Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුද්ධයේ සැඟවුණු ජායාරූප

පළමු ලෝක යුද්ධය, මිත්‍ර පාර්ශවය හා අක්ෂ පාර්ශවය අතර වසර හතරකට අධික කාලයක් තිස්සේ ඇදී ගිය අතර මිත්‍ර පාර්ශවයට ජය අත්කර දෙමින් යුද්ධය අවසන් වෙනවා. ජීවිත හා දේපල හානි ඉතා විශාල ලෙස සිදු වූවත් ඉන් පාඩමක් ඉගෙන නොගන්නා මෙම පාර්ශව දෙක විසින් පළමු ලෝක යුද්ධය අවසන් වී ඉතා කුඩා කාලයකින් දෙවන ලෝක යුද්ධයට අවශ්‍ය හේතු සාධක නිර්මාණය කරනවා.

පළමු ලෝක යුද්ධය හා සම්බන්ධිත අපූරු ජායාරූපයන් කිහිපයක විස්තර පසුගිය ලිපියකින් ඔබට ගෙන ආවා මතක ඇති. ඉතින් අද ලිපියෙන් ඉදිරිපත් කරන්න සැරසෙන්නේ දෙවන ලෝක යුද්ධය හා සම්බන්ධිත ජායාරූපයන් කිහිපයක සැගවුණු කතාවයි.

විනෝදය උදෙසා යුදෙව්වන්ට වෙඩි තැබූ ජර්මානු හමුදා නිළධාරියා

rarehistoricalphotos.com

දෙවන ලෝක යුද්ධයේදී සිදු වූ විනාශකාරී සිදුවීම් අතරින් හිට්ලර්ගේ නාසි හමුදාව විසින් යුදෙව්වන් සමූලඝාතනය කිරීම හදුන්වා දෙන්නට පුළුවන්. යුදෙව් ජාතිකයන් කන්ඩායම් වශයෙන් වධ කදවුරු වල රදවා, ශක්ති සම්පන්න යුදෙව්වන් අමානුෂික ලෙස සේවයේ යෙදවූ අතර ශරීර ශක්තියෙන් දුර්වල වන හා මහලු යුදෙව්වන් ගෑස් කාමර වලට ඇතුල් කර මරා දමනවා.

ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ එවකට නාසීන්ගේ වධ කදවුරක් වූ ප්ලසෝව් සිරකදවුර (Plaszow labor camp) භාරව සිටි අණදෙන නිළධාරියෙක් වූ ආමොන් ලියෝපෝල්ඩ් ගර්ත් (Amon Leopold Goeth) උදෑසන නැගිට නිළධාරි නිවස්නේ වැරන්ඩාවේ සිට අසළ පිහිටි වධ කදවුරේ එලිමහනේ වැඩ කරමින් සිටින යුදෙව් සිරකරුවන්ට වෙඩි තබන්නට සැරසෙන ආකාරයයි.

ශින්ඩ්ලර්ස් ලිස්ට් (Schindler’s List) නම් දෙවන ලෝක යුද්ධ සමය අලලා නිෂ්පාදනය වූ චිත්‍රපටය ඔබ නරඹා ඇත්නම් එහි මෙම අවස්ථා හොදින් නිරූපණය කර ඇති අයුරු දකින්නට පුළුවන්. උදෑසනම සිගරට්ටුවක් දෙතොලේ රදවා ගන්නා ලේපෝල්ඩ්ගේ රයිෆලයට වැඩිපුරම ඉලක්ක වන්නේ එලිමහනේ ඉතා සෙමින් වැඩ කරන සිරකරුවන් හා වැඩ නතර කර විවේක ගන්නා සිරකරුවන්වයි. වරෙක මොහු විසින් යුදෙව් අරක්කැමියකු වෙඩි තබා මරා දමන්නේ ඔහුට පිළිගන්වන ලද​ සුප් බඳුන​ ඉතා උණුසම් වීම හේතුවෙන්.

1943 වසරේ පෙබරවාරි මාසයේ සිට 1944 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙහි ප්‍රධාන අණදෙන නිළධාරියා ලෙස කටයුතු කළ ආමොන් ලියෝපෝල්ඩ් ගර්ත්, හිට්ලර්ගේ SS බළකායට ඇතුල් වන්නේ වයස අවුරුදු 24දීයි. පසුව ඔහුට එස් එස් බළකායේ තෙවැනියා ලෙසද කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා.

