය සහ පලස්තීනය ඔස්ලෝ සම්මුතියට අත්සන් තැබීමෙන් පසුව යි. පලස්තීන අධිකාරිය විසින් සැකසූ එම ලියවිල්ලෙන් පලස්තීනුවන් විසූ ප්‍රදේශවල, එනම් බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ, ස්වයංපාලන අයිතිය ඉල්ලා සිටියා. නමුත් මෙයට දැඩි සේ එරෙහි වුණ හමාස් සංවිධානය පවසා සිටියේ ඊශ්‍රායලය එම භූමියෙන් අතුගා දැමිය යුතු බවයි. එය හැර වෙනත් විසඳුමක් පිළිගැනීමට හමාස් සංවිධානය අදටත් දක්වන්නේ මැලිකමක්.

ගැටුම් නිසා මියගිය සංඛ්‍යාව ගැන නිශ්චිතව කිව නොහැකි වුවත් ඊශ්‍රායල රාජ්‍ය නොවන සංවිධානයක් පවසා සිටියේ 1993 වන විට පලස්තීන වැසියන් 1203 ක් සහ ඊශ්‍රායල වැසියන් 179 ක් දළ වශයෙන් මිය යන්නට ඇති බවයි.

ඉන්ටිෆාඩාව මැඩලීමට ඊශ්‍රායලය විසින් යොදා ගැනුණ දැඩි ආක්‍රමණශීලි ප්‍රතිපත්තිය ලෝකයේ බොහෝ රටවල දෝෂ දර්ශනයට ලක් වුණ බව කිව යුතුයි.

දෙවන ඉන්ටිෆාඩාව

ඊශ්‍රායලයට එරෙහිව වීථි බට පලස්තීන සාමාන්‍ය වැසියන්/Al araby.uk

ආරම්භය

මෙම ඉන්ටිෆාඩාව ඇතිවූවේ 2008 සැප්තැම්බර් මස 08 වන දින එවකට ඊශ්‍රායල විපක්ෂ නායක ඒරියල් ෂාරෝන් ඊශ්‍රායලය අත්පත් කරගෙන සිටි ජෙරුසෙලමේ ප්‍රදේශයන්හි සංචාරය කිරීමත් සමඟ යි.  පලස්තීන නායකයන් මෙම සංචාරය දුටුවේ ජෙරුසෙලම, විශේෂයෙන්ම ඉස්ලාම් භක්තිකයන් ශුද්ධ වූ බිම් ලෙස සලකන ජෙරුසෙලමේ ස්ථාන, කෙරෙහි සිය ආධිපත්‍යය පැතිරවීමේ උත්සාහයක් ලෙස යි. ෂාරෝන් ඊට මාස කිහිපයකට පසු ඊශ්‍රායලයේ අගමැති තනතුරට පත්කරනු ලැබුවා.

ෂාරොන් ගේ සංචාරයට එරෙහිව පලස්තීනුවන් වීථි බට අතර දෙපාර්ශවය අතර යලිත් වරක් බිහිසුණු ගැටුම් ඇතිවුණා. මේ වන විට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාම සාකච්ඡා ද බිඳ වැටෙමිනුයි පැවතියේ.

ගැටුම් ඇතිවීම

ඒරියල් ෂාරොන්ගේ සංචාරයට එරෙහිව හමාස් සංවිධානය ‘කෝපයේ දිනය’ (The Day of Rage) නමින් දිනක් නම් කළා. ප්‍රථම ඉන්ටිෆාඩාවේ දී ඊශ්‍රායල හමුදාවට එරෙහිව පලස්තීන වැසියන් බොහෝ දුරට භාවිතා කළේ ගල්, පෙට්‍රල් බෝම්බ (molotov cocktails) ආදී දෑ වුණත් දෙවන නැගීසිටීමේ දී හමාස් සංවිධානයේ මග පෙන්වීම යටතේ වඩා සංවිධානාත්මකව අවි ආයුධවලින් ඔවුන් ඊශ්‍රායල හමුදාවට සහ වැසියන්ට පහර දුන්නා.  විශේෂයෙන්ම හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව එරටේ පොදු ස්ථානයන් කරා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළා. ඊශ්‍රායල හමුදාවට වඩා හමාස් සංවිධානය ඉලක්ක කළේ ඊශ්‍රායල සිවිල් වැසියන්ව යි.

හමාස් මරාගෙන මැරෙන බෝම්බ පහාරයකින් මියගිය ඊශ්‍රායල වැසියන් සිහි කිරීම වෙනුවෙන් තැනූ සමරු ඵලකයක්/Jewis Press

මෙයට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර සහ මහා පරිමාණයේ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කළා. බටහිර ඉවුරේ සීමාවන් හරහා මහා පවුරක් ගොඩ නැගීමට ඊශ්‍රායලය පියවර ගත්තේ මෙම දෙවන ඉන්ටිෆාඩාවෙන් අනතුරුවයි

අවසානය සහ මරණ

වසර පහකට ආසන්න කාලයක් පුරා පැවතුන දෙවන ඉන්ටිෆාඩාව අවසානයේදී ඊශ්‍රායල පාර්ශවයෙන් පුද්ගලයන් 1330 ක් සහ පලස්තීන පාර්ශවයෙන් 3300ක් මිය ගිය බවට ඊශ්‍රායල මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

ඉන්ටිෆාඩාව  අවසන් වූ මාසය ලෙස ස්ථිර දිනයක් නොමැති වුවත් පොදුවේ පිළිගැනෙන්නේ පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අරෆත් ගේ මරණය සිදුවූ 2004 නොවැම්බර් මාසයේ දී එය අවසන් වූ බවයි. නමුත් පසුවත් මාස කිහිපයක් පුරා දෙපාර්ශවය අතර ගැටුම් හට ගැනුණා.

පසුගිය වසරේ දී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම බව ඇමරිකාව නිල වශයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟ හමාස් සංවිධානය තෙවන ඉන්ටිෆාඩාවට සැරසෙන ලෙස පලස්තීන වැසියන්ට ආරාධනා කර සිටියා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බහුතර සාමාජික රටවල් ට්‍රම්ප්ගේ එම තීරණයට එරෙහිව ඡන්දය භාවිතා කිරීම නිසා බිහිසුණු ගැටුමක් ඇතිවීම ව්‍යර්ථ වී ගියා.

මූලාශ්‍ර – DW, Al Jazeera, BBC

Cover Photo: Public Radio International