මෙම කදවුරේ නේවාසිකව රැදවියන් 25000ක් පමණ රදවා සිටි අතර තවත් රැදවියන් 2000ක් පමණ එළිමහනේ සේවයේ යොදවා තිබෙනවා. තවද සිරකරුවන් හුවමාරු කර යවන සිරකදවුරක් ලෙසද එකල මෙම කදවුර භාවිතා කෙරිණි. දිනපතාම සිරකරුවන් විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් වූ අතර ආමොන් ගර්ත් විසින් ඇතිකරන ලද සුනඛයන් දෙදෙනා යුදෙව්වන් හපාදමා මරා දැමීමට පුහුණු කර තිබුනා.

දෙවන ලෝක යුද්ධය ජර්මනිය ප්‍රමුඛ සතුරු පාර්ශවය පරාජයට පත්වීමෙන් පසුව ගණනය කළ නොහැකි තරම් පිරිසක් වධහිංසා වලට ලක්කර ඝාතනය කිරීම හේතුවෙන් යුධ අපරාධ චෝදනාවන්ට වරදකරු වන ආමොන් ගර්ත්, 1946 වසරේ සැප්තැම්බර් මාසයේදී යුධ අධිකරණය  විසින් එල්ලා මරා දැමීමට නියෝග කරනු ලබනවා.

හඩා වැටෙන ජර්මානු ගුවන් නාශක සෙබළා

rarehistoricalphotos.com

මෙය යුද්ධයේ එක් අවසානවන්ත සිදුවීමක් ලෙස හදුන්වන්නට පුළුවන්. දෙවන ලෝක යුද සමයේ මිත්‍ර හා සතුරු පාර්ශව දෙකේම වයස අවුරුදු 18ට අඩු ළමා සොල්දාදුවන් සේවය කිරීම දකින්නට ලැබුනු අතර මෙම ජායාරූපයේ සිටින්නේද වයස අවුරුදු 16ක් වන ජර්මානු හමුදා ගුවන් නාශක බළකායේ සෙබළෙක්.

හෑන්ස් ජෝර්ජ් හෙන්ක් නම් හිට්ලර්ගේ තරුණ බළකා සෙබළා ඇමරිකානු පාබල හමුදාවේ 9වන බළකාය විසින් 1945 වසරේ අප්‍රේල් මස 03 වනදා ජර්මනියේදී අල්ලා ගැනීමෙන් පසුව හඩා වැළපෙන අයුරු මෙහිදී දකින්නට පුලුවන්.

තම මවගේ හා පියාගේ අකල් මරණ හේතුවෙන් අසරණ වූ හෑන්ස් තම පවුල රැකගැනීම සඳහා වයස අවුරුදු 15දී ජර්මානු ගුවන් යානා නාශක බළකායට ඇතුල් වෙනවා. කෙසේ හෝ මරණයෙන් ගැලවෙන ඔහු ඇමරිකානු හමුදා සිරභාරයට පත්ව පසුව නිදහස් වෙනවා. යුද්ධයෙන් පසුව කොමියුනිට්ස්වාදී දේශපාලනයක නිරත වූ ඔහු නැගෙනහිර ජර්මනියේ ජීවත් වෙන අතර 1997 වසරේදී මරණයට පත්වෙනවා.

තම බළකායේම සේවය කළ පුතුට අවසන් ගෞරව දක්වන පියා

rarehistoricalphotos.com

මෙම ජායාරූපය සමබන්ධ වන්නේ ඔකිනාවා සටන හා සම්බන්ධවයි. දෙවන ලෝක යුධ සමයේ නැගෙනහිර චීන මුහුදේ තායිවානය හා ජපානය අතර පිහිටි ජපානයට අයිති ඔකිනාවා දූපත තුළ සිදු වූ සටන ඔකිනාවා සටන ලෙස හදුන්වනවා. මෙහිදී ඔකිනාවා දුපතේ බලය අල්ලා ගැනීම උපක්‍රමික වශයෙන් ඉතා වැදගත් වූ අතර ඇමරිකානු හමුදා ඒ සඳහා මැදිහත් වීම සිදු කරනවා. ඇමරිකාවේ සහයට බ්‍රිතාන්‍ය හමුදාද පැමිණි අතර 1945 වසරේ අප්‍රේල් පළමු දින සිට ජුනි 22 දක්වා පැවති සටනේදී ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවය විසින් සටන ජයග්‍රහණය කරනු ලබනවා.

ඔකිනාවා සටන සඳහා පැමිණි ඇමරිකානු මැරීන් බළකායේ සෙබළ මයික් ෆැන්ටන්ගේ අවසන් කටයුතු ඔහුගේ පියා වූ ඇමරිකානු මැරීන් බළකායේ කර්නල් (පසුව බ්‍රිගේඩියර් ජෙනරාල්) ෆ්රැන්සිස් ෆෙන්ටන් විසින් 1945 වසරේ මැයි මාසයේදී එම දූපතේම​ සිදු කරන සංවේදීජනක අවස්ථාව ජායාරූපයේ දැක්වෙනවා. 1943 වසරේදී තම පියා සේවය කළ ඇමරිකානු මැරීන් බළකායේ පළමු ඩිවිෂනයට ඇතුළත් වන මයික්, ඔකිනාවා සටනේදී ස්නයිපර් වෙඩික්කරුවෙක් ලෙස තම සේවය ඇමරිකානු හමුදාවට ලබා දෙනවා.

1945 වසරේ මයි මස 7 වනදා ජපන් හමුදා ප්‍රහාරයකින් මයික් මියයන විට ඔහු යන්තමින් වයස අවුරුදු 19 පසු කළ කොලුගැටයෙක් විය. තම කුඩා පුතුට අවසන් ගෞරව දක්වමින් කර්නල් ප්‍රැන්සිස් ප්‍රකාශ කරන්නේ තම මුතුන් මිත්තන් සැතපී නොමැති භූමියක තම දරුවා තනිකර දමා යෑමට සිදුවීම ඉතා ශෝකජනක බවයි.

බ්‍රිතාන්‍ය පුරවැසියන් දෙදෙනෙකුට සතියක් සඳහා වෙන් වූ ආහාර සළාකය

rarehistoricalphotos.com

දෙවන ලෝක යුධ සමය, වසර 1939 වන විට ආරම්භ වූ අතර මෙම කාලය වන විට බ්‍රිතාන්‍ය  තම ආහාර අවශ්‍යතාවය පිරිමසා ගන්නේ පරිභෝජනය කරන මුළු ආහාර ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් ආනයනය කිරීම මගින්.

1943 පමණ වන විට එසේ ආහාර ආනයනය කිරීම සීමා කිරීමට බ්‍රිතාන්‍යයේ ආහාර පිළිබඳව අමාත්‍යාංශය විසින් තීරණය කරනවා. එයට හේතුව වන්නේ ජර්මානු යූ බෝට් නම් සබ්මැරීන් විශේෂයෙන් ආහාර ප්‍රවාහනය කරන නෞකා වලට ප්‍රහාර එල්ල කිරීමයි. ආහාර ආනයනය කිරීම සීමා කිරීමෙන්, ජර්මානු ප්‍රහාරයන්ට ලක්ව බ්‍රිතාන්‍ය නාවිකයන් මරණයට පත්වීම වැළක්වීම අපේක්ෂා කළ අතර ආහාර ආනයනය කිරීම සඳහා යන මුදල් යුද්ධය සඳහා යෙදවීමත් සිදු කෙරෙනවා.

මෙහිදී ඇතිවන අහාර හිඟය වැලැක්වීම සඳහා බ්‍රිතාන්‍ය රජය විසින්  අහාර සළාක ක්‍රමයක් හදුන්වා දුන් අතර 1943 වසරේ බ්‍රිතාන්‍ය පුරවැසියන් දෙදෙනෙකුට සතියක් සඳහා රජය විසින් ලබා දුන් ආහාර සළාකයේ  ජායාරූපය ඉහතින් දැක්වෙනවා.

බටර්, කිරි, මස්, බේකන් හා ජෑම් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සළාකයට ඇතුළත් වූ අතර සළාක ක්‍රමයට බ්‍රිතාන්‍ය වැසියන්ගේ විරෝධය එල්ල නොවූ බවද සදහන් වෙනවා. පලතුරු හා එළවලු,  සළාක ක්‍රමයට අයත් නොවූවත් ඒවාගේ සැපයුමද ඉතා සීමිතව පැවතිනි.

කවරයේ ජායාරූපය – europe1.fr

Related Articles